ඝන අපද්‍රව්‍ය කළමනාකරණය ගැන තොරතුරු බිඳක්

අප රටේ නාගරික ප්‍රදේශ ආශ්‍රිතව කැළිකසළ නිසි ලෙස බැහැර නොකිරීම නිසා පාරිසරික සහ සෞඛ්‍යමය ගැටළු රැසක් ඇතිව තිබෙනවා. එම ගැටළුවට විසඳුමක් ලබාදීම සඳහා ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ ක්‍රියාවලියක් හඳුන්වා දී තිබෙනවා. එහි දී සිදුවන්නේ ඝන අපද්‍රව්‍ය එකතු කර ප්‍රතිචක්‍රිකරණය කිරීමෙන් පසුව විවිධ නිෂ්පාදන සිදුකිරීම යි. ඒ අනුව වර්තමානය වන විට මෙරට බොහෝ ප්‍රදේශවල ඝන අපද්‍රව්‍ය එකතු කිරීමේ ක්‍රියාවලිය සිදුවනවා. එසේම ගම්මානවලට ගොස් අපද්‍රව්‍ය එකතු කර ප්‍රතිචක්‍රිකරණ මධ්‍යස්ථානවලට භාරදීම රැකියාවක් ලෙස කරන පිරිසක් ද බිහිවී තිබෙනවා.

ඝන අපද්‍රව්‍ය පිළිබඳව කෙටියෙන් 

එදිනෙදා ක්‍රියාවලියන්ගෙන් ජනිත වී ඉවත දමනු ලබන ආර්ථිකමය වශයෙන් වටිනාකමක් නොමැතියැ යි සැලකෙන ඝන තත්ත්වයේ අපද්‍රව්‍යයන් ඝන අපද්‍රව්‍ය ලෙසින් හඳුන්වනු ලබනවා. කඩදාසි, කාඩ්බෝඩ්, වීදුරු, ප්ලාස්ටික්, පොලිතින්, ලෝහ වර්ග, පොල්කටු, ඉවත ලද විවිධ ආහාර ද්‍රව්‍ය වැනි දේවල් ඒ අතරට අයත් වනවා. පසුගිය දශක කිහිපය තුළ මෙරට ජනගහනයෙහි සිදුවුණු වර්ධනයත් සමගම ඝන අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස බැහැර කිරීම බහුල වශයෙන් සිදු වුණා. එම නිසා නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශ ආශ්‍රිතව ගැටළු කිහිපයක් නිර්මාණය වී තිබෙනවා.

ඇතිව තිබෙන පාරිසරික සහ සෞඛ්‍යමය ගැටළු 

පහත දක්වා තිබෙන්නේ ඝන අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර නොකිරීම නිසා ඇතිවන ගැටළු වැඩි වශයෙන් පවතින්නේ බස්නාහිර පළාත ආශ්‍රිතව යි. 

1) අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර නොකිරීම නිසා තැනින් තැන කසල ගොඩවල් දක්නට ලැබීම. එවිට පරිසරයේ තිබෙන අලංකාර බව නැතිවීම.

2) කසල ගොඩවල් ගිනි තැබීම නිසා අහිතකර වායූන් වායුගෝලයට එකතු වීම.

3) කසල ගොඩවල්වලින් අධික ලෙස දුගඳ හැමීම නිසා මිනිසුන්ට ජීවත්වීමට අපහසු පරිසරයක් නිර්මාණය වීම. 

4) කසල එකතුවන ස්ථාන ආශ්‍රිතව විවිධ සතුන් මඟින් ලෙඩ රෝග පැතිර යාම.

5) කසල ගොඩවල්වල තිබෙන අපද්‍රව්‍ය ආහාරයට ගැනීම නිසා සතුන් මිය යාම.

6) අපද්‍රව්‍ය ජලයට එකතු වීම නිසා පානීය ජලය අපවිත්‍ර වී පරිභෝජනයට නුසුදුසු තත්ත්වයකට පත්වීම.

කැළිකසල ගොඩගැසී තිබෙන අයුරු (Daily News)

බස්නාහිර පළාත තුළ ඝන අපද්‍රව්‍ය ජනනය අධික වීමට හේතු 

ලංකාවේ විවිධ ප්‍රදේශ ආශ්‍රිතව දෛනිකව එකතු වන අපද්‍රව්‍යවලින් සැලකිය යුතු ප්‍රමාණයක් නගර සභා සහ ප්‍රාදේශීය සභා මඟින් එකතු කරනු ලබනවා. වැඩිපුරම අපද්‍රව්‍ය එකතු වන්නේ කොළඹ දිස්ත්‍රික්කය ආශ්‍රිතව යි. 

බස්නාහිර පළාතේ නාගරික ප්‍රදේශ ආශ්‍රිතව කැළිකසල එකතු වීමට ප්‍රධානතම හේතුව වන්නේ ජන ඝනත්වය අධික වීම යි. එසේම එවැනි ප්‍රදේශවල සිටින ජනතාවට කැළිකසල බැහැර කිරීම සඳහා ගෙවත්ත තුළ ඉඩක් නැහැ. එම නිසා ඔවුන් පොදු ස්ථානවලට කැළිකසල බැහැර කරන ආකාරය දක්නට ලැබෙනවා. එවැනි ප්‍රදේශවල සිටින ඇතැම් පිරිස් අනවසරයෙන් පොදු ස්ථානවලට කසල බැහැර කරන ආකාරයත් සුලභවම දක්නට ලැබෙනවා. අපද්‍රව්‍ය ජනනය වැඩිවීමට ආර්ථික වර්ධනය ඉහළ යාම ද බලපානවා. කොළඹ ලංකාවේ ප්‍රධාන වෙළෙඳ නගරය නිසා බොහෝ දෙනෙකු විවිධ ප්‍රදේශවල  සිට දිනපතාම  කොළඹ නගරයට පැමිණෙනවා. ඔවුන් විසින් ජනනය කෙරෙන අපද්‍රව්‍ය රැඳෙන්නේ ද කොළඹ නගරය තුළ යි. එම නිසා බස්‌නාහිර පළාත තුළ කුණු කඳු කිහිපයක්  නිර්මාණය වී තිබෙන ආකාරය දැකිය හැකියි. 

මීතොටමුල්ල කුණු කන්ද (News First)

අපද්‍රව්‍ය කළමනාකරණය කරන්නේ ඇයි? 

වර්තමානය වන විට අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති බොහෝ ප්‍රදේශ ආශ්‍රිතව ක්‍රියාත්මක වනවා. එහි දී ආකාර කිහිපයකට අපද්‍රව්‍ය කළමනාකරණය සිදු කරනවා. පහත දක්වා තිබෙන්නේ එම ක්‍රියාවලිය සිදුකිරීම මඟින් ලැබෙන ප්‍රතිලාභ යි.

1) පරිසරය අලංකාර වීම 

2) ලෙඩ රෝග පැතිර යාම අවම වීම 

3) කසල ප්‍රතිචක්‍රිකරණය තුළින් මුදල් උපයාගත හැකිවීම 

4) පරිසර දූෂණය අවම වීම 

5) මිනිසුන්ට ජීවත්වීමට සුදුසු වටපිටාවක් නිර්මාණය වීම 

අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ දී භාවිතා කරන ක්‍රම 

ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සඳහා භාවිතා කරන ක්‍රම කිහිපයක් තිබෙනවා. පහත දක්වා ඇත්තේ ඒ පිළිබඳව යි.

1) අකාබනික අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රිකරණය කිරීම 

2) ජනනය වන ස්ථානයේ දීම අපද්‍රව්‍ය වෙන් කරන සංකල්පය 

3) ප්‍රජා සහභාගිත්ව ගෘහස්ත කොම්පෝස්ට් නිෂ්පාදන පද්ධති (උදා: කොම්පෝස්ට් බඳුන්, ජීව වායු ඒකක)

4) පළාත් පාලන ආයතන සඳහා වුණු අඩු සීඝ්‍රතාවයෙන් යුත් කොම්පෝස්ට් පද්ධති 

අපද්‍රව්‍ය වෙන් කිරීම සඳහා භාවිතා කරන වර්ණ කේත ක්‍රමය 

අපද්‍රව්‍ය ජනනය වන ස්ථානයේ දීම වෙන් කරන සංකල්පය වර්තමානය වන විට බොහෝ ස්ථානවල දක්නට ලැබෙනවා. එම ක්‍රියාවලිය මඟින් වෙන් කරන අපද්‍රව්‍ය කොම්පෝස්ට් සෑදීම සහ ප්‍රතිචක්‍රිකරණය යන ක්‍රියාවලීන් සඳහා භාවිතා කරනවා. එලෙස අපද්‍රව්‍ය වෙන් කිරීමේ දී විවිධ වර්ණයන්ගෙන් යුත් බඳුන් භාවිතා කරනවා. එහි දී භාවිතා කරන වර්ණ කේතයන් මෙසේ යි. 

1) නිල් වර්ණය – කඩදාසි සහ කාඩ්බෝඩ් 

2) රතු වර්ණය- වීදුරු 

3) තැඹිලි වර්ණය- ප්ලාස්ටික් සහ පොලිතීන් 

4) දුඹුරු වර්ණය- ලෝහ සහ පොල්කටු 

5) කොළ වර්ණය- දිරාපත් වන ද්‍රව්‍ය

අපද්‍රව්‍ය වෙන් කිරීම සඳහා ඇති බඳුන් (Facebook)

අකාබනික අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රිකරණය කිරීම

පොලිතින්, ප්ලාස්ටික්, වීදුරු, ලෝහ, කඩදාසි, කාඩ්බෝඩ් වැනි ද්‍රව්‍ය අකාබනික අපද්‍රව්‍ය අතරට අයත් වනවා. ඉහත සඳහන් කළ ද්‍රව්‍ය පරිසරයට එකතුවීම නිසා පරිසර දූෂණය විශාල වශයෙන් සිදුවනවා. විශේෂයෙන්ම ප්ලාස්ටික් සහ පොලිතින් පරිසරයට මුදාහැරීම විශාල ගැටළුවක් බවට පත්ව තිබෙනවා. එම නිසා අකාබනික අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රිකරණය කර විවිධ ප්‍රයෝජනවත් දේ නිෂ්පාදනය කිරීම සිදුවනවා. එම ක්‍රියාවලිය සඳහා දායක වන පිරිසක් දිවයින පුරා දක්නට ලැබෙනවා. ඔවුන්ගේ රාජකාරිය වන්නේ ගම්මානවලට ගොස් අකාබනික අපද්‍රව්‍ය මිලට ගෙන ඒවා ප්‍රතිචක්‍රිකරණ මධ්‍යස්ථානවලට රැගෙන ගොස් වැඩි මිලකට විකිණීම යි. ඉදිරියේ දීත් මෙම වැඩපිළිවෙළ සාර්ථකව අප රට තුළ ක්‍රියාත්මක වීම තුළින් පරිසර දූෂණය පාලනය කරගත හැකියි. 

කාබනික අපද්‍රව්‍ය මඟින් කොම්පෝස්ට් නිපදවීම 

ආහාර අපද්‍රව්‍ය, කොළරොඩු, සහ අතුරිකිලි කාබනික අපද්‍රව්‍ය අතරට අයත් වනවා. එලෙස කැළිකසල ලෙසින් ඉවත් වන කාබනික අපද්‍රව්‍ය භාවිතා කරමින් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය සිදුකරනවා. එසේම ජීව වායු ඒකක සෑදීම සඳහා ද එම කාබනික අපද්‍රව්‍ය භාවිතා කරනවා. එලෙස නිෂ්පාදනය කරනු ලබන පොහොර කෘෂිකාර්මික වැඩ කටයුතුවල දී ප්‍රයෝජනයට ගනු ලබනවා. එසේම ජීව වායුව ආහාර පිසීම සහ ආලෝකය ලබාගැනීම වැනි කාර්යයන් සඳහා භාවිතා කරනවා. ඒ අනුව මෙය එදිනෙදා ජීවිතයේ දී වැයවන ගෑස්  සහ විදුලිය ඉතිකරගත හැකි සාර්ථක ක්‍රමයක් බවට පත්ව තිබෙනවා.

ජීව වායු ඒකකයක් (biogasplant.com)

3R සංකල්පය 

ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සඳහා 3R නම් සංකල්පය හඳුන්වා දී තිබෙනවා. එහි දැක්වෙන R අකුරු ත්‍රිත්වයෙන් නිරූපණය වන්නේ පහත සඳහන් දේවල් තුන යි.

1) Reduce (අපද්‍රව්‍ය ජනනය අවම කිරීම)

2) Reuse (අපද්‍රව්‍ය නැවත භාවිතා කිරීම)

3) Recycling (අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රිකරණය කිරීම)

අපගේ පරිසරය පිරිසිදුව තබාගැනීම සඳහා ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම අනිවාර්යෙන්ම සිදු කළ යුතු යි. ඔබත් අවට වටපිටාවේ ඇති අපද්‍රව්‍ය නිසි පරිදි කළමනාකරණය කර එම ක්‍රියාවලියට දායකත්වයක් දක්වන ලෙස Roar සිංහල අප ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. 

කවරයේ ඡායාරූපය- Unops

මූලාශ්‍රයයන්- vidathanet.blogspot.com

                        Daph.gov.lk

Related Articles