Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බෞද්ධ ලෝකයේ දැන ගත යුතු සැමරුම් කීපයක්

බෞද්ධ ලෝකයේ බොහෝ අවස්ථාවල දිනය සටහන් කරන විට යොදාගන්නේ බුද්ධ වර්ෂ ක්‍රමය යි. එමෙන් ම සම්බුද්ධ ජයන්තිය, සම්බුද්ධත්ව ජයන්තිය වැනි සැමරුම් ද බුදුදහම ආශ්‍රිත ව අපට හමුවෙනවා. මේ සැමරුම් ගැන බෞද්ධයා තුළ පවා නිසි අවබෝධයක් නැහැ . බුදු හිමියන්ගේ තෙමඟුල සමරන වෙසක් කාලයේ මේ ගැන සොයා බැලීම වැදගත් වේවියයි අපි සිතුවා.

 බුදුන් උපන් තැන පුරාවිද්‍යා ගවේෂණ- bbc.com

 

ලුම්බිණියේ ගවේෂණ

නේපාලයේ ලුම්බිනියේ සිදුහත් උපත සිදුවු බව කියන ස්ථානයේ කැණීම් වර්ෂ 2013 නොවැම්බර් මාසයේ දී සිදු කළා. එය සිදු කළේ එංගලන්තයේ ඩර්හම් විශ්වවිද්‍යාලයේ  පුරාවිද්‍යා මහාචාර්ය රොබින් කනිංහැම් ඇතුළු පිරිසක්. මෙම ස්ථානයේ කළ කැණීමකින් පැරැණි ලීවලින් කළ දිරාගිය වැටක් සොයා ගැනීමට ඔවුන්ට හැකි වුණා.

කාබන් 14 කාලනිර්ණ ක්‍රමවේදයට අනුව එම වැටේ දැවවලට ලැබුණු කාල නිර්ණය අනුව බුදු උපත ක්‍රිස්තු පූර්ව 624 දී වූ බවට මතයක් ඉදිරිපත් වුණා. මෙම වැට සිදුහත් උපත සිදුවූ තැන පිහිටි බවට ඓතිහාසික කෘතිවල දැක්වෙන පැරණි සල් වෘක්ෂය වටා ඉදි කරන්නට ඇති බව සැලකෙනවා. සිදුහත් කුමරුන් බුදුබවට පත්ව කෙටි කලකින් එම ස්ථානයේ ආගමික කටයුතු ආරම්භ කරන්නට ඇතැයි රොබට් කනිංහැම් විශ්වාස කරනවා.

 පිරිවන් පෑම නිරූපිත ඉන්දීය කැටයමක්- Artthewalters.org

බුද්ධ පරිනිර්වාණය හා බුද්ධ වර්ෂය

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසු අවුරුදු හතළිස් පහක් පුරා දෙව් මිනිස් ලෝකයාට සුවසෙත සැලසීම කළා. මහා පරිනිබ්බාන සූත්‍රයට අනුව බුදුන් වහන්සේගේ පරිනිර්වාණය 80 වැනි වියේ දී සිදු වුණා. කුසිනගර්, කුසිග්‍රාම, කුසාවතී නම්වලින් එකල එම ස්ථානය හැඳින්වුණු අතර වර්තමාන ඉන්දියාවේ උත්තර ප්‍රදේශ්හි දියෝරියා දිස්ත්‍රික්කයේ මේ පුදබිම පිහිටා තිබෙනවා.

බුද්ධ වර්ෂ ක්‍රමය ආරම්භ වනුයේ, සම්බුද්ධ පරිනිර්වාණයේ සිටයි. එහි ආරම්භක දිනය සම්බන්ධයෙන් නම් ඉතිහාසඥයන් අතර විවිධ මත පවතිනවා. දීපවංශය හා මහාවංශයට අනුව අශෝක රජතුමාගේ රාජාභිශේකය බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 218 කට පසු සිදු වූ බව සඳහන් වෙනවා. කෙසේ වෙතත්, ඒ පිළිබඳ පොදු පිළිගැනීම නම්, සම්බුද්ධ පරිනිර්වාණය ක්‍රිස්තු පූර්ව 543 දී සිදු වී ඇති බව යි. ඉන් පසු බුද්ධ වර්ෂ ක්‍රමය ආරම්භ වන බවත් සැලකෙනවා. ඉන්දියන් ඉතිහාසයට අනුව සම්බුද්ධ පරිනිර්වාණය සිදුවූයේ ක්‍රිස්තු පූර්ව 483 දී යි. අලූත් මතය අනුව එය ක්‍රිස්තු පූර්ව 544 වැන්නේ සිදු වූ බව තහවුරු වී තිබෙනවා. බුදු හිමියන් ඉන්දියාවේ ජීවත් ව සිට ධර්ම චාරිකා කර ඇත්තේ ක්‍රිස්තු පූර්ව 6 වැනි සියවසේ දී බව පුරාවිද්‍යා සාධක අනුව ද තහවුරු වී තිබෙනවා.

බුද්ධ වර්ෂය, චන්ද්‍ර වර්ෂ හා සූර්ය වර්ෂ යන ක්‍රම දෙකෙහි සංකලනයෙන් සාදාගත් වර්ෂ ක්‍රමයක් ලෙස සැලකෙනවා.  ඒ අනුව වර්ෂයේ මුල් දිනය ලෙස සලකන්නේ වෙසක් පෝය දිනය යි. වර්ෂයේ අවසන් මාසය වන්නේ බක් ( අප්‍රෙල්) මාසය යි. බුද්ධ වර්ෂ ක්‍රමය අනුව මේ වර්ෂය (ක්‍රිස්තු වර්ෂ 2022) 2565 ලෙස සැලකෙනවා. ඉන් අදහස් කරන්නේ බුදුන් පිරිනිවන් පා මේ අවුරුද්දට වර්ෂ 2565ක් ගත ව ඇති බව යි.

 සිදුහත් උපත නිරූපිත කුෂාණ කැටයමක්- Wikipedia.org

බුද්ධ වර්ෂය භාවිතය

වැඩි දෙනකුට බුද්ධ වර්ෂය හා ක්‍රිස්තු වර්ෂය ගැන අවබෝධයක් නැති නිසා ප්‍රායෝගික භාවිතයේ දී ගැටලු මතුවෙනවා. වර්තමානයේ බුද්ධ වර්ෂය භාවිත කරන්නේ බෞද්ධාගමික කටයුතු සඳහා සහ ජ්‍යොතිෂ්‍ය කටයුතු සඳහා පමණ යි. අපේ රටට පෘතුගීසි ජාතිකයන් 1505 දී ගොඩ බැසීමෙන් පසු ඔවුන් ටිකෙන් ටික මෙරට ස්ථාවර වූ අතර පෘතුගීසින් තම ආගමික කටයුතුවලදී යොදා ගත්තේ ක්‍රිස්තු වර්ෂය යි. ඉන් පසු ඕලන්ද සහ ඉංග්‍රීසි පාලකයන් ද එම වර්ෂ ක්‍රමයට යොදා ගත් නිසා බුද්ධ වර්ෂ ඉතුරු වුණේ පුස්කොළ පොත්වල හෝ සෙල්ලිපිවල පමණ යි. අද නම් බුද්ධ වර්ෂ ක්‍රමය ජ්‍යොතිෂ්‍ය ලේඛනවල සහ පිරිවෙන් ඉගෙනීම් ක්‍රමවලදී පමණක් දැකගත හැකි යි.

ශිලා ලේඛන ආශ්‍රිත ව, බුද්ධ වර්ෂ නිරූපණය සුලබ ව භාවිතයට පැමි‍ණ ඇත්තේ, ක්‍රිස්තු වර්ෂ 12 වන සියවසෙන් පසු ව බව සෙල්ලිපි නිරීක්ෂණය කිරීමේ දී පෙනෙන කරුණක්. අදාළ වර්ෂය වාක්‍යයක් ලෙසින් දැක්වීම ඒ සඳහා භාවිත සුලබ ක්‍රමවේදය වී තිබුණා.

 සිදුහත් උපත සිදුවූ ලුම්බිනිය- tsemrinpoche.com

 

මේ එයට උදාහරණ කිහිපයක්:

පළමුවන පරාක්‍රමබාහු රජුගේ පොළොන්නරුව ගල් විහාර පර්වත ලිපිය:
‘‘(බුදුන්)…. පිරිනිවී සාරසිය සූපරාස් හවුරුද්දක් ගිය කලැ වළගම් අභා මහ රජු දවසැ… (බු.ව. 454)‘‘

සහස්සමල්ල රජුගේ පොළොන්නරු හැටදාගේ ලිපිය:

‘‘බුද්ධ වර්ෂ එක් දහස් සත්සිය තෙසාලිස් හවුරුදු… ‘‘

  ජේසු උපත – inews.co.uk

ක්‍රිස්තු වර්ෂ පැමිණීම

වර්තමානයේ අප බහුල ව ම භාවිත කරන්නේ ක්‍රිස්තු වර්ෂ ක්‍රමය යි. ක්‍රිස්තු වර්ෂ ක්‍රමය අරම්භ වන්නේ ක්‍රිස්තුස් වහන්සේ ගේ උත්පත්තියෙන් පසු දින සිට යි. එනම් උන්වහන්සේගේ උත්පත්තිය සිදු වූ වර්ෂය ක්‍රිස්තු වර්ෂ 1 ලෙස හඳුන්වනවා. ක්‍රිස්තු වර්ෂ ක්‍රමය අනුව අවුරුද්ද ආරම්භ වන්නේ ජනවාරි මාසයෙන් වන අතර එය අවසන් වන්නේ ජේසු බිළීඳා උපන් දෙසැම්බර් මාසයෙන්.

අප සාමාන්‍යයෙන් දිනයක් ලියන විට දී භාවිතා කරන්නේ ක්‍රිස්තු වර්ෂ යන්න යි. සමහර ඉතිහාස ලිපිවල අතීත සිද්ධි දැක්වීමේදී ක්‍රිස්තු පූර්ව ලෙස සඳහන් වන අවස්ථා තිබෙනවා. ඉන් අදහස් වන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තියට පෙර වර්ෂ ලෙස යි. උදාහරණයක් ලෙස මිහිදු මහරහතන් වහන්සේගේ ලංකාගමනය සිදු වූයේ ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තියට වසර 250 කට පෙර යි. ඒ නිසා ඉතිහාස ලිපි ලේඛනවල ඒ ගැන සඳහන් වන්නේ ක්‍රිස්තු පූර්ව 250 ලෙස යි. ක්‍රිස්තූන් වහන්සේ බෙත්ලෙහෙම් උත්පත්තිය ලබන විට බුදුරජාණන් වහන්සේ පිරිනිවී අවුරුදු 544ක් ගත වී තිබෙනවා.

 බුද්ධ ජයන්තිය වෙනුවෙන් නිකුත් කළ රුපියලේ කාසිය- Cbsl.gov.lk

බුද්ධ ජයන්ති වර්ෂය

ක්‍රිස්තු වර්ෂ 1956 දී ලංකාවේ ඉතා උත්කර්ෂවත් ව බුද්ධ ජයන්ති වසර සැමරූ බව පැරණි ලේඛන කියවන විට පැහැදිලි වෙනවා. එම සැමරුම පැවැත්වුණේ බුදුරජාණන් වහන්සේ පිරිනිවී වසර 2500 ගතවීම අනුස්මරණය කරමිනු යි. 1956 වසර පුරා ම රටේ බෞද්ධ ප්‍රකාශන එළිදැක්වීම, මුද්දර නිකුත් කිරීම, ත්‍රිපිටක පොත් පෙළ මුද්‍රණය කිරීම ඇතුළු කටයුතු රාශියක් සිදු කර තිබෙනවා.

බුද්ධ ජයන්තිය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව රුපියලේ සමරු කාසියක් ද නිකුත් කළා. එම කාසි ලක්ෂ 20ක් නිකුත් කළ බව සඳහන් වෙනවා. පසුගිය ශතවර්ෂය තුළ බෞද්ධ ලෝකයේ පැවති විශාලත ම වෙසක් උත්සවය පවත්වා ඇත්තේ බුද්ධ ජයන්තිය වෙනුවෙන්. මේ සඳහා වර්ෂය පුරා බෞද්ධ රටවල විවිධ උත්සව සංවිධානය කෙරුණා. ඒ අතරින් ප්‍රධානත ම උත්සවය පැවතියේ වෙසක් දින යෙදුණු මැයි 23 වැනි දා ඉන්දියාවේ බුද්ධගයාවේ යි. එයට ශ්‍රී ලංකාවෙන් ද විශාල පිරිසක් එක්වූ බව සඳහන්.

 සම්බුද්ධත්ව ජයන්ති සැමරුමක්- paramadhamma.org

සම්බුද්ධත්ව ජයන්තිය

2600 සම්බුද්ධත්ව ජයන්තිය සැමරීමේ උත්සවය අප රටේ පැවැත්වුණේ පසුගිය 2011 වෙසක් සමයේ යි. එම සැමරුම් 2012 වෙසක් දක්වා පැවැත්වුණු බව ඔබ අතරින් සමහරුන්ට මතකත් ඇති. මෙම සැමරුමේ අරමුණ නම් බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් ව අවුරුදු 2600ක් ගතවීම අනුස්මරණය කිරීම යි. සිදුහත් තවුසා බුද්ධත්යට පත්වූයේ ඉපිද අවුරුදු 35 ගත වූ තැන බුද්ධගයාවේදි යි. ජය ශ්‍රී මහා බෝධි මූලයේ දී බවුන් වඩන අතරතුර සර්වඥතා ඥානය අවබෝධ වූ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන්.

මේ සැමරුම සඳහා ද ලංකාවේ බෞද්ධාගමික උත්සව රාශියක් සංවිධානය කර තිබුණා. 2600 සම්බුද්ධත්ව ජයන්තියේ තේමා පාඨය වුණේ පිළිවෙතින් පෙළ ගැසෙමු යන්නයි. මේ නිසා අධ්‍යාත්මික සංවර්ධනය මුල් කරගත් සීල ව්‍යාපාර, බෞද්ධ සම්මන්ත්‍රණ ආදී වැඩසටහන් බහුල ව පැවැත්වුණා.

කවරයේ ඡායාරූපය - බුද්ධ පරිනිර්වාණය දැක්වෙන පුරාණ ඉන්දීය කැටයමක් - Wikipedia.org

මූලාශ්‍ර:
Budusarana.lk
Silumina.lk
History.com

Related Articles