Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජපන් සංස්කෘතියේ සුවිශේෂී අවස්ථා කිහිපයක්

ලෝකයේ විවිධ රටවල තිබෙන විශේෂත්වය වන්නේ, ඔවුනටම ආවේණික වූ සංස්කෘතික ලක්ෂණ වලින් යුක්ත වීමයි. බොහෝ විට මේ සඳහා ආගම වැනි සංකල්ප සෘජුව බලපානු ලබනවා. ලොව අනෙකුත් රටවල් වලින් වෙනස් වූ සංස්කෘතික ලක්ෂණ වලින් යුක්ත රටක් ලෙස ජපානය හැඳින්විය හැකියි. නිවාස, ආහාර පාන, ඇඳුම් ආදියේ ඔවුන්ගේ අනන්‍යතාවය රැඳී පවතිනවා. ඒ අනුව මෙම ලිපිය මඟින් ජපන් සංස්කෘතියේ විවිධ අවස්ථාවන් සම්බන්ධයෙන් දැනුවත් වීමේ අවස්ථාව හිමි වනවා.

 

  • ඉකෙබානා මල් කලාව

 

zenvita.com

ඉකෙබානා යනුවෙන් හඳුන්වනු ලබන්නේ පුරාණ ජපානයේ පැවතුණා වූ මල් සැකසීමේ ක්‍රමයකි. මෙහි අර්ථය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී ‘ඉකෙ’ යන්නෙන් ‘ජීවමාන හෝ පිළියෙළ කිරීම’ යන අර්ථයත්, ‘බානා’ යන්නෙන් ‘මල්’ යන්නත් ධ්වනිත වනවා. බාල, තරුණ හා මහළු යන අවධි සංකේතවත් කරමින් මල් පොහොට්ටුවේ සිට වියළි පත්‍ර දක්වා කොටස් මේ සඳහා භාවිතයට ගනු ලබනවා. මෙම කලාවේ ආරම්භය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී 7 වන සියවසයේ චීනයෙන් හා කොරියාවෙන් ජපානයට බුදු දහම පළමු වරට හඳුන්වා දෙනු ලැබුවා. මේ සමඟම බෞද්ධ පන්සල් වල සිදු කරන පූජාවන් සඳහා මල් භාවිතය ආරම්භ වුණා. ඒ අනුව පැහැදිලි වන්නේ, මල් පුජා කිරීමේ සිරිත පදනම් කරගෙන ආරම්භ වූ මෙම ක්‍රමය පසුකාලීනව කලාවක් බවට පත්ව ඇති බවයි. මෙම කලාව ඉකෙබානා, ඔහාරා හා සොගෙත්සු යනුවෙන් ප්‍රධාන​ සම්ප්‍රදායන් තුනකට බෙදනු ලබනවා. මෙම ක්‍රම අතුරින් වඩාත් වැදගත්, ප්‍රධාන හා පැරණිම ක්‍රමය සෙන්කෙයි නමැති භික්ෂුව විසින් ආරම්භ කරන ලද ඉකෙබානා කලාවයි. ඔහාරා සම්ප්‍රදාය ගොඩනගා තිබෙන්නේ, ඔහාරා ඔන්ෂින් විසිනි. 1900-1977 වකවානුවේ සිටි තෙශිගරා සොෆු විසින් සොගේත්සු හඳුන්වා දී තිබෙනවා. තේපානොත්සව, තරු උත්සව, හිනාමත්සුරි උත්සව ආදී නොයෙකුත් විශේෂ අවස්ථා වලදී මෙම කලාව වත්මනේ භාවිතා කරනවා.

 

  • කබුකි නාට්‍ය

 

allabout-japan.com

ජපානයටම ආවේණික කබුකි නාට්‍ය කලාව ක්‍රිස්තු වර්ෂ 1603 දී පමණ පළමු වරට කියෝතෝ නගරයේ රඟ දක්වා තිබෙනවා. ආරම්භයේ දී කාන්තාවන් විසින් රඟ දක්වා තිබෙන මේ සඳහා විවිධ කතාන්දර පාදක කර ගෙන තිබෙනවා. මෙහි අර්ථය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී ‘ක’ යන්නෙන් ගීතය යන අරුතත්, ‘බු’ යන්නෙන් නර්තනයත්, ‘කි’ යන්නෙන් හැකියාවත් අර්ථවත් වනවා. ඒ ආකාරයෙන් සලකා බැලූ විට මෙහි අර්ථය වන්නේ, ගායනය, නර්තනය හා හැකියාවෙන් යුක්ත වූ නාට්‍ය විශේෂයකි.  කබුකි නාට්‍ය රඟ දක්වනු ලබන්නේ, විවිධ කරුණු පදනම් කර ගෙනයි. ඒ අතර, ජනයා පිනවීම, නළුවන්ගේ හැකියාවන් අනෙක් අයට පෙන්වීම හා සමාජයට උපදේශාත්මක පණිවිඩ ලබා දීම අරමුණු අතර තිබෙනවා. මෙම නාට්‍ය රඟ දැක්වෙන ස්ථාන වන්නේ, කුඩා රංග ශාලාවන් මෙන්ම ටෝකියෝ, කියෝතෝ හා ඔසාකා වැනි නගර වල ප්‍රධාන රංග ශාලාවලයි. වර්තමානයේ කබුකි රඟ දක්වන්නේ, පිරිමි පාර්ශවය මඟින් පමණි. මේ සඳහා බොහෝ මුහුණු ආලේප ගැලවීමක් සිදු කරන අතර, මෙය කුමදෝරි ලෙස හඳුන්වනු ලබනවා. විවිධ වර්ණයෙන් හා විවිධ මෝස්‌තර වලින් කබුකි ඇඳුම් පවතින අතර ඇතැම් ඇඳුම් වල බර කිලෝග්‍රෑම් 20 ක් පමණ වනවා.

 

  • බෝනෙන්කයි සාද

 

citylab.com

දෙසැම්බර් යනුවෙන් හඳුන්වනු ලබන්නේ ජපානයේ කාර්ය බහුලම මාසයයි. මෙලෙස කාර්ය බහුල වන්නේ, නත්තල් සඳහා සාප්පු යාම වැනි හේතු මත නොවන අතර සාද පැවැත්වීම මෙයට හේතුව වනවා. ඒ අතරින් බොනෙන්කායි වසරේ ඉතාමත් වැදගත් සාද වන අතර මෙමඟින් අදහස් වන්නේ, පසුගිය වසරේ කරදර අමතක කොට සාර්ථක වසරක් බලාපොරොත්තු වන ලෙසයි. මෙය ව්‍යාපාර ආයතනවල සේවකයන් අතර හමුවක් ලෙස බහුලව පැවැත්වෙනවා. අවම වශයෙන් ජපානයේ එක් සමාගමක් එක් බොනෙන්කායි සාදයක් වත් පවත්වනු ලබනවා. මෙම සාද කතා පැවැත්වීම් කිහිපයකින් යුක්ත වන අතර, ක්‍රීඩාවන් මෙහි පොදුවේ දැකගත හැකි දෙයක් වනවා.

 

  • සුමෝ

 

britannica.com

සුමෝ සටන් කලාව සඳහා පදනම් වී තිබෙන්නේ, සහශ්‍රයකට පමණ පෙර පැවතුණා වූ ෂින්ටෝ ආගමික චාරිත්‍රයි. සියවස් ගණනාවකට පමණ පෙර පැවති Edo නමැති කාලයේ මෙය වෘත්තිමය ක්‍රීඩාවක් බවට පත්ව තිබෙනවා. එමෙන්ම බොහෝමයක් හමුදා පුහුණු වලදී එම සටන් කලාව අන්තර්ගත වීමක් සිදුව තිබෙනවා. මෙම සුමෝ ක්‍රීඩාව මෙන්ම ජූදෝ ක්‍රීඩාව පූජනීය ක්‍රීඩා ලෙස මෙරට වැසියන් විසින් සලකනු ලබනවා. එමෙන්ම ජපානයේ සම්ප්‍රදායික ක්‍රීඩා අතර මේ සඳහා මූලිකස්ථානයක් හිමි වනවා.

ක්‍රීඩාව සිදු කරන ආකාරය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී ඉතාමත් දැවැන්ත සටන් කරුවන් දෙදෙනෙක් මේ සඳහා සහභාගී වනවා. මොවුන් දෙදෙනා පොර බදිමින් එකිනෙකාව සීමාවක් ආකාරයෙන් දක්වන ලද  Dohyo  නමැති වළල්ලෙන් පිටතට තල්ලු කිරීමට වෙර දරනු ලබනවා. ජපන් ජාතිකයන්ට අනුව අස්වැන්න ලබා දෙන්නේ දෙවියන් විසිනි. මේ හේතුවෙන් ආහාර විශාල වශයෙන් අනුභව කිරීමෙන් දෙවියන් සතුටු කිරීමක් සිදු වන බවට විශ්වාස කරනවා. ඒ අනුව මෙය දෙවියන් යැදීමට කරන ක්‍රීඩාවක් ලෙස සලකනු ලබනවා.

 

  • තේ පැන් සංග්‍රහය

 

sotozen.cz

තේ පානය මඟින් ගැඹුරු වින්දනයක් ලබා ගැනීමට ජපන් ජනයා පුරුදු පුහුණු වී තිබෙනවා. චනොයු නමින් හැඳින්වෙන්නේ තේ සංස්කෘතිය නියෝජනය කරන තේ පාන උත්සවයයි. මේ සඳහා වසර 800 ක පමණ ඉතිහාසයක් තිබෙනවා. පුරාණ ජපන් බෞද්ධ භික්ෂූන් වහන්සේලා භාවනා කටයුතු වලදී අවශ්‍ය මානසික ඒකාග්‍රතාවය උදෙසා තේ පානය සිදු කොට තිබෙනවා. පසුව ජපන් වැසියන් චාරිත්‍ර විධි ආකාරයට මෙය දියුණු කිරීමකට ලක් කොට තිබෙනවා. තේ පැන් සංග්‍රහය සඳහා කාමරයක් තිබෙන අතරම, මෙම චාරිත්‍ර සඳහා අලංකාරත්වයෙන් යුත් උපකරණ භාවිතා කිරීමක්ද සිදු කරනු ලබනවා. ඒවායේ ද කලාත්මක බවක් අන්තර්ගත වනවා. තේ පානය මොවුන්ගේ අනිවාර්ය අංගයක් වන අතර මෙමඟින් අලසකම මග හරවා ගැනීමට හැකි බවට ජපන් වැසියන් විශ්වාස කරනු ලබනවා.

 

  • ඔන්බශිරා උත්සවය

 

jpninfo.com

ජපානයේ පැරණිතම උත්සවයක් ලෙස මෙම උත්සවය හැඳින්විය හැකි වනවා. මේ හා සම්බන්ධ ඉතිහාසය​ වර්ෂ​ 1200 තරම් ඈත​ කාලයකට හිමි කම් කියනු ලබනවා. මෙම උත්සවය පැවැත්වෙන්නේ, සෑම වසර හයකටම වරක්ය. එනම් නගානෝ නමැති ප්‍රදේශයේ සුවා විල අසළය. මෙහි දී ප්‍රධාන දේවස්ථානයේ තිබෙන්නාවූ දේවස්ථාන 4ක්  නැවත ගොඩනැගීම සංකේතවත් කරනු ලබනවා. මේ සඳහා විශාලත්වයෙන් යුත් දේවදාර ගස් 16ක් පමණ කැපීමට ලක් කොට ටැඹක් මෙන් සාදනු ලබනවා. අනතුරුව මෙම ලී කොට කඳු මුදුනේ සිට පාමුලට රැගෙන ඒම සිදු කරනු ලබනවා. මෙලෙස රැගෙන ඒමෙන් අනතුරුව දේවස්ථානයේ සතර කොනට වන්නට සවි කිරීම සිදු කරනු ලබනවා. මෙම උත්සවය භයානක උත්සවයක් ලෙස සලකනු ලබන අතර, එලෙස සඳහන් කිරීමට හේතුව වන්නේ, දැව කොට රැගෙන එන විට එම කොට උඩට නැග මිනිසුන් කන්ද පාමුලට පැමිණීමයි. මේ හේතුවෙන් විශාල පිරිසක් හට තුවාල සිදු වීම් ආදියද සිදු වනවා.

Cover Image: japansocietyboston.org

Related Articles