Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Song of the innocent කෙටි සිනමා පටය

ලොව තුල විවිධ මාතෘකා පදනම් කර ගනිමින් සිනමා නිර්මාණයන් බිහි වෙනවා. මීට කලින් ලිපියකින් කෙටි සිනමා පටයක් නිර්මාණය කරන ආකාරය ගැන අපි ඔබට තොරතුරු ගෙන ආවා.

Song of the innocent

Song of the innocent

“අහිංසකයින්ගේ ගීතය’’ කෙටි සිනමා පටය ශ්‍රී  ලාංකේය විශ්ව විද්‍යාල පද්ධතිය තුළ සිදු වන නවක වදය හා එහි සමාජීය බලපෑමේ අදුරු පැතිකඩක් ඇසුරෙන් නිර්මාණය වී තිබෙනවා. පිලියන්දල ප්‍රදේශයේ රූගත කිරීම් කර ඇති අතර මෙම කෙටි සිනමා පටය විශ්ව විද්‍යාලය තුළ නවක වධය යැයි කියාගන්නා උප සංස්කෘතියට අතුල් පහරක් එල්ල කර තිබෙනවා. එපමණක් නොව දේශපාලනික කාරණා විශ්ව විද්‍යාලයක් තුළ ක්‍රියාත්මක වන්නේ  කෙසේ ද, ඒ දේශපාලන කරුණු කාරණා මත ශිෂ්‍යයින්ට සිදු වන බලපෑම කෙබඳු ද යන්න මෙම නිර්මාණයේ දැක්වෙනවා.

දුෂ්කර පළාතකින් විශ්ව විද්‍යාලයකට ඇතුලු වන ශිෂ්‍යයකු නවක වධයට භාජනය වී එමගින් කායික හා මානසික පිඩාවට ලක් වන්නේ කෙසේ ද යන්න මෙම සිනමා පටයේ අන්තර්ගත යි. ඉන්පසුව ඔහුට එය දරාගත නොහැකිව සියදිවි නසා ගැනීම මෙම සිනමා පටයට කතා වස්තුව වී තිබෙනවා. සත්‍ය සිදුවීමක් පදනම් කර ගනිමින් නිර්මාණය වූ මෙම නිර්මාණය පිළිබඳව මේ වන විට කතා බහක් නිර්මාණය වෙමින් පවතිනවා.එමෙන්ම මේ හා සමාන සිදුවීම් ගණනාවක් පසුගිය කාලය පුරාම විශ්ව විද්‍යාල පද්ධතිය ආශ්‍රිතව අසන්නට ලැබුණා. මෙම සිනමා පටය අග මෑත කාලීනව නවක වදය නිසා සිදු වූ සමාජීය බලපෑම සාධක සහිතව ඔහු විසින් ඉදිරිපත් කරනවා.

ධනංජය බණ්ඩාර

මෙම සිනමා නිර්මාණය තුල ඔහු විසින් පෙන්වා ඇත්තේ නවක වදයේ එක් කොටසක් පමණක් බවත් ඔහු සදහන් කර සිටියා. එමෙන්ම මෙම පිටපත මුල් පිටපත නව වතාවක් පමණ සංවර්ධනය කර සකස් කළ බවත් ඔහු පැවසුවා. තවද මෙම නිර්මාණය මුල් පියවර කිහිපය තරමක් ආන්දෝලනයකට ලක් වූ බවත් එය මුල් කාලීනව විශ්ව විද්‍යාලය තුළම විවාදයට පත් වූ බවත් ඔහු සඳහන් කළා. එමෙන්ම තමා විශ්ව විද්‍යාලීය ශිෂ්‍යයකු වූ නිසා යම් යම් ආයතනික සීමා වලට ද ඔහුට මෙහෙදි මුහුණ දීමට සිදුව තිබුණා. තව ද විශ්වවිද්‍යාලයීය නවක වධය පිළිබඳව මෙතෙක් කරළියට පිවිසි පළමු කෙටි චිත්‍රපටය හෝ සංවාදයට සහ අවධානයට පත් පළමු කෙටි චිත්‍රපටය ලෙස ද මෙය සැලකිය හැකි වෙනවා. නිර්මාණය ඔහු විසින් විශ්ව විද්‍යාලයේ අවසාන ව්‍යාපෘතිය ලෙස නිර්මාණය කර තිබුණා. මේ වන විට ධනංජය තම උපාධිය නිමා කර තිබෙනවා.

සිනමා පටයේ ප්‍රධාන චරිතයට පණ දෙන්නේ ප්‍රදීප් රාමනායකයි. රුවන් කොස්තාගේ කැමරාකරණයෙන් ද අජිත් රාමනායකගේ සංස්කරණයෙන් ද නිර්මාණය වන ”අහිංසකයන්ගේ ගීතය”ට සංගීතය සපයා ඇත්තේ රුවන් වල්පොලයි. නවක වධයට ලක් වන සිසුවාගේ චරිතයට නිරුවත් දර්ශන ද ඇතුළත් වන අතර වධහිංසා පමුණුවන ජ්‍යෙෂ්ඨයන් අතර සිසුවියක ද වේ. අධ්‍යක්ෂවරයා පැවැසුවේ නළු නිළියන් සියල්ලන්ම සරසවියේ නාට්‍යකරණය හදාරන සහ හැදෑරූ සිසු සිසුවියන් බවය.

කව්ද ධනංජය ?

ධනංජය බණ්ඩාර උපත ලබන්නේ දියතාලාවේදී යි. අට වසර තෙක් ශ්‍රී ජනානන්ද ජාතික පාසලේ ඔහු ඉගෙනුම ලබා තිබෙනවා. ඉන්පසු සාමාන්‍ය පෙළ දක්වා වටවල සිංහල පාසලේ ඔහු ඉගෙනුම ලබන අතර හැටන් ශ්‍රී පාද පාසලේ උසස් පෙළ හදාරා තිබුණා. ඉන්පසු ඔහු ජාතික තරුණ සේවා සභාව විසින් උලපනේ සෞන්දර්ය අධ්‍යාපන ආයතනයේ පවත්වන තුන් අවුරුදු ලලිත කලාවේදී පාඨමාලාව හදාරා තිබෙනවා. ධනංජය කොළඹ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයට ඇතුළත් වන්නේ 2013 වසරේදීයි.

ඉන්පසුව ධනංජයද නවක වධයේ කොටසක් වන අතර ඔහුව කළුබෝවිල රෝහලට ඇතුලළත් කර තිබෙන්නේ එහි ප්‍රතිඵලයක් මත අතට සිදු වූ තුවාල වලින් ශරීරයට විෂ බීජයක් ඇතුල් වීම නිසාය. වෛද්‍ය මතය වී තිබුණේ එය තරමක් බරපතල ගණයේ අනතුරක් බවයි.

දෙරණ සිනමා උළෙලේ සම්මානය ලබාගත් මොහොත

සම්මාන අතර

“යාපනය අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ” හොඳම කෙටි චිත්‍රපටයය ලෙස “සිලෝන් තියටර්ස්” සම්මානය ද “දෙරණ සන්සිල්ක් චිත්‍රපට උළෙලේ දී “හොඳම කෙටි චිත්‍රපටය”ට සම්මානය ද මෙම සිනමා පටයට හිමි වුණා. “කොයින්ස් අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ” “ශිෂ්‍ය හොඳම කෙටි චිත්‍රපටය” ලෙස ද මෙම සිනමා පටය ප්‍රේක්ෂක සම්මානය ලබා ගෙන තිබුණා. එපමණක් නොව “ජාතික තරුණ සේවා සභාව” විසින් පවත්වන ලද සිනමා උළෙලේදී ප්‍රථම ස්ථානය ද ලබාගෙන තිබුණා.

නිර්මාණයට දායක වූවන්

එමෙන්ම මෙම නිර්මාණයට අදාලව ස්තුතිය පළකළ යුතු අය ගෙනද ඔහු මෙසේ සඳහන් කළා.

“චිත්‍රපටය ආරම්භයේ සිටම උපදේශකයා වශයෙන් කටයුතු කළ බාහිර කථිකාචාර්ය සුදත් මහදිවුල්වැව මහතා සහ තම පිටපත ට අදාලව එතුමාගෙන් ලැබුණු සහයද ධනංජය මෙහිදී විශේෂයෙන් සිහිපත් කර සිටියා. නර්තන රංගකලා ඉතිහාස සිද්ධාන්ත අධ්‍යයන අංශාධිපති මහින්ද විමලධීර මහතාව සහ ටී.වී.ටී. ආයතනයේ රවීන්ද්‍ර ගුරුගේ මහතා සහ චිත්‍රපටයට දායක වූ ශිල්පීන් සියලූ දෙනා සිහිපත් කළ යුතු යැයි ධනංජය බණ්ඩාර පැවැසීය.”

තවත් ලාංකේය සිනමාවට නව නිර්මාණ රැසක් දායාද කළ කෙටි සිනමාකරුවන් රාශියක් සිටිනවා. ඔවුන් පිළිබඳ තොරතුරු අපි ඉදිරියේදී ඔබ වෙත ගෙන එන්නම්.

පින්තුර – Dananjaya Bandara Facebook

Related Articles