Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රාජ්‍යයන් ස්වෛරීභාවය ලබන්නේ කෙසේ ද?

අන්තර්ජාතික කරළියේ නවතම තොරතුරු පිළිබඳව නිරතුරුව විමසිල්ලෙන් පසුවන පාඨක ඔබ වෙනුවෙන් ඒ පුවත් සවිස්තරාත්මකව ගෙන එන්නට අප සැමදා සූදානමින් සිටිනවා. මෑතක දී බොහෝ දෙනාගේ අවධානයට පාත්‍ර වුණු ස්පාඥ්ඥයේ කැටලෝනියා ප්‍රාන්තය වෙනත් රාජ්‍යයක් ලෙසින් වෙන් වී ස්වාධීන වීමට ගත් උත්සාහය ජනමත විචාරණයකින් පවා සාර්ථක කර ගැනීමට නොහැකිව යාම එරට අර්බුදකාරී තත්වය තවත් වර්ධනය කරන්න හේතුවක් උනා.

(කැටලෝනියානු සිදුවීම පිළිබඳව අපගේ නවතම ලිපිය වෙත පිවිසෙන්න)

කෙසේ වෙතත්, කැටලෝනියානු සිදුවීම පිළිබඳව වැඩිදුර කථා කිරීම වෙනුවට රාජ්‍යයන් මෙසේ වෙන් වී  යාම හෙවත් “Cessation” සිදුවන්නේ කෙසේ ද, ඊට අවශ්‍ය Cessation නිර්ණායක මොනවා ද යන්න සහ එහි නෛතික පසුබිම පිළිබඳව මදක් සාකච්ඡා කරන්නටයි මේ සූදානම.

(කැටලෝනියානු අර්බුදය) edition.cnn.com

“Cessation” යන වචනය ලතින් භාෂාවේ cessare යන වදනින් මිදී ආවකි. “Cease” හෙවත් මිදීම, වෙන් වීම යන අරුත රැගත් එම වදන අද වන විට අන්තර්ජාතික නීතිමය රාමුව තුළ භාවිතා කරනුයේ එක් රාජ්‍යයකින් මිදී වෙනත් ස්වාධීන රාජ්‍යයක් තනා ගැනීම අදහස් කිරීමට යි.

අන්තර්ජාතික නෛතික පුද්ගලභාවය ලැබීම

අන්තර්ජාතික කරළියේ පිළිගත් සංඝටකයක් වශයෙන් හඳුනාගනු ලැබීමට නම් නෛතික පුද්ගල භාවය හෙවත් හිමි වීම අනිවාර්ය කරුණක්. මූලිකවම ගත් කළ ස්වෛරී රාජ්‍යයන්ට මේ නෛතික පුද්ගල භාවය හිමි වෙනවා. එක්සත් ජාතීන්ගේ සංගමයේ මහා මණ්ඩලයේ සාමාජික අසුනක් හිමි වීම, මහා මණ්ඩල රැස්වීම් වලදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිවාසිකම හිමි වීම මේ සංඝටකයන්ට හිමි වන මූලිකම වරප්‍රසාදයන්ගෙන් එකක්. අන්තර්ජාතික සංවිධානයන්ටත් මේ අවස්ථාව හිමි වුණත් රාජ්‍යයන් සතු නෛතික අයිතීන් ඔවුන්ට අත්‍යන්තයෙන්ම ලැබෙන අයිතීන් නිසා ඒවාට විශේෂ තැනක් හිමි වෙනවා. රාජ්‍යයන් සතු වන යුතුකම් සහ වගකීම් පිළිබඳව අන්තර්ජාතික නීතිය තුළ නිතර කථාබහ වීම නිසාත්, ඒ කෙරෙහි නිරන්තරයෙන්ම අති විශාල අවධානයක් යොමු කෙරෙන නිසාත්, ස්වාධීන රාජ්‍යයක් ලෙස අභිශේක ලැබීම හැම විටකම ලෙහෙසි පහසු කටයුත්තක් වන්නේත් නැති බව අනිවාර්යෙන්ම කිව යුතු දෙයක්.

මොනවද මේ නිර්ණායක?

ස්වාධීන රාජ්‍යයක් ලෙස නෛතික පුද්ගල භාවය ලබන්න අවශ්‍ය කරන නිර්ණායක 1933 වසරේ දී බලාත්මක කෙරුණු රාජ්‍යයන්ගේ අයිතිවාසිකම් සහ වගකීම් පිළිබඳව වන මොන්ටිවීඩියෝ සම්මුතියේ (Montevideo Convention on the Rights and Duties of States) දෙවන වගන්තියේ සඳහන් වනවා. අදටත් පිළිගැනෙන මේ නිර්ණායක වෙන්නේ නිශ්චිත ජනගහණය, නිශ්චිත භූමි ප්‍රදේශය, ජනගහණය විසින් සමස්ථයක් වශයෙන් අවනතභාවය දක්වන පිළිගත් ආණ්ඩුවක් පැවතීම සහ අනෙකුත් රාජ්‍යයන් සමග ගිසිවුම් සඳහා එළැඹීමට ඇති හැකියාව යන නිර්ණායක හතරයි.

හතරවැනි නිර්ණායකය අභ්‍යන්තර සහ බාහිර ස්වාධිපත්‍යය වශයෙනුත් හඳුන්වන්න පුළුවන්. මේ අතුරින් නිශ්චිත ජනගහණය වගේ සාධක ඉතා පහසුවෙන් හඳුනා ගන්න හැකි ඒවා වුණත්, ජනතාව විසින් පිළිගනු ලබන ආණ්ඩුවක් පැවතීම වගේම අනෙකුත් රාජ්‍ය සමග ගනුදෙනු කිරීමට ඇති හැකියාව වැනි සාධක අතිශයින්ම දේශපාලනික සාධක වන නිසා ඒවා මදක් සංකීර්ණ බවින් යුක්ත වනවා.

උදාහරණයක් විදිහට ගතහොත්, භූමි ප්‍රමාණයෙන් ලොව තුන්වැනියට කුඩාම රාජ්‍යය වන නාවුරු රාජ්‍යය ජනගහණයෙන් පුද්ගලයින් 11,000ක් පමණ දෙනා වාසය කරන රාජ්‍යයක් වුණත් එය ස්වාධීන රාජ්‍යයක් ලෙස සැළකෙනවා. නමුත් අදටත් දැඩි අර්බුදකාරී තත්වයක පවතින පලස්තීනය තවමත් ස්වෛරී රාජ්‍යයක් ලෙස පිළිගෙන නැහැ. පලස්තීන ආණ්ඩුවට නෛතික පිළිගැනීමක් නැති වීම හේතුවෙන්, ජනගහණය යන සාධකය පැවතුනත් පලස්තීනයට රාජ්‍යත්වය ලැබී නැහැ. ගාසා තීරය සම්බන්ධ දේශ සීමා ගැටුම නිසා පලස්තීනයට නිශ්චිත භූමිය නැමති සාධකය හිමිවන්නේත් නැහැ.

(කැටලෝනියානු අර්බුදයේ තවත් දසුනක්) harvardpolitics.com

පැරණි යුගෝස්ලෝවියාවේ සර්බියානු ජනරජයේ පිහිටි ස්වාධීන ප්‍රාන්තයක් වූ කොසෝවෝ ප්‍රාන්තය ද 2008 වසරේ දී සර්බියාවෙන් වෙන් වී ස්වාධීන රාජ්‍යයක් පිහිටුවා ගනු ලැබුවා. ඒක පාර්ශවීය නිදහස් ප්‍රකාශයක් නිකුත් කරමින් වෙන් වූ කොසෝවෝව රාජ්‍යයක් වශයෙන් හඳුනා ගැනීමට (Recognition as a State) රාජ්‍යයන් 39ක් මේ වන විට කැමැත්ත පළ කොට තිබෙනවා. 1949 වසරේ දී චීනයෙන් ස්වාධීනත්වය ලැබූ තායිවානය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගැනීමට ලක් කර ඇත්තේ රටවල් 22ක් පමණයි. 2008 සිට මේ දක්වා කොසෝවෝ රාජ්‍යය පිළිගෙන ඇති රටවල් සංඛ්‍යාව දෙස බලන විට මනාව පෙනී යන්නේ චීනය වැනි බලවත් රටක අකමැත්ත මත වෙන් වී ගිය රාජ්‍යයක් සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වා එවැනි බලවත් රටක් අමනාප කරගන්නට අනෙකුත් රාජ්‍යයන් අකමැති බවයි.

නමුත් 1950 වසරේදී නොබැඳි ජාතීන්ගේ ප්‍රතිපත්තිය යටතේ තායිවානය ස්වෛරී රාජ්‍යයක් ලෙස හඳුනා ගන්නට ශ්‍රී ලංකාව කැමැත්ත පළ කොට තිබීම විශේෂත්වයක්.

(පලස්තීනයේ නිදහස වෙනුවෙන් හඬ නගන හමාස් තරුණයෝ) www.timesofisrael.com

මෑතකදී ලොව සියල්ලන්ගේ අවධානයට පාත්‍ර වුණු, නමුත් එතරම් අර්බුදකාරි නොවන ලෙසින් පැන නැගුණු ස්කොට්ලන්ත ජනමත විචාරණය ගැනත් මෙහිදී මතක් කළ යුතුම යි. 2014 වසරේ දී ස්කොට්ලන්තයේ පවත්වන ලද ජනමත විචාරණයකින් විමසනු ලැබුවේ එරට වැසියන් එක්සත් රාජධානියෙන් වෙන් වී ස්වාධීන වීමට කැමැත්ත පළ කරන්නේ ද යන්නයි. “ඔව්” සහ “නැත” යන සරල පිළිතුරු දෙකින් එකක් ලබා දීමට නියමිත වුණු මේ ජනමත විචාරණයේ අවසාන ප්‍රතිඵලයට අනුව,  එරට ජනගහනයෙන් 55.3%ක ප්‍රතිශතයක්, එනම් 2,001,926 දෙනෙක් ප්‍රකාශ කර සිටියේ එසේ වෙන් වීම අනවශ්‍ය බවයි. 44.7%ක ප්‍රතිශතයක් හෙවත් ජනගහනයෙන් 1,617,989ක් දෙනා ඊට කැමැත්ත පළ කර තිබුණා.

ස්කොට්ලන්තයට සර්වජන ඡන්ද බලය හඳුන්වා දීමෙන් අනතුරුව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා එරට ජනගහණයෙන් වැඩිම ප්‍රමාණයක් දෙනා සහභාගී වූ මත විමසුම මෙය වීම ද විශේෂත්වයක්. ඊට එරට ජනගහණයෙන් 84.6%ක ප්‍රතිශතයක් සහභාගී වී තිබුණා.

අන්තර්ජාතික නීතිමය රාමුව කෙසේ සැකසුනත්, මේ සියල්ලකම අවසානය තීරණය වන්නේ දෙශපාලනික සාධක මත  බව නම් නැවත මතක් කළ යුතු කරුණක්. කෙසේ හෝ තමන්ගේ ස්වාධීනත්වය රැක ගනිමින් නවතම රාජ්‍යයන් ගොඩනගා ගැනීම තමන්ගේ අරමුණ කර ගත් ලොව පුරා කැරළිකරුවන් එය අනිවාර්යයෙන් ම මතකයේ තබාගෙන ක්‍රියා කළ යුතු වන්නේ ඒ නිසයි.

කවරයේ ඡායාරූපය – www.japantimes.co.jp

තොරතුරු උපුටා ගැනීම –

www.bbc.com හි ලිපි හා Malcolm N. Shaw ගේ International Law කෘතිය ඇසුරිණි.

Related Articles