Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

උතුරු කොරියාව ලෝක සිතියමේ ඉතිරි කර දුන් රුසියානු ගුවන් සොල්දාදුවා – Mig 15

මේ දවස්වල ලෝකයේ ප්‍රධානම ප්‍රශ්නය බවට පත් වෙලා තියෙන්නේ උතුරු කොරියාව න්‍යෂ්ටික ආයුධ අත්පත් කර ගන්නා එක ගැනයි. වෙන එකක් තියා ශ්‍රී ලංකාවේ තෙල් අර්බුදය ඇති කළෙත් සම්බාධක දැම්ම එක ගැන කේන්තියට කිම් ජොන් උන් කියලත් සමහරු කියනවා. හැබැයි දන්නවාද අද අපිට කතා කරන්නට උතුරු කොරියාවක් ලෝක සිතියමේ ඉතිරි කර වෙලා තියෙන්නේ සෝවියට් රුසියාව අපහසුතා මැද නිර්මාණය කරපු එක්තරා යානයක් නිසා බව? ඒ තමයි Mig 15. අදටත් බටහිර ලෝකයට හිසරදයක් වෙලා තියෙන Mig ප්‍රහාරක ගුවන් යානාවල ආරම්භය සනිටුහන් කළ යානය, වැඩිම වරක් නිෂ්පාදිත ජෙට් යානය වගේම කොරියානු යුද්ධයේ ප්‍රතිඵලය සම්පූර්ණයෙන්ම කණපිට හැරෙව්වෙත් මේ යානයයි.

මේ ලිපිය මේ දිනවල ම​ පළ කරන්න වැදගත් හේතුවක් තියෙනවා. ඒ තමයි 1950 අවුරුද්දේ නොවැම්බර් 8 වැනි දිනයක Mig යානා බටහිර ලෝකයේ ප්‍රහාරක යානා එක්ක ද්වන්ද්ව ගුවන් සටන් (dog fights – ප්‍රහාරක යානා දෙකක් අතර ගුවනේ ඇති වන සෘජු සටනක්) වලට එක් වීමයි. දෙවන ලෝක යුද්ධයේදී ද්වන්ද්ව ගුවන් සටන් ඕන තරම් ඇති වී තිබුණත් ජෙට් ප්‍රහාරක යානා අතර ද්වන්ද්ව ගුවන් සටන් ඇති වුණු මුල්ම අවස්ථාව වගේම ඉන් පසුව ඇමරිකාව සහ රුසියාව අතර ඇති වුණු සීතල යුද්ධයේ පළමු ගැටුම වුණෙත් මෙයයි. ඇමරිකාවේ මුල්ම ජෙට් ප්‍රහාරක යානය වුණු F-80 යානයක් Mig 15 යානයක් මගින් පහර දී බිම හෙළනු ලැබුවා. ඉන් නොනැවතී Mig යානයේ විස්කම් නිසාම සම්පූර්ණ කොරියාවම දකුණු කොරියානු පාලනයට නතු කිරීම වැළකී ගියා.

අද මේ ලිපිය තුළින් ඒ ඉතිහාසය මතක් කර ගන්නා අතරේ Mig 15 යානය ගැනත් දැන ගන්න පුළුවන්.

කොරියානු යුද්ධය

theintercept.com

මුලින්ම ඉතිහාසය ගැන දැන ගනිමු. කාලයක් තිස්සේ ජපානයේ යටත් විජිතයක් බවට පත් වෙලා තිබුණු කොරියාව ලෝක යුද්ධය අවසන් වීමෙන් පස්සේ දකුණු කොරියාව සහ උතුරු කොරියාව විදිහට කොටස් දෙකක් විදිහට පිළිවෙලින් ඇමරිකා එක්සත් ජනපද සහ සෝවියට් රුසියානු පාලනයට යටත් වුණා. කොහොම වුණත් මේ ලෝක බලවතුන් දෙපළම අදාළ රටවල රටවැසියන්ට වසර 5ක් තුළ ඒවායේ පාලනය භාර දෙන්න සැලසුම් කරලයි තිබුණේ. වර්තමානයේ ඇමරිකාවට හිසරදය හදන කිම් ජොන් උන්ගේ සීයා වන කිම් ඉල් සුං තමයි ඒ අනුව උතුරු කොරියානු නායකත්වයට පත් කෙරුණේ.

උතුරු කොරියාවේ මුල්ම නායක කිම් ඉල් සුං (getty images)

පසු කාලීනව රුසියානුවන් කිම් ඉල් සුං මුළු කොරියානු අර්ධද්වීපයේම නායකයා විදිහටත්, ඇමරිකාව ඇතුළු එක්සත් ජාතීන්ගේ සංවිධානය දකුණු කොරියාවේ පැවැත්වුණු මැතිවරණයෙන් බිහි වුණු රජය මුළු කොරියාවේම නීත්‍යානුකූල රජය විදිහටත් වෙන වෙනම තීන්දු කළා. අනුව 1948 සැප්තැම්බර් මාසයේ කොරියානු ජනරජය (දකුණු කොරියාව) බිහි වුණා. රටවල් දෙකටම ස්වයං පාලනයට ඉඩ දීලා ඇමරිකානු හමුදා 1948 දී දකුණු කොරියාවෙනුත්, සෝවියට් හමුදා 1949 දී උතුරු කොරියාවෙනුත් ඉවත් වුණා.

කොහොම නමුත් 1950 ජූනි මාසයේ උතුරු කොරියානු හමුදා දකුණු කොරියාව ආක්‍රමණය කරලා දකුණු කොරියාව බොහෝ දුරට අල්ලා ගත්තා. ඉන් පස්සේ ඇමරිකානු හමුදා ප්‍රධාන එක්සත් ජාතීන්ගේ හමුදා දකුණු කොරියාවේ සහයට නැවතත් ඇවිත් උතුරු කොරියානු හමුදා පලවා හැරියා. කොහොම නමුත් ඔවුන් දකුණු කොරියාව මුදා ගැනීමෙන් නොනැවතී උතුරු කොරියාවත් යටත් කර ගන්න පටන් ගත්තා. එක්සත් ජාතීන්ගේ හමුදා චීනයේ දේශ සීමාවටම වගේ ළඟා වෙද්දී තමයි චීනය උතුරු කොරියාවේ සහයට ආවේ.

රුසියාවේ Mig 15 ව්‍යාපෘතිය පහසු කළ බ්‍රිතාන්‍යයන්ගේ මෝඩ කම

Mig 15 යානාවලට අාදර්ශනය කර ගත් ලොව මුල්ම ජෙට් ප්‍රහාරක යානය – නාට්සි හමුදාවේ Messerschmitt 262 (Wikipedia)

ලෝක යුද්ධය නිමා වීමත් එක්ක නාට්සි ජර්මනියේ ඇති වෙලා තිබුණු තාක්ෂණික දියුණුව සොරකම් කරන්නට ඇමරිකාව වගේම රුසියාවත් කටයුතු කළා. විවිධ ක්ෂේත්‍රවල ජර්මානු විශේෂඥයන් බොහෝ දෙනෙක් තම තමන්ගේ රටවලට ගෙන ගිහින් ඒ අයගේ දැනුම තමන්ගේ රටේ දියුණුවට යොදා ගන්න පටන් ගත්තා. සෝවියට් නායක ජෝසප් ස්ටාලින් විශේෂ උනන්දුවක් දක්වපු දෙයක් තමයි ජර්මනියේ මෙසර්ෂ්මිට් 262 (Messerschmitt-262) ගුවන් යානය. මුල්මවරට ජෙට්වලින් බලගැන්වුණු ප්‍රහාරක යානය වන මෙය එකල තිබුණු අවරපෙති සහිත ගුවන්යානාවලට වඩා ක්‍රියාකාරීත්වය අතින් ඉතා ඉහළින් තිබුණා. සෝවියට් හමුදා සඳහාත් වහාම ජෙට් ප්‍රහාරක යානා නිෂ්පාදනය කළ යුතුයි කියලා ස්ටාලින් ආඥා නිකුත් කළා.

කොහොම නමුත් සාර්ථක ජෙට් ප්‍රහාරක යානයකට අවශ්‍ය තෙරපුම ලබා ගන්න පුළුවන් තාක්ෂණයක් ලෝක යුද්ධය අවසන් වන විට ජර්මනියේ බිහි වී තිබුණේ නැහැ. එවන් තාක්ෂණයක් තිබුණේ බ්‍රිතාන්‍යයේ රෝල්ස් රොයිස් සමාගම සතුව පමණයි. මේ නිසා ඉක්මණින් ජෙට් යානා හදන්න නම් වහාම රෝල්ස් රොයිස් සමාගමේ Nene එන්ජින් කිහිපයක් මිලට අරගෙන ඒවායේ තාක්ෂණය සොරා ගන්නට අවශ්‍යයි කියලා ව්‍යාපෘතියේ ප්‍රධානීන් ස්ටාලින්ට දැනුම් දුන්නා. ස්ටාලින් ඒ මෙහෙයුම අනුමත කළත් ඔහු එහි සාර්ථකත්වය ගැන වැඩි විශ්වාසයක් තැබුවේ නැහැ. “මොන මෝඩයාද අපිට මේ වගේ තාක්ෂණයක් විකුණන්නේ?” කියා ස්ටාලින් උපහාසයෙන් ඇසූ බව කියවෙනවා.

අදටත් ලොව හොඳම ජෙට් එන්ජින් නිපදවන්නේ Rolls-Royce ආයතනයයි (pinterest.com)

මේ ගණුදෙනුව කරන්න සෝවියට් නියෝජිත පිරිසක් බ්‍රිතාන්‍යයට ගියා. හැමෝම පුදුම කරමින් බ්‍රිතාන්‍ය රජය සහ රෝල්ස් රොයිස් සමාගම මෙයට ඉතාම කැමති වුණා. එන්ජින් කිහිපයක් ලබා දෙන්න විතරක් නෙවෙයි, ඒ වර්ගයේ එන්ජින් රුසියාවේ නිෂ්පාදනය කරන්න බලපත්‍රයක් සහ ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුමත් කිසිම අඩුවක් නැතිව ලබා දෙන්න බ්‍රිතාන්‍යයන් කටයුතු කළා. හිතන්නවත් බැරි විදිහට පහළ වුණු මේ වාසනාවත් එක්ක රුසියානු Mig 15 ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ඉතා පහසු වුණා. පසුකාලීනව මෙය බ්‍රිතාන්‍යය කළ ලොකුම මෝඩකමක් විදිහට බොහෝ දෙනා හඳුන්වා තිබෙනවා.

එන්ජිමට ගැළපෙන ප්‍රහාරක යානයක්.

ආනත පියාපත් වේගවත් ප්‍රහාරක යානයක තාක්ෂණික අවශ්‍යතාවයක් (Wikipedia)

රෝල්ස් රොයිස් තාක්ෂණයත් එක්ක ඉහළ තෙරපුමක් ලබා දෙන්න සමත් වුණු එන්ජින් නිෂ්පාදනය කළ රුසියානුවෝ ඉන් පස්සේ උත්සාහ ගත්තේ එයින් උපරිම ප්‍රයෝජන ගත හැකි ප්‍රහාරක යානයක් නිපදවන්නයි. මෙහිදී ඔවුන් නැවතත් ආදර්ශයට ගත්තේ ස්ටාලින් ඉතා ආදරය කළ ජර්මනියේ මෙසර්ෂ්මිට් 262 යානය. මේ යානයේ පියාපත් දෙක ආනත වෙන විදිහට තබා තිබුණේ ගුරුත්ව කේන්ද්‍රය මැදට ගන්නට වුණත් ඇත්තටම එමගින් ඉහළ වේගයන්වලදී යානය වඩා ස්ථායීව තබා ගන්න පුළුවන් බව රුසියානු ගුවන් යානා විශේෂඥයින්ට තේරුම් ගියා. Mig 15 යානයේ ප්‍රහාරක සහ මෙහෙයුම් හැකියාවන්ට මේ ආනත පියාපත් (swept wings) විශාල උදව්වක් වුණා. අදටත් අධි වේගී ප්‍රහාරක යානා සියල්ල නිෂ්පාදනය වන්නේ ආනත පියාපත් සහිතවයි.

Mig යානය ප්‍රධාන වශයෙන්ම නිපදවුණේ විශාල ප්‍රමාණයේ බෝම්බ හෙළන යානා විනාශ කරන්නයි. මේ නිසා එයට විශාල ප්‍රමාණයේ තුවක්කු තුනක්ම ඇතුළත් වුණා. පැයට කිලෝමීටර් 1000 ක වේගයෙන් පියාසර කරන්නත්, කිලෝමීටර් 1200 ක දුරක් ගමන් කරන්නටත් පුළුවන් වන ආකාරයට මෙය සැලසුම් කෙරුණා. Mig 15 යානයට ඉතා ඉහළ අහසේ පියාසර කරන්න හැකියාව තිබුණා වගේම ඉහළ අහසේ සිට එන්ජින් බලය යටතේ සෘජුව​ පහළට එමින් (nose dive) අවශ්‍ය නම් ශබ්දයේ වේගය ඉක්මවා යන්නටත් පුළුවන්කම තිබුණු බව කියවෙනවා. කොහොම නමුත් යානය ඒ වෙනුවෙන් සැලසුම් කර නොතිබුණු නිසා ඒ වේගයේදී යානය පාලනය කරන්න හැකියාවක් තිබුණේ නැහැ. ඒ නිසා එහෙම දෙයක් උත්සාහ කළොත් යානය පොළොවේ ගැටී විනාශ වීම අනිවාර්යයි.

Mig 15 මහා පරිමාණයෙන් නිෂ්පාදනය කර මහජන චීන සමූහාණ්ඩුව ඇතුළු වෙනත් කොමියුනිස්ට් රටවල්වලට විකුණන්නත් සෝවියට් රුසියාව කටයුතු කළා. චීනය මිල දී ගත් Mig 15 යානා චීන සිවිල් යුද්ධයේදී  ජාතිකවාදී ඉලක්කවලට පහර දීමටත් යොදා ගෙන තිබෙනවා. නමුත් Mig 15 යානාවල සැබෑ හැකියාවන් එළිදැක්වුණේ කොරියානු යුද්ධයේදීයි.

උතුරු කොරියාවේ සහයට චීනය (සහ හොර රහසේම සෝවියට් රුසියාවත්)

කොරියානු යුද්ධයේ යුධ පෙරමුණු (thingpic.com)

උතුරු කොරියාව විසින් දකුණු කොරියාව ආක්‍රමණය කිරීමත් එක්ක බටහිර රටවල් දකුණු කොරියාවේ සහයට ඇවිත් ඔවුන් පළවා හැරී බව කලින් කිව්වානේ. කොහොම වුණත් ඔවුන්ට උවමනා වුණේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන වහාම මුළු කොරියානු අර්ධද්වීපයම දකුණු කොරියාවේ පාලනයට යටත් කරන එකයි. එහෙම වෙන එක නවතින බවක් පෙනෙන්නට තිබුණේත් නැහැ. නමුත් බටහිර හමුදා චීන දේශ සීමාවට ළඟා වෙනවාත් එක්කම චීන මහජන නායක මා ඕ සේතුං උතුරු කොරියාවේ සහයට එන්න තීරණයක් ගත්තා. බටහිරට එරෙහිව යුද්ධ කරනවා කියන අදහස ඔහුගේත්, චීන ජනතාවගේත්, කොමියුනිස්ට් රටවල් සියල්ලේත් චිත්ත ධෛර්යය වැඩි කරන්නත් සමත් වුණා.

සෝවියට් නායක ස්ටාලින් පවා මහජන චීනයට තමන්ගේ සහයෝගය ලබා දුන්නත් ඒ වන විටත් රුසියාව සහ ඇමරිකාව සතුව න්‍යෂ්ටික අවි තිබුණු නිසා එය රහසේ පමණක් කරන්න ඔහු තීරණය කළා.

චීන නායක මා ඕ සේතුං සහ සෝවියට් රුසියානු නායක ජෝසෆ් ස්ටාලින් (bbc.com)

චීනයේ කොරියානු දේශ සීමාව ආසන්නයේ තිබුණු විශාල තැනිතලා ප්‍රදේශවලට Mig 15 යානා විශාල වශයෙන් ගෙන එනු ලැබුවත් ඒවා හොඳින් පියාසර කරන්න දක්ෂ නියමුවන් චීනයේ සිටියේ නැහැ. මේ නිසා ස්ටාලින් තමන්ගේ හොඳම නියමුවන් විශාල පිරිසක් මේ Mig 15 යානා මෙහෙයවීම සඳහා අනුයුක්ත කළා. කොහොම වුණත් විවෘත දේශපාලනයේදී එය පිළිගන්නට එදා කාටවත් හැකියාවක් තිබුණේ නැහැ. චීන ඇඳුම් අන්දවා සටනට එක් කළ රුසියානු ගුවන් නියමුවන්ට එකිනෙකා සමග ගුවනේ රේඩියෝ පණිවිඩ හුවමාරු කරන්නත් චීන භාෂාව පාවිච්චි කරන්න කියා උපදෙස් ලබා දී තිබුණා. නමුත් එය එතරම් සාර්ථක වුණේ නැහැ. ජීවිතයත් මරණයත් අතර අවස්ථාවලදී ඔවුන්ට අමතක වී රුසියානු බස භාවිත වුණා. මේ නිසා කොරියානු යුද්ධයේදී චීන Mig යානා පැදවුවේ රුසියානු නියමුවන් බව විවෘත රහසක් විදිහටයි තිබුණේ.

Mig 15 යානා කොරියානු අහසේ අණසක තමන් යටතට ගත් හැටි

රුසියාවේ Mig 15 සහ ඇමරිකාවේ F86 යානා අතර ද්වන්ධ සටන් කොරියානු යුද්ධයේ හැඩය තීරණය කළ, අදටත් කතා බහට ලක්වන කරුණක් (amazon.com)

කොරියානු යුද්ධයේ යෙදී සිටි ප්‍රහාරක යානා සියල්ලටම වඩා ඉහළ හැකියාවන් තිබුණු Mig 15 යානා රුසියාවේ දක්ෂතම නියමුවන්ගේ හැකියාවන්ගෙන් පණ ලබා කොරියානු අහසේ අණසක පතුරුවන්න ගත්තා. බ්‍රිතාන්‍යයේ සහ ඇමරිකාවේ අවරපෙති සහිත ප්‍රහාරක යානාවල Mig 15 යානා එක්ක හැරෙන්නවත් පුළුවන් කමක් තිබුණේ නැහැ. ඇමරිකාවේ මුල්ම ජෙට් ප්‍රහාරක යානය වුණු F-80 යානයත් Mig 15 යානයට කිසිම තර්ජනයක් වුණේ නැහැ.

ඇමරිකාවේ එවකට විශිෂ්ටතම ජෙට් ප්‍රහාරක යානය වුණු F-86 Sabre යානයට පවා පසුව කොරියානු යුද්ධයට එකතු වුණත් එයටත් බටහිර රටවල් හිතපු තරම් සාර්ථක වෙන්න ලැබුණේ නැහැ. Mig 15 හි සුවිසල් තුවක්කු හමුවේ එයට කරකියා ගන්න දෙයක් නැති වුණා. බෝම්බ හෙළන සුවිසල් යානා විනාශ කරන්නට නිපදවා තිබුණු මිලි මීටර් 23 සහ 37 කාලතුවක්කු ප්‍රමාණයේ උණ්ඩ එකකින් දෙකකින් F-86 Sabre යානයකට පියාසර කරන්න බැරි තත්වයට පත් කරන්න පුළුවන් කම තිබුණා. නමුත් අනෙක් අතට F-86 Sabre යානා සතු වුණු මිලි මීටර් 12.7 සාමාන්‍ය තුවක්කු උණ්ඩ සිය ගණනින් පාවිච්චි කරලා තමයි Mig 15 යානයකට සැළකිය යුතු හානියක් කරන්න පුළුවන් වුණේ.

යානා සතු කාලතුවක්කු ප්‍රමාණයේ තුවක්කුවලට ප්‍රහාරක යානා විනාශ කිරීම සුළු දෙයක් වුණා (sobchak.wordpress.com)

මීට අමතරව Mig 15 ගුවන් යානයට අඩි 50,000 ක් දක්වා ඉහළ අහසට ගමන් කරන්න පුළුවන් කම තිබුණත් බටහිර යානා කිසිවකට ඒ හපන්කම කරන්න බැරි වුණා. මේ නිසා ඉහළ අහසේ සිට අවශ්‍ය වෙලාවට පමණක් පහතට එමින් පහළින් ගමන් කරන ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය යානා පහසුවෙන්ම විනාශ කර දමන්න Mig 15 යානාවලට හැකි වුණා.

බටහිර ලෝකයම සලිත කරමින් ඔවුන්ගේ ප්‍රහාරක යානාත්, B-29 ඇතුළු බෝම්බ හෙළන යානාත් Mig 15 වල ගොදුරු බවට පත් වෙන්න පටන් ගත්තා. මුළු කොරියානු යුද්ධයම කණපිට පෙරළුණා. ඇමරිකාව ඇතුළු බටහිර ලෝකයේ ප්‍රාර්ථනාව වූ දකුණු කොරියානු බලාධිකාරිය මුළු කොරියාව පුරාම පිහිටවීම එක ගුවන් යානයක් නිසා සිහිනයක් බවට පත් වෙන්න පටන් ගත්තේ ඒ විදිහටයි. අන්තිමේදී Mig 15 යානයක් දකුණු කොරියාව තෙක් පදවා ගෙන අා ගුවන් නියමුවෙකුට ඇමෙරිකාවේ පුරවැසිභාවය සහ විශාල මුදල් ත්‍යාගයක් ලබා දෙන්න පවා ඇමරිකාව කටයුතු කළා.

යුද්ධයේ අවසානය සහ Mig 15 හි පසුකාලීන බලපෑම

සුන්දර හැඩයක් තිබූ Mig 15 යානය අදටත් ලොව පුරාම ජනප්‍රියයි (theaviationist.com)

ලෝක බලවතුන් අතර යුද්ධයක් බවට ඉබේටම පත් වූ කොරියානු යුද්ධය වසර තුනකට පස්සේත් දෙපැත්තෙන් එක් පැත්තකටවත් ජය ගැනීමට නොහැකි වුණා. ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය දකුණු කොරියාවේදී ඉතා සාර්ථකව සටන් කළත් චීන දේශ සීමාවේ සිට පැමිණ ප්‍රහාර එල්ල කරන Mig 15 යානා එක්ක උතුරු කොරියාවේදී සටන් කර ගන්නට බැරි වුණා. චීන හමුදා (සෝවියට් හමුදාවේ රහසිගත උපකාර විශාල වශයෙන් ලබා ගෙන) වලටත් දකුණු කොරියාව තුළට සාර්ථකව පහර දෙන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මේ නිසා දෙපැත්තම මෙය තේරුම් ගෙන උතුරු කොරියාව සහ දකුණු කොරියාව විදිහට වෙන වෙනම රාජ්‍යයන් දෙකක් බිහි කරමින් සටන් විරාමයක් අත්සන් කෙරුණා. කොහොම නමුත් නිල වශයෙන් අදටත් මේ රටවල් දෙකම පවතින්නේ යුධ තත්වයකයි.

පැහැදිලි යුධ ජයක් ලබා දෙන්නට බැරි වුණත් Mig 15 යානා ලෝකය පුරාම තමන්ගේ නාමය සනිටුහන් කළේ කොරියානු යුධ සමයේදීයි. බ්‍රිතාන්‍යයන්ගේ නොසැලකිලිමත්කම නිසා ඔවුන්ගේ එන්ජින් නිර්මාණය ඉක්මන් වුණත් ඇත්තෙන්ම Mig 15 වැනි යානයක් බිහි කිරීමේ ගෞරවය සෝවියට් රුසියාව සතු විය යුතුයි. එය ඔවුන්ගේත්, කොමියුනිස්ට් රටවල් සියල්ලේත් චිත්ත ධෛර්යය කිහිප ගුණයකින් වැඩි කරන්නත් දායක වුණා. මීට අමතරව සෝවියට් හමුදා බලය සහ තාක්ෂණය දියුණු කරවන්නට, රුසියාවේ සහයෙන් කොමියුනිස්ට් චීනය ඉතාම බලවත් රටක් බවට පත් වීමට, චීනය සහ රුසියාව සමග යුද්ධවලට පැටලෙන්න පෙර ඇමරිකාව කිහිපවරක් සිතන්නට යොමු කිරීමට, Mig යන නාමය බටහිර නියමුවන් බියෙන් සලිත කරන නමක් බවට පත් වීමට සහ ප්‍රධානම වශයෙන් උතුරු කොරියාව කියා රටක් ලෝක සිතියමේ දකින්නට ඉතිරි කරන්නත් Mig 15 ඍජුවම දායක වුණා කියන එකේ කිසිම වරදක් නැහැ.

සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටුණු පසු හෙළි වූ අපූරු කතා

වැඩිම ගුවන් යානා ප්‍රමාණයක්  බිම හෙලූ රුසියානු ගුවන් නියමු නිකොලායි සූට්‍යගින් – Nikolay Sutyagin (Annah Rozh)

අදටත් Mig 15 යානා උතුරු කොරියානු ගුවන් හමුදාවේ පුහුණු කටයුතු සඳහා යොදා ගැනෙනවා. සෝවියට් රුසියාව සහ මහජන චීන හමුදාව තුළ Mig 15 යානා විශාල වශයෙන් යොදා ගැනුණා. තවත් විශිෂ්ට රුසියානු නිපැයුමක් වන AK-47 තුවක්කුව වගේම ලෝකයේ වැඩිම වරක් නිෂ්පාදනය වූ ජෙට් ප්‍රහාරක යානය වන්නේත් Mig 15 යානයයි. සෝවියට් රුසියාවේ මෙන්ම බලපත්‍ර සහිතව වෙනත් රටවලද ඇතුළුව මේ වර්ගයේ යානා 20,000ක් පමණ නිපදවා තිබෙන බව සැලකෙනවා.

Mig 15 යානය එහි නියමුවන්ගේ නොමද ආදරයට ලක් වුණු ප්‍රධානම කරුණ වුණේ එහි තිබුණු දරා ගැනීමේ හැකියාවයි. හිතන්නටත් බැරි තරම් වෙඩි වැදී අබලන් වී තිබුණු Mig 15 යානා සාර්ථකව ගොඩ බස්වා තම ජීවිත බේරා ගත් රුසියානු ගුවන් නියමුවන් ගණනාවක් ගැන සඳහන්. මොන තරම් අමරණීය මතක සටහන් තිබුණත් ඔවුන්ට සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටෙන තුරු තමන් එවන් යුද්ධයකට සහභාගී වූ බවවත් කීම තහනම් වුණේ ලොව පුරා දේශපාලන ප්‍රශ්නයක් ඇති වෙන්න ඉඩ තිබුණු නිසයි.

කොහොම වුණත් දැන් ඔවුන්ගේ ඒ මතක සටහන් ගැන බොහෝ තොරතුරු හෙළිදරව් වී තිබෙනවා. ඔවුන් සියලු දෙනාම අදටත් සලකන්නේ ලොව විශිෂ්ටතම ප්‍රහාරක යානය Mig 15 බවයි. ඒ ආදරණීය බව නිසාම ඔවුන් තමන්ගේ ගුවන් යානය හඳුන්වන්නේ “සොල්දාදු ගුවන් යානය” (samolat soldata/самолет солдата) යන නමින්. යුද්ධයේදී තමන්ගේ සගයා මෙන් රැඳෙමින් තම ජීවිතය රැක දුන් බව අදටත් ඔවුන් කියන්නේ පුදුමාකාර සෙනෙහසකින්.

මේ ලිපිය කියවලා ඒ ගැන උනන්දුවක් ඇති වුණා නම් තව දුරටත් ඒ ගැන සොයා බලන්න ඔබට පුළුවන්. ඒ වගේම ඔබේ මිතුරන් එක්ක මේ ලිපිය බෙදා හදා ගන්නත් අමතක කරන්න එපා.

කවරයේ රූපය : Mig 15 යානයක් වර්තමානයේ (youtube.com/vapaero)

මූලාශ්‍ර :

  1. history.com
  2. armchairgeneral.com
  3. militaryfactory.com
  4. historyofwar.org
  5. airspacemag.com
  6. historyandheadlines.com
  7. nationalinterest.org

Related Articles