Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ක්ෂණික ප්‍රහාර එල්ල කරන ලෝකයේ සාර්ථකම විශේෂ බළකායන්

ලොව පුරා විවිධ රටවල හමුදා බළකායන් අතරින් සුවිශේෂී හමුදා ඛණ්ඩයන් පිළිබඳව විස්තරයක් ඉදිරිපත් කරන්නට අපි තීරණය කළා. පුහුණුව අතින්, සතුරන් සොයා ගොස් මෙහෙයුම් සිදු කරන අතින් හා තවත් විශේෂ ගුණාංග අතින් සාමාන්‍ය හමුදා බළකායන්ගෙන් වෙනස් වෙන මෙම විශේෂ හමුදා ඛණ්ඩ ලෝකයේ සෑම රටකම පාහේ පිහිටුවා තිබෙනවා.

හමුදාවේ විශිෂ්ටයන් ලෙස හඳුන්වන මෙම රෙජිමේන්තු සෙබළුන් සෑම අතින්ම ඉහළ දක්ෂතා වලින් යුක්ත අතර විශාල හමුදා ඛණ්ඩයට කළ නොහැකි බොහෝ දේ මෙම  අති විශේෂ පුහුණුව ලැබූ භටයින් කීප දෙනෙකුට නිහඬව සිදුකළ හැකි වෙනවා.

දියෙන් ගොඩබිමෙන් හා ගුවනින් සතුරා වෙත ලඟා වෙන මැලේසියාවේ GGK බළකාය

GGK භටයන් (Lowyat Forum)

Group Gerak Khas හෙවත් මැලේසියානු GGK රෙජිමේන්තුව යනු ලෝකයේ දක්ෂතම කමාන්ඩෝ භටයන්ගෙන් යුත් එක් රෙජිමේන්තුවක් ලෙස ලොව පුරා ප්‍රසිද්ධයි. 1963 දී ඉන්දුනීසියාව හා මැලේසියාව අතර යුද්ධයේදී වනාන්තර ආශ්‍රිත දේශ සීමාවේදී වනයට අනුවර්තනය වෙමින් ඉන්දුනීසියානු හමුදාවන්ට සාර්ථක ලෙස පහර දීම සඳහා තමයි මෙම අනු ඛණ්ඩය බිහි වෙන්නේ.

මෙම යුද්ධයට මුහුණ දීම සඳහා මුල්වරට GGK රෙජිමේන්තුවට පුහුණුව සඳහා ආධුනික භටයන් 1600ක් ඉදිරිපත් වූ නමුත් මූලික පරීක්ෂණ, මනුෂ්‍ය ඉවසීමේ හා දරා ගැනීමේ සීමාවන්ගෙන් එහා ගිය අති දුෂ්කර වූ පුහුණුවෙන් පසු පළමු භට ඛණ්ඩය ලෙස පදක්කම් ලබන්නේ ඇතුල් වූ 1600න් භටයන් 12ක් පමණයි.

ඕනෑම ආකාරයකින් සතුරු ඉලක්ක වලට ඉතා නිහඬව ලඟා වෙන GGK බළකාය ලොව අනෙක් විශේෂ බළකායන්ගෙන් වෙනස් වන්නේ ඔවුන්ට ලෝකයේ ඕනෑම පරිසර තත්වයක් දරා ගනිමින් නොනැසී මෙහෙයුම් සම්පූර්ණ කර නැවත පැමිණීමට ලබා දී ඇති ඇති විශිෂ්ට පුහුණුවයි. පුහුණුව අදියර හතරකින් පැවැත්වෙන අතර පළමු අදියරේදී පැය 30කට අධික කාලයක් නොනවත්වා ව්‍යායාම වල නිරතවීමට සිදු වෙනවා. දෙවන අදියරේදී දින තුනක් ඇතුළත සියළුම අවි ආයුධ හා ආහාර ද්‍රව්‍ය රැගෙන කි.මී. 160 ඇවිද යාමට සිදු වන අතර විවේක ලැබෙන්නේ එක් රාත්‍රියක් පමණයි. තෙවන අදියරේදී අතිශය භයානක මැලේසියානු වනාන්තර වල සති දෙකක් කල් ගෙවමින් කැළයෙන්ම ආහාර සොයාගෙන, පිහියක් පමණක් තබා ගනිමින් ජීවත් වීමට සිදු වෙනවා. අවසානයේදී සියළුම අවි භාවිතයත් අවි රහිත සටන් කලාවත්, සුවිශේෂී පුහුණු කඳවුරු වලදී ප්‍රාණ ඇප කරුවන් මුදා ගැනීම්, ත්‍රස්තවාදීන් මැඩලීම හා ක්‍රමාණුකූල අවි පාලනයත් ඔවුන් විසින් ප්‍රගුණ කරනවා.

මෙහි ඇති දුෂ්කර පුහුණුවීම් වලින් අනතුරුව කාය ශක්තිය, ධෛර්යය, දරා ගැනීම හා ඕනෑම පරිසර තත්ත්වයක් හමුවේ නොනැසී සිටීමට හැකි පුර්ණ GGK භටයෙක් නිර්මාණය වෙනවා.

වර්තමානය වන විට ලොව ප්‍රබලම විශේෂ බළකා වලින් එකක් වන GGK බළකායේ භටයන් 3500ක් පමණ සිටින අතර ඔවුන් ලොව පුරා ත්‍රස්තවාදී මර්ධනය, සතුරු ඉලක්ක විනාශ කිරීම හා හානිකර බලවේග මැඬලමින් ප්‍රාණ ඇපකරුවන් ගලවා ගැනීම සඳහා මෙහෙයුම් වලට දායක වෙනවා. 1993 දී සෝමාලියාවට කඩා වැටුණු ඇමරිකානු හෙලිකොප්ටර් යනාවන්හි සිටි ඇමරිකානු සොල්දාදුවන් සෝමාලියානු කැරලිකරුවන්ගෙන් බේරා ගැනීම GGK සෙබළුන් කළ විශිෂ්ට මෙහෙයුමකට එක් උදාහරණයක් ලෙස දක්වන්නට පුළුවන්.

සතුරාට සිතා ගැනීමට නොහැකි ප්‍රහාර එල්ලකරන ශ්‍රී ලංකා විශේෂ බළකායේ දිගුදුර විහිදුම් බළකාය

විශේෂ බලකායේ පුහුණුවීම් (Zoom.lk)

සාමාන්‍ය සොල්දාදුවෙකු නොපළඳින වම් උරහිසේ “jolly roger” නම් මිනී ඔලුව හා ඇටකටු දෙක ඇතුලත් ලාංජනය පළඳින ශ්‍රී ලංකා විශේෂ බළකාය හතරවන ඊළාම් යුද්ධය පටන් ගත් මාවිල්ආරු සොරොව්වේ සිට යුද්ධය අවසාන වූ නන්දිකඩාල් කලපුව දක්වා තම අසහාය යුධ ශිල්පයෙන් සතුරා බියෙන් සලිත කළ රෙජිමේන්තුවක් ලෙස හැඳින්විය හැකියි.

දිගු දුර විහිදුම් බළකාය හෙවත් මහසොහොන් බළකායේ මව් ඒකකය වන්නේ විශේෂ බළකායයි. සතුරු අඩවියේ සැතපුම් ගණනාවක් ඇතුළට ගොස් ගරිල්ලා යුද්ධ උපක්‍රම භාවිතා කරමින් ඔත්තු සෙවීම, නායකයින් ඝාතනය, සතුරු සැපයුම් මාර්ග විනාශ කිරීම, නොසිතන අවස්ථාවල එල්ල කරන ක්ෂණික ප්‍රහාර මගින් LTTE සාමාජික ඛණ්ඩයන් විනාශ කිරීම, කාලතුවක්කු හා ගුවන් ප්‍රහාර සඳහා අවශ්‍ය ඉලක්ක ලබා දීම වැනි ක්‍රියාවන් හේතුවෙන් සතුරාට  සිය බල ප්‍රදේශයේ වුවද රිසිසේ සැරිසැරීමට ඇති නිදහස විනාශකොට සතුරු බළමුළු බිය වැද්දවීම දිගුදුර විහිදුම් බළකායේ ප්‍රධාන අභිමතාර්ථ වෙනවා. LTTE ත්‍රස්තයන්ට එරෙහිව සිදු කළ අවසාන මෙහෙයුමේදී කළ විශිෂ්ට දස්කම් හේතුවෙන් ලොව පුරා යුද්ධ විශේෂඥයන් විසින් මහසොහොන් බළකාය ලොව ඇති ප්‍රබල විශේෂ බළකායක් ලෙස පිළිගනු ලබනවා.

හතරේ කණ්ඩායම් හෝ අටේ කණ්ඩායම් ලෙසින් සතුරු කටට පිවිසෙන දිගුදුර විහිදුම් බළකායේ දස්කම් පිළිබඳව මීට පෙර “ත්‍රස්තයන් බියෙන් සලිත කළ මහසොහොන් බළකායේ  ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ” නමින් ලිපියක් ගෙන ආවා.

“jolly roger” නම් මිනී ඔලුව හා ඇටකටු දෙක ඇතුලත් ලාංඡනය මඟින් කියවෙන්නේ විශේෂ බළකායේ බිහිසුණු සටන් විලාශය හා සතුරාට සිතා ගැනීමට අපහසු ප්‍රහාර හමුවේ අනිවාර්යෙන්ම සතුරාට පරාජය හිමි වෙන බවයි. හිස් පළඳනාවේ ඊතල හතරෙන් හතර දෙනෙක්ගෙන් යුත් කණ්ඩායම් බව නිරූපණය වන අතර රාජාලියාගෙන් නිරූපණය වන්නේ බළකායේ නිර්භීත බවයි.

ලොව වැඩිම මෙහෙයුම් ගණනාවක් කළ විශේෂ බළකාය – එංගලන්තයේ SAS

Special air service හෙවත් SAS බළකා සෙබළෙක් ඇෆ්ගනිස්ථාන මෙහෙයුම් වලදී (Pinterest)

දෙවන ලෝක යුද්ධයේදී ජර්මනියට එරෙහිව මෙහෙයුම් සිදු කිරීම සඳහා ආරම්භ කරන ලද එංගලන්තයේ SAS බළකාය ලොව වැඩිම මෙහෙයුම් ගන්නට සහභාගී වූ සාර්ථකම විශේෂ බළකාය ලෙස වාර්තා වෙනවා. එංගලන්තය කිසියම් රටක් හා යුද්ධ ගැටුමකට මැදිහත් වී සිටින විට ඒ සඳහා මැදිහත් වී රහසිගත මෙහෙයුම් වල නිරතවීම මෙම බළකායේ කාර්ය වෙනවා.

SAS බළකායට ඇතුළු වීමට එංගලන්තයේ ඕනෑම හමුදා භටයෙකුට හැකියාව පවතින අතර මාස පහක ඇති දුෂ්කර තේරීම් පරීක්ෂණ සියල්ලෙන් සමත්වෙන භටයන් විශිෂ්ටත්වයේ SAS හිස් වැසුම ලබනවා. 40Kg බර යුධ උපකරණ මල්ල හා ගිනි අවිය රැගෙන විනාඩි තිහක කාළයක් තුල සැතපුම් 4ක දුරක් දිවීම, පැය 20ක් තුළ 32Km දුරින් ඇති අඩි 2900ක් පමණ උස කන්දක් මුදුනට 40Kg බෑගයක් රැගෙන නැග, කඳුමුදුනේ සිය පැමිණීම සටහන් කොට ආපසු නැවත කඳවුර බලා යාම, අති දුෂ්කර පුහුණුවේ අංග කීපයක් ලෙස සඳහන් කළ හැකියි.

මෙහි අවසන් පරීක්ෂණය වන්නේ එක දිගට පැය 35කට අධික කාලයක් විවිධ මානසික හා කායික පිඩා වලට ලක් කර දරා ගැනීමේ හැකියාව නිරීක්ෂණය කිරීමයි. පැය 35කට අධික කාලයක් ආහාර හෝ ජලය ලබා නොදී මෙසේ පමුණවන වද හිංසා අන්තර්ජාතික යුද්ධ නීති යටතේ සතුරු සෙබලෙකුටවත් දීමට තහනම් වූ පීඩාවන් වෙනවා.

SAS බළකාය යුද්ධ මෙහෙයුම් වලදී දක්වන දක්ෂතා හේතුවෙන් ලොව පුරා විශේෂ බළකා පිහිටුවීමේදී එහි ව්‍යුහය අනුගමනය කිරීම දකින්නට ලැබෙනවා. විශේෂයෙන් තෝරා ගැනීම හා පුහුණු උපක්‍රම SAS බළකාය ආශ්‍රයෙන් නිර්මාණය වූ බළකා ලෙස ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකාය, ඇමරිකාවේ ප්‍රමුඛතම විශේෂ බළකායක් වන ඩෙල්ටා ෆොස්, ඊශ්‍රායල් හා ප්‍රංශ විශේෂ බළකායන් හදුන්වා දෙන්නට පුළුවන්.

1990 වසරේදී ඇෆ්ගනිස්ථානයේ හා ඉරාකයේ සිදු වූ ගල්ෆ් යුද්ධයේදී මෙන්ම ලිබියාවේ ගඩාෆි පාලනය ඉවත් කිරීම සඳහා වූ යුද්ධ කටයුතු වලදී SAS බළකාය වැදගත් කාර්යභාරයක් ඉටු කර තිබෙනවා.

කවරයේ ජායාරූපය – Business Insider

මුලාශ්‍ර – Wikipedia, www.therichest.com, www.indiatimes.com, www.bbcnewspoint.com

Related Articles