Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පොළොව යට ඉදි කෙරුණු අනභිභවනීය නිවාස

ගෘහනිර්මාණ ශිල්පය කියන්නේ මේ වන විට ලොව පුරා බොහෝ දෙනාගේ අවධානය දිනා ගන්නට සමත්ව ඇති ක්ෂේත්‍රයක්. අධික ලෙස නාගරීකරණයට සහ ජනාකීර්ණ වීමට ලක්ව ඇති බොහෝ රටවල් වල පවත්නා ඉඩ කොටසින් උපරිම  ප්‍රයෝජන ගෙන කලාත්මක ලෙස නිවාස සහ ගොඩනැගිලි තැනීමට බොහෝ ගෘහනිර්මාණ ශිල්පීන් සමත්ව තිබෙනවා. Roar.lk පාඨක ඔබ වෙත මේ ගෙන එන ලිපියේ සඳහන් වන්නේ එවන් අපූර්ව සහ නිර්මාණශීලී නිමැවුම් කිහිපයක් පිළිබඳවයි.

ගැරී නෙවිල්ගේ උමං නිවාසය

බ්‍රිතාන්‍ය ජාතික පාපන්දු ක්‍රීඩක ගැරී නෙවිල් වෙනුවෙන් “මේක්” ගෘහනිර්මාණ ශිල්පීන්ගේ ආයතනය (Make Architects) විසින් නිපදවා ඇති මෙම නිවස මල් පෙත්තක හැඩයටයි සාදා ඇත්තේ. වර්ග අඩි අටදහසක් පමණ ප්‍රමාණයක වපසරියක දිවෙන මෙම නිවසේ පළමු මහල පොළොවෙන් උඩට නොව යටට ඉදිකර තිබෙනවා. පරිසරයට සිදුවන හානි අවම කිරීම සහ ශක්ති ප්‍රභවයන් අවම මට්ටමින් උපයෝජනය කිරීම මෙසේ පොළොවෙන් යටට නිවස ඉදි කිරීමේ යටි අරමුණයි. දේශීය ගෘහ නිර්මාණ තාක්ෂණය සහ දේශීය අමුද්‍රව්‍ය හැකිතාක් යොදාගෙන මෙම නිවස තනා ඇත්තේ කඳුකර පෙදෙසකයි.

homedit.com

ඇල්පයින් කඳු බෑවුමේ තැනූ නිවාස

“ක්‍රිස්ටියන් මුලර්” ආයතනයේ ගෘහ නිර්මාණශිල්පීන් (Christian Muller Architects) විසින් නෙදර්ලන්තයේ “සර්ච්” (SearCH) ආයතනයේ ගෘහනිර්මාණ ශිල්පීන් සමග එක්ව ඇල්පයින් කඳුවැටියට සබන්ධ වන කඳු කොට්ඨාසයක එක් කන්දක බෑවුමේ නිපදවා ඇති මෙම නිවස නම් බැලූ බැල්මට බොහෝ දෙනෙකුට හඳුනා ගන්නටත් බැහැ. ඊට හේතුව එම නිවස කඳු බෑවුම ඇතුළට හාරා නිපදවා තිබීමයි. මෙම නිවසට දොරටු දෙකක තනවා ඇති අතර, ඉන් එකක් කඳු බෑවුම දෙසට විවෘත වනවා. අනෙක් දොරටුව උමං මගකට විවෘත වන අතර කන්දේ එහා කොනෙහි පිහිටි මඩුවක් දක්වා එම උමං මාර්ගය දිවෙනවා. පොළොව ඇතුළතට වන්නට සාදා ඇති නිවසක් වුවද ඕනෑ තරම් හිරු එළිය ලබාගත හැකි වන ලෙස මෙම නිවස නිමවා තිබීම එහි තවත් එක් විශේෂත්වයක් ලෙසින් හඳුනාගත හැකියි.

homedit.com

ලොව පළමු “හොබිට් අවන්හල”

ඔබ “ලෝඩ් ඔෆ් ද රින්ග්ස්” (The Lord of the Rings) ග්‍රන්ථ මාලාවේ පාඨකයකු හෝ ඉන් නිමැවුණු චිත්‍රපට මාලාවේ රසිකයකු නම් එහි එන “හොබිට්ස්” (Hobbits) නම් වන අඟුටුමිටි මිනිසුන් පිළිබඳ ඔබ අනිවාර්යයෙන්ම දැන සිටිනු ඇති. හොබිට්වරුන්ගේ පොළොව යට පිහිටි නිවාස ඇසුරින් නිමැවුණු “Hobbit Motel” හෙවත් “හොබිට් නවාතැන්පළක්” නවසීලන්තයේ උතුරු කොදෙව්වේ වුඩ්ලින් පාක් (Woodlyn Park) ප්‍රදේශයෙහි පිහිටා තිබෙනවා. හොබිට්වරුන්ගේ රසිකයින් වෙනුවෙන් ලොව නිමැවුණු පළමු අවන්හලද එයයි.

homedit.com

පොලිස්ටයිරීන් (Polystyrene) නැමති ද්‍රව්‍යය යොදාගෙන මෙහි ඇති කුඩා ලැගුම් කාමර නිමවා තිබීම හේතුවෙන් ශීත සෘතුවේදී උණුසුමත්, ග්‍රීෂ්ම සෘතුවේදී සීතලත් රඳවා ගැනීමේ හැකියාව මෙම ලැගුම් කාමර වල බිත්ති වලට තිබෙනවා. ලොව පුරා උමං නිවාස ව්‍යාපෘතීන්ට ආදර්ශයක් සපයා ඇති මෙම නවාතැන්පලේ එක් ලැගුම් කාමරයක පුද්ගලයින් හය දෙනෙකුට පමණ එකවර ලැගුම්ගත හැකියි. එක් එක් කාමරයට ආවේණික කුස්සියක් ඇතුළු සියලු පහසුකම් වලින් සමන්විත වන මෙම කාමර නිර්මාණය කිරීමේදී කුඩා ඉඩකින් උපරිම ප්‍රයෝජන ගෙන ඇති බව මනාව පසක් වනවා.

වේල්සයේ පරිසර සංවේදී නිවාස පෙළ

එක්සත් රාජධානියේ දකුණු වේල්සයේ පිහිටා ඇති ප්‍රෙසෙලි කඳුවැටිය (Preseli mountains) විවිධාකාරයේ නිර්මාණශීලී නිවාස සහ ගොඩනැගිලි පිහිටා ඇති පළාතක් ලෙස නම් දරා තිබෙනවා. මෙම ප්‍රදේශයේ නිමවා ඇති නවතම පරිසර සංවේදී ගම්මානයේ (Eco – Sensitive village) පිහිටා ඇති නිවාස මැටි සහ පිදුරු වලින් නිමවා තිබෙනවා. මෙම ගම්මානයේ තවත් එක් විශේෂත්වයක් වන්නේ එම නිවාස වල ජීවත් වන පුද්ගලයින් විසින් තමාට අවශ්‍ය බලශක්තිය නිපදවා ගන්නා සේම තමා ආහාරයට ගන්නා එළවළු හා පලතුරුද තමන් විසින්ම වගා කර ගැනීමයි.

homedit.com

1993 වසර වන තෙක්ම මෙම අපූරු ජනාවාසය පිළිබඳව කිසිවෙක් දැන සිටියේ නැහැ. නමුත් එක් දිනක් එම ප්‍රදේශය ඉහළින් පියාසර කරමින් තිබූ ගුවන් යානයක ගුවන් නියමුවෙක් ඉන් එක් නිවසක වහලයේ හිරු එළිය ලබා ගැනීම පිණිස තබා ඇති වීදුරුවක ඡායාවක් දැක ඒ පිළිබඳව වාර්තා කොට තිබෙනවා. නමුත් 1998 වසර වන තෙක්ම එම ජනාවාසය හෝ ඔවුන්ගේ නිවාස පිළිබඳ කිසිදු තොරතුරක් ලබා ගැනීමට කිසිවෙකුට හැකියාවක් ලැබී නැත්තේ එම නිවාස ඒ තරම් සූක්ෂම ලෙස මතුපිට පොළොවෙන් යටට නිමවා තිබීම හේතුවෙනුයි. කෙසේ වෙතත්, මෙම නිවාස සොයා ගැනීමෙන් අනතුරුව ඒවා අනවසර ඉදිකිරීම් බවට නම් කොට ඒවා කඩා බිඳ දැමීමට රාජ්‍ය නිලධාරීන් කටයුතු කිරීමට පෙලඹුණත්, එම නිවාස වල ජීවත් වූ පුද්ගලයින් විසි දෙදෙනෙකුගෙන් සමන්විත වන ජන කණ්ඩායම විසින් අදාළ රාජ්‍ය ආයතනයන්ගෙන් තම නිවාස, වැසිකිළි සහ වගා බිම් වලට අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව මේ වන විට ඔවුන් නැවතත් සාමකාමීව බාහිර ලෝකයේ බලපෑම් වලින් තොරව දිවි ගෙවමින් සිටිනවා.

හොබිට්වරුන්ගේ නිවාස සංකීර්ණය

homedit.com

ලෝඩ් ඔෆ් ද රින්ග්ස් කථා මාලාව ඇසුරින් නිමැවුණු චිත්‍රපටයේ තිබූ හොබිට්වරුන්ගේ නිවාස සැබවින්ම පිහිටා ඇත්තේද නවසීලන්තයේයි. නවසීලන්තයේ “මටමටා” (Matamata) ප්‍රදේශයේයි මෙම නිවාස සංකීර්ණය පිහිටා තිබෙන්නේ. චිත්‍රපටය රූගත කිරීමෙන් අනතුරුව එම භූමියේ අයිතිකරුවන් විසින් එම නිවාස කඩා නොදමන ලෙසත්, එම නිවාස සංචාරකයින් ගෙන්වා ගැනීම පිණිස භාවිතා කළ හැකි බවත් චිත්‍රපට කණ්ඩායමට පවසා තිබෙනවා. ඊට චිත්‍රපට කණ්ඩායමද එකඟතාවය පළ කිරීම නිසා මෙම ප්‍රදේශය වෙත පැමිණෙන ඕනෑම පුද්ගලයකුට හොබිට්වරුන්ගේ නිවාස සංකීර්ණය හැබැහින් දැකගත හැකියි. නමුත් එම නිවාස වල ඇතුළත නම් චිත්‍රපටයේ එන දර්ශන තරම්ම තාත්වික නැහැ. ඊට හේතුව චිත්‍රපටයට අවශ්‍ය නිවාස වල ඇතුළත දර්ශන වෙනම මැදිරියක් තුළ රූගත කර තිබීමයි.

homedit.com

මෙම හොබිට්වරුන්ගේ නිවාස වල ඇතුළත කටයුතු සම්පූර්ණයෙන්ම නිමවා නැති වුණත් මෙම නිවාස සංකීර්ණය තනා ඇති ගොවිපළෙහි හිමිකරුවන් නම් පවසන්නේ එම නිවසක් තුළට ගොස් තම නිර්මාණශීලී සිතුවිලි අවදි කරගන්නා කෙනෙකුට නම් සැබෑ හොබිට්වරයෙකුට නොදෙවෙනි අත්දැකීමක් ලබගත හැකිවනු ඇති බවයි.

කවරයේ ඡායාරූපය – https://cbsnews2.cbsistatic.com

(තොරතුරු උපුටා ගැනීම – www.homedit.com වෙබ් අඩවියේ “10 Spectacular Underground Homes Around The World” ලිපිය ඇසුරිනි)  

Related Articles