මීට වසර 50කට 60කට පෙර තිබූ ලෝකයට වඩා නවීන ලෝකය පැති රාශියකින් වෙනසකට බඳුන් වී තිබෙනවා. පාරිසරික ලක්ෂණ, ආහාර රටා, වෙනත් ජීවන රටා මෙන්ම තවත් බොහෝ ලක්ෂණ අතින් නවීන මිනිසා සිය මුතුන්මිත්තන්ට වඩා වෙනස් වී තිබෙනවා.
මේ වෙනස්වීම් නිසා මිනිසා කරා ළඟා වී ඇති වාසි හා අවාසි ද රාශියක් වෙනවා. ඉන් සමහරක් අනාගත මානවයාගේ පැවැත්මට තර්ජනයක් එල්ල විය හැකි මට්ටමේ ගැටළු ගෙන දිය හැකි වෙනස්කම් වෙනවා. පසුගිය කාලය තුළ සිදුකළ පර්යේෂණ රාශියකින් හෙළි වී ඇත්තේ, පසුගිය වසර 40 තුළ ලොව සමහර මහාද්වීපවල පුරුෂයින්ගේ ශුක්‍ර තරලයෙහි ශුක්‍රාණු ඝනත්වය 50%කින් පමණ අඩු වී ඇති බව යි.

ගැටළුව සවිස්තරාත්මක ව

2017 වසරේ ජූලි මාසයේ එළිදක්වන ලද නිබන්ධනයකට අනුව පසුගිය වසර 40ක කාලය තුළ උතුරු ඇමෙරිකාව, යුරෝපය, හා ඕස්ට්‍රේලියාව යන මහාද්වීප තුළ වෙසෙන පිරිමින්ගේ ශුක්‍ර තරලයෙහි ශුක්‍රාණු ඝනත්වය 52.4%ක් වැනි ප්‍රතිශතයකින් සමස්ථයක් ලෙස පහළ වැටී තිබෙනවා. මෙම නිබන්ධනය සකස් කොට ඇත්තේ ලොව පුරා මිනිසුන් 42,000ක් යොදාගෙන සිදුකරන ලද පර්යේෂණ 185කට පසු ව යි. මෙම පර්යේෂණ 1973 වසරේ සිට 2011 වසර දක්වා සිදුකර ඇති අතර, මේ අනුව නිගමනය කර ඇත්තේ ඉහත කී මහාද්වීපවල ජීවත් වන පුරුෂයින්ගේ සරු භාවය ක්‍රම ක්‍රමයෙන් වියැකී යන බව යි.

උතුරු ඇමෙරිකාව, යුරෝපය, හා ඕස්ට්‍රේලියාවේ තරුණ ප්‍රජාවේ ශුක්‍රාණු ඝනත්වය අඩු වෙමින් පවතිනවා (thirdforcenews.org.uk)

පුරුෂයින්ගේ සරු භාවය, පසුගිය දශක කිහිපය තුළ දී ලොව පුරා දැඩි ලෙස සාකච්ඡා කළ මාතෘකාවක් වුණා. මීට පෙර ද ශුක්‍රාණුවල ඝනත්වය හා තත්ත්වය කාලයත් සමග අඩුවීම පිළිබඳ ව නිබන්ධන එළිදැක්වුණත්, ඒවාට චෝදනා එල්ල වූයේ ඒ සඳහා යොදාගත් මිනිසුන්ගේ වයස, නියැදිවල ප්‍රමාණය, හා ක්‍රමවේදයන් ප්‍රශස්ථ මට්ටමක නොවූ බව හුවාදක්වමිනුයි. මීට අමතර ව පර්යේෂණ කටයුතු සඳහා කාලයක් තිස්සේ එකම නියැදියක් භාවිතා කිරීමේ දී ඔවුන් වියපත් වීම වැනි ප්‍රායෝගික ගැටළුත් පැන නැඟී තිබුණා. වයසට අමතර ව බරෙහි අඩු වැඩිවීම්, ඇල්කොහොල් භාවිතය වැනි දේ නිසාත් ඊට අනුරූප ව මිනිසෙකුගේ ශුක්‍රාණු ඝනත්වය ඉහළ පහළ යා හැකියි.

නව පර්යේෂණ ක්‍රියාවලියට සම්බන්ධ වූ තැනැත්තියක වන ෂැනා එච්. ස්වෝන් ඒ පිළිබඳ ව අදහස් දක්වමින් පවසන්නේ මෙවර පර්යේෂණ ඉතා පුළුල් රාමුවක, වඩා විද්‍යාත්මක පදනමක් සහිත ව සිදුකළ බැවින් මෙවර ලැබී ඇති ප්‍රතිඵල වඩා විශ්වාසදායක බව යි. එයට අනුව වසර 40ක් පුරාවට ක්‍රමානුකූල ව ශුක්‍රාණු ඝනත්ව අඩුවීම පැහැදිලිව ම පෙන්වන අතර, අනාගතයේ දීත් එම අඩු වීමේ රටාව අපේක්ෂා කළ හැකි බව ඇය වැඩිදුරටත් පවසා තිබෙනවා. මේ අනුව පුරුෂ වඳ භාවය අනාගත ලෝකයේ විශාල ගැටළුවක් වන පෙර ලකුණු පහළ වී තිබෙනවා.

ආසියාව හා අප්‍රිකාව

අධ්‍යයනයට අනුව ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල්වල වෙසෙන ජනතාවට සැනසුම් සුසුම් හෙළිය හැකි වෙනවා. අප්‍රිකා මෙන්ම ලතින් ඇමෙරිකානු මහාද්වීපයන් හි වෙසෙන අයවලුන්ටත් ගැටළුවක් ඇති වී නැහැ. මෙම ගැටළුව උද්ගත වී ඇත්තේ ලොව වැඩියෙන් ම කාර්මීකරණයට බඳුන් වී ඇති මහාද්වීප 3 තුළ පමණක් වන අතර, ඒ අනුව පෙනී යන්නේ මෙම ශුක්‍රාණු ඝනත්වය අඩුවීමට පැහැදිලි ලෙස ම පාරිසරික, සාමාජීය මෙන්ම චර්යාමය සාධකයනුත් බලපා ඇති බව යි. කෙසේ නමුත් ආසියාව, අප්‍රිකාව, හා ලතින් ඇමෙරිකාව යන මහාද්වීප තුනෙන් පර්යේෂණ සඳහා අදාළ කරගෙන ඇති නියැදිවල ප්‍රමාණය සාපේක්ෂ ව අඩු බැවින් එකෙණෙහි ම ඒවායේ පුරුෂයින්ගේ ද ශුක්‍රාණුවල තත්ත්වය පහත වැටී නැති බැව් කිව නොහැකි බව විද්වතුන් පවසනවා.

ආසියාව ශුක්‍රාණු ඝනත්වය පහළ වැටී නැති මහාද්වීප අතුරින් එකක්- bestpricevn.com

පර්යේෂණවල සංඛ්‍යාත්මක අගයන්

මේ නවතම පර්යේෂණාවලියට යොදාගෙන ඇති සියලු දෙනා ඊට පෙර තමන් 'සරු' හෝ 'නිසරු' බව පර්යේෂණයකින් තහවුරු කර නොගත්, අහඹු ලෙස තෝරාගත් අය වෙනවා. එමෙන්ම මොවුන් සියල්ල ම පාහේ තවමත් දරුවන් සඳහා දායකත්වල ලබා නොදුන් යෞවන වයසේ පසුවෙන්නන් වෙනවා. මේ පර්යේෂණවල ප්‍රතිඵලයන්ට අනුව 1973 වසරේ යුරෝපා, ඕස්ට්‍රේලියා, හා උතුරු ඇමෙරිකා මහාද්වීපවල ජීවත් වූ යෞවන පුරුෂයින්ගේ ශුක්‍ර තරල මිලිලීටරයක සමස්ථයක් ලෙස ශුක්‍රාණු මිලියන 99ක් තිබී ඇති අතර, 2011 වසර වන විට එය මිලියන 47 දක්වා පහත වැටී තිබෙනවා.

ඉහත දත්තයන් රතු එළි දල්වන්නක් වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් ප්‍රකාශයට පත්කර ඇති පහත දැක්වෙන සංඛ්‍යා ලේඛන හා සසඳන විට යි. එම සංවිධානයට අනුව යම් පුරුෂයෙකුගේ ශුක්‍ර තරල මිලිලීටරයක් තුළ අඩංගු ශුක්‍රාණු ප්‍රමාණය මිලියන 40ට වඩා අඩු නම්, ඔහුට දාව දරුවෙක් ලබා ගැනීමේ හැකියාව අවම වන අතර, මිලියන 15කට වඩා අඩු අය දරුවන් ලබාගත නොහැකි හෙවත් වන්ධ්‍යා භාවයට පත්වූවන් සේ සැලකෙනවා. මේ අනුව උක්ත මහාද්වීප තුනෙහි යෞවනයින් වැඩි ප්‍රතිශතයක් අනාගතයේ දී සම්පූර්ණයෙන් ම වඳ භාවයට පත්වූවන්ගේ ගොඩට වැටීමේ දැඩි ප්‍රවණතාවක් ඇති වී තිබෙනවා.

ගැටළුවට හේතු හා බලපෑම්

ඉහත කී මහාද්වීපයන්හි යෞවනයින්ගේ ශුක්‍ර තරලයෙහි ශුක්‍රාණු ඝනත්වය අඩු වන්නේ ඇයි ද යන්න බොහෝ දෙනා නඟන ප්‍රශ්ණයක්. මෙයට අනුමාන කරන ලද හේතු ද පර්යේෂක කණ්ඩායම් දක්වා තිබෙනවා. ආසියානු, අප්‍රිකානු, හා ලතින් ඇමෙරිකානු මහාද්වීපවල මෙන් නොව අනෙක් මහාද්වීප ත්‍රිත්වයෙහි ගැබිණි මව්වරුන් වැඩි ප්‍රතිශතයක් දුම්පානය සිදුකිරීම, වැඩි ආතතියකට ලක් වීම සහ සෞඛ්‍යාරක්ෂිත නොවූ ආහාර භාවිතය, වැඩියෙන් ශරීරයට අහිතකර රසායන ද්‍රව්‍ය, හා විකිරණවලට නිරාවරණය වීම මීට ප්‍රධාන හේතු ලෙස හඳුනාගෙන තිබෙනවා. මේ හේතුවෙන් කලලයට විවිධාකාරයේ හානි සිදුවෙනවා.

ජීවන රටාවල වෙනස්කම් ශුක්‍රාණු ඝනත්වය අඩු වීමට සාධකයක් ලෙස සැලකෙනවා- Getty Images

ශුක්‍රාණු ඝනත්වය අඩුවීම වඳ භාවයට අමතර ව තවත් සෞඛ්‍ය ගැටළු රාශියකට මඟ පාදනවා. හෘද රෝග, ස්ථුලතාව, පිළිකා වැනි තත්ත්වයන් රාශියකටත් ශුක්‍රාණුවල තත්ත්වය පහත වැටීම බලපානවා. මේ තත්ත්වයට ඉක්මනින් ම පිළියම් නොයෙදුවහොත්, මෙය නැවත සැකසිය නොහැකි අන්දමේ ගැටළුවක් වනු ඇති බව විද්වත් මතය යි.

කවරයේ පින්තූරය: Juergen Burger/ Science Photo Library

මූලාශ්‍රයයන්:

Washingtonpost.com

Prostate.net

bbc.com