Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මිරිස් වල සැර මනින්නේ මෙහෙමයි

ශ්‍රී ලාංකිකයන් ඇතුළු දකුණු ආසියාතික ජනතාව බොහෝ විට කටට රසට ආහාර සාදන්නන් හැටියට ප්‍රසිද්ධියක් උසුළනවා. යහමින් කුළුබඩු යොදා සාදන මස් හෝ මාළු ව්‍යංජන, විවිධ පන්නයට සාදන එළවළු වර්ග වැනි දේ දකුණු ආසියාතික කෑම වේලක අඩංගු නොවන්නේ කලාතුරකින්. මෙසේ යොදාගන්නා කුළුබඩු අතරට මිරිසුත් අයත් වෙනවා. ඒ වාගේම ආහාර රස කිරීම සඳහා අමු මිරිස් වැනි දේ කැබලි කපාත් යොදා ගන්නවා. මෙසේ යොදා ගන්න මිරිස් වර්ග වල සැරත් විවිධයි. මාළු මිරිස් වැනි දේ සපා ආහාරයට ගැනීම බොහෝ දෙනෙකුට ඒ හැටි අභියෝගාත්මක දෙයක් නොවුණත් නයි මිරිස් වැනි දේ සම්බන්ධයෙන් නම් එසේ පැවසිය නොහැකි වන්නේ එය ඉතා ‘සැර’ මිරිස් වර්ගයක් වීම නිසා යි.

ඇත්තෙන්ම විවිධ මිරිස් වර්ග අනෙකට වඩා ‘සැර’ යයි හරියටම පවසන්නේ කොහොම ද? එකිනෙකාගේ දිවට දැනෙන ‘සැර’ වල අඩුවැඩිය වෙනුවට සංඛ්‍යාත්මකව එහි ‘සැරෙහි ප්‍රබලත්වය දක්වන්නට සැකසුණු ක්‍රමයක් නැති ද?. ඇත්තෙන් ම ඒ සඳහා නියමාකාරව සකසන ලද පරිමාණයක් තිබෙනවා. එය ‘ස්කෝවිල්’ පරිමාණය ලෙස හැඳින්වෙනවා.

prima.co.uk

මොකක්ද මේ ස්කෝවිල්පරිමාණය?

මිරිස් වර්ග වල කටට සැර ලබා දෙන ක්‍රියාකාරී සංඝටකය කැප්සයිසීන් නම් වෙනවා. මේවා හා ඒ ආශ්‍රිත සමහර සංඝටක වල සාන්ද්‍රණය වැඩි වන්නට වන්නට එහි සැරත් වැඩි වෙනවා. මේවා එක්කාසුව කැප්සිනොයිඩ ලෙස හඳුන්වනු ලබනවා. කැප්සිනොයිඩ වල සාන්ද්‍රණය අනුසාරයෙන් එහි සැර පිළිබඳව පර්යේෂණ කළ විල්බර් ස්කෝවිල් නම් ඇමෙරිකානු විද්‍යාඥයා 1912 දී ‘ස්කෝවිල් පරිමාණය’ එළි දක්වනු ලබනවා.

විල්බර් ස්කෝවිල් -ilpost.it

ස්කෝවිල් හඳුන්වා දුන් ක්‍රමය අනුව මිරිස් වල සැර මනින්නට ඔහු විසින් Scoville Heat Unit (SHU) නම් ඒකකය සකසා තිබෙනවා. මෙහි අගය 0 සිට මිලියනයකටත් වඩා වැඩි අගයක් විය හැකියි. මෙහි අගයෙන් නිරූපණය වන්නේ මිරිස් එක් කොටසක ‘සැර’ සම්පූර්ණයෙන් නිෂ්ප්‍රභ කිරීමට සීනි සහිත ජල බින්දු කොපමණ ප්‍රමාණයක් අවශ්‍ය වේ ද යන්නයි. මුල්ම කාලයේ දී මේ පරීක්ෂණය සජීවි මිනිසුන් භාවිතයෙන් සිදු කළ අතර බොහෝ විට ලැබූ අගයන් නිවැරදිතාවයෙන් අඩු වුණා. ඒ වාගේම ඉතා සැර මිරිස් වර්ග පිළිබඳව නිගමනය කරනන්නට නොහැකි වූයේ එක්කෝ එය ඉතා තනුක කිරීමට සිදු වූ නිසා හෝ ඒ තරම් අධික සැරක් දීර්ඝ වශයෙන් දරා සිටීමට පර්යේෂණයට සහභාගී වූවන්ට නොහැකි වූ නිසා යි. පසු කලෙක තාක්ෂණයේ දියුණුවත් සමඟ High-performance liquid chromatography ක්‍රමයකින් මිරිස් වල අඩංගු කැප්සයිසින් සාන්ද්‍රණය බෝහෝ සෙයින් නිවැරදිව දැක්වීමට හැකියාව ලැබී තිබෙන අතර අධික සැර ඒවාද අපහසුතාවයකින් තොරව පර්යේෂණයට භාජනය කරන්නට හැකියාව ලැබුණා. Scoville Heat Unit වල අගය කැප්සයිසින් සාන්ද්‍රණයට රේඛීයව හා අනුලෝමව සමානුපාතික වෙනවා.

ස්කෝවිල් පරිමාණය- gandgpeppers.com

ස්කෝවිල් පරිමාණයට අනුව මේ වන විට ලොව ව්‍යවහාරික මිරිස් වර්ග විශාල ප්‍රමාණයක සැර නිර්ණය කර ඇති අතර පහත දැක්වෙන්නේ එම පරිමාණයට අනුව ලොව සැරින් වැඩිම මිරිස් වර්ග කිහිපයයි.

1. The Carolina Reaper – 2,200,000 SHU

pepperhead.com

ක්‍රි.ව 2013 දී පර්යේෂණ මඟින් තහවුරු කර ඇති පරිදි ලොව සැරින් වැඩිම මිරිස් වර්ගය ලෙස ගිනස් වාර්තා පොතට එක් වූ මෙය මුලින් හැඳින්වූයේ ‘HP22BNH7’ නමින්. මෙය දකුණු කැරොලිනාවේ මිරිස් වගා කරන්නෙකු වන එඩ් කියුරිගේ සොයා ගැනීමක්. මේ මිරිස් වර්ගය තනා ගැනීමට මීට පෙර ගිනස් වාර්තාව ඉසිලූ Ghost pepper හා Red Savina Habanero යන මිරිස් වර්ග දෙක මුහුම් කර තිබෙනවා.

2. Trinidad Moruga Scorpion  2,000,000 SHU

Youtube.com

2012 වසර වන විට ලොව සැරැතිම මිරිස් වර්ගය ලෙස නම් දරා තිබුණේ මේ මිරිස් වර්ගයයි. ට්‍රිනිඩෑඩ් හි නිෂ්පාදනය කරන ලද මෙහි සැරෙහි ප්‍රභලත්වය පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් මෙක්සිකෝ ප්‍රාන්ත විශ්වවිද්‍යාලය මඟින් පර්යේෂණ සිදු කර ලොවට අනාවරණය කළා. කෙසේ නමුත් මෙය ගිනස් පොතට ඇතුළු කිරීමට නොහැකි වූයේ කෙටි කාලයක් තුළ දී The Carolina Reaper කරලියට පැමිණීම නිසායි.

3. 7 Pot Douglah  1,853,936 SHU

Refiningfirechillies.com

මේ මිරිස් වර්ගයත් නිෂ්පාදනය කර ඇත්තේ ට්‍රිනිඩෑඩ්හි දීයි. මෙහි නාමයට හේතුව වශයෙන් දැක්වෙන්නේ මෙහි එක් කරළක ස්ටූ භාජන 7 ක් පමණ නිසි පරිදි රස කළ හැකි තරමේ සැර ප්‍රමාණයක් (කැප්සයිසීන් ප්‍රමාණයක්) අන්තර්ගතව තිබීමයි. මෙය ඉදීමට ප්‍රථමයෙන් කොළ පැහැති වන අතර ඉදුණු පසු තද දුඹුරු හෝ දම් පැහැයක් ගන්නවා.

4. 7 Pot Primo 1,473,480 SHU

superhotchiles.com

ඇමෙරිකාවේ ලුසියානා ප්‍රාන්තයේ වෙසෙන ට්‍රෝයි ප්‍රීමෝ විසින් නිෂ්පාදනය කරන ලද මේ මිරිස් වර්ගය වර්තමානය වන වන විට ලොව සිව් වැනියට සැරැතිම මිරිස් වර්ගය ලෙස හඳුනා ගෙන තිබෙනවා. Naga Morich හා Trinidad 7 Pot යන මිරිස් වර්ග දෙකෙහි මුහුමක් ලෙස කල එළි බසින මේ මිරිස් වර්ගය හුරුබුහුටි හැඩයකින් යුක්තයි. මෙය සාමාන්‍යයෙන් රතු පැහැති වන අතර තැඹිලි හා කහ පැහැහි වර්ග ද තිබෙනවා, මෙහිත් නාමයට හේතුව ස්ටූ භාජන 7 ක් රස කිරීමේ හැකියාව බව පැවසෙනවා.

5. Trinidad Scorpion “Butch T”  1,463,700 SHU

Youtube.com

මේ මිරිස් වර්ගයත් නිෂ්පාදනය කිරීමේ ගෞරවය හිමි වන්නේ ට්‍රිනිඩෑඩ් ටයි. මේ මිරිස් වර්ගයත් කාලයක් තිස්සේ ලොව සැරැතිම මිරිස් වර්ගය ලෙස කිරුළු දරා සිටියත් පසුව 5 වන ස්ථානය දක්වා පසු බසින්නට සිද්ධ වුණා.

6. Komodo Dragon 1,400,000 SHU

Dailymail.co.uk/Tesco

ලොව විශාල ප්‍රමාණයෙන් නිෂ්පාදනය කෙරෙන මිරිස් වර්ග අතුරින් සැරෙන් වැඩිම මිරිස් වර්ගයක් ලෙස සැලකෙන මේ මිරිස් වර්ගය නිෂ්පාදනය කරන්නේ එංගලන්තයේ යි. මහා බ්‍රිතාන්‍යයේ විශාලම මිරිස් නිෂ්පාදකයා වන සැල්වදෝර් ජෙනොවීසෙ ට අයත් බෙඩ්ෆඩ්ෂයර් හි ගොවිපොළේ වරින් වර මෙහි නිෂ්පාදන කරයුතු සිදු වෙනවා.

7. Naga Viper 1,382,118 SHU

chilli-seedz.com

එංගලන්තය නිජ භූමිය කරගත් මේ මිරිස් වර්ගයෙහි නිර්මාතෘ වන්නේ ජෙරල්ඩ් ෆ්ලවර් නැමැත්තෙක්. මෙය 2011 වසරේදී කෙටි කාලීනව ලොව සැරෙන් වැඩිම මිරිස් වර්ගය ලෙස ගිනස් පොතට පවා ඇතුළත්ව තිබුණා. මෙය Naga Morich, the Bhut Jolokia සහ Trinidad Scorpion යන වර්ග 3 හි මුහුමක්.

මේ අතර පසුගියදා කල එළි බසින ලද Dragon’s Breath හෙවත් මකරාගේ හුස්ම නැමති ඉතාම සැර මිරිස් වර්ගය ලොව අවධානය ට පාත්‍ර වී තිබෙනවා. ස්කෝවිල් ඒකක 2,480,000 ක් තරම් සැරෙන් වැඩි මිරිස් වර්ගයක් ලෙස හඳුන්වා දී තිබෙන මෙය ආහාරයට ගතහොත් මිනිසෙක් මරණයට පවා පත් වීමේ හැකියාව ඇති බව පැවසෙනවා. මීට අමතර 2017 සැප්තැම්බර් මාසයේ දී ලොවට හඳුන්වා දුන් Pepper X නැමති කහ පැහැති මිරිස් වර්ගය ස්කෝවිල් ඒකක 3,180,000 ක් තරම් සැරෙන් වැඩි බව පැවසෙනවා. කෙසේ නමුත් මේවා තවමත් ගිනස් පොතට ඇතුළු වී නැහැ. මෙහි සැර ප්‍රමාණය නිල වශයෙන් තහවුරු කරගෙන ගිනස් වාර්තා පොතට ඇතුළු වූ දිනෙක මේවා ලොව සැරෙන් වැඩිම මිරිස් වර්ග බවට පත් වනු ඇති.

Pepper X -Instagram/Chillidoctor

කවරයේ පින්තූරය – (Judy Bella/LPI)

Related Articles