පොළොවේ පය ගහලා ඉන්න ලේසිම තැන ශ්‍රී ලංකාවයි

එකපාරටම මෙහෙම කිව්වහම නම් මතක්වෙන්නේ අපේ කට්ටියගේ ලොකු කම් වෙන්න පුළුවන්. නමුත් භෞතික විද්‍යාවට අනුව ගත්තාමත් ශ්‍රී ලංකාව තමයි ලෝකයේ පය ගහලා ඉන්න ලේසිම තැන. යුරෝපා අජටාකාශ ඒජන්සියේ (European Space Agency) අනුග්‍රහයෙන් අවුරුදු හතර හමාරක් පුරාවට සිදු කෙරුණු පරීක්ෂණයක් මගින් තමයි මේක තහවුරු කරගෙන තියෙන්නේ. “ගුරුත්ව ක්ෂේත්‍ර හා නියත තත්ව සාගර සංසරණ ගවේෂක” නැතිනම් Gravity Field and Steady-State Ocean Circulation Explorer (GOCE) කියලා හැඳින්වෙන මේ මෙහෙයුමෙන් ඔවුන් බලාපොරොත්තු වෙලා තියෙන්නේ පෘථිවියේ කබොලට, නැතිනම් Crust එකට යටින් තියෙන ස්ථර ගැන වැඩිදුර අවබෝධයක් ලබා ගන්න එකයි. මේ සඳහා පෘථිවියේ මතුපිට සෑම තැනකම ගුරුත්වාකර්ෂණයේ වෙනස් වීම ඉතා සූක්ෂමව මිනුම් කරලා තියෙනවා.

ඔබ සමහරවිට දන්නවාත් ඇති පෘථිවියේ හැම තැනකම ගුරුත්වාකර්ෂණය සමාන නොවෙන බව. සරලව කිව්වොත් ඔබ ඉන්න තැන අනුව ඔබේ බර සුළු වශයෙන් වෙනස් වෙන්න පුළුවන්.  අපි කලින් කියපු දිග නමක් තියෙන පරීක්ෂණයේ මූලික අරමුණ අපේ පෘථිවි අභ්‍යන්තරය ගැන හොයන එක වුණත් ඒ සඳහා එකතු කරපු දත්ත වලින් හරිම අපූරු තොරතුරකුත් තහවුරු වෙලා තියෙනවා. ඒ තමයි පෘථිවියේ ගුරුත්වාකර්ෂණය අඩුම තැන ශ්‍රී ලංකාවට හරිම ආසන්නයෙන් ඉන්දියානු සාගරයේ තියෙනවා කියන එක. ඉතින් වචනාර්ථයෙන්ම ගත්තත් පොළොවේ පය ගහලා ශරීරයේ බර දරාගෙන ඉන්න ලෝකෙන් ලේසිම රට තමයි ශ්‍රී ලංකාව.

පෘථිවිය ගෝලාකාරයි කියන එක තරමක් වැරදියි, මොකද පෘථිවියේ සමකය වටා තියෙන වට ප්‍රමාණය ධ්‍රැව වටා වට ප්‍රමාණයට වඩා ටිකක් වැඩියි. ඒ නිසා තරමක් ඉලිප්සාකාර හැඩයක් ගන්න බව තමයි පිළිගැනෙන්නේ. නමුත් මේ පරීක්ෂණයෙන් තහවුරු වෙලා තියෙන විදිහට ගුරුත්වය අතින් බැලුවොත් නම් ඒ කතාවත් හරියටම හරි නැහැ. මේ GOCE පරීක්ෂණයේ දත්ත ඇසුරින් ඔවුන් පෘථිවියේ මතුපිට හැම තැනකම සමාන ගුරුත්වයක් තියෙන්න නම් පෘථිවියේ හැඩය මොන වගේ වෙන්න ඕනෙද කියන එකට නිදර්ශකයක් ගොඩ නගලා තියෙනවා. පහළින් දැක්වෙන්නේ ඒ හැඩයේ රූපයක්. දැක්කාම පේනවා ඇතිනේ මේක කිසිම ජ්‍යාමිතික හැඩයක් නොවෙන බව.

මේ විදිහට හදන නිදර්ශක හඳුන්වන්නේ “ජ්‍යාභයක්” නැතිනම් Geoid එකක් කියලයි. මේ වගේ දෙයක් නිර්මාණය කිරීම මගින් පෘථිවියේ පිහිටීම අනුව පෘථිවියේ ඇතුලේ තියෙන බලශක්ති ප්‍රභව වඩා සාර්ථකව අඳුනා ගන්න පුළුවන් වෙනවා. (ඛණිජ තෙල් ඇතුළු ඉන්ධන වගේම පුනර්ජනනීය ප්‍රභව පවා) දැන් ලොකුම ප්‍රශ්නයක් වෙලා තියෙන දේශගුණ විපර්යාස වලට හේතු වෙන සාගර තරංග සහ වඩදිය බාදිය ඇති වෙන හේතු වුණත් මේ ඇසුරෙන් වඩාත් හොඳින් තේරුම් ගන්න පුළුවන් වෙනවා.

මේ රූපයේ තියෙන්නේ විද්‍යාඥයන් නිර්මාණය කරපු “ජ්‍යාභය”. ඇතුළට එබුණු, නිල් පාටට හුරු තැන් වලින් පෙන්වන්නේ සාපේක්ෂව අඩු ගුරුත්වයක් තියෙන තැන්. පිම්බුණු, රතු පාටට හුරු ප්‍රදේශ වල සාපේක්ෂව වැඩි ගුරුත්වයක් පවතිනවා. රූපය : esa.int

මේ රූපයේ තියෙන්නේ විද්‍යාඥයන් නිර්මාණය කරපු “ජ්‍යාභය”. ඇතුළට එබුණු, නිල් පාටට හුරු තැන් වලින් පෙන්වන්නේ සාපේක්ෂව අඩු ගුරුත්වයක් තියෙන තැන්. පිම්බුණු, රතු පාටට හුරු ප්‍රදේශ වල සාපේක්ෂව වැඩි ගුරුත්වයක් පවතිනවා. රූපය : esa.int

ඉතින් අපිට මේ වගේ ජ්‍යාභ දිහා බලලා තේරුම් ගන්න තියෙන්නේ මොකක්ද? ප්‍රධානම දේ තමයි මේක ටිකක් අතිශයෝක්තියක් කියන එක. ඇත්තටම බැලුවාම මේ තරම් කැපී පෙනෙන වෙනස් කම් නැහැ. ඒ වගේම හොඳට බැලුවොත් පෙනේවි තද නිල් පාට තියෙන්නේ ශ්‍රී ලංකාව උඩම තමයි කියන එක. (ඊට උඩින් තියෙන ඉන්දියාවේ හැඩය පෙනෙනවා නේද?) මේ නිසා පෘථිවියේ තියෙන අවම ගුරුත්වාකර්ෂණය තියෙන්නේ ශ්‍රී ලංකාව අවට. මේ රූපයේ තියෙන හැඩයත් එක්ක හිතුවොත් ගුරුත්වාකර්ෂණයේ සාමාන්‍ය අගයට එන්න නම් ශ්‍රී ලංකාව මීටර් 80ක්, නැතිනම් අඩි 260ක් විතර පොළොව ඇතුළට කිඳා බැහැලා තියෙන්න ඕනේ. රතු පාට තැන් ඒ විදිහටම සාමාන්‍ය මට්ටමට වඩා මීටර් ගණනාවක් ඉහළින් පිහිටන්න ඕනේ.

නමුත් ඇත්ත තත්වය එහෙම නොවන නිසා බොහොම අපූරු සංසිද්ධීන් හට ගන්නවා. පෘථිවියේ විෂ්කම්භය මීටර් වලින් ගත්තොත් මිලියන 12කටත් වැඩි එකේ (මීටර් 12,756,000ක් වගේ) මීටර් 80ක් නිසා ලොකු බලපෑමක් නොවෙන බව ඔබට හිතෙන්න පුළුවන්. නමුත් ඒක නිසා අපිට පහසුවෙන්ම දැක ගන්න පුළුවන් මට්ටමේ වෙනස් කම් ගණනාවක් සිදු වෙනවා.

ඇත්තටම අපේ ගුරුත්වාකර්ෂණය අඩු වැඩි වෙනවද?

ගුරුත්වාකර්ෂණය පෘථිවියේ තැනින් තැනට වෙනස් වෙන්න බලපාන හේතු ගණනාවක් තියෙනවා. ප්‍රධානම හේතුව අපි කලිනුත් කිව්වා වගේ සමකය වටා “පරිධිය” ධ්‍රැව වටා පරිධියට (වට ප්‍රමාණය) වඩා වැඩි එක. ඉස්සර කාලේ පෘථිවිය විශාල උෂ්ණත්වයක් එක්ක ද්‍රවීකෘත (දියවුණු / ඝන නැති) තත්වයක තිබුණු නිසා තමන් වටේ කරකැවෙන කොට සමකය හරියේ ටිකක් නෙරා ඒමක් සිදු වුණා. මේක සාමාන්‍ය “කේන්ද්‍රාපසාරී” බලය නිසා සිදු වෙන දෙයක්. එක තැන කරකැවෙන ඕනෑම වස්තුවක මේ බලය ඇති වෙනවා. ස්ථිර හැඩයක් නැති වස්තුවක හැඩය පවා එයින් වෙනස් වෙනවා. ඉතින් පෘථිවියේ භ්‍රමණය නිසා ඇති වුණු මේ ඉලිප්සීය හැඩය පෘථිවිය ඝන වුණාට පස්සෙත් වෙනස් වෙලා නැහැ.

ගුරුත්වාකර්ෂණය වැඩිපුරම තීරණය වෙන්නේ පෘථිවියේ හරි මැද ඉඳලා තියෙන දුර අනුවයි. අපි කලින් කියපු විදිහට සමකය වටා පරිධිය වගේම සමකය හරහා විෂ්කම්භය වුණත් තරමක් වැඩියි. ඒකෙ සරලම අදහස පෘථිවියේ හරි මැද ඉඳලා තියෙන දුර වැඩියි කියන එක. දුර වැඩි වෙනකොට ගුරුත්වාකර්ෂණය අඩුවෙන නිසා සමකය ප්‍රදේශයේ කොහොමත් ගුරුත්වය තරමක් අඩු වෙන්න ඉඩක් තියෙනවා. ඉතින් ශ්‍රී ලංකාව ස්වාභාවිකවම පිහිටලා තියෙන්නේ ගුරුත්වය අඩු ප්‍රදේශයක. මේක තමයි අපේ රට අඩු ගුරුත්වයක් ලබන්න ප්‍රධානම හේතුව වෙන්නේ.

කොහොම නමුත් උඩ තියෙන රූපය දිහා ආපහු බැලුවාම සමකය ආසන්නයේ තියෙන ඉන්දුනීසියාව සහ මැලේසියාව වගේ රටවල්වල ගුරුත්වය වැඩි බව දැකගන්න පුළුවන්. මෙහෙම වෙලා තියෙන්නේ ගුරුත්වයට බලපාන එකම හේතුව දුර විතරක්ම නොවෙන එකයි. පෘථිවියේ භ්‍රමණය නිසා කොහොමත් ඇති වෙන කේන්ද්‍රාපසාරී බලය, පෘථිවියේ කබොල සහ ඇතුළත ස්ථරයේ ඝණත්වය තැනින් තැනට වෙනස් වෙන එක වගේම භූමියේ උස් පහත් බව වුණත් සුළුවෙන් හරි ගුරුත්වයට බලපෑම් කරනවා.

මේ නිසා අඩුම ගුරුත්වාකර්ෂණය එවරස්ට් කඳු මුදුනෙයි, වැඩිම ගුරුත්වාකර්ෂණය මරියානා අගාධයෙයි තියෙනවා කියලා හිතුවාට ඇත්ත තත්වය එහෙම නෙවෙයි. එවරස්ට් කඳු වැටිය කියන්නේ ටොන් බිලියන 3.4ක් විතර බර අති විශාල ගල් කුට්ටියක්. ඉතින් ඒ මුදුනේ ඉන්නකොට ඔබට දැනෙන ගුරුත්වාකර්ෂණයට මේ ගල් කුට්ටියේ ස්කන්ධයෙන් ලොකු බලපෑමක් ඇති වෙනවා.

ගුරුත්වාකර්ෂණය ගැන වද වෙන එක වැදගත් වෙන්නේ ඇයි?

බරින් ටොන් එකක් සහ දිගින් මීටර් 5ක් තරම් වන GOCE එක පෘථිවියට කිලෝමීටර් 260ක් විතර ඉහළ අභ්‍යාවකාශයේ කක්ෂගත කරලා තියෙන්නේ. ප්‍රධාන වශයෙන් සූර්ය පැනලවලින් ලබා ශක්තිය පාවිච්චි කරලා Xenon අයන විදින (හරියටම කිව්වොත් ප්‍රචාලනය කරන) රොකට් වර්ගයක් තමයි මේ සඳහා යොදා ගැනෙන්නේ.

බරින් ටොන් එකක් සහ දිගින් මීටර් 5ක් තරම් වන GOCE එක පෘථිවියට කිලෝමීටර් 260ක් විතර ඉහළ අභ්‍යාවකාශයේ කක්ෂගත කරලා තියෙන්නේ. ප්‍රධාන වශයෙන් සූර්ය පැනලවලින් ලබා ශක්තිය පාවිච්චි කරලා Xenon අයන විදින (හරියටම කිව්වොත් ප්‍රචාලනය කරන) රොකට් වර්ගයක් තමයි මේ සඳහා යොදා ගැනෙන්නේ.

මේ දේවල් මොන තරම් අපූරු වුණත් යුරෝපීය අභ්‍යාවකාශ ඒජන්සිය අවුරුදු 10ක් විතර මහන්සි වෙලා, යූරෝ මිලියන 350ක් විතර වියදම් කරලා මේ වැඩසටහන දියත් කළේ ඇයි කියන එක හොඳ ප්‍රශ්නයක්. ප්‍රධානම කාරණාව තමයි අපිට පෘථිවියේ අභ්‍යන්තරය ගැන හොයන්න තියෙන හොඳම ක්‍රමය මේක වුණු එක. පෘථිවි මතුපිටේ ගුරුත්වාකර්ෂණය මැන ගත්තාම අපිට පෘථිවි කබොලට යටින් තියෙන ස්ථර ගැන වැඩි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. භ්‍රමණය නිසා ගුරුත්වය වෙනස් වෙන විදිහ වගේම මුහුදේ තියෙන ගැඹුරු ආගාධ, පොළොව මතුපිට තියෙන කඳු වගේ කබොළ මතුපිට ස්වභාවයන් නිසා ඇති වෙන වෙනස් කම් එහෙමත් මැන ගන්න එක ඒ හැටි අමාරුවක් නෑ. නමුත් ඒවා පාවිච්චි කරලා අපේ කබොලට යටින් තියෙන දේවල් ගැන නිශ්චිතව හොයා ගන්න එක බොහොම සංකීර්ණ වැඩක්.

අපි ජීවත් වෙන පෘථිවි කබොලට යටින් තියෙන ස්ථර වල සංයුතිය, ඒවා චලනය වෙන රටා වගේ දේවල් නිසා ගුරුත්වාකර්ෂණ බලයට සුළු හරි වෙනස් කම් ඇති වෙනවා. ඒවා හරියටම තේරුම් ගැනීමයි, ඒවාට හේතුව හරියටම හොයා ගන්න එකයි තමයි වැදගත්ම සහ අසීරුම රාජකාරිය. ශ්‍රී ලංකාවට යටින් ගුරුත්වය බොහෝ දුරට අඩු කරන්න පුළුවන් හේතු කාරණා ගණනාවක් තියෙනවා කියන එක අපිට වුණත් තේරුම් ගන්න පුළුවන්. නමුත් හරියටම බලපාන හේතු මොනවාද කියලා හිතා ගන්න එක නම් ලේසි නැහැ.

මේක නිවැරදිව තේරුම් ගත්තාම පෘථිවියේ මතුපිට තියෙන ස්ථරයේ ඝණත්වය, සංයුතිය වගේ කාරණා වුණත් ගුරුත්වය විතරක් මැනලා පුරෝකතනය කරන්න පුළුවන් වෙනවා. ඒ හැකියාව ලබා ගන්න පුළුවන් නම් ඒක ලොකු වාසියක්. පෘථිවියේ ඇති ඛනිජතෙල් නිධි, ස්වභාවික වායු නිධි වගේ ආර්ථිකව වැදගත් සම්පත් සොයා ගන්න එක එතකොට හරිම පහසු වෙනවා. ඒ වගේම පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් භූතාපය අධික ප්‍රදේශ වුණත් නිර්ණය කර ගන්න පහසු වෙනවා. මේ සේරම GOCE මෙහෙයුම සාර්ථක වුණොත් ලැබෙන වටිනා ප්‍රතිඵල.

අපේ පෘථිවියේ ඇතුලේ නිපදවෙන උණුසුම පිටතට ලබා දෙන භූතාපය අධික තැන් වලින් කිසිම කරදරයක් නැතිව ලොකු බලශක්තියක් ලබා ගන්න පුළුවන්. අයිස්ලන්තය මේකට හොඳම උදාහරණයක්, ඔවුන්ගේ ප්‍රධානම බලශක්ති ප්‍රභවය තමයි භූතාපය. ඒ නිසා ඔවුන්ට බලශක්තියට යන වියදම හරිම අඩුයි. මේ වගේ තවත් පුනර්ජනනීය බලශක්ති ප්‍රභව හඳුනා ගන්නත් පුළුවන් වුනොත් GOCE මෙහෙයුමට වියදම් වුණු මුදල වගේ සිය දහස් ගුණයක ප්‍රතිලාභ ලබා ගන්න ලෝකයටම පුළුවන් වේවි. විශේෂයෙන්ම ඉහළ යන ගෝලීය උෂ්ණත්වයත් එක්ක වායුගෝලයට හරිතාගාර වායු නිකුත් නොකර ප්‍රමාණවත් බලශක්තියක් නිපදවන ක්‍රම හොයා ගන්න එක ලොකු අවශ්‍යතාවක් වෙලා තියෙනවා.

ඒ වගේම GOCE මෙහෙයුමේ සාගර සංසරණ ගවේෂක (Ocean Circulation Explorer) කොටසත් බොහොම වැදගත්. සාගරයේ තරංග වල වේගය ගැන මෙතෙක් හදපු හොඳම, වඩාත්ම විස්තරාත්මක වගේම නිවැරදිම සිතියම සකස් කිරීම මේ දවස් වල එමගින් සිදු කෙරෙනවා. මේ දත්ත පාවිච්චි කරලා ඕනෑම වෙලාවක සාගර ජලය එහා මෙහා ගමන් කරන්නේ කොහොමද කියන එක ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. කලින් කියපු ගුරුත්වාකර්ෂණ දත්ත එක්ක මේ දත්ත සම්බන්ධ වෙන හැටි තේරුම් ගන්න තමයි මේ මෙහෙයුමේ ඉන්න වැඩි දෙනා වෙහෙසෙන්නේ. හරියටම ඒක තේරුම් ගන්න පුළුවන් නම් අපේ පෘථිවි මතුපිටින් 71% ක වසාගෙන පැතිරිලා තියෙන සාගර පද්ධතිය ගැන අපිට පහසුවෙන් වටහා ගන්න පුළුවන් වේවි. දේශගුණය ගැන අනාවැකි කියන්න, ස්වභාවික විපත් කල් තියා හඳුනාගෙන ඒවායින් ආරක්ෂා වෙන්න එතකොට වඩාත් පහසුයි.

මේ නිසා සාමාන්‍ය මිනිසුන්ට ඒ තරම් වැදගත් කමක් නැති, ලොකු ලොකු තාක්ෂණික මෙහෙයුම් කියලා හිතුණාට ඇත්තටම ඒවායින් බොහොම ප්‍රයෝගික යෙදීම් තියෙනවා. සමහරවිට මීළඟ සුනාමිය ගැන හරියටම දැනගෙන ආරක්ෂා වෙන්න මේවා නිසා අවස්ථාවක් ලැබෙන්න පුළුවන්. අපි දැනටත් ලෝකය ගැන බොහෝ දේවල් දන්නවා, නමුත් ස්වභාවධර්මය අපිට නිතරම ඉදිරිපත් කරන්නේ අලුත්ම අභියෝග. අපි තවමත් ඒවායින් සැලකිය යුතු මට්ටමකින් මිදෙන්න ක්‍රම හොයා ගෙන නැහැ. ඒ නිසා මේ වගේ අලුත් මෙහෙයුම් අපේ පැවැත්මට වුණත් වැදගත් වෙනවා.

අනිත් අතින් අපි කලිනුත් කිව්වා වගේ මේ මෙහෙයුම නිසා බොහොම වඩාත් තොරතුරක් ලැබිලා තියෙනවා. ශ්‍රී ලංකාවේ ජීවත් වෙන අපිට ටිකක් වැඩිපුර කෑවා කියලා ප්‍රශ්නයක් නැහැ. ඇයි ලෝකේ අනිත් කොයි රටකටත් වලට වඩා අපේ රටේදී බර ටිකක් අඩුවෙන්නේ පෙන්වන්නේ.

පරිවර්තනය: ඉන්ද්‍රජිත් ගමගේ

කවරයේ පින්තුරය: learn-eo.org

Related Articles