Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මහසයුර කළඹන ශ්‍රී ලංකා නාවික හමුදාවේ වේග ප්‍රහාරක යාත්‍රා

පසුගිය ලිපි වලින් අපි ඔබ වෙත ගෙන ආවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් ශක්තිය විදහා පාන ප්‍රහාරක ගුවන් යානා හා ප්‍රහාරක හෙලිකොප්ටර් යානා පිළිබඳවයි. ඉතින් අද අපි ඉදිරිපත් කරන්න සැරසෙන්නේ LTTE ත්‍රස්තයන්ගේ මුහුදු කොටි බළකාය අඩපණ කරමින් අවසන් සටන් සමයේ මුහුදු කොටි බළකාය සම්පූර්ණයෙන්ම විනාශ කළ නාවික හමුදාව සතුව පවතින ප්‍රහාරක යාත්‍රා කිහිපයක් පිළිබඳවයි.

ත‍්‍රස්තවාදී සංවිධානයකට වඩාත්ම වැදගත් වන්නේ ඔවුන්ගේ සැපයුම් මාර්ගයි. ඔවුන්ගේ සියළු සැපයුම් ජාල විනාශ කිරීමටත්, ඇතැම් අවස්ථාවල විදේශයෙන් ගෙන්වූ විශාල ප‍්‍රමාණයේ පාවෙන අවි ගබඩා තොග LTTE  සංවිධානයට අහිමි කරවීමටත් ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් වූයේ එය​ සතු අධිවේගී ප්‍රහාරක යාත්‍රාහි තාක්ෂණය හා ඒවා මෙහෙයවූ නාවික නිලධාරීන්ගේ, භටයන්ගේ කැපවීම හේතුවෙන්. එවැනි ප්‍රහාරක යාත්‍රා දෙකක් පිළිබඳව විස්තර අද ලිපියේ අන්තර්ගත වෙනවා.

මහසයුරේ බඹර ධේනුව හෙවත් ඩෝරා

සුපර් ඩෝරා මාක් – 3 ප්‍රහාරක යාත්‍රාව (Military Edge)

හීබෘ භාෂාවෙන් “බඹර ධේනුව“ යන අර්ථය ඇති, ලොව වේගයෙන්ම ගමන් කල හැකි ඉහළම පන්තියේ මුර යාත්‍රාවක් ලෙස ඩෝරා යාත්‍රා මුලින්ම නිෂ්පාදනය කරන්නේ ඊශ්‍රායලයේයි. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 1984 වසරේදී ඊශ්‍රායලයෙන් මුල් වරට ඩෝරා යාත්‍රා මිලදී ගැනීම සිදු කරනවා. එදා පටන් මුහුදු කොටි ත්‍රස්තයන්ගේ විශාල නැව් මෙන්ම මරාගෙන මැරෙන කුඩා ඩිංගි බෝට්ටුද විනාශ කිරීම සදහා ඩෝරා යාත‍්‍රා විශාල කාර්යභාරයක් ඉටුකරනු ලබනවා.

ත්‍රිවිධ හමුදා සොල්දාදුවන් හා පොලිස් භටයන් උතුරට රැගෙන ගිය ජෙට්ලයිනර්, ග්‍රීන් ඕෂන් වැනි විශාල නැව්වලට ත‍්‍රස්තයන්ගේ කුඩා ඩිංගි බෝට්ටු හා මරාගෙන මැරෙන යාත‍්‍රා මගින් එල්ල කිරීමට පැමිණි මහා ප‍්‍රහාර රැසක් ඩෝරා යාත‍්‍රා නිසා වළකා ගැනීමට හැකි වෙනවා. නැගෙනහිර හා වන්නි අවසාන මෙහෙයුම ආරම්භ කළදා පටන්ම මුහුදු කොටින්ගේ දැවැන්ත නාවික ප‍්‍රහාර රැසක් ඩෝරා යාත‍්‍රා නිසා වැළැකී ගිය බව සදහන් කිරීම නිවැරදියි.

සාමාන්‍ය ඩෝරා යාත්‍රාවක වේගය පැයට කිලෝමීටර් 83ක් (නොට් 45) පමණ වෙනවා. නැවත ඉන්ධන පිරවිමකින් තොරව යාහැකි දුර නාවික සැතපුම් 700ක්. (කිලෝමීටර් 1300ක්) යාත්‍රාවේ මුළු බර ටොන් 5 ක්ද දිග මීටර 22.4 හා පළල මීටර 5.5ක් වෙන අතර 9 දෙනෙක්ගෙන් යුත් භට පිරිසකට මෙහි ගමන් කල හැකියි. ගෙනයා හැකි අවි අතර ජලය මතුපිටින් පමණක් යැවිය හැකි AGM මිසයිල 114 ක්, මිලිමීටර් 20 කාලතුවක්කු 2 ක් හා මිලිමීටර් 12.7 මැෂින් තුවක්කු දෙකක් මෙහි අඩංගුයි. ඊට අමතරව නවීන රේඩාර් පද්ධතියකින්ද සමන්විත වෙනවා.

ඩෝරාහි නවතම යාත්‍රාව සුපර් ඩෝරා මාක් – 3 ලෙස නම් කර තිබෙනවා. එය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊශ්‍රායලයෙන් මිලදී ගන්නේ 2010 වසරේදීයි. මෙම යාත්‍රාවට නොට් 50ක, එනම් පැයට කිලොමීටර 93ක වේගයෙන් යාත්‍රා කල හැකි අතර එසේ ගමන් කරන්නේ මි.මි.30 කාලතුවක්කු ඇතුළු ගිනි අවි රැසක්ද සහිතවයි. එම වේගයෙන්ම ගමන් කරන අතරතුර මුහුදේ ඇති ඕනෑම ඉලක්කයකට පහසුවෙන් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව තිබෙනවා. ඉන්ධන පිරවීමකින් තොරව සාමාන්‍යයෙන් දින 4ක් එක දිගට ගමන් කළ හැකියි.

ගැඹුරු මෙන්ම නොගැඹුරු මුහුදේ ඉතා පහසුවෙන් හැසිරිය හැකි මෙම යාත්‍රාවට ඕනෑම දේශගුණික තත්වයක් යටතේ වුවද ක්‍රියාත්මක විය හැකියි. මෙම යාත්‍රාව සැලසුම් කර ඇත්තේ ඉතා වේගවත්ව හැසිරවිය හැකිවන ලෙස හා බඳ සකසා ඇත්තේ සියළුම වේග සීමා වලදි සමබරතාවය එක හා සමානව තබාගත හැකිවන ලෙසයි.

විශේෂ යාත්‍රා බලඝණයේ ඇරෝ වේග ප්‍රහාරක යාත්‍රාව

ඇරෝ වේග ප්‍රහාරක යාත්‍රාව (Warboats.org Forum)

1993 වසරේදී රාජකීය විශේෂ යාත්‍රා බලඝණය හා එක්සත් ජනපදයේ සීල් විශේෂ යාත්‍රා බළකාය අනුව නිර්මාණය කරන ලද ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ ප්‍රහාරක යාත්‍රා බලඝණය සතු කුඩා ප්‍රමාණයේ අධිවේගී ප්‍රහාරක යාත්‍රාවක් ලෙස ඇරෝ වේග ප්‍රහාරක යාත්‍රාව හදුන්වා දෙන්නට පුළුවන්.

කොටි ත්‍රස්තයන්ගේ කුඩා යාත්‍රා මෙන්ම මුහුදු කොටි ත්‍රස්තයන්ගේ මරාගෙන මැරෙන යාත්‍රා විනාශ කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් මෙම යාත්‍රා විසින් අවසන් යුද්ධයේදී සිදු කරනු ලබනවා. ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශාල ප්‍රහාරක යාත්‍රා විනාශ කිරීම සඳහා LTTE සංවිධානය විසින් භාවිතා කල බෝම්බ පුරවාගත් වෙඩි නොවදින අධිවේගී බෝට්ටු හා සටන් කර ඒවා ක්ෂණිකව විනාශ කරමින් විශාල යාත්‍රා වලට ආරක්ෂාව ලබා දීම ඇරෝ යාත්‍රා වල ප්‍රධානතම කාර්යය වෙනවා.

2006 වසරේ සිට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්ම නිර්මාණය කරන මෙම වේග ප්‍රහාරක ජෙට් බෝට්ටු අඩි 18ක් පමණ දිගක් ඇති උපරිම වෙඩි බලයක් ලබාදිය හැකි වේගයක් සහ හැසිරවීමේ පහසුව සහිත කුඩා යාත්‍රාවක්. නවීන වර්ගයේ මිලි මීටර් 40 ස්වයංක්‍රීය ග්‍රෙනේඩ් විදින අවියක් (40 mm Automatic Grenade Launchers – AGL), 7.62 x 51 බහු කාර්යය ස්වයංක්‍රීය අවි දෙකක් (7.62 x 51 mm Multi-Purpose Machine Guns – MPMG) හා ඊට සරිලන අවි රදවන දෙකකින් මෙන්ම 150 kW පිටත දහන එන්ජින් දෙකකින් යාත්‍රාව සමන්විත වෙනවා.

සයුර කළඹන ඇරෝ යාත්‍රා සමූහයක් (SL Navy)

ඔරලෝසුවක කටුවක් වේගයෙන් කැරැ‍කැවෙන ආකාරයට මේ යාත්‍රාව මහ සයුරේ එක තැන කැරැකැවිය හැකි ලෙස නිපදවා තිබීම විශේෂත්වයක්. නාවික භටයන් 3-5ක් අතර පිරිසකට ගමන් කල හැකි මෙවැනි ජෙට් යාත්‍රා 200කට අධික ප්‍රමාණයක් මේ වන විට නිෂ්පාදනය කර තිබෙනවා. එවැනි එක් යාත්‍රාවක් සදහා වැය වෙන මුදල රුපියල් මිලියන 1.7ක්.

වෙරළබඩ සිදුකරන හමුදා මෙහෙයුම් සඳහා උපකාර කිරීම, කලින් සැලසුම් කරන ක්‍රියාන්විත සඳහා පැමිනෙන කණ්ඩායම්වලට මාර්ග සැකසීම, හා ආරක්ෂාව සැපයීම මෙන්ම ත්‍රස්තවාදී ප්‍රහාර හමුවේ විශාල යාත්‍රා වලට ආරක්ෂාව සැපයීම වැනි ක්‍රියා මාර්ග ඔස්සේ හතරවන ඊලාම් යුද්ධයේදී මෙම කුඩා වේග යාත්‍රා වැදගත් කාර්යභාරයක් ඉටුකරනු ලබනවා. එසේම වර්තමානය වන විට නයිජීරියානු නාවික හමුදාවද  ශ්‍රී ලංකාවෙන් මෙම යාත්‍රා මිලදී ගෙන තම නාවික ශක්තිය දියුණු කරගැනීමට තීරණය කර තිබෙනවා.

නයිජීරියානු නාවික හමුදාව විසින් ඇරෝ යාත්‍රා මිලදී ගැනීම (Defence.lk)

විශේෂ යාත්‍රා බලඝණය නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළ කමාණ්ඩර් සෙඩ්රික් මාර්ටෙන්ස්ටයින් නම් නාවික නිලධාරියාට ගෞරවයයක් ලෙස 2016 වසරේදී මෙම ඇරෝ ප්‍රහාරක යාත්‍රා සෙඩ්රික් යාත්‍රා ලෙස නම් කරන්නට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් තීරණය කරනවා.

කවරයේ ජායාරූපය – Wikiwand

මූලාශ්‍ර – Defence.lk,, www.navy.lk, www.naval-technology.com

Related Articles