Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නාවික හමුදා විශේෂ ඒකකය – විශේෂ යාත්‍රා බලඝනය

හතරවන ඊලාම් යුද්ධයේදී නාවික හමුදාව විසින් ත්‍රස්තයන්ගේ පාවෙන අවි ගබඩා විනාශ කරමින් මුහුදු කොටි බළකාය අඩපන කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ලබාදුන් සහය අති විශිෂ්ටයි. LTTE සංවිධානයට ප්‍රබල ලෙස පහර දෙන්නට නාවික හමුදාවට හැකි වූයේ නාවික හමුදාව සතු වූ තාක්ෂණික හැකියාව හා නාවිකයන් සතු වූ ආත්ම ශක්තිය හේතුවෙන්.

තවද නාවික හමුදාව සතුව ඇති විශේෂ ඒකකයන් එම යුධ ජයග්‍රණය ලබා ගැනීමට හේතු විය. විශේෂ යාත්‍රා බලඝනය (Special Boat Squadron (SBS)), ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝනය (Rapid Action Boat Squadron (RABS)),  කිමිදුම් හා ගලවා ගැනීමේ අංශය (Diving & Salvage Unit) වැනි  නාවික හමුදාවේ විශේෂ ඒකකයන් යුද්ධය නිම කිරීම සඳහා කල කාර්යභාරය ඉතා වැදගත්. ඉතින් අද ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නට අදහස් කරන්නේ ශ්‍රී ලංකා නාවිකා හමුදාව සතුව ඇති ඇති විශේෂ ඒකකයක් වන විශේෂ යාත්‍රා බලඝනය පිළිබඳවයි. එහි කාර්යභාරය හා මෙම ඒකකය නිර්මාණය වූ ආකාරය පිළිබඳව මෙම ලිපියේ අන්තර්ගත වෙනවා.

විශේෂ ඒකකයක අවශ්‍යතාවය දැනීම

විශේෂ යාත්‍රා බලඝන සෙබළුන් (www.navy.lk)

ජාතික අවශ්‍යතාවයන් පෙරදැරි කරගනිමින් අවශ්‍ය ඕනෑම මොහොතක මුහුදු සංග්‍රාමික මෙහෙයුම් සිදු කිරීම තම දැක්ම කරගනිමින් 1937 වසරේදී  Ceylon Naval Volunteer Force නමින් ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට නාවික හමුදාවක් ස්ථාපිත කරන අතර දෙවන ලෝක යුද්ධය අවසානයත් සමගම රාජකීය නාවික හමුදාව විසින් මෙම බළකාය බ්‍රිතාන්‍ය නාවික හමුදාව යටතට ගන්නවා. නිදහස ලැබීමෙන් පසුව 1950 වසරේ දෙසැම්බර් මාසයේදී  සිලෝන් රෝයල් නේවි (Ceylon Royal Navy) ලෙස එහි නම වෙනස් වූ අතර 1972 වසරේදී  ශ්‍රී ලංකා නාවික හමුදාව (Sri Lanka Navy) ලෙස නාමය නැවතත් වෙනස් කරනු ලබනවා.

1980 වසරේදී ඊලාම් යුද්ධයේ අඳුරු සෙවනැලි සමඟ තවතවත් ශක්තිමත් වූවත් නාවික හමුදාවේ ප්‍රහාර හමුවේ LTTE මුහුදු කොටි සාමාඡිකයින් එල්ල කල ප්‍රතිරෝධය හා යුධ නීතියට පටහැනි වූ මුහුදු කොටි උපක්‍රම හේතුවෙන් යම් යම් පසුබෑම් වලට ලක්වෙනවා. මේ සඳහා විශේෂ පුහුණූවක් ලැබු කණ්ඩායමක අවශ්‍යතාවය සහ එවැනි කණ්ඩායමකින් සමන්විත වීමේ වටිනාකම ගැටුම් ආරම්භ වූ මුලික අවදියේදීම නාවික හමුදාවේ ඉහළ නායකත්වයට අවබෝධ වෙනවා.

විශේෂ ඒකකයකින් සමන්විත නොවුනත් LTTE සංවිධානය සමග ගැටුම් පැවති මුල් අවධියේ පටන්ම තම කැමැත්තෙන්ම සතුරා අසළටම ගොස් පහර දීමේ කැමැත්තෙන් සිටි නිළධාරීන් සහ නාවිකයින්, නාවික හමුදාව සතු විය. ඔවුන් අතරින් ලුතිනන් කොමාණ්ඩර් ශාන්ති බහාර් එවැනි දස්කම් දැක්වූ නිළධාරීන් අතරින් පුරෝගාමියකු වශයෙන්  සඳහන් කරන්නට පුළුවන්. 1986 වසරේදී ඔහු තම කණ්ඩායම සමග ත්‍රිකුණාමලය ප්‍රදේශයේ LTTE ත්‍රස්ත අඩවියේ සිදු කළ සටනකින් පසු ඔහු මරණයට පත්වීමෙන් නාවික හමුදාවට අත්‍යවශ්‍යව තිබූ විශේෂ බළකායක් පිහිටුවීම වසර කිහිපයකට ප්‍රමාද වෙනවා.

විශේෂ යත්‍රා බලඝනය පිහිටුවීම

විශේෂ යාත්‍රා බලඝණයේ සොල්දාදුවන් විසර යාමේ අවස්ථාවක් (The official website of Sri Lanka Navy)

යුද්ධය ක්‍රම ක්‍රමයෙන් දරුණු අතට හැරෙන විට LTTE සංවිධානයේ ප්‍රබල බළකායක් ලෙස මුහුදු කොටි බලකාය වර්ධනය වෙනවා. ඔවුන් විසින් කොටි සංවිධානය අවශ්‍ය සියළුම අවි ආයුධ ප්‍රවාහනය කිරීම මුහුදු මගින් සිදු කිරීම ආරම්භ කරනවා. ඒ අතරම ඔවුන් නාවික හමුදාව අවතක්සේරු කරමින් යුධ නීති උල්ලංඝනය කෙරෙන ගරිල්ලා ප්‍රහාරයන්ට අවතීර්ණය වෙනවා. ඉන් නොනැවතෙන මුහුදු කොටි මරාගෙන මැරෙන කුඩා බෝට්ටු ඇණියක් ස්ථාපනය කිරීම වැනි හේතුන් නිසා සම්ප්‍රදායට ඔබ්බෙන් ගිය විශේෂ නාවික ඒකකයක් නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය වේගවත් වෙනවා.

එංගලන්ත නාවික හමුදාවේ Special Boat Service බළකාය අනුව යමින් 1993 වසරේ ජනවාරි 18 දා එවකට යාපන අර්ධද්වීපයේ ප්‍රධානතම නාවික කඳවුර වූ ශ්‍රී ලංකා නාවික නෞකා එළාර (SLNS Elara) කඳවුරු භූමියේදී නිල වශයෙන් විශේෂ යාත්‍රා බලඝනය ස්ථාපනය කරනවා.

මේ සඳහා නාවික නිලධාරීන් දෙදෙනෙක් ඇතුළුව නාවිකයන් 76 දෙනෙක් තම කැමැත්තෙන්ම ඉදිරිපත් වූ අතර අති දුෂ්කර වූ පාඨමාලාව අවසන් කිරීමට හැකි වන්නේ නිලධාරීන් දෙදෙනා ඇතුළු නැවියන් 25 දෙනෙකුට පමණයි. මෙම බලකායේ ප්‍රථම අණදෙන්නා ලෙස නායකත්වයට පත්වෙන්නේ ලුතිනන් කමාණ්ඩර් වි‍‍‍‍ජේගුණරත්නයි.

ඉතා ඉක්මනින් මෙම බලඝනය රහසිගත සහ එලිමහන් මෙහෙයුම් සඳහා එකසේ සමත්කම් දක්වන ඒකකයක් බවට පරිවර්ථනය වෙන අතර දූෂ්කර පුහුණුවක් වර්ධනය කරගත් හැකියාවන්ගෙනුත් සම්පන්න මෙම වි‍ශේෂ බලඝනය දියේ සිට ගොඩබිමට රහසිගත මෙහෙයුම් සිදු කිරීමෙන් හා ගුවනින් ගොස් ඈත සතුරු පාලන ප්‍රදේශවලට ගොඩබැස කරන මෙහෙයුම් සඳහාත් එකසේ සමත්කම් දක්වනවා.

බලඝණයේ මූලික අරමුණු

බලඝන නිල ලාංජනය (Carousell)

බලාපොරොත්තු නොවූ මොහොතක සතුරා විමතියට පත්කරමින් උපායමාර්ගිකව ප්‍රහාර එල්ල කර සතුරා අඩපණ කර සාමාන්‍ය බලඝනයන් වෙත මෙහෙයුම සිදු කිරීමට ඉඩ සළසා දීම මෙම බළකායේ ප්‍රධානම අරමුණ වන අතර ඉතා වේගයකින් සතුරා වෙත ළඟාවීම​ මෙහි විශේෂ ලක්ෂණයක්.

ඒ වගේම දියෙන් ගොඩින් හා ගුවනින් සතුරු අඩවියට ළඟාවීම​ද විශේෂ යාත්‍රා බලඝණයේ ලක්ෂණයක්. විශේෂ අවස්ථාවන් වලදී විශේෂ බලකාය හා කමාන්ඩෝ බළකාය සමඟ එක් වී අසීරු මෙහෙයුම් සිදුකිරීමද බලඝනයට පැවරී ඇති කාර්යයක් වෙනවා.

1993 වසරේ නොවැම්බර් මාසයේදී කොටි ත්‍රස්තවාදීන් විසින් පූනරින් කදවුරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමින් වටලනු ලැබූ විට කදවුරට අවශ්‍ය ශක්තිය සපයමින් තම පළමු මෙහෙයුමට විශේෂ යාත්‍රා බලඝණයේ නාවිකයන් සහභාගී වන්නේ තම පුහුණුව අවසන් වීමටත් ප්‍රථම වීම විශේෂත්වයක්.

පැවරී ඇති ප්‍රධාන කාර්යන්

www.navy.lk

භූ ජල තරණ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වෙරළ තීරයේ ආරක්‍ෂාව තහවුරු කර දීම. (මුහුදේ සිට ගොඩබිමට පැමිණ අනෙකුත් බලකායන් හි සෙබළුන්ට ආරක්ෂාව ලබා දීම), සතුරු, ආධිපත්‍ය යටතේ පවතින අධි අවධානම් වෙරළ බඩ ප්‍රදේශයන්හි බුද්ධි තොරතුරු රැස් කිරීම, සතුරු ආධිපත්‍ය යටතේ පවතින ප්‍රදේශවල රහසි ගත මෙහෙයුම් දියත් කරමින් සතුරු සාමාජිකයන් ඔවුන්ගේ යාත්‍රා සහ ගොඩනැගිලි විනාශ කිරීමට කටයුතු කිරීම, බිම් බෝම්බ ස්ථානගත කිරීම, පුපුරුවා හැරීම සහ බාධාකාරී බිම් බෝම්බ ඉවත් කිරීම, ත්‍රස්ත අත්අඩංගුවට ගත් නෞකා මුදා ගැනීම, ප්‍රාණඇපකරුවන් බේරා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම, වෙරළ ආශ්‍රිතව සහ ජාත්‍යන්තර මුහුදේදී කුඩා යාත්‍රා මෙහෙයුම් දියත් කිරීම, රට අභ්‍යන්තරයෙහි දිගුදුර පිරික්සුම් මුර සංචාර සිදු කිරීම, කිමිදුම් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම මෙම බලඝණයේ ප්‍රධාන කාර්යයන් ලෙස හදුන්වා දිය හැකියි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශාල ප්‍රහාරක යාත්‍රා විනාශ කිරීම සඳහා LTTE සංවිධානය විසින් භාවිතා කල බෝම්බ පුරවාගත් වෙඩි නොවදින අධිවේගී බෝට්ටු හා සටන් කර ඒවා ක්ෂණිකව විනාශ කරමින් විශාල යාත්‍රා වලට ආරක්ෂාව ලබා දීම සදහා ඇරෝ යාත්‍රා උපයෝගී කරගනිමින් වැදගත් සේවාවක් ඉටු කිරීමට හතරවන ඊලාම් යුද්ධයේදී මෙම බලඝනයට හැකියාව ලැබුනා.

කවරයේ ජායාරූපය – Mihila Radio

මුලාශ්‍ර – The official website of Sri Lanka Navy

Related Articles