Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පොදු මහජනයාගේ සිත් ගත් මල් සිංදුවේ ගති සොබාව

ඩේලියා මල, දෙහි මල, අරලියා මල, රතු රෝස මල, දෙළුම් මල ආදී මල් මූලික කරගත් ගීත පසුකලෙක මල් සිංදු නමින් ලේබල් විය. ඒ මල් සිංදු සුභාවිත ගීත අසන සම්භාව්‍ය රසිකයින් සුළුතරයකගේ සිනහවට ලක්වුවත්, බහුතර ජනයා අතර මල් සිංදු සහ ඒ මාදිලියේ ගීත ජනප්‍රිය විය. වර්ථමානයේ අන්තර්ජාලය පැමිණීමත් සමග මියුසික් වීඩියෝ එකක් එළිදැක්වීමට වැඩි මහන්සියක් නැත. එමනිසා විවිධ තාලවලට ගැයුනු, අමුතු ආකාරයේ රූපන ගීත අපට අද දකින්නට තිබේ. එහෙත් අපේ කණට හුරුපුරුදු මල් සිංදු තාල, මුල දී අකමැති වුවත් පසුව හෝ අපගේ සිත් සතන් වෙලා ගනී. එයට හේතු වන්නට ඇත්තේ මේ මේ කරුණුය යන්න අපගේ අදහස වෙනවා.

සරල සංගීත පෙලක් තිබීම

Filmy Keeday

සැප අසුනක හිඳ, කෝපි කෝප්පයක් බොන අතරේ සම්භාව්‍ය සංගිත ඛණ්ඩයකට සවන්දීමට වාසනාව ඇත්තේ ලංකාවේ කීපදෙනෙකුට පමණි. බොහොමයක් දෙනාට ගීත අසන්නට සිදුවන්නේ වැඩක යෙදෙන අතරේ පාලු මකා ගැනීමටය. එවන් පසුබිමක දී සරල වූ සංගීත රටාවකට ගීත රැසක්ම තිබීම පහසුවකි. සංගීතය අමුතුවෙන් විඳීමට හෝ ගීයේ අරුත තේරුම්ගැනීමට මල් සිංදු වල දී වැඩිපුර ඔලුව වෙහෙසවන්නට දෙයක් නැත. මල් සිංදු බොහොමයක් සරල තාල අනුව සැදුන ඒවා වේ. අජිත් මුතුකුමාරණ වැනි මල් ගීත ලොවේ රජුන්ගේ ගීත බොහොමයක් ගැයෙන්නේ එකම ආකාරයේ තාලයන්ට යි. එකම තාලයට යන ගීත සංදර්ශන වේදිකාවලබ ගැයීමේ දී ද පහසුවකි. එනිසා අපහසු සංගීත ඛණ්ඩ වාදනය කිරිමේ වදයෙන් සංගීත කන්ඩායමට නිදහස් විය හැකිය.

ඕනෑම අයෙකුට ලෙහෙසියෙන් ගායනා කළ හැකිවීම

ගායනය සාමාන්‍යයෙන් අප සමාජයේ බොහොමයකට පිහිටා ඇති සහජ හැකියාවකි. කුඩාකල පටන් ජන ගීයට, ළමා ගීයට හුරුවුණු අපේ කන්වලට මල්ගීතය අලුත් අත්දැකීමක් නොවේ. ගායනා කිරීමට පහසු ආකාරයෙන් තිබෙන නිසා ඒවා ලේසියෙන්ම මුමුනන්නට ද හැකි ය. බස් රියේ එකම ගීත ශ්‍රවනය කරමින් දින දෙක තුනක් ගිය කල ඇතැම්විට ගීතයේ ගායකයා හා සමව ගැයීමේ හැකියාවක් මල්සිංදු අසන්නන්ට ලැබේ. එය ගීතයේ වරදක්ම නොවේ. ගායනයක් ඇසීම මෙන්ම ගායනා කිරීම ද එක්තරා විනෝදයකි. අපේ පැරැන්නෝ ජනකවි ආදිය ඇසීමේ මෙන්ම කීමේ ද රුසියෝ වූහ.

හොදින් උච්චාරනය වන පද මාලාවන්

පත්තරපිටුවක ඔතලා තිබුනා..

මා ඔබට දුන්න මුල්ම තිළිණය

සත් වසකට පසු ලියලා තිබුනා..

වෙන් වී යන බව මගෙන් දුරකට..

මෙවැනි සරල පදමාලවක් පළමු වර ඇසෙද්දීම කියන්නේ කුමක්දැයි පැහැදිලි වේ. එහෙත් නවීන කාලයේ උපදින ඇතැම් සිංහල සිංදුවල කියන්නේ කුමක්දැයි පැහැදිලිව ඇසෙන්නේ නැත. ඇතැම් සම්භාව්‍ය ගීතවල වචන එදිනෙදා ජීවිතයේ යෙදෙන්නේ ද අඩුවෙනි. සැළලිහිනිය, මුවදෙව්දාවත වැනි උසස් කාව්‍යයන් රස විඳින ආකාරයට ගැටපද  විවරණ බලමින් ගීත රසවිදීමට බොහෝ අය කැමති නැත. එබැවින් ඇතැම්විට මල් ගීතම නොවුනත් ජනප්‍රිය ගීත බොහොමයක පදමාලාවන් වල උච්චාරනය පැහැදිලිව අනෙක් අයට අවබෝධ කරගත හැකි ආකාරයෙන් තිබේ.

chaminredarrows.com

සිදුවීම හෝ නිමිත්ත කෙලින්ම ප්‍රකාශ කිරීම

තිස්සමහාරාම පෙරෙහැරේ

ඉස්සරහම කස පුපුරන්නේ

මගෙ තුරුණු හිතත් කසයක් වාගේ.

ඇයි මේ තරම්ම ගිනි අවුලන්නේ

මෙහි තිස්සමහාරාම පෙරහැර උපහැරණයට ගෙන ඇතත් සිදුවීම හොදින්ම පැහැදිලිය. ගැමි තරුණයකු පෙරහැර බලන්නට ගියකල කස පුපුරනු දැකීම ඔහුට දකින්නට අහන්නට ලැබෙන අත්දැකීමකි. පෙම්වතිය එකවර හැර ගියකල පෙම්වතාට දැනෙන ක්ශණික ආවේගය පලකිරීමට කස පහර ගැලපෙන යෙදුමකි. එය යම් උපහැරණයෙකින් කීව ද ගායනයේ දී එය කෙලින්ම ප්‍රකාශ වේ. ඊට අමතරව යම් යම් සිද්ධින් විස්තර කරන මල් ගීත ද ව්‍යංගාර්ථ අඩුනිසා අවබෝධ කරගැනීම පහසුය.  

අවුරුදු හතරක් අපි යාලුවෙලා ගත වෙන්නේ

ශාරුක් ඛාන් ගැනයි මාත් එක්ක පවසන්නේ

පඩි ටික එකතු කරලා රන් මාලය මම දැම්මේ

ශාරුක් ඛාන්ට වගෙ මට කවදද සලකන්නේ

හින්දි සිනමාවේ තරුවලට පෙම් කිරීම යුවතියන් ඇතැමකුගේ සිරිතකි. වසර හතරක් පෙම්වතා වී සිටිය, ඔහුගේ මාසික පඩි පත කලක් එකතු කර රන්මාලයක් ගෙල දැම්ම ද, පෙම්වතාට පෙම්වතියගෙන් ශාරුක් ඛාන්ට මෙන් සැලකීමක් ලැබෙන පාටක් නැත. මල් සිංදු වල අන්තර්ගතය එතරම්ම සරල ය.

ශාරුක් සහ කාජල්. everyhdwallpapers.blogspot.com

සාමාන්‍ය ජීවිතයට සමීප සංවේදී සිද්ධි ගීතයට නිමිති කරගැනීම

ප්‍රේමය සහ විරහව යනු මහා මන්දිරයටත් දුගී පැලටත් එකසේ දැනෙන පොදු හැඟීමකි. එනිසා ඒවත්, ඊට අමතරව සාමාන්‍ය ලාංකික ජීවිතයේ ගංවතුර, සුනාමි, මෙන්ම පවුල් රන්ඩු අඩදබර ද මල් ගීත වල ඇතුලත් වේ. 2001-2003 වර්ෂයේ මාතර පළාතේ ඇතිවූ ගංවතුර අලලා අජිත් මුතුකුමාරණගේ “වෙහෙරහේන විහාරයේ උඩ මලුවට යන්නම්” යන ගීතය ලියවී ඇත. හම්බන්තොට පළාතෙන් ජනප්‍රිය වූ ගායිකාවක වූ සුභානි හර්ශනී එකල “හම්බන්තොට මූදු වෙරලේ වැලි කැට ගානට” යනුවෙන් ගිතයක් ගායනා කළා ය.

පළාත අනුව, ඒ ඒ මතක මාලාවන් අනුව ප්‍රේමය නියෝජනයවීමක් ද කලක් මල්ගීත වල තිබුනි. ඒ අනුව වැවුරුකන්නල, වෙහෙරහේන, තිස්සමහාරාම, කන්දෙ විහාරය, ඇතුගල ආදී ස්ථාන රැසක් මල්ගීත වලට ඇතුලත් විය. කිංස්ලිගේ “ටියුෂන් පංතියේ කෙළවර බංකුවේ“  ගීයෙන් ටියුෂන් ගිය කාලයේ ප්‍රේමනීය මතකයන් අවදි කරන්නට සමත් ය.

Getty Images

ඕනෑම උපකරණයකින් ශ්‍රවණය කළ හැකිවීම

රේඩියෝව යනු එකල මහා විශාල යන්ත්‍රයක් වූ නමුත්, පසුකාලීනව විශාල ටෝච් වල කුඩා රේඩියෝවක් සවි වී එන තරමට කුඩා විය. සාමාන්‍ය මූලික ෆෝන් එකකට ඉයර්ෆෝන් ගසාගෙන සිංදු ටිකක් ඇසීමට ගොවිතැන් වැඩකටයුතුවල, කම්කරු වැඩවල නිරත වෙන ජනයා ද හුරුවිය. මල්ගීත කලාවේ ගීත ඇසීමට ඉහළ මට්ටමේ සංගීතය රසවිදිය හැකි සවුන්ඩ් පද්ධති අවශ්‍ය නැත. කුඩා ස්පීකර් කැබැල්ලකින් වුව ද මල්ගීතවල සරල සංගීතය සහ ගායනය රසවිඳීමට ශ්‍රාවකයාට හැකි ය. ත්‍රීවිලර් එකේ, බස් රියේ සහ මඟතොට සෑම තැනම එකසේ මල් සිංදු ජනප්‍රිය වීමට මෙය ද බලපාන්නට ඇත.

මල් සිංදු පහත්යැ සිතීම උසස්කමක් ද?

සිසිවන උවන ඉඟ සුඟ ගත හැකි මිටින.

නිසි පුලුලුකුළ රිය සකයුරු තිසර තන..

ආදී ලෙසින් රහල් හිමියෝ සැළලිහිණියේ සම්භාව්‍ය ලෙස නාරි රූ විස්තර කරන විට ජනකවියා,

අඩිය තියන්නේ තට්‌ටම සෙලවෙන්ට
බොඩිය අඳින්නේ තන දෙක හිර වෙන්ට
නෙරිය තියන්නේ ඉණ වට හැඩ වෙන්ට
ළඳේ උඹ අගෙයි පිරිමින් නළවන්ට

ලෙසින් ජනකවියේ දී නාරි රූපයේ ශෘංගාරය ඉස්මතු කර පෙන්වීය. එදා සංදේශ කාව්‍යයන් ඉහළ, උගත් සමාජයේ ජනප්‍රිය විය. කියවා, අසා, ගායනා කළ හැකි සරල ජනකවි බහුතර ජනයා අතර ජනප්‍රිය විය. වර්ථමානයේ අජිත් මුතුකුමාරණ, කිංස්ලි, තුශාර ජිවන්ත, මාදව ඉදිකැටිය, ප්‍රින්ස්, චන්දන ලියනාරච්චි, සුභානි හර්ශනී ආදීන් විසින් දියත්කළ මල්ගීත කලාව අද වනවිට තවත් පිරිසක් අතට ගොස් තිබේ.

ඇතැම්විට අද කියවෙන ඇතැම් මල්ගීත අප එදා ලියුමක ලියූ වචන පෙලක් මෙන් සරලයැ යි අපට සිතේ. එහෙත් එයට කැමති ජනකායක් සිටී. එය ඔවුන්ගේ මනදොල සපුරාලයි. කලාව තුල උසස්යැ පහත්යැ බේදයක් නැත. එකිනෙකාගේ රුචිය වෙනස්ය. විවේචනය ගැටළුවක් නොවූවත් සෑමවිටම මල් සිංදු පහත්යැ කියා අනෙකාගේ ගී රසවින්දනය හෙළා දැකීම දියුණු සමාජයක සිදු නොවිය යුත්තක් බව අපගේ විශ්වාසය යි.  

Cover: One Knight Stands!

Related Articles