Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලක්දිව කෞතුකාගාර : පළමු දිගහැරුම

කිසියම් රටක ඓතිහාසික, සංස්කෘතික සහ ජෛව උරුමයේ කැඩපතක් සේ ම රටක අභිමානය තැන්පත් වී ඇති ස්ථානයක් ලෙස ද කෞතුකාගාරයක් හැඳින්විය හැකි යි. තමන්ගේ අතීත උරුමයන් මොනවා ද යන්න ගැන ජනතාව දැනුවත් කරමින් රට දැය පිළිබඳ ජනතා හැඟීම් පුබුදු කරවන කෞතුකාගාරයකින් රටකට සිදු වන්නේ අති විශාල සේවාවක් බවට නම් සැකයක් නැහැ. ලක් දෙරණේ පෞඪ ඉතිහාසය මතු පරපුරට සමීප කරන කොළඹ ජාතික කෞතුකාරයේ ඉතිහාස කතාව පසු ගිය දිනෙක අපි ඔබ වෙත ගෙන ආවා.

මේ ලිපියේ අරමුණ ලක්දිව ඉතිහාසය සහ උරුමය සොයා යන්නෙකු අනිවාර්යයෙන් ම නැරඹිය යුතු දිවයිනේ නන් දෙස පිහිටා ඇති කෞතුකාගාර ගැන යි.

ඕලන්ද කෞතුකාගාරය (පිටකොටුව)

© L. Manju

තොග මිලට භාණ්ඩ මිල දී ගැනීමට අවැසි සෑම විටෙක ම ඕනෑම කෙනෙක්ගේ මනසේ නිතැතින් ම ඇඳෙන ස්ථානයක් තමයි, පිටකොටුව. මෙසේ පිටකොටුවේ සාප්පු සවාරියේ යන අයෙක්ට කුමාර වීදියේ පිහිටා ඇති, 17 වැනි සියවසට අයත් දැවැන්ත කුළුණු මත ගොඩ නංවා ඇති ඕලන්ද පන්නයේ දෙමහල් මැදුර මග හැරෙන්නට නම් විදියක් නැහැ. ලන්දේසි පාලන සමයේ දී නිර්මාණය කර ඇති මෙය ආණ්ඩුකාර තෝමස් වෑන් රී මැතිඳුන්ගේ කාලයේ (1692 – 1697) දී ගොඩ නංවා ඇති අතර පසු කාලීන ව ඔහුගේ නිල නිවෙස ලෙස ද භාවිත කර තිබෙනවා. දැනට කොළඹ නගරයේ දක්නට ඇති ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව නිම වන ලද පැරණිත ම දෙමහල් ගොඩනැගිල්ල ලෙස සැලකෙන්නේ ද මෙය යි.

සොඳුරු අංගණයකින්, දිගු ආලින්දයන්ගෙන් සහ දැවමය පියගැට පෙළකින් සමන්විත ඕලන්ද කෞතුකාගාරය ආණ්ඩුකාර තෝමස් වෑන් රී මැතිඳුන්ගේ ධුර කාලයෙන් පසු ව ලන්දේසි පෙරදිග ඉන්දියා වෙළඳ සමාගමට අලෙවි කර ඇති අතර ලන්දේසි පාලන සමය අවසන් වන තෙක් එය වන්දනා කටයුතු සඳහා සහ අනාථ නිවාසයක් ලෙස භාවිත කර තිබෙනවා. බ්‍රිතාන්‍ය පාලන සමයේ දී යුද හමුදා රෝහලක්, පොලිස් පුහුණු පාසලක්, ආයුධ ගබඩාවක් සහ අවසන් වශයෙන් පිටකොටුව තැපැල් කාර්යාලය ලෙස භාවිත කරන ලද එය ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව මගින් කෞතුකාගාරයක් ලෙස පිහිටුවා ඇත්තේ 1982 වර්ෂයේ දී යි.

tripadvisor.com

පිටකොටුවේ ඕලන්ද කෞතුකාගාරයේ දී ලන්දේසි ගෘහ භාණ්ඩ, කාසි, බීරලු රේන්ද, ලන්දේසි අකුරු රටා, පිඟන් භාණ්ඩ, රෙපරමාදු ආගමට අයත් නොයෙකුත් සංකේත සහ ලන්දේසි සමයට අයත් කෞතුක භාණ්ඩ තුන් දහසක් පමණ දක්නට ලැබෙන අතර එයින් සමහරක් කොළඹ ජාතික කෞතුකාගාරයෙන් රැගෙන එන ලද ඒවා යි. ඉරිදා, සඳුදා සහ පොදු නිවාඩු දිනවල දී හැර අනෙකුත් සෑම දිනක ම පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත ඕලන්ද කෞතුකාගාරයට ඇතුළු වීම සඳහා දේශීය සංචාරකයන්ගෙන් රු. 25/- ක් ද විදේශිකයන්ගෙන් රු. 500/- ක් ද අය කරනවා.

සමුද්‍ර කෞතුකාගාරය (ගාල්ල)

©Ji-Elle

ලක්දිව දක්ෂිණ වෙරළ තීරයේ සාගර ජීව විද්‍යාත්මක සහ මානව විද්‍යාත්මක කරුණු මහජනතාව වෙත රැගෙන පැමිණෙන එක ම කෞතුකාගාරය ලෙස සැලකෙන්නේ ගාල්ලේ සමුද්‍ර කෞතුකාගාරය යි. ගාලු කොටුවේ පිවිසුම් දොරටුව අසල පිහිටා ඇති, 1671 වර්ෂයේ දී ගොඩ නංවන ලද පැරණි ලන්දේසි ගබඩාව, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව මගින් සමුද්‍ර කෞතුකාගාරයක් ලෙස නිර්මාණ කර 1992 මැයි 9 වැනි දින ප්‍රසිද්ධ ප්‍රදර්ශනය සඳහා විවෘත කර තිබෙනවා.

නමුත් 2004 වර්ෂයේ දී පැමිණි සුනාමි තත්ත්වය හේතුවෙන් සමුද්‍ර කෞතුකාගාරය සහ එහි ප්‍රදර්ශනය සඳහා පැවති කෞතුක භාණ්ඩ සියල්ල ම විනාශ වූ අතර, ශ්‍රී ලංකා-නෙදර්ලන්ත සංස්කෘතික සහයෝගිතා වැඩසටහන යටතේ නෙදර්ලන්ත රජය විසින් සමුද්‍ර කෞතුකාගාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ලබා දුන් රුපියල් මිලියන 121 ක මූල්‍ය ආධාර යොදා ගනිමින් තෙවසරක කාලයක් තුළ දී යළි යථා තත්ත්වයට පත් කරන ලද කෞතුකාගාරය, යළිත් වරක් මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරන ලද්දේ 2010 මාර්තු 4 වැනි දින යි.

yamu.lk

සමුද්‍ර කෞතුකාගාරයේ පළමු මැදිරිය තුළ දක්ෂිණ ශ්‍රී ලංකාවේ සමුද්‍ර වෙළඳාමට සහ මගී ප්‍රවාහනයට යොදා ගත් යාත්‍රා මෙන් ම ධීවර ජනයාගේ සාම්ප්‍රදායික ජීවන රටා සහ ක්‍රමෝපායන් අනුරූප ඇසුරෙන් ප්‍රදර්ශනය කෙරෙනවා. දෙවැනි මැදිරිය සම්පූර්ණයෙන් ම වෙන් වී ඇත්තේ සාගරය ආශ්‍රිත පරිසර පද්ධති හා ඒවායේ ශාක සහ සත්ත්ව විශේෂ සඳහා යි. කොළඹ ජාතික කෞතුකාගාරයේ දී මෙන් ම මෙහි දී ද යෝධ තල්මස් සැකිල්ලක් දැක ගත හැකි අතර කොරල් පර ආදර්ශක සහ බෙලි කටු වර්ග ද දැක ගැනීමට ලැබෙනවා.

ආරියපාල වෙස් මුහුණු කෞතුකාගාරය (අම්බලන්ගොඩ)

shrilankablog.ru

1987 වර්ෂයේ දී ආරියපාල වෙස් මුහුණු කෞතුකාගාරය නිර්මාණ කර ඇත්තේ අම්බලන්ගොඩ වෙස් මුහුණු සාම්ප්‍රදායේ ඇති අපූර්වත්වය සහ එහි සංස්කෘතික උරුමය ලොවට පෙන්වීමේ අරමුණ ඇති ව යි. ඒ සඳහා පාරම්පරික වෙස් මුහුණු ශිල්පියෙක් වූ ආරියපාල ද සිල්වා විජේසූරිය මහතා මූලිකත්වය ගෙන කටයුතු කර තිබෙනවා. කෞතුකාගාරය සමග නිර්මාණය කරන ලද වෙස් මුහුණු වැඩපොළ මෙන් ම ශ්‍රී ලංකාවේ වෙස් මුහුණු කලාව ගැන තොරතුරු ඇතුළත් ග්‍රන්ථ රැසකින් සමන්විත කුඩා පුස්තකාලය, ලක්දිව සාම්ප්‍රදායික කලා ශිල්ප ගැන හදාරන්නන්ට දැනුම සපයන තොරතුරු ගබඩාවක්.

shrilankablog.ru

ශ්‍රී ලංකාවේ දී දක්නට ලැබෙන සෑම වෙස් මුහුණක් ම මෙහි ප්‍රදර්ශනය සඳහා තබා නොතිබුණ ද, ආරියපාල වෙස් මුහුණු කෞතුකාගාරයේ දී දක්නට ලැබෙන සුවිශේෂී වෙස් මුහුණු එකතුවක් ලෙස 1985 සහ 1986 වර්ෂයන් හි දී බටපොළ සහ අම්බලන්ගොඩ පවත්වන ලද කෝළම් මඩුවේ දී සහ සන්නි යකුමේ දී යොදා ගන්නා ලස වෙස් මුහුණු සැලකිය හැකි යි.

ජන කෞතුකාගාරය (අනුරාධපුරය)

නුවර වැව, කලා වැව සහ පදවිය වැව යන ඉපැරණි වාරි කර්මාන්තයන්ගෙන් පෝෂණය වූ නුවර කලාවියේ පැරණි ගැමි ජනතාවගේ සමාජ, සංස්කෘතික, ආගමික සහ ආර්ථික තොරතුරු පිළිබිඹු කරන කෞතුක භාණ්ඩ එක් රැස් කර, සංරක්ෂණය කර, ප්‍රදර්ශනය කිරීමේ අරමුණෙන් අනුරාධපුර ජන කෞතුකාගාරය 1971 අගෝස්තු 22 වැනි දින අරඹන්නේ කොළඹ ජාතික කෞතුකාගාරයට අයත් ප්‍රාදේශීය කෞතුකාගාරයක් ලෙස යි.

© Duminda Laksiri

අනුරාධපුර ජන කෞතුකාගාරයේ දී කොටු ගම්මානවල (ක්‍රිස්තු වර්ෂ 12 වැනි සියවසේ දී පමණ විදේශ ආක්‍රමණ හේතුවෙන් අනුරාධපුර රාජධානිය නිරිත දිගට සංක්‍රමණය වීම නිසා රජරට ප්‍රදේශයේ ඉතිරි වූ ගැමියන් බාහිර සම්බන්ධතාවලින් බැහැර වී කටයුතු කළා. මේ නිසා එම ගම්මාන කොටු ගම් ලෙස හඳුන්වා තිබෙනවා) පැවති ගොවිතැන, පුරාණ වෙදකම, ගෘහ උපකරණ, ආගමික ඇදහිලි සහ විශ්වාසයන්, සාම්ප්‍රදායික ජන ක්‍රීඩා, ඇඳුම් පැළඳුම් වගේම ගොවිතැන හැරුණු විට පැවති වෙනත් කර්මාන්ත හා බැඳුණු කෞතුක භාණ්ඩ රැසක් ද දැක ගැනීමට ලැබෙනවා.

©Dimuth Weerasekera

එසේ ම අනුරාධපුර ජන කෞතුකාගාර භූමියට පිවිසෙන අයෙකුට එළිමහනේ ඉදි කර ඇති ගැමි ගෙයක්, වී බිස්සක් සහ කුරහන් අටුවක ආකෘතියක් ද දැක බලා ගැනීමට හැකි යි. අඟහරුවාදා සහ ප්‍රසිද්ධ නිවාඩු දින හැරුණු විට කෞතුකාගාරය සෑම දිනක ම පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත ව පවතිනවා.

හුඩ්ස් ටවර් නාවික කෞතුකාගාරය (ත්‍රිකුණාමලය)

ඉන්දියානු සාගරය පුරා නාවික බලයේ මහිමය පෙන් වූ, අභිමානවත් ඉතිහාසයක මංසලකුණු සොයන්නට යා යුතු ම ස්ථානයක් ලෙස ත්‍රිකුණාමලය ඇතුළත වරායේ පිවිසුම් දොරටුව අසල ඇති ශ්‍රී ලංකා නාවික හමුදාවේ තටාකාංගණය තුළ පිහිටා ඇති හුඩ්ස් ටවර් නාවික කෞතුකාගාරය හැඳින්විය හැකි යි. නාවික කෞතුකාගාරය සඳහා හුඩ්ස් ටවර් යන නාමය ලැබී ඇත්තේ ඒ අසල පිහිටා ඇති පෙරදිග ඉන්දීය සේවා ස්ථානයේ අණදෙන නිලධාරී තනතුර දැරූ උප අද්මිරාල් ශ්‍රීමත් සැමුවෙල් හුඩ්ගේ නමින් නම් කර ඇති නිරීක්ෂණ කුළුණ හේතුවෙන්.

© L. Manju

මෙහි දී එල්. ටී. ටී. ඊ. ත්‍රාස්තවාදීන් පරාජය කිරීමද අැතුළත්ව ශ්‍රී ලංකා නාවික හමුදාව ඉතිහාසය මුල සිට අගට දැක ගැනීමට හැකි යි. කෞතුකාගාර භූමියේ දී දැක ගැනීමට ලැබෙන දැවැන්ත තුවක්කු අටවන ලද පෝරු සහ භූගත උණ්ඩ 1920 දී පමණ බ්‍රිතාන්‍යයන් විසින් ගොඩ නංවන ලද ඒවා යි. කිලෝමීටර් 4 ක පමණ පරාසයක් සහිත මෙම තුවක්තු යොදාගෙන ඇත්තේ ත්‍රිකුණාමලයට ළඟා වන සතුරු නෞකා විනාශ කිරීම සඳහා වන අතර මෙයින් කිහිපයක් තවමත් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ක්‍රියාකාරී තත්ත්වයේ පවත්වාගෙන යනු ලබනවා.

homestaysrilanka.blogspot.com

ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් 1990 දී පමණ අරඹන ලද හුඩ්ස් ටවර් කෞතුකාගාරයේ දී දෙවැනි ලෝක සංග්‍රාම සමයේ දී භාවිත කරන ලද අවි ආයුධ මෙන් ම ත්‍රස්තවාදීන් සතු ව තිබී අත්පත් කර ගන්නා ලද මුහුදු කොටි යාත්‍රා, එල්. ටී. ටී. ඊ. ආයුධ සහ චාල්ස් ඇන්තනි විසින් භාවිත කරන ලද ATV එකක්ද (ඕනෑම තැනක පදවාගෙන යා හැකි වාහනයක්) ද දැක ගැනීමට හැකි යි. එසේ ම 1971 දී ජනතා විමුක්ති පෙරමුණ විසින් භාවිත කරන ලද තුවක්කු ප්‍රදර්ශනය සඳහා ද වෙන ම මැදිරියක් වෙන් කර තිබෙනවා.

කවරයේ පින්තූරය : (©Ji-Elle)

Related Articles