Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දියවන්නා පාර්ලිමේන්තුව බිහි වීම දක්වා වූ ගමන් මඟ

1982 වසරේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නිර්මාණය කර විවෘත කළ නව පාර්ලිමේන්තුව, දියවන්නාවේ පිහිටි රට කරවන තැන, නිර්මාණය වූ ආකාරය හා එහි විශේෂත්වය ඔබ වෙත ගෙන ඒමට යි මේ සූදානම. 

නව පාර්ලිමේන්තුව නිර්මාණයට බල පෑ හේතුව, අතීතයේ දී ව්‍යවස්ථාදායක හා මන්ත්‍රණ සභා පැවති ගොඩනැඟිලි පිළිබඳත් මේ ලිපියේ අන්තර්ගත වෙනවා.

අද විදේශ අමාත්‍යංශය පිහිටි ගොඩනැගිල්ල එදා පළමු ව්‍යවස්ථාදායක සභා ගොඩනැගිල්ල යි (newsfirst.lk)

ලංකාවේ ව්‍යවස්ථාදායක හා මන්ත්‍රණ සභා ගොඩනැගිලි 

අතීත සිංහල රාජ්‍යය පාලනයෙන් පසුව අපේ රට බටහිර ආක්‍රමණිකයන්ගේ ග්‍රහණයට නතු වෙනවා. ඒ අනුව ක්‍රි.ව 1505 දී පෘතුග්‍රීසින් විසින් ද, පසුව ලන්දේසින් විසින් ද, අනතුරුව 1796 වසරේ දී ඉංග්‍රීසින් විසින් ද මෙරට මුහුදුබඩ ප්‍රදේශයන් අල්ලාගනු ලබනවා. 1815 වසරේ ඉංග්‍රීසින් හා උඩරට ප්‍රභූන් අතර අත්සන් කළ ගිවිසුමෙන් පසුව මුළු ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිතයක් බවට පත් වෙනවා.

මෙරට වැසියන් ඉංග්‍රීසි පාලනයට එරෙහිව ඇති කළ කැරලි හේතුවෙන් ලංකාවට පළමු වතාවට දේශපාලන ප්‍රතිසංස්කරණ කිහිපයක් හඳුන්වා දීමට ඉංග්‍රීසින් තීරණය කරනවා. ඒ කෝල්බෘක්-කැමරන් කොමිසම හරහා යි. එහිදී ප්‍රථම වතාවට ව්‍යවස්ථාදායක සභා හා විධායක සභා ඇති කරනවා. 

ව්‍යවස්ථාදායක හා විධායක සභා රැස්වීම් සඳහා මුලින්ම භාවිතා කරන්නේ කොළඹ කොටුවේ පිහිටි ගොඩනැගිල්ලක්. වර්තමානයේ එහි පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය යි. පසුව ගෙන ආ කෘ මැකලම් ආණ්ඩු ක්‍රමයෙන්, මැනින් ආන්ඩු ක්‍රමයෙන් පසුව ව්‍යවස්ථාදායක සාමාජිකයන් ප්‍රමාණය ක්‍රම ක්‍රමයෙන් වැඩි වෙනවා. 1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රමය ගෙන ඒමේ දී එතෙක් කලක් පැවති ව්‍යවස්ථාදායක සභාව වෙනුවට රාජ්‍ය මන්ත්‍රණ සභාව හඳුන්වා දෙන අතර රාජ්‍ය මන්ත්‍රණ සභාව සාමාජිකයන් 61 දෙනෙකුගෙන් සමන්විත වෙනවා.

මෙහිදී වඩා ඉඩකඩකින් යුක්ත මන්ත්‍රණ සභා ගොඩනැගිල්ලක අවශ්‍යතාවය මතුවෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ගාලු මුවදොර ඉදිරියේ භූමි කොටසක් ඒ සඳහා තෝරා ගන්නවා.  එහි වඩා අලංකාර හා අභිමානයෙන් යුක්ත ගොඩනැගිල්ලක් ඉදිකිරිම සඳහා කටයුතු සුදානම් වෙනවා. මෙහි ප්‍රධාන ගෘහනිර්මාණ ශිල්පියා ලෙස Austin Woodeson කටයුතු කරනවා. ඉදි වූ නව ගොඩනැගිල්ල 1930 වසරේ ජනවාරි 29 දින රාජ්‍ය මන්ත්‍රණ සභා ගොඩනැගිල්ල ලෙස නම් කර විවෘත කරනවා (වර්තමානයේ මෙය ජනාධිපති ලේකම් කාර්යාලය ලෙස භාවිතා කරනු ලබනවා).

1930 වසරේ ජනවාරි 29 දින විවෘත කළ රාජ්‍ය මන්ත්‍රණ සභා ගොඩනැගිල්ල (wikimedia.org)

නව පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලක අවශ්‍යතාවය

1946 දී ගෙන ආ සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් තවත් දේශපාලන ප්‍රතිසංස්කරණ රැසක් හඳුන්වා දෙන අතර මෙවර එය උත්තර මන්ත්‍රී මණ්ඩලයකින් හා නියෝජිත මන්ත්‍රී  මණ්ඩලයකින් සමන්විත වෙනවා. උත්තර මන්ත්‍රී මණ්ඩලය සාමාජිකයන් 30 දෙනෙකුගෙන් ද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය 101 දෙනෙකුගෙන් ද සමන්විත වන අතර ඉන් 95 දෙනෙක් සර්වජන ජන්ද බලයෙන් ද 6 දෙනෙක් ආණ්ඩුකාරවරයා විසින් ද පත්කරනු ලබනවා. 

1948 වසරේ දී ලංකාවට ඩොමීනියන් තත්ත්වයේ නිදහසක් හිමිවෙන අතර ලංකාවේ පළමු අග්‍රාමාත්‍යවරයා ලෙස ඩි. එස් සේනානායක පත්වෙනවා. 1972 වසරේ මැයි 22 වන දා ලංකාව, ශ්‍රී ලංකා ජනරජය බවට පත් වීමේ පළමු ජනරජ ව්‍යවස්ථාව එවකට අගමැතිනිය වන සිරිමා බණ්ඩාරනායක විසින් ගෙන එනු ලබනවා. ඒ සමගම මණ්ඩල දෙකකින් සමන්විත වූ සභාව ඉන් පසුව සමන්විත වෙන්නේ ජාතික රාජ්‍ය සභාව නමින්. එයට ජන්දයෙන් පත් වූ නියෝජිතයන් 168 දෙනෙක් අයත් වෙනවා.

1978 වසරේ දී දෙවන ජනරජ ව්‍යවස්ථාව හඳුන්වා දී, ඊට පසුව එකතු වූ සංශෝධන මඟින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගණන 225 දක්වා ඉහළ නැංවෙනවා. ඉන් 29 දෙනෙක් ජාතික ලැයිස්තුවෙන් පත් කරනු ලබනවා.

දියවන්නාවේ පාර්ලිමේන්තුව (newagebd.com)

නව පාර්ලිමේන්තුවට ගෙවැදීම 

ගාලුමුව දොර පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ  පිහිටි ඉඩකඩ මඳ වීමත් සමග නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ අවශ්‍යතාවය මතු වෙනවා. ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයේ නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලක් ඉදිකිරීමට 1979 වසරේ දී අනුමැතිය හිමි වෙනවා. පෙර රජ සමයේ කෝට්ටේ නගරය ඉතා වැදගත් කාර්යයන් රැසකට මුල් වූ නගරයක් බැවින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිකිරිම සඳහා එම ප්‍රදේශයම තෝරාගත් බව සඳහන් වෙනවා.

දියවන්නා ඔයේ පිහිටි මනරම් අක්කර 16ක කුඩා දූපතක පාර්ලිමේන්තුව ඉදිකිරිම ආරම්භ කරන අතර මේ සඳහා එවකට ජනාධිපති ජේ. ආර් ජයවර්ධනගේ මඟපෙන්වීම යටතේ අගමැති ප්‍රේමදාස පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු මෙහෙයවනවා. වැඩ නිම වී 1982 අප්‍රේල් මාසයේ 29 වන දින එය, උත්සවකාරයෙන් විවෘත කරනු ලබනවා. 

සභා ගර්භය (i2.wp.com)

ගොඩනැඟිල්ලේ විශේෂතා

නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල විවෘත කිරීමත් සමඟ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරය ශ්‍රී ලංකාවේ ප්‍රධාන පරිපාලන නගරය බවට පත්වෙනවා. වර්ග මීටර් හතලිස් අටදහසක් පැතිරුණු මෙහි සැලසුම නිර්මාණය කරන්නේ සුප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පී ජෙෆ්රි බාවා විසින්. 

ශ්‍රී ලංකා සම්ප්‍රදායන් මුල් කරගෙන නිර්මාණය කර ඇති පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ සියලු ගෘහ නිර්මාණ ශිල්පයන් සඳහා දේශීයත්වයට ප්‍රමුඛතාව ලබා දී තිබෙනවා. පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා නා වෘක්ෂයන්ගෙන් සපිරි මාර්ගයක් පසු කළ යුතු අතර ගොඩනැගිල්ල තුළට පිවිසීමට පෙර නිල්මහනෙල්වලින් පිරි පාර්ලිමේන්තු පොකුණු පසු කළ යුතු වෙනවා.

සභා ගර්භය ඇතුළත (groundviews.org)

ඒවා පසු කිරීමෙන් පසුව සභා ගර්භයට පිවිසීමේ ආලින්දය හමුවෙනවා. එහි කෙලවර පාර්ලිමේන්තුවේ විශේෂ උත්සව ශාලාව පිහිටා තිබෙනවා. ආලින්දය මැද විශාල ලෝකඩ දොරක් පිහිටා තිබෙනවා. සභා ගර්භයට පිවිසීමට ප්‍රථම මෙහිදී මංජු ශ්‍රී චිත්‍ර ශිල්පියාගේ විශිෂ්ට බිතු සිතුවම් කිහිපයක් දකින්න ලැබෙනවා. 

සභා ගර්භයට පිවිසීමේ ප්‍රධාන දොරටුව

සභා ගර්භයට පිවිසීමේ ප්‍රධාන දොරටුව තඹ හා රිදියෙන් නිර්මාණය කර තිබෙනවා. එහි ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පූර්විකාව සිංහල,දෙමල හා ඉංග්‍රීසි භාෂාවෙන් ලේඛනගත කර තිබෙනවා. ප්‍රධාන පිවිසුමට අමතරව තවත් පිවිසුම් කිහිපයක් මෙහි දකින්න පුළුවන්. ඒවා මන්ත්‍රීන්ට හා කාර්ය මණ්ඩල සඳහා වෙන් වී තිබෙනවා.

සභා ගර්භය දෙස බලන විට එය හැඩයෙන් සෘජුකෝණාශ්‍ර වන අතර මහල් දෙකක් පුරා පැතිර පවතිනවා. පැරණි රජවරුන්ගේ රිදී කොඩි, පන්සල් හා කෝරළ කොඩි 18 ක් හා අඩි 7ක් උස ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංජනය ද ඉහළින් දකින්න ලැබෙනවා. තව ද සිවිලිමේ මධ්‍ය ලක්ෂයේ සිට පහළට වැටෙන සේ තඹවලින් නිර්මාණය කර රිදී ආලේප කර ඇති යෝධ පොකුරු පහන සභාවට ගෞරව පෙනුමක් ගෙන එනවා.

පාර්ලිමේන්තුව තුළ විවිධ චිත්‍ර කැටයම් මෝස්‌තර හා ගෘහ නිර්මාණ ශිල්පය ඉතා අලංකාර ලෙස භාවිතා කර ඇති අතර ඒ පිළිබඳව තවත් ලිපියකින් හමුවෙමු.

කවරයේ පින්තූරය -wikimedia.org

Related Articles