අප්‍රිකාවෙන් ඇවිත් සිරම්බිඅඩියේ පවුල්කන සිංහල කාපිරි

අමුතුම භාෂාවකින් ගීත ගායනා කරන, නිතර ප්‍රීතියෙන් කල්ගත කිරීමට කැමති, කාල වර්ණ සමකින් යුත් ලංකාවේ කාපිරි,  නැතහොත් ‘සිලෝන් කැෆර්’ යන නම්වලින් හැඳින්වෙන ජනතාවක් අදටත් ජීවත් පුත්තලම ‘සිරම්බිඅඩිය’ ගම්මානයේ ජීවත් වෙනවා. ඔවුන්ගේ ඉතිහාසය සොයාබැලීම කුතුහලය දනවන වැඩක්. නමුත් අද ඔවුන්ට අයත්ව ඇති ඉරණම නම් ශෝචනීය යි.

ගෙන්නුවේ පරංගි

කාපිරි පවුලක් -kiptra.com

අඳුරු මහාද්වීපය ලෙස සුද්දන් විසින් හැඳින්වුණු අප්‍රිකාවෙහි, සහරාවට දකුණු දෙසින් වාසය කරන නිග්‍රෝ ජන ප්‍රජාව මෙරටට මුලින්ම පැමිණෙන්නේ පෘතුගීසින් මෙරට පාලනය කළ 1630 ආසන්න සමයේ දී යි. වහල් වැඩ කිරීම සඳහා ඔවුන් මෙරටට ගෙන්වා ඇති අතර, පසුව ඔවුන් කොළඹ, මඩකලපුව, පුත්තලම, ත්‍රිකුණාමලේ ආඬිමුණේ කලාඔය පදිංචි වී තිබෙන බව පැවසෙනවා. පුත්තලම සිරම්බිඅඩියේ පදිංචි කාපිරි ජනතාව මෙරටට පැමිණ ඇත්තේ මොසැම්බික් නම් අප්‍රිකානු රටෙන් බව යි ඔවුන් කියන්නේ. මුදු සහිත හිසකෙස්, කළු වර්ණය, විශාල තොල්, නාසයේ හැඩය, කන්වල හැඩය ඔවුන්ගේ  අප්‍රිකානු ජානවල ලක්ෂණ යි. අදටත් කාපිරි ජනතාව යම් අනන්‍යතාවයකින් ජීවත් වන්නේ සිරම්බිඅඩිය ගමෙයි.

කාපිරි ජන කොටස විවාහය සිදුකරනු ලබන්නේ දේවස්ථානය මුල්කරගනිමින්. දේව මෙහෙය පවත්වනු ලබන්නේ ද කාපිරි භාෂා මංගල්‍ය ගීතයක් ගායනා කරමින් වීම විශේෂිත යි.

කාපිරි කැරැල්ල

ඉංග්‍රීසි යටත්විජිත කාලෙ කාපිරි තරුණයෙක්- lakdiwanews.com

ලන්දේසි 1658 දී පාතුගීසින් පලවාහැර මෙරට මුහුදුබඩ පළාත් අල්ලාගත් පසු සෑමතැනම විසිරී සිටි කාපිරි මිනිසුන් 4000ක් එක්රැස් කර වහල් වැඩට යොදාගත් බව ආණ්ඩුකාර වැන් ගොඑන්ස් ප්‍රකාශ කර තිබෙනවා. 

ලන්දේසි සමයේ කොළඹ කොටුවේ සිටි කාපිරි ජනතාව පත්ව සිටි පීඩනය නිසා එකතු වී කැරැල්ලක් ආරම්භ කළා. එහි ප්‍රතිඵලයක් ලෙස නගරයේ පිස්කල් නිලධාරියා සහ ඔහුගේ බිරිඳ  කාපිරි අතින් මියගිය බව සඳහන් වෙනවා. පසුව කාපිරි කැරැල්ල මර්දනය කර, කාපිරි ජාතිකයන් කොටුවෙන් පිටත බේරේවැව අසල කාපිරි පිට්ටනිය නම් තැනකට ගාල් කර තිබෙන බව ආර්. එල්. බ්‍රෝහියර් සඳහන් කරනවා.

සිරම්බිඅඩියේ කැෆර්ලා

කාපිරි ජනතාව පැතිර සිටි ප්‍රදේශ-kiptra.com

රෝමානු කතෝලික බැතිමතුන් වූ සිලෝන් කැෆර් පවුල් 30කට අධික කණ්ඩායමකට අයත් පුද්ගලයෝ 300ක් පමණ පුත්තලම සිරම්බිඅඩිය ග්‍රාමසේවා වසමේ ජීවත් වෙනවා. ස්ථීර රැකියාවක් නොමැති මේ බොහෝ දෙනා විවිධ රැකියාවල නිරත වනවා. ලුණු ලේවායේ, බැංකු, රෝහල්වල, මේසන් වැඩ වැනි වෘත්තීන්වල සුළු පිරිසක්‌ යෙදී සිටිනවා. වැඩි ප්‍රමාණයක්‌ තවමත් පොල් කැඩීම, පොල් අතු විවීම, කුලී වැඩ, කොහුමෝල්වල වැඩට යැම වැනි වැඩවල නිරතවෙනවා. ඒ අතර රාජ්‍ය සේවයේ නිරතවන සුළු පිරිසක් ද සිටිනවා. වර්තමානයේ සිලෝන් කැෆර් දරුවන් විස්සක් පමණ සිරම්බිඅඩිය මහා විද්‍යාලයේ ඉගෙන ගන්නවා.

සිලෝන් කැෆර් කාන්තාවන් සිංහල පිරිමින් හා විවාහ වීමත්, සිලෝන් කැෆර් පිරිමින් සිංහල කාන්තාවන් සමග විවාහ වීමත් කාලයක පටන් සිදුවෙන දෙයක්.

සුද්දන්ගෙ කාලෙ කාපිරි තොරතුරු

කාපිරි පුද්ගලයෙක් -roar.lk

ඉංග්‍රීසින් 1815 දී මෙරට යටත්කර ගත් අවස්ථාවේ කාපිරි රෙජිමේන්තුවක් පිහිටුවීමට තවත් අප්‍රිකානුවන් 6000ක් රැගෙන ආ බව සඳහන්. ඒ අනුව 1817 දී මෙරට ස්ථිර ලෙස පදිංචිවූ පිරිස සිලෝන් කැෆර් ලෙසින් අපේම ජන කණ්ඩායමක් ලෙස ගොඩනැගෙනවා.  

එක්දහස් අටසිය ගණන්වල දී ඉංග්‍රීසින් පිහිටවූ තුන්වැනි රයිපල් රෙජිමේන්තුව අප්‍රිකානුවන්ගෙන් සැදුම් ලද්දක් වූ අතර, එහි ද වැඩි වශයෙන් සිටියේ කාපිරි භටයන්ය. මේ රෙජිමේන්තුවේ එක් බලඇණියක් පුත්තලම කොටුවේ ආරක්ෂක සේවයේ සිටියදී ඒ රෙජිමේන්තුව අඩු කිරීමට රජය තීරණය කළේය. මේ රෙජිමේන්තුවේ සිටි බොහෝ සෙබළුන් ද පක්ෂපාතී අය ද පුත්තලමට ගොස් තමතමන්ගේ පවුලේ උදවියත් සමග පදිංචිවීමට තීරණය කළහ.   

(බ්‍රොහියර් හඳුනාගත් ලංකාව – ආර්. එල්. බ්‍රෝහියර්)

ගීත ගයමින් සතුටුවෙමින්-  youtube.com

1845 දී වහල් මෙහෙය අවසන් කරන නීති සම්මත වුණා. ඊට පසු ඉංග්‍රීසි ආණ්ඩුව මෙරට සිටි අප්‍රිකානු වහලුන් 9000කට නිදහස ලබා දුන් අතර ඔවුන්ට තමන් කැමති වෘත්තියක් කිරීමට අවස්ථාව හිමිවුණා.

කොළඹ කොටුවේ ලංකා බැංකු ගොඩනැගිල්ල අසල ඇචිලන් බැරැක්‌කවලට යාබදව කපිර් වෙල්ඩ්ට්‌ හෙවත් කාපිරි තැන්න තිබුණා. ඕලන්ද බසින් කපිර් වෙල්ඩ්ට්‌ යනු කාපිරින් පෙරට්‌ටුව සඳහා කැඳවූ ස්‌ථානයයැ යි සැලකෙනවා.  කාපිරි මුඩුක්‌කුව පිහිටා තිබුණේ වර්තමාන කොළඹ පිටකොටුව ප්‍රදේශයේ කෝසල මාවතේ, රෝහිණි පටුමඟේ යි. දෙවැනි ලෝක යුද සමයේ ලංකාවේ ඉංග්‍රීසි හමුදා සේනාංකවල කාපිරි මිනිසුන් සේවය සඳහා යොදවා ගෙන තිබෙනවා.

වැනසී යන ජන කොටසක්

සිරම්බිඅඩියේ කැෆර් ජනතාවගෙන් කොටසක්-deshaya.lk

කැෆර්වරුන්ගේ මව් භාෂාව භාවිතයෙන් ඈත්ව යෑම නිසා දැන් මේ භාෂාව මළ භාෂාවක් බවට පත් වෙලා. මෙරට දී ඔවුන් පෘතුගීසි මව් භාෂාව වෙනුවට දිගටම අධ්‍යාපනය ලැබුවේ සිංහල භාෂාවෙන්. අලුත් පරම්පරාව කතා කරන්නේ සිංහල භාෂාවෙන්. ඔවුන්ගේ මුල් භාෂාව පිළිබඳ අල්ප හෝ දැනුමක් ඇත්තේ සිලෝන් කැෆර් ජනතාව අතරින් වැඩිහිටියන් කිහිදෙනෙකුට පමණ යි. ඔවුන්ට ආවේණික සිරිත්විරිත් අද වනවිට වියැකී යමින් පවතිනවා. ගෝත්‍රයෙන් පිට විවාහ කර ගනිමින් තමන් කාෆිරි යන වග අමතක කරදමා ඇති බව කාෆිරි ජනයාගේ පැරැන්නන් පවසනවා.

මාඤ්ජා කාපිරි සිංදු

බාලා රගුන් තෙකෝ වේගවත් නැටුමක්- thecatamaran.org

ඩෝලය යි, පොල්කටු දෙක යි, රබාන යි, බෝතලය යි, කාසිය යි, පොල්කටු හැඳි දෙක යි උපයෝගී කර ගනිමින් මවන නාද රටාව ඔවුන්ටම ආවේණික වූවක්. මේ ගීත ගායනය ආරම්භ වන්නේ පහළ ස්වරයකින්. ක්‍රමක්‍රමයෙන් වේගවත් වන සංගීතය ඉහළ ස්වරයෙන් ගීතය ගැයෙද්දී නර්තනයේ යෙදෙන අය ඒ වේගය වැඩිකරමින් නටනවා. මාඤ්ජා නැමති මෙම සංගීත ක්‍රමය බලා සිටින කාගේත් සිත් ඇදබැඳ ගන්නා  සරල සංගීත කලාවක්. 

කාපිරි ජනකොටස විනෝදකාමී ජන චර්යාවකට බොහෝ ඇලුම්කරන පිරිසක්. නිතර ගීත ගායනා කරමින් අපූරුවට රංගනයේ යෙදෙනවා.

‘‘බාලා රගුන් තෙකෝ..

බාලා රගුන්.. තේකෝ

බාලා රගුන් තෙකෝ..

විර වීර බයි ලමඤ්ඤ දෙකෝ..’’

මේ සින්දුවෙන් කියන්නේ බාල අයට නටන්න කියල, කැරකි කැරකි නටන්න කියලයි.

සිඟාලි නෝනා සිඟාලි නෝනා ඉයු තෙරේ කපා ඔවුන් ගායනා කරන තවත් ජනප්‍රිය ගීතයක්.

අපි නටමු thecatamaran.org

සාමාන්‍ය ව්‍යවහාරයේ දී කපිරිඤ්ඤා ලෙස හැඳින්වුව ද, ඔවුන්ගේ ගීත කලාව හැඳින්වීමේ නිවැරදි පාරිභාෂික වචනය “මාඤ්ජා ගීත කලාව” යන්න යි. මෙම ගී ගැයෙන්නේ පෘතුගීසි භාෂාවෙන්. කාන්තා හා පිරිමි දෙපිරිසම මේ සදහා සහභාගී වන අතර කාන්තාවන් දිගු ගවුමකින් සැරසීම හා පිරිමින් සරමකින් ද කමිසයකින් ද සැරසීම සාමාන්‍ය සම්ප්‍රදාය යි. ඉතාම සිහින් හා මන්දගාමී සංගීතයක් සමගින් ඔවුන්ගේ ගායනය සහ නර්තනය ආරම්භ වන අතර ක්‍රම ක්‍රමයෙන් එහි වේගය වැඩි වෙනවා. අවසන ඉතා වේගවත් සංගීත රටා සමග ඊට අනුරූපව වේග රිද්මයෙන් ගැයෙන ගීත සහ නර්තනය නරඹන කා වුව ද ප්‍රබෝධමත් කරන්නට සමත් දර්ශනයක්. සිරම්බිඅඩිය කාපිරි ජනතාවගේ මාඤ්ජා ගීත කණ්ඩායමක් ද සිටිනවා.  මෑත භාගයේ දී ශ්‍රී ලංකාව තුළ ප්‍රසිද්ධියට පත්වු අතර ඔවුහු නොයෙකුත් උත්සව සදහා ආරාධනා ද ලබනවා.

වියපත් කාන්තාවක්- dailynews.lk

පුත්තලම ශාන්ත මරිය දේවස්ථානයේ මීසම් පාලක පයස් කෙනඩි ප්‍රනාන්දු පියතුමා කෆිර් ජනයා පිළිබඳ පවසන්නේ මෙවන් කතාවක්:

ශ්‍රී ලංකාවේ වාසය කරන ජනවර්ග අතරින් මැකීයන ජන වර්ගයක් විදිහට තමයි මේ අයව හඳුන්වන්නේ. ඒකට හොඳම සාක්ෂිය තමයි ජනසංගණනයේ දී මේ අයව නම් කරලා තිබෙන්නෙ ශ්‍රී ලංකා කැෆර් වෙනුවට වෙනත් ජන කොට්ඨාසයක් කියන ස්ථානයේ. රටේ ජන සංඛ්‍යා ලේඛනයෙන් ඔවුන් ඉවත් කරනවා කියන්නේ ඉදිරියේ දී මෙයාලාගේ අනන්‍යතාවය නැතුව යනවා කියන එක යි. මේ නිසා තමයි මේ විසිරිලා ඉන්න කැෆර් ජනතාව එකතු කරන්න අප කටයුතු කළේ. ඒ කටයුත්ත මුලින්ම අපි පටන් ගත්තේ 2017 දී මංගල්‍ය සිරම්බිඅඩිය දේවස්ථානයේ පැවැත්වුණ අවස්ථාවේ.  

අපි විසිරිලා හිටපු කැෆර් අයව ආරාධනා පත්‍ර දීලා තමයි ගෙන්නලා විවිධ ප්‍රසංගයක් තිබ්බේ. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි එයාලගේ ලංකාවට පැමිණීමේ වසර පන්සියයත් වහල් භාවයෙන් නිදහස් වෙලා වසර 200ක්  ගතවීමත් සැමරීමේ උත්සවයත් සූදානම් කරලා සෑම තැනකම විසිරිලා හිටිය කැෆර් ජනතාව එකතු කරලා ඒ අය භාවිත නොකර තිබූ එයාලාගේම සංස්කෘතියට යටගිය පැරණි දේවල් ඉස්මතු කරලා විවිධ ප්‍රසගයක් දේවස්ථාන භූමියේ පවත්වන්න හැකි වුණේ. 

(www.deshaya.lk)

Related Articles