කොරෝනාවෙන් බැටකන ලාංකීය මැදපෙරදිග ශ්‍රමිකයන්

දශක 4ක පමණ කාලයක සිට ලාංකීය ශ්‍රමිකයන් විශාල ප්‍රමාණයක් මැදපෙරදිග රටවල විවිධ රැකියාවන්හි නිරත වනවා. මේ ශ්‍රමිකයන් නිසා අප රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ලැබෙනවා. නමුත් පසුගිය කාල සමයේ දී මැදපෙරදිග සේවයේ නිරතවන ලාංකීය ශ්‍රමිකයන් විවිධ ගැටලුවලට මුහුණදුන්නා. එහි දී මැදපෙරදිග ගෘහ සේවයේ නිරත වන කාන්තාවන්ට සිදුවුණු විවිධ හිරිහැර පිළිබඳව මාධ්‍යය මඟින් නිතරම අසන්නට ලැබුණා. එලෙස අසීරුවෙන් මැදපෙරදිග රටවල්වල සේවයේ නිරතවෙමින් සිටින ලාංකීය ශ්‍රමිකයන්ට කොරෝනා වසංගතය මැදපෙරදිග කලාපය පුරා පැතිරයාමත් සමඟම අසීරු තත්ත්වයකට මුහුණදෙන්නට සිදු වුණා.

ලාංකිකයන් මැදපෙරදිග රැකියාවලට යාම ඇරඹුණු හැටි 

1977 වසරේ දී එක්සත් ජාතික පක්ෂ රජය බලයට පත්වන විට ලංකාවේ විරැකියාව ඉහළ ගොස් තිබුණා. එම අවධියේ දී එක්සත් ජාතික පක්ෂ රජය විසින් හඳුන්වාදුන් විවෘත ආර්ථික ප්‍රතිපත්තිය නිසා මෙරට වැසියන්ට විදෙස් රැකියා වෙළඳපොළ විවෘත වුණා. එහි දී මැදපෙරදිග රටවල්වලින් මෙරට ශ්‍රමිකයන්ට වැඩිම ඉල්ලුමක් තිබුණා. එම රටවල් කරා පහසුවෙන් ගමන් කිරීමට හැකිවීම සහ ලැබුණු ඉල්ලුම වැඩිවීම යන හේතු නිසා මෙරට ශ්‍රමිකයන් මැදපෙරදිග රැකියා කරා යාමේ ප්‍රවණතාවය සීඝ්‍රයෙන් ඉහළ ගියා. එලෙස මැදපෙරදිග රටවල් කරා ගිය කාන්තාවන්ට මැද පෙරදිග රටවල ගෘහ සේවිකා රැකියා වැඩි වශයෙන් හිමි වන විට පුරුෂ පක්ෂයට බරවාහන රියැදුරු රැකියා හිමි වුණා. නමුත් පසු කලෙක පිරිමි ශ්‍රමිකයන්ට පෙදරේරු, අරක්කැමි, වැද්දුම් ශිල්පය, ජල නළ ශිල්පය,මෝටර් කාර්මික අංශයේ රැකියා ඇතුළු වෘත්තීමය රැකියාවල ද නිරතවීමට අවස්ථාව ලැබුණා.

1977 එක්සත් ජාතික පක්ෂ ජයග්‍රහණයේ නියමුවා ජේ.ආර්. ජයවර්ධන (colombo telegraph)

විදෙස් ශ්‍රමිකයන් මෙරට ආර්ථිකය නැංවීමට දක්වන දායකත්වය

විදෙස්ගත ශ්‍රමිකයන් පසුගිය දශක කිහිපය පුරාවට මෙරට ආර්ථිකය සවිමත් කිරීමට දායකත්වය ලබාදුන්නේ විදේශ ප්‍රේෂණ එවීම මඟින්. ශ්‍රී ලංකා මහා බැංකුවේ සහ මුදල් අමාත්‍යංශයේ වාර්ෂික වාර්තාවන්ට අනුව එම ශ්‍රමිකයන් 2019 වර්ෂයේ දී ඇමරිකානු ඩොලර් බිලියන 6.7ක් විදේශ ප්‍රේෂණ ලෙස මෙරටට එවා තිබෙනවා. 2019 වර්ෂයේ දී එවන ලද එම ප්‍රේෂණ මඟින් වෙළඳ ශේෂයේ හිඟය 84%කින් පිරිමසා ගැනීමට හැකි වුණා. එලෙස වෙළද ශේෂයේ හිඟයක් ඇතිවන්නේ රටේ ආනයන වියදම, අපනයන ආදායම අභිබවා යාම නිසා යි. මුළු මහත් ශ්‍රී ලාංකිකයන් පරිභෝජනය කරන ආහාර, යානා වාහන, බොර තෙල්, අමුද්‍රව්‍ය ඇතුළු අනෙකුත් භාණ්ඩ මෙම ආනයන වියදම් තුළට ඇතුළත් වනවා. පසුගිය වසර තුළ මෙරට ඇඟලුම් අපනයෙන් ලැබුණ විනිමය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 5ක් ලෙස සටහන් වුණා. එසේම සංචාරක ව්‍යාපාරයෙන් ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 4කට ආසන්න වන විට තේ අපනයනයෙන් උපයාගත් විනිමය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන1.4ක් ලෙස සටහන් වුණා. ඉහත දත්තයන් අනුව පෙනීයන්නේ මෙරට ආර්ථිකය සවිමත් කිරීම සඳහා විදෙස් රැකියාවල නිරතව සිටින ශ්‍රමිකයන් විශාල දායකත්වයක් සපයන බව යි.

මැදපෙරදිග රැකියාවල නිරතවන ලාංකිකයන් (sri lankan mirror)

කොරෝනා පැතිරයාමත් සමග අසරණ වුණු මැදපෙරදිග ශ්‍රමිකයන් 

පසුගිය මාස කිහිපය තුළ මැදපෙරදිග රටවල්වලට කොරෝනා වසංගතයේ බලපෑම තදින්ම දැනුණා. මැදපෙරදිග රටවල් තුළ සීඝ්‍රයෙන් කොරෝනාවෛරසය පැතිර යන විට ලාංකික ශ්‍රමිකයන් රැසකට සිය රැකියා අහිමි වුණා. රැකියා අහිමි වුණු ඇතැම් ශ්‍රමිකයන් නැවතී සිටියේ සිය රාජකාරී ස්ථානයෙන් ලබාදුන් නවාතැන්වල යි. හදිසියේම රැකියාව සහ නවාතැන අහිමි වුණු ශ්‍රමිකයන්ට සිය ජීවිකාව ඉදිරියට ගෙනයාමට අපහසු වාතාවරණයක් උදා වුණා. එහි දී ඔවුන්ට වෙනත් ලාංකික ශ්‍රමිකයන්ගෙන් උදව් උපකාර ලැබුණා. නමුත් එම රටවලින් වාර්තා වුණු කොරෝනා ආසාදිතයින්ගේ ප්‍රමාණය ක්‍රමයෙන් වැඩිවීමත් සමග නියමිත ප්‍රමාණයට වඩා වැඩි පිරිසක් එකම නවාතැනක නැවතී සිටීම අවදානම් සහගත ක්‍රියාවක් වුණා. එම අවදානම පිළිබඳව දැනගෙන සිටිය දීත් ඔවුන්ට එලෙස දිවි ගෙවීමට සිදුවුණේ විකල්පයක් නොතිබුණු නිසා යි. අසීරුවෙන් මැදපෙරදිග රටවල දිවි ගෙවමින් සිටි ලාංකීය ශ්‍රමිකයන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේ ඔවුන්ව ලංකාවට යළි ගෙන්වා ගන්නා ලෙස යි.

කොරෝනා නිසා අසරණ වී සිටින මැදපෙරදිග ලාංකිකයන් (ravaya)

මැදපෙරදිග කොරෝනා වසංගත තත්ත්වය

ජූලි 1 වැනිදා වන විට මැදපෙරදිග රටවල්වලින් කොරෝනා ආසාදිතයන් ලක්ෂ 9කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී තිබුණා. එහි දී කොරෝනා වසංගතයෙන් වැඩිම බලපෑමක් සිදුව තිබුණේ ඉරානය, සෞදි අරාබිය, සහ තුර්කිය යන රටවල් ත්‍රිත්වය යි. අවම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් හමුව තිබෙන මැදපෙරදිග රටවල් ත්‍රිත්වය වන්නේ ජෝර්දානය, සයිප්‍රසය, සහ සිරියාව යි.

වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් හමුවුණු මැදපෙරදිග රටවල් 

1) ඉරානය- 230,211

2) තුර්කිය- 201,098

3) සෞදි අරාබිය- 194,225

4) කටාර්- 97,003

5) ඉරාකය- 51,524 

වැඩිම කොරෝනා මරණ ප්‍රමාණයක් සිදු වුණු මැදපෙරදිග රටවල් 

1) ඉරානය- 10,958

2) තුර්කිය- 5,150

3) සෞදි අරාබිය- 1,698

4) ඉරාකය- 2,050

5) ක්වේට්- 358

අඩුම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් හමුවුණු මැදපෙරදිග රටවල් 

1) ලෙබනනය- 1,788

2) යේමනය- 1,190

3) ජෝර්දානය- 1,133

4) සයිප්‍රස්- 999

5) සිරියාව- 293

*නමුත් යේමනයෙන් කොරෝනා මරණ 318ක් වාර්තා වනවා. 

අඩුම කොරෝනා මරණ ප්‍රමාණයක් සිදු වුණු මැදපෙරදිග රටවල් 

1) පලස්තීනය- 8

2) සිරියාව- 9

3) ජෝර්දානය- 9

4) සයිප්‍රස්- 19

5) ලෙබනන්- 34

මැදපෙරදිග කොරෝනා තත්ත්වය (gettyimages)

මැදපෙරදිග ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගන්නා ලෙස කළ ඉල්ලීම් 

මැදපෙරදිග කලාපය තුළ කොරෝනා වසංගතය සීඝ්‍රයෙන් පැතිරයාමත් සමග එම රටවල වෙසෙන ලාංකීය ශ්‍රමිකයන් ඔවුන්ව ලංකාවට ගෙන්වා ගන්නා ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළා. එසේම ලංකාව තුළ ක්‍රියාත්මක වන විවිධ වෘත්තීය රාශ්‍රියක්ම එකතු වී රජයෙන් ඉල්ලා සිටියේ මැදපෙරදිග ශ්‍රමිකයන් ලංකාවට ගෙන්වා ගැනීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙස යි. එලෙස ලංකාවට ගෙන්වා ගන්නා ශ්‍රමිකයන් අතුරින් වෛරසය ආසාදනය වී ඇති පිරිසට ඉක්මනින්ම ප්‍රතිකාර කර ඔවුන්ගේ ජීවිත බේරාගැනීමට කටයුතු කරන ලෙසට ද ඔවුන් ඉල්ලා සිටියා. 

මෙවැනි අවස්ථාවක දී රජය සතු වගකීම 

විවිධ පාර්ශවයන්ගෙන් ලැබුණු ඉල්ලීම් නිසා කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ක්වේට් වැනි රටවල සිටි ලාංකිකයන් පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු කළා. එලෙස මැදපෙරදිග සිට ලංකාවට පැමිණි පුද්ගලයන් රැසකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණා. එම නිසා ඔවුන් මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඉතිරි පිරිස නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයේ යෙදෙමින් සිටිනවා. නමුත්  මැදපෙරදිග සිටින අති විශාල ලාංකීය ශ්‍රමිකයන් පිරිසෙන් මෙරටට ගෙන්වා තිබෙන්නේ සුළු පිරිසක් පමණ යි. තවමත් විශාල ලාංකිකයන් පිරිසක් මැදපෙරදිග රටවල්වල ජීවිතයත් මරණයත් අතර සටනක නිරතවෙමින් සිටිනවා. මෙම අවස්ථාවේ දී ඔවුන්ව යළි මෙරටට ගෙන්වා ගැනීම රජය සතු වගකීමක්. එසේම මෙහිදී කිසිදු ශාමිකයෙකු නිරෝධායනයෙන් තොරව සමාජයට මුදා නොහැරෙන බවට ද රජය විසින් වගබලා ගත යුතු යි. 

කවරයේ ඡායාරූපය- Economynext

මූලාශ්‍රයයන්-  ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව 2019,  Worldometer 

Related Articles