Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එක්සත් ජාතීන්ගේ ඉහළ තනතුරු දැරූ ලාංකිකයෝ

එක්සත් ජාතීන්ගේ ප්‍රධාන විධායක නිලධාරියා වන්නේ එහි මහ ලේකම්වරයා යි. වර්තමාන මහ ලේකම්වරයා වන්නේ අන්තෝනියෝ ගුටාරෙස්. එක්සත් ජාතීන්ගේ 09 වැනි මහ ලේකම්වරයා වන ඔහු, පෘතුගාලයේ හිටපු අගමැතිවරයෙක්.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාට පමණක් දෙවන වන තනතුර වන්නේ උප මහ ලේකම් තනතුර යි. වර්තමානය වන විට එය උසුලන්නේ නයිජිරියානු ජාතික කාන්තාවක් වන අමිනා මොහොමඩ් (Amina J. Mohammed) විසිනුයි. ඇය එක්සත් ජාතීන්ගේ උප මහ ලේකම් ධූරයට (Deputy Secretary-General) පත් වීමට ප්‍රථම නයිජීරියාවේ පරිසර ඇමැති ලෙස ක්‍රියා කරනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උප මහ ලේකම් ධූරයට පසුව ඇති තනතුර වන්නේ එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහ ලේකම් ධූරය යි (Under-Secretary-General of the United Nations (USG). ඒ සඳහා පත් වන්නේ එක්සත් ජාතීන්ගේ විවිධ ආයතනවල ප්‍රධානීන්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කාර්යාලයේ ඇතැම් ඉහළ නිලධාරීන් හා ඉහළ පෙළේ රාජ්‍ය දූත නිලධාරීන්. මෙම පත් වීම සිදුකරන්නේ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ නිර්දේශ මත, එක්සත් ජාතීන්ගේ ප්‍රධාන අභ්‍යන්තර ආයතනයක් වන මහා මණ්ඩලය විසින්.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය මහ ලේකම් ධූරයට පත් වූ ලාංකිකයන්

නියෝජ්‍ය මහ ලේකම් ධූරය ඉසිලූ ආචාර්ය ජයන්ත ධනපාල (wikimedia)

1955 වසරේ ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගන්නවා. ඒ අනුව පළමු වරට මහා මණ්ඩල සමුළුවක් සඳහා ශ්‍රී ලංකාව සහභාගී වන්නේ 1956 වසරේ දී යි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය මහ ලේකම් ධූරයට (Under-Secretary-General of the United Nations (USG) පත් වූ ලාංකිකයන් දෙදෙනෙක් සිටිනවා. ඒ, ආචාර්ය ජයන්ත ධනපාල හා ආචාර්ය රාධිකා කුමාරස්වාමි යි. ඊට අමතරව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විවිධ තනතුරු උසුලන ලද තවත් ලාංකික උගතුන් කිහිපදෙනෙකු සිටිනවා. 

එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලයේ (Intergovernmental Panel on Climate Change (IPCC) උප සභාපති ලෙස 2007 සාමය සඳහා වූ නොබෙල් ත්‍යාගය එම ආයතනය වෙනුවෙන් දිනා ගත් මහාචාර්ය මොහාන් මුණසිංහ පිළිබඳව ඔබ අසා ඇති. එක්සත් ජාතීන්ගේ වෙළදාම හා සංවර්ධනය පිළිබඳ සම්මේලනයේ (UNCTAD) හි මහ ලේකම්වරයා ලෙස අචාර්ය ගාමණී කොරෙයා සේවය කරනවා. ඔහු, එම සංවිධානයේ මහ ලේකම්වරයා ලෙස පිට පිට හතර වතාවක්ම පත් වෙනවා. 

ආචාර්ය රාධිකා කුමාරස්වාමි (dailynews.lk)

නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ අන්තර්ජාතික අධිකරණයේ උපසභාපති ලෙස වරෙක කටයුතු කරන්නේ ක්‍රිස්ටෝපර් ග්‍රෙගරි විරමන්ත්‍රී යි. එක්සත් ජාතීන්ට අනුබද්ධ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (International Labour Organization) උපදේශකයෙකු ලෙස ද, ලංකාවේ විදේශ කටයුතු ඇමතිවරයා ලෙස ද, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තවත් තනතුරු කිහිපයක්ම ලක්ෂ්මන් කදිරගාමර් විසින් උසුලනු ලබනවා.

ආරක්ෂක මණ්ඩලයේ සභාපති ධූරයට පත් වූ ලාංකිකයා 

C.G. විරමන්ත්‍රී (wikimedia)

රටවල් තුනක ලෝක සෞඛ්‍ය සංවිධානයේ නේවාසික නියෝජිතයා ලෙස ද, 1989 දී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි විෂය භාර මහ ලේකම් ලෙස ද ඇන්ඩෲ ජේම්ස් ජෝසප් කටයුතු කරනවා. 1960 දී එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේ (United Nations Security Council) සභාපතිවරයා බවට පත් වූ ප්‍රථම ලාංකිකයා වන්නේ ශී‍්‍රමත් ක්ලෝඩ් ස්ටැන්ලිකොරයා යි. තව ද, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි (United Nations Development Programme) ආසියා පැසිෆික් කාර්යාංශයේ අධ්‍යක්‍ෂක ලෙස ලාංකිකයෙකු වන රාජේන්ද්‍ර කුමාරස්වාමි කටයුතු කරනවා.

යාන්තමින් මරණයෙන් ගැලවුණු ආචාර්ය නෙවිල් කනකරත්න

මහාචාර්ය මොහාන් මුණසිංහ (googleusercontent)

එක්සත් ජාතීන්ගේ භාරකාරත්ව මණ්ඩලයේ (Trusteeship Council) උප සභාපති ලෙස වරෙක ආචාර්ය නෙවිල් කනකරත්න සේවය කරනවා. 1961 වසරේ දී එක්සත් ජාතින් ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජයේ ඇති වූ අර්බුදය විසඳීම සඳහා මැදිහත් වෙනවා. එහි දී යම් සාකච්ඡාවක් සඳහා එවකට එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා වන ඩැග් හැමර්ස්කොයිඩ් පිටත්ව යන අතර, අචාර්ය නෙවිල් කනකරත්න ද එම දූත කණ්ඩායමට ඇතුළත් වෙනවා. නමුත්, ප්‍රංශ භාෂාවේ ප්‍රවීණයෙකු නොවීම හේතුවෙන් ඔහුව අවසානයේ ඒ සඳහා තෝරා ගැනෙන්නේ නෑ. එම ගමන අතරතුර එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ඇතුළු පිරිස ගමන් කළ ගුවන් යානාව අප්‍රිකාවට ඉහළ අහසේ දී අනතුරකට පත් වී කඩා වැටි අවාසනාවත ලෙස සියලු දෙනා මියයනවා.

එක්සත් ජාතීන්ගේ අභ්‍යාවකාශ කටයුතු පිළිබඳ කාර්යාලයේ (United Nations Office for Outer Space Affairs) නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා ලෙස ආචාර්ය නන්දසිරි ජාසෙන්තුලියන වරෙක කටයුතු කර තිබෙනවා. ඊට අමතරව 1976 වසරේ දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ප‍්‍රථම ශී‍්‍ර ලාංකික සභාපතිවරයා ලෙස පත් වන්නේ හැමිල්ටන් ෂර්ලි අමරසිංහ යි. 

කොළඹ විශ්ව විද්‍යාලයේ ප‍්‍රථම කාන්තා උපකුලපතිනිය වන සාවිත්‍රි ගුණසේකර 1999 වසරේ දී එක්සත් ජාතීන්ගේ “කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස්කම් දුරු කිරීමේ සම්මුතිය පිළිබඳ කමිටුව” (Convention on the Elimination of All Forms of Discrimination Against Women) සඳහා තේරී පත් වෙනවා.

මීට අමතරව ප්‍රසාද් කාරියවසම්, ආචාර්ය රොහාන් පෙරේරා, ගේ‍්‍රස් ආසිර්වාදම්, කන්නි විග්නරාජා, වෛද්‍ය හිරන්ති විජේමාන්න, ආචාර්ය දීපිකා උඩගම හා අරුනි විජේවර්ධන යන ලාංකිකයන් ද එක්සත් ජාතීන්ගේ විවිධ ආයතන, කමිටු හා කාර්යාංශවල විවිධ තනතුරු දරනවා.

මේ ආකාරයට එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සම්බන්ධ වී ඒ හා අනුබද්ධිත විවිධ ආයතනවල සේවය කළ, මෙරට නාමය ජාත්‍යන්තරයට ගෙන යෑමට කටයුතු කළ ලාංකිකයන් පිළිබඳව පිළිවෙලින් ලිපි පෙළක් ඔබ වෙත ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙනවා.

මූලාශ්‍රයයන්- 

Lk.one.un.org

un.int

Related Articles