2015 සැප්තැම්බර් මාසයේ 5 වැනිදා ශ්‍රී ලංකාව මැලේරියා රෝගය තුරන් කළ දේශයක් විදිහට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිල වශයෙන් නිවේදනය කෙරුණා. මේ තත්වයට එන්න ලංකාවට පුළුවන් වුණේ අවුරුදු 100කට ආසන්න කාලයක් පුරාවට ක්‍රියාත්මක වුණු වැඩසටහනක් අන්තිමට පළ දරපු නිසයි. දකුණු ආසියානු කලාපයේ මැලේරියාව මුළුමනින්ම තුරන් කරපු දෙවැනි රට විදිහට ඉතිහාස ගත වෙන්නත් මේ අනුව අපිට හැකියාව ලැබුණා. මීට කලින් මාලදිවයිනෙන් මැලේරියාව තුරන් වෙලා තිබුණත් ශ්‍රී ලංකාව මේ ලඟා කරගත් තත්වය ඊට වඩා සිය ගුණයක් විශිෂ්ටයි කියන්න පුළුවන්.

කාලයකට කලින් මැලේරියා රෝගය වසංගත මට්ටමෙන් පැතිරිලා තිබුණු, ඒ නිසා ජීවිත ගණනාවක් අහිමි වුණු රටක් විදිහට ශ්‍රී ලංකාව මැලේරියාව සම්පුර්ණයෙන්ම තුරන් කර ගැනීම අති විශාල ජයග්‍රහණයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ප්‍රකාශ කරලා තියෙනවා. 2012 අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ ඉඳලා ශ්‍රී ලංකාව තුලදී මැලේරියාව වැළඳුනු කිසිම කෙනෙක් වාර්තා වෙලා නැහැ. ලෝක ජනගහණයෙන් හරි අඩකට ආසන්න ගණනකුත්, දකුණු ආසියාවේ විතරක් බිලියන 1.3ක මිනිසුන් ප්‍රමාණයකුත් අදටත් ජීවත් වෙන්නේ මැලේරියාව වැළඳීමේ අවදානම ඇති කලාප වල. 2015 අවුරුද්දේ ලෝක සෞඛ්‍ය සංවිධානය සිදු කරපු සමීක්ෂණයකට අනුව මේ වන විට මැලේරියා රෝගීන් මිලියන 214ක් ඉන්නා බව සොයාගෙන තියෙනවා. මැලේරියාව නිසා පසුගිය වසරේදී විතරක් මිනිසුන් 438,000කට ජීවිතය අහිමි වුණා.

මේ වගේ භයානක රෝගයක් තුරන් කර ගන්න අපි වගේ රටකට හැකියාව ලැබුණේ කොහොමද කියන එක ගැන තමයි අද ලිපියෙන් විස්තර කෙරෙන්නේ.

මැලේරියාව කියන්නේ මොකක්ද?

මැලේරියාව පතුරුවන විෂබීජ රතු රුධිර සෛලයක් පුපුරුවාගෙන පිටතට එන ආකාරයේ නිරූපණයක්. රූපය : Kateryna Kon/Shutterstock

මැලේරියාව කියන්නේ “ප්ලස්මෝඩියම්” කියන ඒකසෛලික පරපෝෂිතයා නිසා බෝ වෙන මාරාන්තික රෝගයක්. “ඇනෝෆිලිස්” වර්ගයේ ගැහැණු මදුරුවන් මිනිසුන්ගේ ලේ උරා බීමත් එක්ක මදුරුවාගේ මුඛයේ වෙසෙන මේ පරපෝෂිතයා මිනිස් සිරුරේ රුධිර සංසරණ පද්ධතියට එකතු වෙනවා. මේ ක්‍රියාවලියේදී මදුරුවන් හැසිරෙන්නේ රෝග වාහකයෙක් විදිහටයි. රෝගී පුද්ගලයෙක්ගේ ලේ උරා බීපු මදුරුවෙක් නිරෝගී පුද්ගලයෙක්ගෙන් ලේ උරා බිව්වොත් මේ රෝගය පහසුවෙන්ම නිරෝගී පුද්ගලයාටත් වැළඳෙනවා.

මැලේරියාව බෝ කරන ප්ලස්මෝඩියම් පරපෝෂිතයන් වර්ග පහෙන් වඩාත්ම ක්‍රියාශීලී වෙන්නේ “ප්ලස්මෝඩියම් ෆැල්සිපෙරම්” (Plasmodium falciparum) සහ “ප්ලස්මෝඩියම් වයිවැක්ස්” (Plasmodium vivax) කියන ඒකසෛලික විශේෂ දෙක. මෙයින් “ප්ලස්මෝඩියම් වයිවැක්ස්” කියන විශේෂය තමයි ශ්‍රී ලංකාවේ මැලේරියාව පැතිරෙන්න වැඩිපුරම හේතු වුණේ.

මැලේරියා රෝගය වැළඳුනු කෙනෙකුට ඖෂධ පාවිච්චි කරලා ප්‍රතිකාර කරන්න පුළුවන්. ඒ වගේම ඊට වඩා බොහොම සරල උපක්‍රමයක් විදිහට මැලේරියාව පතුරවන මදුරුවන් බෝ වීමට තියෙන ඉඩ කඩ අහුරන එකත් බොහොම ප්‍රතිඵලදායක වැඩක්. මේක හඳුන්වන්නේ “වාහකයන් පාලනය”, නැතිනම් Vector Control කියලයි. මැලේරියා රෝගියෙක්ගේ ජීවිතය බේරා ගන්න මුල් අවධියේම රෝගය හඳුනා ගත්තොත් වඩාත් පහසු වෙනවා. එතකොට රෝගය උත්සන්න වීම ඖෂධ වලින් පාලනය කර ගන්න හැකියාව වැඩියි.

මැලේරියා රෝගය වැළඳිලා දින හතක වගේ කාලයක් ඇතුලත රෝග ලක්ෂණ පහළ වෙනවා. අධික උණ, හිසරදය, වමනය, අධික සීතලක් දැනීම ප්‍රධානම රෝග ලක්ෂණ කිහිපයක්. ඉක්මණින්ම ප්‍රතිකාර ලැබුණේ නැතිනම් මේ තත්වයන් උත්සන්න වෙලා රෝගියා මිය යන්න වුණත් ඉඩ තියෙනවා. ලංකාවේ ඒ තරම් බහුල නොවෙන ප්ලස්මෝඩියම් ෆැල්සිපෙරම් කියන පරපෝෂිතයා ශරීරයට ඇතුළු වෙලා පැය 24ක් ඇතුලත ප්‍රතිකාර නොකළොත් බොහෝ විට රෝගියාගේ ජීවිතය අහිමි වෙන්න පුළුවන්.

මැලේරියාව බෝ කරන ඇනෝෆිලිස් මදුරුවන් බිත්තර දමන්නේ නිශ්චල හෝ සෙමින් ගලා යන පිරිසිදු ජලයේ. මේ මදුරුවන්ට බෝ වෙන්න තියෙන සාධක වැඩි කාල වල මැලේරියාව බෝ වීමේ අවධානමත් වැඩියි. විශේෂයෙන්ම වැසි කාල වල, ඉහළ උෂ්ණත්වයක් සහ ආර්ද්‍රතාවක් තියෙන කාල වල මේ මදුරුවන් ඉතා පහසුවෙන් බෝ වෙනවා. ශ්‍රී ලංකාවේ මැලේරියාව බෝ කරපු ප්‍රධානම වාහකයා වුණු “ඇනෝෆිලිස් කලිසිෆැසීස්” (Anopheles culicifacies) වර්ගයේ මදුරුවන් වැඩිපුර බෝ වුණෙත් ශ්‍රී ලංකාවේ වියළි කලාපයට වැසි ලැබෙන කාල වල. සෞම්‍ය දේශගුණයක් තියෙන ප්‍රදේශ වලත් තරමක් දුරට පැතිරිලා හිටියත් තෙත් කලාපයේ මේ මදුරුවන් දැක ගන්න ලැබුණේම නැති තරම්. මේ මදුරුවන් වැඩිපුරම ලේ උරා බොන්නේ අඳුරු වැටෙන සවස් කාලයේ සහ හිමිදිරි පාන්දර කාලයේදීයි.

විවිධ කාලවකවානු වලදී ශ්‍රී ලංකාවේ මැලේරියාව පැතිරුණු ආකාරය

2008 සිට 2014 අවුරුද්ද දක්වා ශ්‍රී ලංකාව තුලදී වාර්තා වුණු මැලේරියා රෝගීන් ගණන. රූපය : shrinkingthemalariamap.org

ශ්‍රී ලංකාව කියන්නේ මැලේරියාවෙන් දීර්ඝ කාලයක් පුරාවට බැට කාපු රටක්. මෑත කාලීනව මැලේරියාව තුරන් කරලා ලබා ගත්තු ජයග්‍රහණය වඩාත් වැදගත් වෙන්නේ ඒ නිසයි. ඉස්සර කාලයේ වාර්තා ගැන හොයලා බලපුවාම ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේදී පවා මැලේරියාව ශ්‍රී ලංකා භූමිය තුළ පැතිරිලා තිබුණු බවට සාක්ෂි හමු වෙනවා. ඒ කාලයේ ඉඳන් මෑතක් වන තුරුම මැලේරියා වසංගත තත්වයට පත් වූ කාල වල රාජධානි බිඳ වැටීම, අග නගර වෙනස් වීම වගේම අවුරුදු ගණනාවක් පුරාවට රටම අකර්මන්‍ය වෙලා තිබුණු අවස්ථාවන් දැක ගන්න පුළුවන්. මෑත කාලීනව ලංකාවේ ලොකුම මැලේරියා වසංගතය ඇති වුණේ 1934-35 අවුරුදු වල. මේ අවුරුදු දෙකේදී වාර්තා වුණු මැලේරියා රෝගීන් මිලියන 1.5ක ප්‍රමාණයක් අතරින් 80,000කට වඩා පිරිසකගේ ජීවිත අහිමි වුණා. 1935දී ශ්‍රී ලංකාවේ සම්පූර්ණ ජනගහණයත් මිලියන 6කට අඩු බව වාර්තා වල දැක්වෙනවා. ඒ අනුව රටේ ජනතාවගෙන් හතරෙන් එකකටම මැලේරියාව වැළඳුණා!

මැලේරියාව නිසා ලෝකය පුරා සිදු වෙන ජීවිත අහිමි වීම් වළක්වා ගන්න ගෝලීය මට්ටමෙන් වැඩසටහනක් ආරම්භ වුණේ 1960 ගණන් වලදී. ශ්‍රී ලංකාවත් මේ වැඩසටහනේ කොටස්කරුවෙක් විදිහට 1963 දී පවා මැලේරියාව මුළුමනින්ම වාගේ තුරන් කරන්නට සමත් වුණා. 1953 අවුරුද්දේ වාර්තා වුණු රෝගීන් 91,990ට සාපේක්ෂව 1963 වන විට වාර්තා වුණේ රෝගීන් 17ක් පමණයි. නමුත් අවාසනාවකට වගේ මේ තත්වය පවත්වාගෙන යන්න පුළුවන් වුණේ නැහැ. විවිධ හේතූන් නිසා රට පුරාම ආයෙත් මැලේරියා රෝගීන් ගණන වැඩි වෙන්න ගත්තා.

සමහර කාල වල සැලකිය යුතු මට්ටමට මැලේරියාව ශ්‍රී ලංකාව පුරාම ව්‍යාප්ත වුණා. 1968-1970, 1974-1976, 1986-1988 වගේම 1991-1993 වගේ කාල වල ලංකාව තුල මැලේරියා රෝගය වසංගත මට්ටමටම පත් වුණු බව වාර්තා වෙනවා. මැලේරියාව දරුණුවටම පැතිරුණු 1987 අවුරුද්දේ ශ්‍රී ලංකාවේ මැලේරියා රෝගීන් 687,599ක් වාර්තා වුණා. ඒ වගේම උතුරු සහ නැගෙනහිර පළාත් වල 1991 – 2001 කාලයේ පැතිරිලා ගිය මැලේරියා වසංගත තත්වයේ උච්චම අවධියේදී (1999) මැලේරියා රෝගීන් ගණන 264,549ක් දක්වා වැඩි වුණා. ඒ කාලයේ තිබුණු සිවිල් යුද්ධය නිසා මේ තත්වය පාලනය කරන එක සෑහෙන්න අපහසු වෙලා තිබුණේ. මේ නිසා මැලේරියා රෝගීන් හඳුනා ගන්න, ඔවුන්ට නිසි ප්‍රතිකාර ලබා දෙන්න වගේම මැලේරියාව පාලනය කරන එකත් කාර්යක්ෂමව කරන්න හැකියාවක් ලැබුණේ නැහැ. 1998 අවුරුද්දේ මැලේරියාව නිසා මිය ගිය රෝගීන් 115 දෙනෙක් වාර්තා වුණා.

කොහොම වුණත් 1999 අවුරුද්දේ මැලේරියාව ආපසු හැරවීමේ එකමුතුව (Roll Back Malaria Partnership) වැඩසටහන මගින් ශ්‍රී ලංකා රජය නැවතත් මැලේරියාවට එරෙහිව ගත්තු ක්‍රියාමාර්ග නිසා 2000-2001 කාලයේදීම මැලේරියා රෝගීන් ගණන 68%ක් දක්වා අඩු වුණා. 2002 අවුරුද්දේ මැලේරියාව නිසා 30 දෙනෙකු මිය ගියත් ඉන් පස්සේ හැම අවුරුද්දකම මැලේරියාව නිසා සිදු වුණු මරණ ගණන 10කට වඩා අඩුයි. ශ්‍රී ලංකාව තුල අවසන් වරට මැලේරියා රෝගය නිසා මරණයක් වාර්තා වුණේ 2009 අවුරුද්දේ.

රට ඇතුලේ වාර්තා වුණු මැලේරියා රෝගීන් ගණනත් මේ අවරුදු කිහිපය තුලදී වේගයෙන් අඩු වුණා. 2002 අවුරුද්දේදී ශ්‍රී ලංකාවේ මැලේරියා රෝගීන් 41,411ක් වාර්තා වුණත් 2012 අවුරුද්දේ වාර්තා වුණේ 23 දෙනෙක් පමණයි. කලිනුත් කිව්වා වගේ ඔවුන්ගෙන් අවසාන රෝගියා වාර්තා වුණේ ඒ අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ. එතනින් පස්සේ ශ්‍රී ලංකාව තුලදී බෝ වුණු බවට තහවුරු වුණු කිසිම මැලේරියා රෝගියෙක් වාර්තා වෙන්නේ නැහැ. පසුගිය අවුරුදු 3ක කාලයේදී ශ්‍රී ලාංකිකයන් 180 දෙනෙක්ට මැලේරියාව වැළඳුනු බවට වාර්තා වෙලා තිබුණත් ඒ හැම කෙනෙකුටම විදේශයකදී රෝගය වැළඳුනු බවට තහවුරු වෙලා තියෙනවා. මේ නිසා ශ්‍රී ලංකාවට අයිති භූමිය තුලදී අවුරුදු හතරකින් කිසිවෙකුට මැලේරියාව වැළඳිලා නැහැ.

මේ නිසා මැලේරියාව තුරන් කරපු රටක් විදිහට පිළිගන්න කියලා ශ්‍රී ලංකා රජය 2016 අප්‍රේල් මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානයට නිල ඉල්ලීමක් ඉදිරිපත් කළා. “අපි රටක් විදිහට මේ සඳහා අයදුම් කරන්න 2015 නොවැම්බර් මාසයේ ඉඳන්ම සුදුසුකම් සපුරා තිබුණා” කියලා මැලේරියා මර්ධන වැඩසටහනේ සාමාජිකයෙක් වගේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලාංකික නියෝජිතවරයෙක් වන දොස්තර ජනකන් නවරත්නසිංහම් මහතා Roar වෙත ප්‍රකාශ කළා. තවදුරටත් අදහස් දක්වමින් ඔහු අපිට කිව්වේ “ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක අනුව යම් රටක දේශීයව බෝ වුණු මැලේරියා රෝගීන් එක දිගට මාස 36ක කාලයක් පුරා වාර්තා වෙලා නැතිනම් මේ වගේ ඉල්ලීමක් ඉදිරිපත් කරන්න පුළුවන්” කියලයි.

ගිය මාසයේ කොළඹදී පැවැත්වුණු ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියාතික කලාපීය කමිටුවේ 69 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාව මැලේරියාව තුරන් කළ දේශයක් බවට නිල සහතික පත්‍රය පිරිනැමුණා. මේ අවස්ථාවට එකතු වුණු ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය අධ්‍යක්ෂක දොස්තර පූනම් කේත්‍රාපල් මහත්මයා අදහස් දක්වා තිබුණේ මේ විදිහටයි. “මේ සහතිකය [මේ රටේ] නායකයන්ගේ අප්‍රතිහත ධෛර්යයට සහ දැක්මට පැහැදිලි සහතිකයක්, ඒ වගේම නිසි අරමුණක් ඇතිව ක්‍රියා කිරීමෙන් ලබා ගත හැකි සුවිසල් ජයග්‍රහණයන් වලට වැදගත් උදාහරණයක්.” දශක තුනක් පුරාවට පැවතුණු සිවිල් යුද්ධය නිසා ඇති වුණු අපහසුතා මැද්දේ වුණත් මැලේරියා මර්ධන වැඩසටහන් මේ තරම් සාර්ථකව ක්‍රියාත්මක කරලා කෙටි කලකින්ම මැලේරියාව තුරන් කර ගැනීම ගැන ශ්‍රී ලංකා රජයන්ට ලෝකයෙන්ම පැසසුම් හිමි වුණා.

මැලේරියාවෙන් තොර රටක් වීමට ශ්‍රී ලංකාව ආ ගමන් මග

වාහකයන් පාලනය මගින් රෝගය තුරන් කිරීම – මේ විදිහේ කෘමි නාශක වාෂ්පයක් මගින් මදුරුවන් හා ඔවුන්ගේ වාසස්ථාන විනාශ කෙරෙනවා. රූපය : i2.cdn.turner.com

ශ්‍රී ලංකාව මැලේරියාව තුරන් කිරීමේ වැඩසටහනක් පටන් ගත්තේ මීට ශතවර්ෂයකටත් කලින් 1911 අවුරුද්දේ. (ඒ දවස් වල අපේ රටේ නම ශ්‍රී ලංකාවවත් නෙවෙයි) දකුණු ආසියානු කලාපයේ විශාල වශයෙන් කෘමිනාශක වාෂ්ප ඉසීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරපු මුල්ම රටක් විදිහට ශ්‍රී ලංකාව ඉතිහාසගත වෙනවා. මේ ක්‍රියාවලිය හැඳින්වුණේ “ගෘහාභ්‍යන්තර අවශේෂ ඉසීම” (indoor residual spraying – IRS) කියලයි. තේරෙන භාෂාවෙන් කිව්වොත් ගෙවල් ඇතුලේ කෘමිනාශක ද්‍රව්‍ය ස්ථරයක් ඇති වෙන විදිහට වාෂ්පයක් ඉසින එක, එහෙමත් නැතිනම් මදුරුවන්ට දුම් ගහන එක. මේ ක්‍රමයට DDT, නැතිනම් ඩයික්ලෝරෝෆෙනිල් ට්‍රයික්ලෝරෝඑතේන් (dichlorodiphenyltrichloroethane) සංයෝගය ඉසින එක ශ්‍රී ලංකාවේදී 1945 අවුරුද්ද වන විටත් ක්‍රියාත්මක වුණා.

1958 අවුරුද්දේදී ලෝක සෞඛ්‍ය සංවිධානය ආරම්භ කරපු මැලේරියා මර්ධන වැඩසටහනට ශ්‍රී ලංකාව ක්‍රියාකාරී සාමාජිකයෙක් විදිහට සහභාගී වෙලා අවුරුදු පහක මැලේරියා මර්ධන සැලැස්මක් ආරම්භ කළා. මේ වැඩසටහන අපි කලිනුත් කියපු විදිහටම හිතන්න බැරි තරම් සාර්ථකත්වයක් ලැබුවා. ආරම්භයේදී (1958 අවුරුද්දේ) මැලේරියා රෝගීන් ලක්ෂයකට ආසන්න ගණනක් හිටියත් මේ පස් අවුරුදු සැලැස්ම අවසානයේ (1963 අවුරුද්දේ) ශ්‍රී ලංකාවේ දේශීයව බෝ වුණු මැලේරියා රෝගීන් හිටියේ හය දෙනෙක් විතරයි!

නමුත් මේ සාර්ථකත්වය නිසා ආඩම්බර වුණු ශ්‍රී ලංකා රජය 1963 අවුරුද්දේ අප්‍රේල් මාසයේ DDT ඉසින එක නවත්වලා දැම්මා. මේකට ප්‍රධාන හේතුවක් වුණේ මැලේරියාව සම්පුර්ණයෙන්ම තුරන් වෙලා නිසා DDT ඉසින්න විශාල මුදලක් වැය කරන එක තේරුමක් නැහැ කියන අදහසයි. නමුත් මේ තීරණය නිසා අයෙත් වතාවක් රට පුරාම මැලේරියාව උත්සන්න වුණා. තත්වය පාලනය කරන්න ආයෙත් වතාවක් DDT ඉසින වැඩසටහන් ආරම්භ කළත් සිදු වුණේ නොහිතපු දෙයක්. වසර ගණනාවක විරාමයක් ලැබුණු නිසා රට ඇතුලේම පරිණාමය වුණු මදුරු විශේෂ DDT වලට එරෙහි ප්‍රතිශක්තියක් ඇති කරගෙන තිබුණා. ඒ නිසා මේ දෙවැනි DDT ඉසීමේ වැඩසටහනෙන් සැලකිය යුතු සාර්ථකත්වයක් ලැබුණේ නැහැ. DDT වලින් ප්‍රයෝජනයක් නොලැබුණු නිසා 1977 අවුරුද්දෙන් පස්සේ “මැලතියන්” (Malathion) කියලා තවත් කෘමි නාශක විශේෂයක් ඉසීම ආරම්භ වුණත් 2000 වර්ෂය වෙන තුරුම ශ්‍රී ලංකාවේ මැලේරියාව නිවැරදිව පාලනය කර ගන්න බැරි වුණා.

1980 දශකයේ අග භාගයේ තමයි මැලේරියා මර්ධනය වෙනුවෙන් සම්බන්ධීකරණය වුණු ක්‍රමෝපායක් යොදා ගැනීම ආරම්භ වුණේ. මේ හරහා වැඩි අවධානයක් ලබා දුන්නේ රෝග වාහකයන් පාලනය කිරීමේ ක්‍රමවේදයටයි. මේ වැඩෙනුත් මැලේරියාව පැතිරෙන එක වළක්වා ගැනීම නම් හිතපු තරමට සාර්ථක වුණේ නැහැ. නමුත් මේ ක්‍රමෝපාය හරහා ප්‍රති-මැලේරියා එන්නත් සහ ඖෂධ පහසුවෙන් ලබා ගන්න කාටත් හැකියාව ලැබුණු නිසා මැලේරියා රෝගය හේතුවෙන් ඇති වුණු මරණ ප්‍රමාණය විශාල වශයෙන් අඩු වෙන්න ගත්තා. ඒ වගේම ශ්‍රී ලංකාවේ බහුලව මැලේරියාව බෝ කරන්න හේතු වුණු ප්ලස්මෝඩියම් වයිවැක්ස් පරපෝෂිත විශේෂය ප්ලස්මෝඩියම් ෆැල්සිපෙරම් තරමටම භයානක නොවුණු එකත් මේ ඖෂධ වඩා සාර්ථක වෙන්න බලපෑවා.

1999-2000 අවුරුදු වල තමයි මැලේරියාව මර්ධනය කරන්න වාහක පාලනයයි, පරපෝෂිත ක්ෂුද්‍ර ජීවියා විනාශ කරන එකයි දෙකම එක වර කරන එක ගැන අවධානය යොමු වුණේ. මේ විදිහට මැලේරියා පරපෝෂිතයන්ට එරෙහිව ක්‍රියා කරන්නේ කොහොමද කියන එක ගැන දොස්තර නවරත්නසිංහම් මහතා Roar වෙත විස්තර කළේ මෙහෙමයි. “අපි කාලයක් පුරාවට රටේ කාගේත් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරමින් සිටිනවා. රටේ ජනතාවට උණ තත්වයක් ඇති වෙන අවස්ථා ගැන අපි විශේෂ සැලකිල්ලක් දක්වනවා. මැලේරියාව වැළඳිලා කියලා යම් සැකයක් ඇති වුණු ගමන්ම හරි, උණක් වැළඳෙන්න වෙන හේතුවක් නැත්නම් හරි අපි වහාම රුධිර සාම්පල පරීක්ෂාවක් කරලා පරපෝෂිතයා රුධිරයේ අඩංගුද කියන එක බලනවා. මැලේරියාව වැළඳිලා කියලා සොයා ගත්තොත් කිසිම ප්‍රමාදයක් නැතිව ප්‍රතිකාර කිරීම ආරම්භ කරනවා. නිවැරදි ප්‍රතිකාර ඉක්මණින් ලබා දුන්නාම පරපෝෂිතයා පහසුවෙන් විනාශ කරන්න පුළුවන්. එයින් තවත් කෙනෙකුට සම්ප්‍රේෂණය වෙන්න ඔවුන්ට තියෙන හැකියාව ගොඩක් අඩු වෙනවා.”

ලෝක සෞඛ්‍ය සංවිධානය මේ අලුත් ක්‍රමෝපාය ගැන අදහස් පල කරලා තියෙන්නේ “සම්මත ක්‍රමයක් නොවුණත් බොහොම ප්‍රතිඵලදායකයි” කියලයි. (unorthodox, but highly effective) මැලේරියාව බහුලව පැතිරුණු ප්‍රදේශ වල ජංගම සායන පවත්වාගෙන යාම, මැලේරියාව වැලඳුණු රෝගීන්ට වහා ප්‍රතිකාර කිරීම මගින් පරපෝෂිතයන්ට තවත් කෙනෙක්ගේ සිරුරට ඇතුල් වෙන්න ඉඩක් ලබා නොදීම, නිතර මැලේරියාව හඳුනා ගන්නා පරීක්ෂණ සිදු කිරීම, කෘමිනාශක වාෂ්ප ඉසීම මගින් වාහක මදුරුවන් පාලනය කිරීම, මදුරුවන් විකර්ෂණය කරවන සංයෝග අඩංගු මදුරු දැල් භාවිතය වගේම මැලේරියා රෝගය ගැන දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන එකත් මේ ක්‍රමෝපායට ඇතුළත් වුණා. අවසාන වරට යොදපු මේ පරිපූර්ණ පිළියම නිසා මැලේරියාව ශ්‍රී ලංකාවෙන් සම්පූර්ණයෙන්ම තුරන් කිරීම දක්වා එන්න අපිට අවස්ථාව ලැබුණා.

කොහොම වුණත් දොස්තර නවරත්නසිංහම් මහතා මෙහෙමත් කිව්වා. “දැන් අපි මැලේරියා පරපෝෂිතයන්ව අපේ රටෙන් තුරන් කරලා තියෙන්නේ. නමුත් වාහක මදුරුවන් පාලනය නම් අපි සාර්ථකව කරලා කියලා කියන්න බැහැ. තවමත් මදුරුවන් හැම තැනම දකින්න ලැබෙනවා. නමුත් දැන් උන් මැලේරියා පරපෝෂිත වාහකයන් නෙවෙයි.”

ලබා ගත්තු මැලේරියාවෙන් තොර තත්වය රැක ගැනීම

ඇනෝෆිලිස් ස්ටෙෆන්සි (Anopheles stephensi) මදුරු විශේෂය ගිනිකොණදිග ආසියාවේ රටවල් ගණනාවකම ජීවත් වෙන මැලේරියා පරපෝෂිතයන් වාහකයෙක්. රූපය : විකිපීඩියා

ඕනෑම වසංගතයක් තුරන් කරන්න නම් අනුගමනය කළ යුතු පියවර තුනක් තියෙනවා; ඒ තමයි පාලනය, තුරන් කිරීම සහ නැවත ඇති වීම වැළැක්වීම කියන තුන. (Control, Elimination , and Prevention of re-introduction) මෙයින් පළමු පියවර දෙක සාර්ථකව සිදු කරලා තියෙන නිසා මැලේරියාව තුරන් කිරීම අතින් ශ්‍රී ලංකාව ඉන්නේ තුන් වැනි පියවරේ. දොස්තර නවරත්නසිංහම් මහතාට අනුව “අවධානයෙන් පසු වීම තමයි යළිත් මැලේරියාව ඇති වීම වළක්වා ගන්න තියෙන හොඳම ක්‍රමය. ඕනෑම රෝගයක් යළිත් ඇති වීමේ අවධානමක් තියෙනවා, නමුත් අපි නිතරම අවධානයෙන් ඉන්නවා නම් ඒක සිදු වෙන්න තියෙන ඉඩකඩ අවම කරගන්න පුළුවන්.”

මැලේරියාව නැවතත් ශ්‍රී ලංකාවට එන්න තියෙන ප්‍රධානම සාධකයක් තමයි සංචාරක කර්මාන්තය. විශේෂයෙන්ම මැලේරියාව තවමත් දරුණුවටම පැතිරිලා තියෙන ඉන්දියාව සහ පකිස්ථානය වගේ රටවල් වලින් ශ්‍රී ලංකාවට එන සංචාරකයන් නිසා සැලකිය යුතු අවදානමක් තියෙනවා. අපි රටක් වශයෙන් තවමත් මැලේරියා වාහක මදුරුවන් තුරන් කරලා නැති නිසා මේ වගේ සංචාරකයෙක්ගෙන් ඇනෝෆිලිස් මදුරුවෙක් ලේ උරා බීලා ශ්‍රී ලාංකිකයෙක්ගෙන් නැවත ලේ උරා බිව්වොත් ඔහුට/ඇයටත් මැලේරියාව වැළඳෙන්න පුළුවන්. ඔහු/ඇයගේ ලේ බොන මදුරුවන් හරහා නැවතත් මැලේරියාව හිස ඔසවන්න වුණත් ඉඩ තියෙනවා! ඒ වගේ රටකට ගිහින් පැමිණෙන ශ්‍රී ලාංකිකයන් හරහා වුණත් මේ විදිහට මැලේරියාව නැවත ඇති වෙන්න පුළුවන්.

ඒ නිසා ශ්‍රී ලංකාව තුල ඉන්න මැලේරියා වාහක මදුරු විශේෂ මුළුමනින්ම වඳ කරලා දමන තුරු අපි සම්පූර්ණයෙන්ම ආරක්ෂිත නැහැ. (ඇත්තටම කිව්වොත් ලෝකයෙන්ම උන් වඳ වෙලා යන තුරු අවදානම මුළුමනින්ම පහ වෙන්නේ නැහැ) මේ නිසා රජයට වගේම සෞඛ්‍ය, සංචාරක, ආගමන විගමන අංශ වලටත්, පොදු මහජනතාවටත් ලොකු වගකීමක් තියෙනවා ඒ වගේ මැලේරියාව ගෙන එන්න ඉහළ සම්භාවිතාවක් තියෙන රටවල් වලින් පැමිණෙන සංචාරකයන් ගැන අවධානයෙන් ඉන්න. අපිට හැමදාමත් මැලේරියාවෙන් තොර රටක් වෙලා ඉන්න පුළුවන් වෙන්නේ එතකොටයි.

මැලේරියා මර්ධන ව්‍යාපාරය සැලකිලිමත් වෙන තවත් ප්‍රශ්නයක් තමයි දැන් අපි මැලේරියාව තුරන් කරපු නිසා මේ වන තුරු පැවතුණු මැලේරියා මර්ධන රෙගුලාසි, මැලේරියාවට එරෙහිව ක්‍රියාත්මක වුණු වැඩසටහන්, මැලේරියාව ගැන අවධානයෙන් ඉන්න භාවිත වුණු සම්පත් සහ මූල්‍ය සහය අහිමි වෙන්න ඉඩ තියෙනවා කියන එක. දැනට මැලේරියාව දුරු කරන්න අවශ්‍ය ආධාර මුළුමනින්ම සපයන්නේ ශ්‍රී ලංකා රජය, ගෝලීය අරමුදල සහ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්. 2018 අවුරුද්දේදී ශ්‍රී ලංකාවේ මැලේරියා මර්ධන ක්‍රියාවලියට සැපයෙන අන්තර්ජාතික ආධාර නතර වෙන්න නියමිත නිසා රජයට තනියෙන්ම අවශ්‍ය සියලුම දේවල් ලබා දෙන්න අපහසු වෙන්න පුළුවන්. ඒ හේතුවෙන් මේ තරම් අමාරුවෙන් ලඟා කරගත්තු ජයග්‍රහණය ආයෙත් 1963දී වගේම නිෂ්ඵල වෙන්නත් ඉඩක් තියෙනවා.

නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය වගේම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයත් මැලේරියා මර්ධන ව්‍යාපාරයට එවැන්නක් සිදු නොවෙන බවට සහතික වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ ගැන නිවේදනයක් නිකුත් කරමින් කියලා තියෙන්නේ “තමන් හැමදාමත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් මැලේරියාවට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග වලට වගේම රටේ සමස්ථ සෞඛ්‍ය අරමුණු ලඟා කරගන්නත් උපරිම සහයෝගය ලබා දීමේ වෙනසක් වෙන්නේ නැහැ” කියලයි.

අපි බොහොම අමාරුවෙන් ලඟා කරගත් මැලේරියාව තුරන් කරපු රටක් කියන තත්වය දිගටම රැක ගන්න ඔබටත් හැකි හැම අවස්ථාවකම දායක වෙන්න. දැන් තියෙන ප්‍රධානම අභියෝගය වාහකයන් පාලනය නිසා මදුරුවන් බෝ වීමට තියෙන ඉඩ කඩ අහුරන එක අපි කාටත් දායක වෙන්න පුළුවන් ක්‍රියාවලියක්. ඔබ දැනටමත් මදුරුවන් බෝ විය හැකි තැන් ඉවත් කරන එක ගැන දැනුවත් ඇතිනේ. ඒ යුතුකම වගකීමක් විදිහට කරට අරගෙන කාටත් මේ වැඩේට දායක වෙන්න පුළුවන් නම් අපිට හැමදාමත් මැලේරියාවෙන් තොර සුරක්ෂිත රටක ජීවත් වෙන්න පුළුවන් වේවි.

කවරයේ පින්තුරය: Eranga Jayawardena/AP

පරිවර්තනය: ඉන්ද්‍රජිත් ගමගේ