Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

70 වන සංවත්සරය සමරන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉතිහාසය

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 70 වන අභිමානවත් සංවත්සරය ඔක්තෝබර් 10 දා ට යෙදී තිබුනා. 1949 ඔක්තෝබර් මස 10 වන දින ලංකා යුද්ධ හමුදාව පාර්ලිමේන්තු පනතක් මඟින් ආරම්භ වෙන පිහිටවන අතර, එය ශ්‍රී ලංකා යුධ හමුදාව බවට පත්වෙන්නේ 1972 වසරෙන් පසුව යි.

ජාත්‍යන්තර වශයෙන් ත්‍රස්ත සංවිධානයක් ලෙස පිළිගත් LTTE ත්‍රස්ත සංවිධානය විනාශ කිරීම සඳහා වඩා විශාල කාර්යයභාරයක් ඉටු කරන ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සඳහා මේ වන විට යුද්ධ හමුදාපතිවරුන් 23ක් නායකත්වය ලබා දී ඇති අතර අද වන විට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට නායකත්වය දෙන්නේ එහි 24 වන යුද්ධ හමුදාපතිවරයා යි. වර්තමානයේ දී, රෙජිමේන්තු 24කින් සමන්විත ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිය 70 වන සංවත්සරයේ ප්‍රධාන සමරුව කොළඹ ගාලු මුවදොර පිටියේ පවත්වනු ලබනවා.

ලංකාවේ යුද්ධ හමුදා ඉතිහාසය 

1818 කැරැල්ල, ඉංග්‍රීසින් විසින් කෘර ලෙස මර්දනය කරනවා. (dailynews.lk)

සිංහල රජ සමයේ මෙරට පැමිණි කාලිංඝ මාඝ, චෝල, පාණ්ඩය වැනි ආක්‍රමණිකයන් මෙරටින් පලවා හැරීමටත් බුරුමය, ඉන්දියාව වැනි රටවල් ආක්‍රමණය කිරීමට තරම් බලවත් යුද්ධ හමුදාවක් ලංකාද්වීපය සතුව තිබූ බව පැරණි මූලාශ්‍රයයන් අධ්‍යයනය කිරීමේ දී පැහැදිලි වෙනවා.

පෘතුග්‍රීසීන්, ලන්දේසින් හා ඉංග්‍රීසින් සමග සටන් කිරීමට, නවීන ආයුධ සමග පැමිණි එම ආක්‍රමණික හමුදාවන්ට මුහුණ දීමට තරම් ශක්තිමත් හමුදාවක් මෙරට නිර්මාණය වී තිබුනා. සිංහල හමුදාව හා පෘතුග්‍රීසි හමුදා එකිනෙක ගැටුණු මුල්ලේරියා, දන්තුරේ, බලන හා ගන්නොරුව වැනි සටන් දෙස බැලීමේ දී ඒ බව හොදින් පැහැදිලි වෙනවා. 1796 දී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ යටත් කරගන්නා ඉංග්‍රීසින් 1803 දී ෆෙඩ්රික් නොත්ගේ මෙහෙයවීම මත කළ උඩරට ආක්‍රමණය ද සිංහල හමුදාවන් විසින් ව්‍යර්ථ කරනවා.

ඉංග්‍රීසින් විසින් 1815 වසරේ ලංකාව සම්පූර්ණයෙන්ම යටත් කරගත් පසුව ලංකාවට නිත්‍ය රාජ්‍ය හමුදාවක් නොවූ අතර ඔවුන් කැරලිකරුවන් ලෙස සන්නද්ධ වී 1818 හා 1848 දී ඉංග්‍රීසි ආණ්ඩුවට විරුද්ධව සටන් මෙහෙයවනු ලබනවා.

බ්‍රිතාන්‍යයන් විසින් ස්වදේශිකයන් සිය රාජකීය හමුදාවට ඇතුළත් කරගැනීම 

ලංකාවේ, බ්‍රිතාන්‍ය හමුදාව (www.dailynews.lk

බ්‍රිතානයන් විසින් මෙරට යටත් කරගැනීමෙන් පසුව, එනම් 1796න් පසුව රාජකීය නාවික හමුදාව හා රාජකීය පාබල හමුදාවේ භට පිරිස් මෙරට සේවයේ යෙදෙනවා. බ්‍රිතාන්‍යයන්ගේ පෙරදිග නාවික හමුදා මුලස්තානයක් ත්‍රිකුණාමලයේ පිහිටවනු ලබනවා. පසුව ඔවුන් ලංකා පළමු රෙජිමේන්තුව නමින් මැලේ ජාතික භටයන්ගෙන් සමන්විත බ්‍රිතාන්‍යයන් විසින් අණදෙන ලබන රෙජිමේන්තුවක් මෙරට පිහිටවනු ලබනවා.

1802 වසරෙන් පසු බ්‍රිතාන්‍ය හමුදා සඳහා ස්වදේශික සිංහලයන් බඳවාගත් අතර එය ලංකා දෙවන රෙජිමේන්තුව ලෙස නම් කරනවා. එයට නායකත්වය දෙන්නේ බ්‍රිතාන්‍ය හමුදා නිලධාරීන්. මෙම සිංහල සෙබළුන්ව සෙපෝයි භටයන් (‘Sepoy’) ලෙස ද හඳුන්වනු ලබනවා. 1817 දී මෙම රෙජිමේන්තුව ලංකා රයිෆල් රෙජිමේන්තුව (Ceylon Rifle Regiment) ලෙස නම් කරනවා. 1848 කැරැල්ල, පුරන් අප්පු ප්‍රමුඛ මාතලේ සිංහලයන්ගෙන් ආරම්භ වූ නිසා රයිෆල් රෙජිමේන්තුවට සිංහලයන් බඳවා ගැනීම තාවකාලිකව නවතාලීමට බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් කටයුතු කරනවා. කෙසේ නමුත් බ්‍රිතාන්‍ය වෙනුවෙන් සේවය කළ ලංකාවේ ස්වදේශිකයන්ගෙන් සමන්විත පළමු රෙජිමේන්තුව ලෙස ලංකා රයිෆල් රෙජිමේන්තුව ලෙස සඳහන් කළ හැකි යි.

යටත් විජිත සමයේ ආරම්භ වූ දෙවන හමුදා සේවාව ලෙස ලංකා සැහැල්ලු පාබල ස්වේච්ඡා පෙරමුණ (Ceylon Light Infantry Volunteers) හැඳින්විය හැකියි. මේ සඳහා ලංකාවේ වෙළඳ ප්‍රජාවෙන් වැඩි දායකත්වයක් හිමි වූ අතර නොබෝ කාලයකින් ඒවා ස්වේච්ඡා කාලතුවක්කු, ස්වේච්ඡා පාබල, ලංකා ස්වේච්ඡා වෛද්‍ය බලකාය, ඉංජිනේරු හා සැපයුම් ලෙස කොටස් කිහිපයකින් ස්ථාපනය වෙනවා.

1910 වසරේ දී ලංකා හමුදාව ලංකා ආරක්ෂක හමුදාව (Ceylon Defence Force) ලෙස නම් කරන අතර 1914 – 1918 සමයේ නිර්මාණය වූ වූ පළමු ලෝක යුද්ධයේ දී බ්‍රිතාන්‍ය වෙනුවෙන් සේවය කරනවා. 1939 වසරේ දී දෙවන ලෝක යුද සමයේ දී ලංකා ආරක්ෂක හමුදාව බ්‍රිතාන්‍ය වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. 

ලංකා නිත්‍ය හා ස්වෙච්ජා හමුදාව ආරම්භ වීම 

ලංකා හමුදා භටයෙක්. පසෙකින් අගමැති ඩි. එස් සේනානායක (wikimedia.org)

දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු ටික කලක් ගත වී ලංකාවට නිදහස ලැබෙන අතර 1949 වසරේ දී පාර්ලිමේන්තු පනතක් මඟින් බ්‍රිගේඩියර් ආර්. සින්ක්ලෙයාර්ගේ අණදීම යටතේ පළමු නිත්‍ය බලසේනාව පිහිටුවීමෙන් ලංකා හමුදාව නිර්මාණය වෙනවා. 1950 වසරේ දී පළමු කැඩෙට් නිලධාරීන් කණ්ඩායම ලංකා හමුදාවට ඇතුළත් කරගන්නවා. පසුව දියතලාවේ යුද්ධ හමුදා විද්‍යාපිඨය පිහිටුවීමත් සමග බ්‍රිගේඩියර් ඇන්ටන් මුතුකුමරු ලංකා හමුදාවේ ප්‍රථම ශ්‍රී ලාංකික හමුදාධිපති ලෙස පත්වෙනවා. ඒ 1955 වසරේ දී යි. ස්වේච්ඡා බලකාය ද මේ සමගම වර්ධනය වන අතර 1980 සිට 2009 දක්වා පැවති ඊලාම් යුද්ධයේ දී ස්වේච්ඡා බලකායන් ද නිත්‍ය හමුදා සමග උරෙන් උර ගැටී කටයුතු කරනවා.

70 වන සමරුවේ ශ්‍රී ලංකා කමාන්ඩෝ බළකාය (www.xinhuanet.com)

1972 වසරේ දී සිරිමාවෝ බණ්ඩාරනායක විසින් ගෙන ආ පළමු ජනරජ ආණ්ඩුක්‍රමය ඔස්සේ 1972 මැයි 22 වන දින ලංකා හමුදාව ”ශ්‍රී ලංකා හමුදාව” නමින් නම් වෙනවා. මෙතෙක් කලක් බ්‍රිතාන්‍ය කිරීටයට පක්ෂපාති බව දිවුරුම් දෙන හමුදා නිලධාරීන් හා භටයන් 1972 වසරේ පසුව නව ශ්‍රී ලංකා ජනරජයට පක්ෂපාතී බවට දිවුරුම් දීම සිදු කරනවා.

පසුගිය අවුරුදු 70ක කාලය තුළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අද පවත්නා  ප්‍රශංසනීය ස්ථානයකට ගෙන ඒම සඳහා යුද්ධ හමුදාධිපතිවරුන් 23 දෙනෙකු අණදීම් සිදුකර තිබෙනවා. වර්තමානයේ දී 24 වෙනි හමුදාපතිවරයා වන ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට අණ දීම සිදු කරනවා.

එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමේ ශ්‍රී ලංකා හමුදාව (static.ft.lk)

වර්තමානයේ දී රෙජිමේන්තු 24 කින් සමන්විත ශ්‍රී ලංකා යුද්ධ හමුදාව 2009 වසරේ ඊළාම් යුද්ධය අවසන් කිරීමෙන් පසුව  ජාතික ආරක්‍ෂක අවශ්‍ය‍තා, ජාතිය ගොඩනැගීමේ කාර්යභාර්ය, එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරී, මානුෂීය ව්‍යාපෘති, බිම්බෝම්බ ඉවත් කිරීම, නිවාස ඉදිකිරීම් හා වන සංරක්‍ෂණය ආදී ක්‍රියාකාරම් ඔස්සේ ශ්‍රී ලංකා රජයට ඉමහත් දායකත්වයක් දක්වනු ලබනවා.

කවරයේ පින්තූරය - lmd.lk

මූලාශ්‍රයයන් 

army.lk

defence.lk

Related Articles