Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සමස්ත නිදහස් භාෂණ අයිතියට එල්ල කළ අන්තවාදී පිහි පහර

ලෝක ප්‍රසිද්ධ ගත්කතුවරයෙක් වන සල්මන් රුෂ්ඩිට පසුගිය දා අමානුෂික පිහි ප්‍රහාරයකට මුහුණ දෙන්නට සිදුවුණා. නිව්යෝක් ප්‍රාන්තයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් සිටියදී, අමානුෂික ව පිහි ඇනුමට ලක් වූ ඔහු ඉන් බරපතල තුවාල ලබා රෝහල් ගත කෙරුණා. පිහි පහර කිහිපයක් ඔහු වෙත එල්ල වී තිබූ අතර, ඉන් ඔහුගේ එක් ඇසකට, අක්මාවට සහ අතකට දැඩි ලෙස හානි වී තිබුණා. 

ඔහු රෝහලේ දැඩි සත්කාර ඒකකයට වහා ම ඇතුළත් කළ අතර, ජීවිතය සහ මරණය අතර සටනක නිරත වන්නට ඔහුට සිදු වී තිබුණා. කෙසේ නමුත් මේ වන විට ඔහු කෙමෙන් කෙමෙන් සුව අතට හැරෙමින් සිටින බවත්, යන්ත්‍රවල සහාය නොමැතිව ස්වසනය කරන්නට හැකියාව ලැබී තිබෙන බවත් රෝහල් ආරංචි මාර්ග පවසනවා.

ජීවිතය සහ මරණය අතර සටනක

ප්‍රහාරයෙන් සිදු වූ හානිවලින් බොහෝ විට රුෂ්ඩි ගේ එක් ඇසක් ඔහු හට අහිමි වනු ඇති බැව් පැවසෙන අතර, දැඩි ලෙස ස්නායු කැපීමට ලක් වී ඇති බාහුවේ ක්‍රියාකාරීත්වය යථාවත් වීමට විශාල කාලයක් ගත වනු ඇති බවත් වෙදැදුරන් පවසනවා. ඔහුගේ අක්මාවට සිදුව ඇති හානි ද සුළු පටු නොවන මුත්, අක්මාව බොහෝ දුරට සම්පූර්ණයෙන් සුවපත් කර ගන්නට හැකි වනු ඇති බවත් පැවසෙනවා.

 රුෂ්ඩි මතභේදයට තුඩුදුන් තම ‘ද සැටනික් වර්සස්’ කෘතිය සමගින්- Ron Edmonds/AP 

 

කවුද මේ සල්මන් රුෂ්ඩි

ඉන්දියාවේ දී 1947 වසරේ ජුනි මස 19 වැනි දා උපත ලද ශ්‍රීමත් අහමඩ් සල්මන් රුෂ්ඩි බුකර් සම්මානයට පවා පාත්‍ර වූ ලෝ පරසිදු ගත්කතුවරයෙක්. පෙරදිග සහ බටහිර සංස්කෘතීන්වල එකතුව සම්බන්ධ ව කෘතීන් රචනා කිරීම නිසා ලොව පරසිදු වූ ඔහු බුකර් සම්මානයට පවා පාත්‍ර වූයෙක්. 1981 වසරේ ඔහු රචනා කළ ‘මිඩ්නයිට් චිල්ඩ්රන්’ නම් වූ කෘතිය අරබයා ඔහු බුකර් සම්මානයට පාත්‍ර වූ අතර, එය එදා මෙදා තුර බුකර් සම්මාන ලැබූ කෘතීන අතරෙනුත් හොඳ ම කෘතියක් ලෙස ද ගරු බුහුමනට පාත්‍ර වී තිබෙනවා. 

1988 වසරේදී ඔහු ලියා නිකුත් කළ ‘ද සැටනික් වර්සස්’ කෘතිය මහත් ආන්දෝලනයකට තුඩු දුන් අතර, දේශපාලනික දූෂණ ක්‍රියා, ආගමික අත පෙවීම්, සහ නිදහස් භාෂණයේ අයිතීන් ගැන  ඔහු නිර්භයව එමඟින් කරළියට ගෙනවුත් තිබුණා. මේ නිසා එවකට ඉරානයේ සිටි ආධ්‍යාත්මික නායක රුහොල්ලා කුමෙයිනිට බලවත් පහරක් එල්ල වූ අතර, ඔහු රුෂ්ඩිට 1989 දී ෆට්වා නීතිය අනුව මරණ දඬුවම ලබා දීමට තීරණය කර තිබුණා. මේ වන විට රුෂ්ඩි එංගලන්තයේ රැකවරණ ලබමින් සිටි අතර, කුමෙයිනි අනුගාමිකයන්ගෙන් ඔහු වෙත මරණ තර්ජන එල්ල වන්නට වූ නිසා ඔහුට උපරිම පොලිස් ආරක්ෂාව ලබා දෙන්නට එංගලන්ත රජය තීරණය කළා.

රුෂ්ඩි 2000 වසරේදී අමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වූ අතර, ආචාර්යවරයකු ලෙසත්, ලේඛකයකු ලෙසත් දිගට ම කටයුතු කළා, එහිදී ද ඔහු සිය මතවාද නො බිය ව ප්‍රකාශ කරන්නට කටයුතු කළා. 2022 වසරේ අගෝස්තු මස 2 වන දින නිව් යෝක් හි දේශනයකට සහභාගී වන්නට ගොස් සිටිය දී හෙතෙම පිහි පහරකට ගොදුරු වන්නේ ඒ අනුව යි. ඒ වන විට ඔහු 75 වන වියෙහි පසු වුණා.

 රුෂ්ඩිට පිහි ඇනුම සිදු වූ අවස්ථාව- apnews.com

 

පිහි ප්‍රහාරයට හේතු

ඉරානයේ හිටපු අධ්‍යාත්මික නායක අයටොල්ලා හෙවත් රුහොල්ලා කුමෙයිනි සල්මන් රුෂ්ඩි මරා දැමිය යුතු යැයි ආඥාවක් නිකුත් කළේ, ද සැටනික් වර්සස් නිකුත් වූ 1988 වසරේදී ම යි. එහිදී ඔහු සඳහන් කර තිබුණේ රුෂ්ඩි ඉස්ලාම් දහම නිර්දය ලෙස අපහාසයට ලක් කර ඇති බව යි. කෙසේ නමුත් සමහර විද්වතුන් පවසන්නේ කුමෙයිනිගේ දේශපාලන භාවිතාවට එමඟින් බලවත් පහරක් වැදීම නිසා ද ඔහු උරණ වූ බව යි. කෙසේ හෝ මේත් සමඟ කුමෙයිනි මතවාදීන්ගෙන් රුෂ්ඩිට මරණ තර්ජන නිති පතා ගලා එන්නට පටන් ගත් අතර, දශකයක පමණ කාලයක් සැඟවී ජීවත් වන්නට ඔහුට සිදු වුණා.

රුහොල්ලා කුමෙයිනි 1989 වසරේ දී මියගිය ද, ලොව පුරා කුමෙයිනිවාදීන් රුෂ්ඩිට එරෙහි සටන අත් නොහැරි අතර,  රුෂ්ඩිට පිහි පහර පසුගිය දා එල්ල කළා යැයි සැක කෙරෙන හඩී මටාර් නම් 24 හැවිරිදි තැනැත්තා ද, කුමෙයිනි මතවාදියෙක් බැව් හෙළි වී තිබෙනවා. ඔහුගේ මෙම ක්‍රියාව, සමස්ත නිදහස් භාෂණ අයිතියට ම කළ පහරදීමක් වශයෙන් බොහෝ දෙනෙක් අර්ථ දක්වද්දී, ඒ සම්බන්ධව ප්‍රියතාවයෙන් කතා කරන පිරිසකුත් කරළියට පැමිණ තිබෙනවා.

සල්මන් රෂ්ඩි ‘’ප්‍රකෘතිමත් වීමේ මාවතේ” 

සල්මන් රෂ්ඩි ‘’ප්‍රකෘතිමත් වීමේ මාවතේ” සිටින බව ඔහුගේ හිටපු බිරිය සහ කීර්තිමත් රූපවාහිනී පෞරුෂයක් වන පද්මා ලක්ෂ්මි පවසනවා.  මේ සිදුවීම පිළිබඳ ඇසූ විට තමන් කනස්සල්ලට හා යමක් පවසන්නට වචන නොමැති වාතාවරණයකට පත් වූ බව ද ඇය සිහිපත් කළා. මේ ප්‍රහාරය “පෙර සැලසුම් කළ, ඉලක්කගත ” ප්‍රහාරයක් ලෙස ද ඇය විස්තර කර තිබෙනවා.

 සල්මන් රුෂ්ඩි සහ පද්මා ලක්ෂ්මි 2004 දී විවාහ වූ අතර 2007 දී දික්කසාද වූහ – STAN HONDA/AFP via Getty Images

 

ප්‍රහාරය පිළිබඳ විද්වත් මත හා එල්ල වන තර්ජන

සල්මන් රුෂ්ඩිට එරෙහි පිහි ප්‍රහාර සැල වූ විට ලොව පුරා ගත්කතුවරුන් ඇතුළු විද්වතුන් රාශියක් ඒ පිළිබඳ සිය මත ප්‍රකාශ කරන්නට යෙදුණා.

‘හැරී පොටර්’ රචිකාවිය වන ජේ.කේ රෝලිං සහ ප්‍රවීණ ගත්කතුවරයකු වන ස්ටීවන් කිං පවසා සිටියේ මෙම සිද්ධිය අතිශය බියජනක බව යි. ඔවුන් රුෂ්ඩිට සිය සම්පූර්ණ සහාය ද පළ කර තිබුණා.

බුකර් සම්මාන ලාභී ඉයන් මැක් එවන් පවසා තිබුණේ මෙම ප්‍රහාරය නින්දිත බවයි. 

” මෙය මුළු මහත් ප්‍රජාවගේ නිදහස් ප්‍රකාශන අයිතියට සිදු කළ අඩන්තේට්ටමක් ”  ඔහු පවසා තිබුණා ” සල්මන් රුෂ්ඩි නිදහස් භාෂණය සිදු කිරීම සඳහා ලොව පුරා කතුවරයන් හා මාධ්‍යවේදීන්ට ආදර්ශයක් හා දිරිගැන්වීමක් දුන් අයෙක්. ඔහු ඉතාමත් ධෛර්යයමත් හා ත්‍යාගශීලී අයෙක්. ඔහු දක්ෂතාවෙන් ද අගතැන්පත්. කිසිවකින් නොසැලෙන පුද්ගලයෙක්. මින් ඔහු නොසැලෙනු ඇති ” ඔහු තව දුරටත් පවසා තිබුණා.

 අයටොල්ලා කුමෙයිනි – AP

 

රචක හනිෆ් කුරේෂි බී.බී.සී සේවය හා පවසා තිබුණේ තමන් මෙම සිද්ධිය අසා මහත් සේ කම්පනයට පත් වූ බව යි. එමෙන්ම ‘ද සැටනික් වර්සස්’ නිකුත් කර වසර 33 කටත් වඩා කාලයක් ගත වී තිබෙද්දී ත් ඔහු වෙත මෙලෙස මරණ තර්ජන එල්ල වීම පිළිබඳ  තමන් ළතැවෙන බැව් ද ඔහු පවසා තිබුණා.

ප්‍රංශයේ චාලි හෙබ්ඩො සඟරාවේ සංස්කාරක ලෝරන්ට් සොරිසා පවසා තිබුණේ, ආගම් මතවාදීත්වය නිසා ලබා දෙන මරණ වරෙන්තු කිසි ලෙසකින් සාධාරණීයකරණය කළ නොහැකි බව යි. සොරිසා ද 2015 වසරේ පටන් දැඩි ආරක්ෂක රැකවල් මැද දිවි ගෙවන්නේ ඉස්ලාමික අන්තවාදීන් යැයි කියාගත් කණ්ඩායමක් 2015 වසරේදී සිය රැකියා සගයන් කිහිපදෙනෙක් ඝාතනය කිරීමත් සමඟ යි. මෙයට හේතුව වී තිබුණේ ඉස්ලාමයට නිගා දෙන්නේ යැයි පැවසෙන කාටූන් චිත්‍ර කිහිපයක් චාලි හෙබ්ඩො සඟරාවේ පළවීමත් සමඟ යි.

රචිකාවියක වන, ලීසා ඇපිගනේසි පවසා තිබුණේ තමන් සිය මිත්‍ර සල්මන් රුෂ්ඩිට එරෙහි ව සිදු වූ පිහි ප්‍රහාරය ගැන අසා භීතියට පත් වූ බව යි. රුෂ්ඩි තමන් වැනි අයගේ චින්තන ශක්තිය නව මානයක් කට අයා ගෙන යාමට රුකුල් දුන් බවත් ඇය පවසා තිබුණා.

 ඝාතනයට ලක් වූ චාලි හෙබ්ඩෝ පුවත්පතේ සාමාජිකයින්ට උපහාරයක් වශයෙන්, ප්‍රංශ වීදි චිත්‍ර ශිල්පියෙකු වන ක්‍රිස්ටියන් ගුමිගේ බිතු සිතුවමක් – THOMAS COEX/AFP via Getty Images

 

බුකර් සම්මාන ලාභී, ඉන්දීය ගත්කතුවරියක වන අරුන්දතී රෝයි තමන්ට මෙම සිද්ධිය කන වැකුණු වහා ම කතා කරගත නොහැකි තරමේ වේදනාවක් ඇති වූ බැව් පවසා තිබුණා. ඇය තව දුරටත් පවසා තිබුණේ, රුෂ්ඩිගේ මතවාදයන් සහ ශක්තිය තමන් වැනි පිරිස්වලට ද විශාල ශක්තියක් වූ බව යි. මින් ඔහුට අනර්ථයක් වුවහොත් තමන් ඇතුළු සියලු දෙනාට ද එය බලපාන බව යි.

ඇෆ්ඝන් ජාතික රචකයෙක් වන කාලිඩ් හුසේනි පවසා සිටියේ තමන් මෙම පුවත අසා මහත් ලෙස බිය වූ බව යි.  

රුෂ්ඩි ලෝකයට අත්‍යවශ්‍ය පුද්ගලයෙක් බවත්, මෙවැනි බියගුළු ක්‍රියාවකින් ඔහු නිහඬ කළ නොහැකි බවත් ඔහු පවසා තිබුණා.

තමන් ලියූ ‘ලජ්ජා’ කෘතිය නිසා තම නිජබිම වන බංග්ලාදේශයෙන් පිටමං වන්නට සිදු වූ තස්ලිමා නස්රින් පවසා සිටියේ මෙම සිද්ධිය නිසා තමන්ගේ ආරක්ෂාව පිළිබඳව ද දෙවරක් සිතන්නට සිදුව ඇති බව යි. ඇයගේ ‘ලජ්ජා’ කෘතිය නිසා ඉස්ලාමයට පහර වැදෙන බැව් පවසමින් මරණ තර්ජන එල්ල වන්නට වූ නිසා ඇයට බංග්ලාදේශයෙන් පිටතට පලා එන්නට සිදු වුණා.

‘ලජ්ජා’ කෘතිය නිසා තම නිජබිම වන බංග්ලාදේශයෙන් පිටමං වන්නට සිදු වූ තස්ලිමා නස්රින් – GYSEMBERGH Benoit/Paris Match via Getty Images

 

නිදහස් භාෂණය පිළිබඳ, අමෙරිකානු ජාතික ක්‍රියාකාරිණියක වන සුසෑන් නොසල් මාධ්‍ය වෙත පවසා සිටියේ මෙම ප්‍රහාරය ඉතා ඉතා අමානුෂික මෙන් ම පිළිකුල් සහගත බව යි. ඇය වර්තමානය වන විට අමෙරිකානු හා ලෝක මට්ටමේ ලේඛකයන්ගේ භාෂණයේ නිදහස වෙනුවෙන් පෙනී සිටින ‘පෙන්’ ආයතනයේ මුලසුන දරන අතර, සල්මන් රුෂ්ඩි එහි හිටපු සභාපතිවරයෙක් ද වෙනවා. ඇය වැඩි දුරටත් පවසා සිටියේ රුෂ්ඩි මෙම ප්‍රහාරයට පෙර යුක්‍රේනයේ ලේඛකයන් පිළිබඳව සොයා බැලීම පිළිබඳව ඇය හා සාකච්ඡා කළ බව යි.

මේ ආහාරයෙන් අදහස් ප්‍රකාශ කිරීමෙන් අනතුරු ව, එලෙස අදහස් ප්‍රකාශක කළ සමහර අයට ද මරණ තර්ජන එල්ල වී තිබෙනවා. විශේෂයෙන් හැරී පොටර් රචිකාවිය වන ජේ. කේ. රෝලිංට දැඩි මරණ තර්ජනයක් එල්ල වී ඇති අතර, මේ වන විට ඇයට දැඩි පොලිස් ආරක්ෂාවක් සපයන්නට ස්කොට්ලන්ත බලධාරීන් ක්‍රියා කොට තිබෙනවා.

 නිව් යෝර්ක් මහජන පුස්තකාලයෙන් පිටත පැවති සල්මන් රුෂ්ඩිට සහයෝගීතාවය පෙන්වීමේ රැලියකදී – TIMOTHY A. CLARY/AFP via Getty Images

 

සල්මන් රුෂ්ඩිට එල්ල වූ ප්‍රහාරය පිළිබඳ ව දිගට ම පර්යේෂණ පවත්වා, ඊට සම්බන්ධ වූවන් සියල්ල් නීතියේ රැහැනට හසුකරගන්නා බවට අමෙරිකානු බලධාරීන් ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා තිබුණා. ප්‍රහාර එල්ල කළ හඩී මටාර්ටත්, චෝදනා ඔප්පු වූ පසු උපරිම දඬුවම් ලබා දෙන බවට ඔවුන් වැඩි දුරටත් පවසා තිබෙනවා.

අමෙරිකානු උප ජනාධිපතිනි කමලා හැරිස් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා තිබුණේ රුෂ්ඩිට එරෙහි ප්‍රහාරය ඉතා බිය ජනක මෙන් ම පහත් එකක් බව යි. අමෙරිකාව තුළ නිදහස් භාෂණයේ අයිතිය ආරක්ෂා කිරීමට අයිතිය උපරිමයෙන් ඇති බවත්, ඊට එරෙහි ව වෛරී මෙන්ම ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදු කිරීමට කිසිදු අවස්ථාවක් නැති බවත් ඇය තව දුරටත් ප්‍රකාශ කර තිබුණා.

සල්මන් රුෂ්ඩිට පිහි ප්‍රහාරය එල්ල කළ හඩී මටාර්- AP 

 

සල්මන් රුෂ්ඩිට පිහියෙන් ඇන ඇතැයි කියන හඩී මටාර්, රුෂ්ඩි දිවි ගලවා ගනු ඇතැයි තමා නොසිතූ බව පවසා ඇතැයි වාර්තා වනවා. සල්මන් රුෂ්ඩිට පිහියෙන් ඇන ඇති 24 හැවිරිදි හඩී මටාර්, මිනීමැරීමට තැත් කිරීම සහ පහරදීම සම්බන්ධයෙන් තමන්ට එල්ල වන චෝදනා අධිකරණයේ දී ප්‍රතික්ෂේප කර තිබුණා.

කවරයේ ඡායාරූපය - Christopher Drost/Zuma/dpa 

මූලාශ්‍ර:

NDTV.com

BBC.com

CNN.com

Related Articles