Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

විසඳුමක් නොදෙන විසඳුමක් හෙවත් රෝමියෝ ජුලියට් නීතිය

*මෙහි “ස්ත්‍රී දූෂණය” යන යෙදුම භාවිත වන්නේ එය ලිංගික බලහත්කාරකම් සඳහා වන නීතිමය යෙදුම වන නිසාවෙනි.

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය පිළිබඳ නීතිය පිළිබඳ හැඳින්වීමක්

ස්ත්‍රී දූෂණය යනු මනුෂ්‍ය ශරීරයට සහ ආත්ම ගෞරවයට එරෙහිව සිදු කරනු ලබන බරපතල ගණයේ අපරාධයකි. මෙරට අපරාධ නීතියට අනුව එය ඇප ලැබිය නොහැකි, ලඝු නොවන කාර්ය පටිපාටියකට යටත්ව නඩු විභාගයකට ලක්වන අපරාධයකි. ස්ත්‍රී දූෂකයකු හට උපරිම වසර විස්සක් දක්වා බරපතල වැඩ සහිතව සිරබත් කෑමට සිදු විය හැකිය. එක් දූෂකයෙකු හට මෙන්ම සමූහ දූෂණ වරදට අධි චෝදනා ලබන්නකුට ද නීතිය එසේම ය. සරලවම ගතහොත් ස්ත්‍රියකගේ කැමැත්තෙන් තොරව ඇය සමග ලිංගික ක්‍රියාවන්හි යෙදීම ස්ත්‍රී දූෂණයක් ලෙසින් හඳුනාගත හැකි වුවද මේ වන විට බලහත්කාරයෙන් ගුද මාර්ගයට හෝ මුඛයට පුරුෂ ලිංගයක් ඇතුළත් කිරීම පවා දූෂණය යන අපරාධය යටතේ අර්ථ නිරූපණය කෙරේ.

නීතිමය වශයෙන් හෝ සදාචාරාත්මක වශයෙන් ස්ත්‍රී දූෂණයක් සුළු කොට තැකිය නොහැක්කකි. මෙරට අපරාධ නීති රාමුව තුළ පවත්නා නීති අතුරින් ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වන ලෙස ඍජුව දක්වා ඇති (මෙය Gender Based Offence නමින් හැඳින්වේ) එකම අපරාධය වන්නේද ස්ත්‍රී දූෂණයයි.

ස්ත්‍රී දූෂණ අපරාධයෙහි විවිධ පැතිකඩ කිහිපයක් පවතී. ඒ අතුරින් වෛවාහක ස්ත්‍රී දූෂණය පිළිබඳව හැඳින්වීමක් මින් පෙර ලිපියක් හරහා අප විසින් ඉදිරිපත් කරන ලදි. එහි තවත් පැතිකඩක් වන ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය හෙවත් Statutory Rape නම් වන අපරාධය පිළිබඳව වන නීතිමය තත්වය සම්බන්ධයෙන් Roar පාඨක ඔබව දැනුවත් කිරීම මේ ලිපියේ අරමුණයි.

https://www.thequint.com

නීතිමය අරුත

1883 අංක 02 දරණ දණ්ඩ නීති සංග්‍රහයේ 363 වන වගන්තිය ප්‍රකාරව ස්ත්‍රී දූෂණයක් යනු ස්ත්‍රියක සමග බලහත්කාරයෙන් මෛථුනයෙහි යෙදීමයි. මෙම වගන්තියේ පස්වන, එනම් (ඉ) උප වගන්තියේ සඳහන් වන්නේ අදාල ස්ත්‍රිය අවුරුදු දහසයට අඩු වන විට ඇගේ කැමැත්ත ඇතිව හෝ නැතිව මෛථුනයෙහි යෙදීම ද ස්ත්‍රී දූෂණයක් වන බවයි.

මෙහි එන වන උප වගන්තිය හරහා මෙරට පිළිබඳව පවත්නා හරයාත්මක නීති තත්වය පැහැදිලි කෙරේ. මෙම වගන්තියට අනුව යම් කිසි පුද්ගලයකු විසින් වයස අවුරුදු 16ට අඩු ගැහැණු දරුවකු සමග ලිංගික ක්‍රියාවක යෙදුනහොත්, එම ක්‍රියාව අදාල ගැහැණු දරුවාගේ කැමැත්ත මත සිදු වුවද එය ස්ත්‍රී දූෂණයක් ලෙස සලකනු ලැබේ. මෙම නීතිය ව්‍යවස්ථාපිතව (එනම් යම් පනතක් මගින් පනවනු ලබන නීතියක්) ඇති කරන ලද්දක් බැවින් මෙම වරද ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය නමින් හැඳින්වේ.

ඇතැම් යුරෝපා රටවල් තුල මෙම නීතියට යටත්ව සිර භාරයට ගනු ලබන තරුණ පෙම්වතුන් හට යම් සහනයක් ලබා දීම පිණිස ලිහිල් නීති පනවා තිබේ. පෙම්වතුන් හා පෙම්වතියන් අතර ඇතිවන ආදර සබඳතා නිසාවෙන් සිදුවන ලිංගික ක්‍රියාකාරකම් සඳහා නීතියෙන් තද බැඳීම් නොපනවනු ලබන ක්‍රියාවලියක් පවත්නා බැවින් ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය සම්බන්ධ නීති රෝමියෝ ජුලියට්‍ නීති (Romeo Juliette Laws) නමින් ද හැඳින්වේ.

http://www.pulse.lk

නොගැලපෙන්නේ නීතිය ද? සමාජයද?

නීති පොත් තුළ ලියැවී ඇති වගන්ති කෙසේ වුවද එම නීති සෑම විටම සමාජය සමග එකඟතාවක් දක්වන්නේ නැත. දශක ගණනාවක සිටම දියුණු වෙමින් පවත්නා රටක් වන ශ්‍රී ලංකාවේ තත්වය ද එසේම ය. තදාසන්න ප්‍රදේශයන්ගෙන් ඈත් වෙත්ම තවමත් රට තුළ කෘෂිකර්මාන්තය මුල් කරගත් පවුල් විශාල සංඛ්‍යාවක් දක්නට ලැබේ. එම පවුල් වල දියණියන් වැඩි විය පත් වූ විගසම පාහේ තවත් හිතවත් පවුලක තරුණයෙකු වෙත විවාහ කර දීම මෙම පවුල් වල සිරිතයි. එලෙස විවාහ පත් තරුණ තරුණියන් විවාහය ලියාපදිංචි නොකලද (විවාහ වීමේ අවම වයස අවුරුදු 18 වන බැවින් ඔවුන්ට විවාහය ලියාපදිංචි කිරීමට හැකියාවක් නොමැත) තමාගේම නිවසක පදිංචි වීමට ඔවුහු පෙළඹෙති.

මෙවැනි අඹු සැමියන් ඇතැම් විට එකට කුඹුරු වැඩ කිරීම මෙන්ම විටෙක සාමාන්‍ය පෙල සමත් වීම පිණිස එකට පාසල් ඒම පවා ඇතැම් ප්‍රදේශයන්හි දැකගත හැකි ය. (මෙවැනි සිදුවීම් ශ්‍රී ලංකාවේ පවතින්නේ අල්ප වශයෙන් බවද කිව යුතුය) ගතානුගතික සමාජ ක්‍රමයකට හුරුව සිටින ඇතැම් වැසියන්ට මෙම නීතිය පුදුමය දනවන්නකි. ඔවුන් එකට ජීවත් වන්නේ කැමැත්තෙනි. තම පෙම්වතා දූෂකයකු ලෙස සිරගත කිරීම කෙතරම් සාධාරණදැයි අසන්නට හැකියාවක් නොමැති ඇතැම් තරුණියන් අදටත් අප සමාජය තුළ සිටී.

මෙම නීතිය සම්බන්ධයෙන් ඇති එකම ගැටළුව එය පමණක්ම නොවේ. පෙර සඳහන් කළ පරිදි, මෙරට සාමාන්‍ය පවුල් නීතිය අනුව විවාහ වීමට හැකි අවම වයස අවුරුදු 18 වේ. එම වයස් සීමාව පැනවීමට හේතුව වනුයේ තම විවාහය පිළිබඳව තාර්කික තීරණ ගැනීමට වයස අවුරුදු 18ට අඩු පුද්ගලයකුට හැකියාවක් නොමැත යන්නයි. (විවාහපත් වීම පමණක් නොව, ඡන්දය ප්‍රකාශ කිරීම, රියදුරු බලපත්‍රය ලබා ගැනීම සහ ගිවිසුම් වලට එළඹීම මෙන්ම බැංකු ගනුදෙනු කිරීම යනාදී ක්‍රියාවන් සඳහා ද මෙම අවම වයස් සීමාව පනවා ඇත්තේ එම පදනම මත ය) නමුත් අපරාධ නීතිය තුළ ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය බල පැවැත්වෙන්නේ අවුරුදු 16න් පහල ගැහැණු ළමුන් වෙත ය.

එම නීතිය පැනවීමට හේතුව ලෙස දක්වනු ලැබූයේ වයස අවුරුදු 16ට අඩු ගැහැණු ළමයකු හට තම ලිංගික ජීවිතය පිළිබඳව ස්වාධීන තීරණ ගැනීමට හැකියාවක් නොමැත යන පදනම මත පිහිටා ය. එසේ නම් වයස 16ට වැඩි ගැහැණු ළමයකු හට එම හැකියාව පවතින බව නීති සම්පාදකයින් තීරණය කර තිබේ. තම ලිංගික ජීවිතය පිළිබඳව තීරණ ගැනීමට හැකියාව පවතින කාන්තාවකට විවාහපත් වීමට නම් තමාට වයස අවුරුදු 18 සපිරෙන තෙක් තවත් වසර දෙකක් බලා සිටීමට සිදු වේ. බැලූ බැල්මට විශාල ගැටළුවක් ලෙස නොදැනුනද මින් පැහැදිලි වන්නේ නීති සම්පාදකයින් විසින් එක් නීතියක් පැනවීමේදී පවත්නා අනෙක් නීති සමග ගැළපෙන ලෙස එම නීති සම්පාදනය කිරීමට අසමත් ව ඇති බවයි.

කෙසේ වුවද, 364 වන වගන්තියේ දෙවන උප වගන්තියේ (උ) කොටස තුළ දැක්වෙන්නේ දෙදෙනාගේම කැමැත්තෙන් සංසර්ගයෙහි නිරත වී ඇති අවස්ථාවකදී එම පුරුෂයාගේ වයස අවුරුදු දහ අටට අඩු නම් ලැබෙන සිර දඬුවම වසර දහයකට අඩු සිර දඬුවමක් වන බව යි. එසේ නම්, විවාහ වීමේ අවම වයස අවුරුදු දහ අට වන බැවින් මෙම වගන්තිය ක්‍රියාවෙහි නැංවීමට සිදු ව තිබේ.

http://indianexpress.com

වත්මන් නීති එකිනෙකා සමග ගැටීම යනු යහපත් නීති පද්ධතියක ලක්ෂණයක් නොවේ. සමස්ථයක් ලෙස ගත් කළ අත්‍යන්තයෙන්ම සිදුවන අවාසිදායක බවක් නොපෙණුනද මෙවන් ගැටීම් වලින් පීඩාවට සහ අසරණ භාවයට පත් වන්නේ අසරණ මහජනතාව ය. මෙම නීතිමය රාමුව සංශෝධනය කිරීම සඳහා යෝජනාවලියක් සහ නව නීති කෙටුම්පතක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මගින් ඉදිරිපත් කළද එම සංශෝධනයන් නිසි පරිදි බලාත්මක වූයේ නැත.

ශ්‍රී ලංකාව යනු බහුවිධ නීති පද්ධතියකින් යුත් රාජ්‍යයකි. මුළු රටටම පොදුවේ බල පැවැත්වෙන සාමාන්‍ය නීතියට අමතරව සිය ආගම, උපන් ප්‍රදේශය වැනි නිර්ණායකයන්ට යටත්ව වෙනත් පුද්ගලික/ විශේෂ නීති මගින් පාලනය වන ජන කොට්ටාසයන් රැසක් මෙරට වාසය කරන බව අමතක කළ නොහැක්කකි. මෙම අපරාධ නීතිමය රාමුව ශ්‍රී ලංකාවේ පවත්නා අනෙකුත් පුද්ගල නීති සහ වත්මන් ජාත්‍යන්තර නීති පද්ධතියේ කතිකාවන් සමග ගැටෙනා ආකාරය පිළිබඳ මීළඟ ලිපියෙන් සාකච්ඡා කරන්නෙමු.

කවරයේ ඡායාරූපය -http://mylegalweb.net

තොරතුරු උපුටා ගැනීම –

1883 අංක 02 දරණ දණ්ඩ නීති සංග්‍රහය

Related Articles