රෝමියෝ ජුලියට් නීතිය තව දුරටත්

*මෙහි “ස්ත්‍රී දූෂණය” යන යෙදුම භාවිත වන්නේ එය ලිංගික බලහත්කාරකම් සඳහා වන නීතිමය යෙදුම වන නිසාවෙනි.

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය පිළිබඳ නීතිය වෙත හැඳින්වීමක්

දණ්ඩ නීති සංග්‍රහයේ 363 වන වගන්තියේ (ඉ) උප වගන්තිය ප්‍රකාරව වයස අවුරුදු දහසයට අඩු ස්ත්‍රියක් සමග ඇයගේ කැමැත්ත රහිතව හෝ සහිතව මෛථුනයෙහි යෙදීම මගින් ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය නැමති අපරාධය ස්ථාපනය වන ආකාරය පිළිබඳව අප මින් පෙර ලිපියකින් සාකච්ඡා කෙළෙමු. එහි මීළඟ කොටස තුලින් අප සූදානම් වන්නේ මෙම උප වගන්තිය අදාල නොවන පුද්ගල නීතීන් පිළිබඳව සහ වත්මන් ජාත්‍යන්තර නීති රාමුව පිළිබඳව තතු සමුදායක් පාඨක ඔබ වෙත ගෙන ඒමටයි.

දණ්ඩ නීති සංග්‍රහයේ 363 වන වගන්තියේ (ඉ) උප වගන්තිය  පහත පරිදි වේ;

“…ස්ත්‍රිය වයස අවුරුදු දොළහට වැඩි වන්නා වූද, එම පුරුෂයාගේ භාර්යාව වන්නා වූද සහ ඇය එම පුරුෂයාගෙන් නීති මගින් වෙන් වී නොමැති නම් මිස ස්ත්‍රිය වයස අවුරුදු දහසයට අඩු වන විට ඇයගේ කැමැත්ත ඇති ව හෝ නැතිව..  මෛථුනයෙහි යෙදීම මගින් ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය නැමති අපරාධය ස්ථාපනය වන බව…”

නමුත් මෙම වගන්තියෙහි වයස අවුරුදු දොළහට වැඩි වන්නා වූද, එම පුරුෂයාගේ භාර්යාව වන්නා වූද යනුවෙන් සඳහන් කර ඇත්තේ මුස්ලිම් නීතියෙන් පාලනය වන පුද්ගලයින් සම්බන්ධයෙනි. මුස්ලිම් ජාතිකයින් පාලනය වන්නේ ඔවුන්ගේ විශේෂ නීතිය වන මුස්ලිම් නීතිය මගිනි. 1951 වසරේ බලාත්මක කරන අද අංක 13 දරණ මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත ප්‍රකාරව ඔවුන් හට මෙරට අපරාධ නීතියෙන් මෙම ව්‍යතිරේඛය හිමි වී තිබේ.

https://www.thequint.com

මුස්ලිම් නීති රාමුව

1907 අංක 19 දරණ සාමාන්‍ය විවාහ ලියාපදිංචි කිරීමේ ආඥා පනත එහි පූර්විකාවෙහිම දක්වා සිටින්නේ එම ආඥා පනත මුස්ලිම් නීතිය යටතේ පාලනය වන පුද්ගලයින් හට අදාල නොවන බවයි. එබැවින් මෙරට සාමාන්‍ය විවාහ නීතිය මුස්ලිම් ජාතිකයින් හට බල නොපැවැත්වේ. 1951 අංක 13 දරණ මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත මගින් මුස්ලිම් තරුණියක් හට විවාහ වීමට හැකි අවම වයස් සීමාවක් සෘජුව​ දක්වා නොතිබුණ ද, එහි 23 වන වගන්තියෙහි සඳහන් වන්නේ වයස අවුරුදු 12ට අඩු මුස්ලිම් ගැහැණු ළමයකුට තමා වාසය කරන ප්‍රදේශයේ කාති වරයාගේ අනුමැතිය සහිතව විවාහය ලියාපදිංචි කළ හැකි බවයි. එනයින් ගත් කළ, වයස අවුරුදු 12 ඉක්මවූ ඕනෑම මුස්ලිම් ගැහැණු ළමයකු හට විවාහ වීමේ අවසරය මෙම ආඥා පනත මගින් ලබා දී ඇත. (පසුගිය දින වල ජමායිතුල් උලමා සංවිධානය විසින් දියත් කරන ලද විරෝධතාවන් මගින් එම සංවිධානය ප්‍රකාශ කර සිටියේ මෙම නීති අහෝසි නොකරනා ලෙසයි) මෙම නීතිය හේතු කොටගෙන තමා විවාහ වී සිටින වයස අවුරුදු 16ට අඩු ස්ත්‍රියක සමග ලිංගිකව හැසිරීමේ අපරාධ වරදට වැරදිකරු නොවීමට මුස්ලිම් ජාතිකයින් හට හැකියාවක් ඇත.

ජාත්‍යන්තර නීතියේ බලපෑම

කාන්තාවන්ට එරෙහි සියළුම ආකාරයේ වෙනස් කොට සැළකීම් බැහැර කිරීමේ සම්මුතිය හෙවත් CEDAW සම්මුතිය (Convention on the Elimination of All forms of Discrimination Against Women) මගින් බලාත්මක කොට ඇති සීඩෝ කමිටුව මගින් මෙම වසරේ පෙබරවාරි මස නිකුත් කරන ලද වාර්තාවක් මගින් ශ්‍රී ලංකා රජය වෙත නිර්දේශ කර සිටියේ දණ්ඩ නීති සංග්‍රහයේ 363 වගන්තිය සංශෝධනය කොට වයස අවුරුදු 16ට අඩු සියළුම ස්ත්‍රීන් සමග සංසර්ගයෙහි යෙදීම ස්ත්‍රී දූෂණයක් බවට නම් කෙරෙන ලෙස වත්මන් නීතිය වෙනස් කිරීමයි. එම නිර්දේශය අනුගමනය කළහොත් මුස්ලිම් නීතිය මගින් මුස්ලිම් ජාතිකයින් විසින් වයස අවුරුදු 12ට වැඩි ගැහැණු ළමුන් විවාහ කරගැනීම සහ ඔවුන් සමග අඹු සැමි සබඳතා පැවැත්වීම නීති විරෝධී ක්‍රියාවක් බවට පත්වනු ඇත.

නීති අතර ගැටුම්

මෙම නීතිය මානව හිමිකම් නීතීන්, කාන්තා අයිතිවාසිකම් සහ සමානාත්මතාවයේ මූලධර්මයන් උල්ලංඝනය කරන්නක් බවට බොහෝ විචාරකයින් විසින් මේ වන විට දෝෂාරෝපණයන් එල්ල වෙමින් තිබේ. රටේ උත්තරීතරම නීතිමය ලියවිල්ල වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ 16(1) වගන්තිය පවසා සිටින්නේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ පවත්නා නීතීන් කිසිවක් මගින් වර්තමානයේ පවත්නා ලිඛිත හා අලිඛිත නීතීන් බල රහිත නොකෙරෙනා බවයි. එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන වගන්තිය හෙවත් සමානාත්මතාවයේ මූලික අයිතිවාසිකම මුස්ලිම් ජාතික කාන්තාවන් හට නොලැබී යයි.

http://indianexpress.com

අප සිටින්නේ කොතැනද?

ශ්‍රී ලංකාවටත් වඩා ඉතා දරුණු ලෙස පුරුෂාධිපත්‍යය බල පැවැත්වෙන අතිශය ගතානුගතික ජන කොට්ටාසයන්ගෙන් සමන්විත වන ඉන්දියාව​ තුළද එහි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉතාම මෑතකදී ලබා දෙන ලද නඩු තීන්දුවක් මගින් ප්‍රකාශ කර සිටියේ ළමා මනමාලියන් සමග සංසර්ගයෙහි යෙදීම ස්ත්‍රී දූෂණයක් වන බවයි. ඉන්දියාව වැනි රටක් පවා මෙවැනි ප්‍රගතිශීලී නීති පනවන්නට පෙළඹෙන්නේ නම්, මානව හිමිකම් සහ කාන්තා අයිතිවාසිකම් ඉතා ඉහලින් අගය කරන්නන් මෙතරම් සිටින රටක බාල වයස්කාර දැරියන් හට සාධාරණයක් ඉටු කිරීමට අපට නොහැකියාවක් පැවතිය නොහැකිය.

රෝමියෝ ජුලියට් නීති තරුණ පෙම්වතුන් හා පෙම්වතියන් වෙනුවෙන් පෙනී සිටින බව බැලු බැල්මට පෙනුනද එම තරුණ පෙම්වතුන්ට වසර දහයකට නොවැඩි කලක් සඳහා සිරගත වීමට ද සිදුවන්නේය. මුස්ලිම් නීතියෙන් පාලනය වන පුද්ගලයින් හට පවත්නා සම්පූර්ණ ව්‍යතිරේකය වත්මන් සමාජීය දේශපාලනික පසුබිම සමග මෙන්ම අන්තර්ජාතික නීතිමය තත්වය සමග ගැලපෙන්නේද නැත. කළු අකුරින් සුදු පිටු පුරා ලියැවී ඇති නීති තව දුරටත් අප අතරම රඳවාගත යුතුදැයි දෙවරක් සිතා බැලීමට කාලය එළඹ තිබේ.

කවරයේ ඡායාරූපය – https://schoolworkhelper.net

තොරතුරු උපුටා ගැනීම –

1883 අංක 02 දරණ දණ්ඩ නීති සංග්‍රහය

1951 අංක 13 දරණ මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත

1907 අංක 19 දරණ සාමාන්‍ය විවාහ ලියාපදිංචි කිරීමේ ආඥා පනත

Related Articles