Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කීර්ති නාමයට වන්දි ගෙවූ පොහොර නැවේ කතාව

පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන්- අහිතකර බැක්ටීරියා අඩංගු බවට තහවුරු වූ චීනයේ කාබනික පොහොර තොගය මෙරටට එවූ චීනයේ චින්දාවෝ සීවින් බයෝටෙක් සමාගමේ  නිෂ්පාදිත- කාබනික පොහොර රැගත් “Hippo Spirit” නෞකාව ඔබට මතක ඇතුවාට සැක නැත. ජාතික ශාක නිරෝධායන සේවය සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වැනි දේශීය ආයතන කිහිපයක් සිදු කළ පරීක්ෂණවල දී එම පොහොරවල පසට, ශාකවලට සහ මිනිසාට  අහිතකර බැක්ටීරියා විශේෂ අන්තර්ගත වන බව තහවුරු විය.

“Qingdao Seawing Biotech Group” සමාගම – www.seawin-bio.com

 පෙර කී චීන සමාගම දිගින් දිගට ම මෙරට පරීක්ෂණ වාර්තා ප්‍රතික්ෂේප කරමින් සඳහන් කළේ පොහොර තොගයේ හානිකර බැක්ටීරියා විශේෂ අඩංගු බව ඔවුන් නොපිළිගන්නා බව යි. අදාළ පොහොර තොගය රැගත් නෞකාව මාස ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකා මුහුදු තීරයේ රැඳී සිට චීනය බලා ආපසු පිටත් ව ගියත් ඒ සඳහා චීන පොහොර නැවට ඩොලර් ලක්ෂ 68ක වන්දි මුදලක් ගෙවීමට ශ්‍රී ලංකාවට සිදු විය.

පොහොර තොගය ආපසු රැගෙන යන අවස්ථාවේ, එම පොහොර තොගය වෙනුවට වෙනත් පොහොර තොගයක් මෙරටට ලබා දීමට චීන සමාගම එකඟ වූ බව එවකට වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ලූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ සඳහන් කළත්, මෑතකදී වාර්තා වූයේ එම පොහොර තොගය වෙනුවට වෙනත් පොහොර තොගයක් ලබා දීමට එම සමාගම සූදානම් නොමැති බව යි.

මේ ගැටලුකාරී තත්ත්වය ආරම්භ වූ අයුරු සහ එහි වර්තමාන තත්ත්වය පිළිබඳ ව මෙම ලිපියෙන් සොයා බලමු.

පොහොර ඉල්ලා විරෝධතා පවත්වන ගොවි ජනතාව – www.dailymirror.lk

රසායනික පොහොර සහ පළිබෝධනාශක භාවිතය තහනම් කිරීම

එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, 2021 අප්‍රේල් මාසයේ දී රසායනික පොහොර සහ පළිබෝධනාශක වර්ග ආනයනය කිරීම සහ  භාවිතය තහනම් කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය. අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබීමෙන් අනතුරු ව 2021 වසරේ මැයි මස රසායනික පොහොර සහ පළිබෝධනාශක ආනයනය සම්පූර්ණයෙන් ම තහනම් කරමින් ගැසට් නිවේදනයක් ද පළ විය. කෙසේ වෙතත් ගොවීන් සහ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විද්වතුන් දිගින් දිගට ම චෝදනා කළේ මෙම තහනම පැනවීමට පෙර කෘෂිකර්ම අමාත්‍යංශය හෝ අනිකුත් අදාළ බලධාරීන් තමන්ගෙන් අදහස් විමසීමක් සිදු නොකළ බව ය.

කාබනික පොහොර ආනයනය

2021 අගෝස්තු වන විට රසායනික පොහොර සහ පළිබෝධනාශක වෙනුවට කාබනික පොහොර ආනයනය කිරීමේ කාර්යභාරය පැවරී තිබුණේ එවක වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ලූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශයට යි.

රාජ්‍ය අමාත්‍යංශය, ගොවීන්ට අවශ්‍ය කාබනික පොහොර අඩුවකින් තොරව සැපයීමේ අරමුණින් දේශීය කාබනික පොහොර නිෂ්පාදන සමාගම්වලින් පොහොර තොග මිල දී ගැනීමට සැලසුම් කර තිබිණි. මිල දී ගන්නා කාබනික පොහොර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා ගොවීන් අතර බෙදාහැරීමට ද සැලසුම් කර තිබිණි.

චීන පොහොර ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් මෙරට චීන තානාපති කාර්‍යාලය නිකුත් කළ නිවේදනයක් – www.gossippond.com

 දේශීය සමාගම්වලින් මිල දී ගන්නා පොහොර තොග යම් හෙයකින් ප්‍රමාණවත් නොවන්නේ නම් වෙනත් රටවලින් කාබනික පොහොර ආනයනය කිරීමට තීරණය වී තිබූ අතර, පසුගිය වසරේ අගෝස්තු මාසය වන විට පොහොර සහ වෙනත් කාබනික නිෂ්පාදන ගණනාවක් වෙනත් රටවල්වලින් ඒ අනුව ඇණවුම් කර තිබිණි.

චීන කාබනික පොහොර

චීන කාබනික පොහොර නිෂ්පාදන සමාගමක් වන “Qingdao Seawing Biotech Group” සමාගමින් කාබනික පොහොර මෙට්‍රික් ටොන් 99,000ක් පමණ මෙරටට ආනයනය කිරීමට නියමිත බව වාර්තා වූයේ  පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී ය. එම සමාගමේ දේශීය නියෝජිත සමාගම ඊට අදාළ කටයුතු සම්බන්ධීකරණය කළේ ය. එම සමාගමෙන් ආනයනය කිරීමට නියමිත ව තිබූ පොහොරවල නියැදි කිහිපයක් මෙරට තත්ත්ව පරීක්ෂණ ආයතන වෙත යොමු කර තිබුණේ එයට පෙරාතුව ය.

වගාවට පොහොර යොදන ගොවියෙක් – www.sundaytimes.lk

ජාතික ශාක නිරෝධායන සේවය සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මෙම පොහොර තොගයේ නියැදි පරික්ෂා කළ අතර එම පරීක්ෂණවලදී අනාවරණය වී තිබුනේ පසට, ශාකවලට සහ මිනිසාට පවා අහිතකර බැක්ටීරියා විශේෂ එම පොහොරවල අඩංගු බව යි. ඉන් අනතුරු ව පොහොර තොගයේ නිෂ්පාදන සමාගම, පසුගිය වසරේ සැප්තැම්බර් මස අගභාගයේ දී, තවත් නියැදි කිහිපයක් මෙරට පරීක්ෂණ ආයතන වෙත යොමු කර තිබිණි. දෙවැනි වටයේ පරීක්ෂණවලදී ද අනාවරණය වූයේ පොහොරවල හානිකර බැක්ටීරියා අඩංගු වන බව යි.

පොහොරවල හානිකර බැක්ටීරියා අඩංගු බව දෙවැනි වරටත් තහවුරු වීමත් සමග පොහොර සමාගම, කෘෂිකර්ම අමාත්‍යංශය සහ පොහොර තොගයේ ගැනුම්කරුවන් වන ලංකා පොහොර සමාගම සහ කොළඹ කොමර්ෂල් පොහොර සමාගම අතර අර්බුදකාරී තත්ත්වයක් ඇති විය.

ජාතික ශාක නිරෝධායන සේවය සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සිදු කළ  පරීක්ෂණවල ප්‍රතිපල පිළිගත නොහැකි බව පැවැසූ පොහොර සමාගම සඳහන් කළේ වෙනත් අතරමැදි ආයතනයකට පොහොර තොගයේ නියැදි යොමු කර පරීක්ෂා කළ යුතු බව යි. කෙසේ වෙතත් එවැනි තුන්වන පාර්ශවයක් සිදු කරන පරීක්ෂණවල ප්‍රතිපල පිළිගත නොහැකි බව කෘෂිකර්ම අමාත්‍යංශය සහ අනිකුත් අදාළ ආයතනවල අදහස විය.  

ගොවි විරෝධතාවක් – www.gossiplankastar.blogspot.com

පොහොර රැගත් නෞකාව මෙරටට ළඟා වෙයි

පසුගිය සැප්තැම්බර් මස අග භාගයේ දී මෙම ආන්දෝලනාත්මක පොහොර තොගය රැගත් ‘හිපෝ ස්පිරිට්’ නෞකාව මෙරට මුහුදු තීරය වෙත ළඟා වූ නමුත් කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ තත්ත්ව පරීක්ෂණවල දී අහිතකර බැක්ටීරියා අඩංගු බවට අනාවරණය වී තිබූ එම පොහොර තොගය මෙරටට ගොඩබෑම සඳහා අවසර නොදෙන බව යි. පොහොර තොගය මෙරටට රැගෙන එන ලෙස සමාගමට දැනුම් දී නොමැති බව ද කෘෂිකර්ම අමාත්‍යංශය  සඳහන් කර තිබිණි.

එම නෞකාව මෙරටට ළඟා වීමෙන් පසු ප්‍රශ්ගනත පොහොර තොගය සඳහා ගෙවිය යුතු මුදල් ගෙවීම වලක්වාලමින් මෙරට රාජ්‍ය බැංකුවකට විරුද්ධව කොළඹ වාණිජ මහාධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළේය. ඒ සමඟ ම අදාළ රාජ්‍ය බැංකුව, චීනය තුළ අසාදු ලේඛනගත කිරීමට එරට බලධාරීහු කටයුතු කළහ. පොහොර සමාගම දිගින් දිගට ම සඳහන් කළේ  පොහොරවල අහිතකර බැක්ටීරියා අඩංගු බව ඔවුන් නොපිළිගන්නා බැවින් පොහොර තොගය ආපසු රැගෙන නොයන බව යි.

“Hippo Spirit” නෞකාව – www.dailymirror.lk

මාස තුනකට පමණ පසු, එනම් පසුගිය වසරේ දෙසැම්බර් මස අග භාගයේ දී පොහොර තොගය රැගත් නෞකාව ආපසු රැගෙන යාමට එම සමාගම තීරණය කළේ ය. ඔවුන් අනතුරු අඟවා තිබුණේ පොහොර තොගය ආපසු රැගෙන ගියත්, පොහොර තොගය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අදාළ ආයතනවලට එරෙහි ව ජාත්‍යන්තර බේරුම්කරණ ක්‍රියාවලියකට එළඹීමට කටයුතු කරන බව යි.

වන්දි මුදලක් ගෙවීමට එකඟ වීම

මේ තත්ත්වය තුළ නීතිපතිවරයා අදාළ පොහොර තොගයේ දේශීය ගැනුම්කරුවන් වූ ලංකා පොහොර සමාගම සහ කොළඹ කොමර්ෂල් පොහොර සමාගම වෙත දැනුම් දී තිබුනේ දෙපාර්ශවයට ම (චීන සමාගම සහ දේශීය ගැනුම්කරුවන්) එකඟ විය හැකි ආකාරයෙන් මෙම ගැටලුකාරී තත්ත්වය විසඳා ගැනීමට කටයුතු කරන ලෙස යි. ඒ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යංශය සහ අධිකරණ අමාත්‍යංශය විශේෂ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා දෙකක් ද ඉදිරිපත් කෙරිණි. අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිචාරය වී තිබුණේ මෙම ගැටලුකාරී තත්ත්වය තුළ, අදාළ ආයතන නීතිපතිවරයාගේ උපදෙස් මත කටයුතු කිරීම වඩාත් සුදුසු බව යි.

කාබනික පොහොර නිෂ්පාදනය දේශීය වශයෙන් ද සිදු වෙයි – www.sundaytimes.lk

ඒ අනුව නෞකාව ආපසු රැගෙන යාම වෙනුවෙන්, ප්‍රශ්නගත චීන සමාගම මෙරටට කාබනික පොහොර සැපයීමේ කොන්ත්‍රාත්තුව වෙනුවෙන් ඇපකරයක් ලෙස තැන්පත් කළ අමෙරිකානු ඩොලර් මිලියන 5ක මුදල සහ තවත් අමෙරිකානු ඩොලර් මිලියන 1.7ක් ඇතුළත් ව, අමෙරිකානු ඩොලර් මිලියන 6.7 වන්දි මුදලක්, එම සමාගමට ගෙවීමට කෘෂිකර්ම අමාත්‍යංශය එකඟතාව පළකර තිබිණි. මෙම වන්දි මුදල ගෙවන අවස්ථාවේ මෙරට බලධාරීන් සඳහන් කළේ ආපසු හරවා යැවූ පොහොර තොගය වෙනුවට වෙනත් පොහොර තොගයක් මෙරටට එවීමට චීන සමාගම කටයුතු කරනු ඇති බව යි.

වර්තමාන තත්ත්වය

කෘෂිකර්ම අමාත්‍යංශය පසුගිය දිනෙක සඳහන් කළේ ඒ අයුරින් ආපසු හරවා යැවූ පොහොර තොගය වෙනුවට වෙනත් පොහොර තොගයක් ලබා දීමට එම සමාගම සූදානම් නොමැති බව යි. වෙනත් පොහොර තොගයක් ලබා දීමෙන්, පෙර එවූ පොහොර තොගයේ හානිකර බැක්ටීරියා අඩංගු බව පිළිගත් බවක් හැඟවෙන නිසා ඔවුන් වෙනත් පොහොර තොගයක් ලබා දීම ප්‍රතික්ෂේප කරන බව කෘෂිකර්ම අමාත්‍යංශයේ නිලධාරියෙක් සඳහන් කර තිබිණි.

ඔහු පවසා තිබුණේ එම සමාගමට ශ්‍රී ලංකාව ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 6.7ක වන්දි මුදල, පොහොර තොගය ප්‍රතික්ෂේප කිරීම  නිසා එම සමාගමේ කීර්ති නාමයට සිදු වූ හානිය වෙනුවෙන් ලැබුණු වන්දි මුදලක් සේ සලකන බව අදාළ සමාගම දැනුම් දී ඇති බව යි.

රසායනික පොහොර හිඟය හේතුවෙන් තේ වගාවන්ට විශාල බලපෑමක් එල්ල විය – www.aljazeera.com

 මෑතක දී ඉල්ලා අස් වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ ආපසු හරවා යැවූ පොහොර තොගය වෙනුවට, එම සමාගම නිෂ්පාදනය කරන, ශ්‍රී ලංකාවට අවශ්‍ය වෙනත් පොහොර වර්ගයක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇති බව යි. කෙසේ වෙතත් ඊට අදාළ සමාගමෙන් සුබවාදී ප්‍රතිචාරයක් නොලැබුණු බවත්, ඒ සම්බන්ධයෙන් එම සමාගම, එහි දේශීය නියෝජිත සමාගම සහ කෘෂිකර්ම අමාත්‍යංශය ඇතුළු අනිකුත් බලධාරීන් අතර වැඩිදුර සාකච්ඡා පැවැත්වෙන බව ද ඔහු පවසා තිබිණි. 

කවරයේ ඡායාරූපය- පසුගිය කාලයේ විශාල වශයෙන් කතාබහට ලක් වූ චීන කාබනික පොහොර නැව - www.lankaleader.lk

මූලාශ්‍ර:

www.dailymirror.lk

www.themorning.lk  

Related Articles