Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මිනිස් සිරුරු වල තිබී හමු වූ තවත් අසාමාන්‍ය දේ

කිසිවෙකුත් නොසිතන අවස්ථාවක නොසිතන ස්ථානයක දී සිදුවන අනතුරක දී අප නොදැනුවත්වම යම් යම් ආගන්තුක ද්‍රව්‍ය ශරීරය තුළට ඇතුළු වන්නට පිළිවන්. මෙලෙස ඇතුළුවන දේ වසර ගණනාවක් ශරීරයේ රැඳී තිබී හමු වුණු අවස්ථා ද වාර්තා වී තිබෙනවා. අනෙක් අතට, ඇතැම්විට ශරීරය තුළ යම් යම් අසාමාන්‍ය වර්ධනයවීම් සිදුවන්නටත් ඉඩ තිබෙනවා. කලාතුරකින් සමහරු සිතාමතාම ආගන්තුක දේ ශරීරගත කරගන්නවා.

ශල්‍ය වෛද්‍ය ඉතිහාසයේ, මිනිසුන්ගේ සිරුරු තුළ රැඳී තිබී ඉතා අපූරු දේ ඉවතට ඉවතට ගත් අවස්ථා බොහොමයක් වාර්තා වී තිබෙනවා. එසේ අපූර්ව මෙන්ම, සමහර විටෙක පුදුමාකාර, ත්‍රාසයත් උපදවන දේ මිනිස් සිරුරු තුළින් ඉවතට ගත් අවස්ථා කිහිපයක් මේ ලිපියෙන් ඔබ වෙත රැගෙන එන්නට අපි තීරණය කළා.

පෙනහැල්ලේ තිබී හමුවූ ප්ලාස්ටික් ගෑරොප්පුව

පෙනහැල්ල තුළ තිබී හමු වූ ප්ලාස්ටික් ගෑරොප්පුවේ කොටස – cbsnews.com

ඇමෙරිකාවේ ජීවත් වූ ජෝන් මෑන්ලි එක්වරම වරින් වර අසනීප වන්නට පටන් ගත්තා. ශ්වසන අපහසුතා හා කැස්සකින් පෙළුණු ඔහු නිතරම සිහිසුන්ව ඇද වැටෙන්නටත් පටන්ගත් නිසා, ඔහුගේ සමීපතමයින් ඔහුව රෝහල කරා රැගෙන යාමට තීරණය කළේ ඔහුට බරපතල අසනීපයක් වැළඳී ඇතැයි අනුමාන කරමින්.

වෛද්‍යවරුන් විසින් කඩිනමින් ඔහුගේ විස්තර වාර්තා ලබාගත් අතර, ඒ අනුව ඔවුනට ඔහුගේ පෙනහැල්ලක් තුළ ඇති ගැටිත්තක් හඳුනාගැනීමට හැකි වුණා. එය පිළිකාවක් යැයි සැක කළත් පෙනහැල්ල විදාරණය කර බැලීමෙන් පසු ඔවුනට හමුවූයේ කිසි ලෙසකින් බලාපොරොත්තු නොවුණු දෙයක්. එක්ස් කිරණ වාර්තාවල පෙන්නුම් කළ ‘ගැටිත්ත’ ප්ලාස්ටික් ගෑරොප්පුවක කොටසක් බව ඔවුනට දැකගන්නට ලැබුණා. ඔහු විසින් එම කොටස අහම්බයකින් ආශ්වාස කොට තිබූ අතර, එය පෙනහැල්ල දක්වාම ගමන් කර තිබුණා.

මොළයේ සිටි පණුවෙක්

davidwolfe.com

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනාවේ විසූ රෝස්මරී ඇල්වාරෙස් නම් කාන්තාවට හදිසියේම ශරීරයේ හිරිවැටීමක් සහ හාත්පස බොඳ වී පෙනීමක් ඇතිවුණා. ඇය හා ඇගේ පවුලේ උදවිය අනුමාන කර තිබුණේ අගේ මොළයේ ගැටිත්තක් හෝ පිළිකාවක් ලියලා ඇති බවයි.

ඇයව රෝහල්ගත කරන ලදුව වෛද්‍යවරු විසින් ඇගේ හිස්කබල විවර කර පිරික්සීමේ දී ඔවුනට හමුවූයේ අපූර්ව දෙයක්. රෝස්මරීගේ මස්තිෂ්කයෙහි ගැටිත්තක සේයාවකදු නොතිබුණු නමුත්, ඇගේ ධූසර ද්‍රව්‍ය තුළ යම් කැළඹීමක් නිරීක්ෂණය වුණා. එතැනට අවධානය යොමු කළ වෛද්‍යවරුන්ට එහි දී ඉවතට ගත හැකි වූයේ විශාල පණුවෙක්. එම පණුවා වහාම ඉවත්කෙරුණු අතර රෝස්මරීගේ සෞඛ්‍ය තත්ත්වය ද ඉක්මණින්ම සාමාන්‍ය අතට හැරුණා.

වෛද්‍යවරුන්ට සිදු වූ වැරදීම

ශල්‍ය ට්වීසර -aliexpress.com

ඇමෙරිකා එක්සත් ජනපදයෙහි පෙන්සිල්වේනියාවේ පදිංචිව සිට ඩැරියුෂ් මසාරේ නම් 55 වියැති තැනැත්තෙකු උදර කුහරයේ සැත්කමකට භාජනය වූ අතර, එය සිදුකළ දා සිට ඔහු පසු වූයේ ඉතා දැඩි අපහසුවක් සහිතව යි. උදරයේ නිතරම ඇතිවන දැඩි වේදනාව සමඟ වසර දෙකක් ගත කළ ඔහු අවසානයේ රෝහල්ගත වන්නේ එම තත්ත්වයේ කිසිදු අඩුවක් නොතිබූ නිසා යි. ඔහු අරබයා සී.ටී ස්කෑන් පරීක්ෂාවක් සිදු කළ අතර එම වාර්තා දැකීමත් සමඟ සියළු දෙනාගේම දෙනෙත් විශාල වුණා. ඊට වසර දෙකකට පෙර සිදුකළ ශල්‍ය කර්මයේ දී අත්වැරදීමකින් ඔහුගේ උදරයට අඟල් 10ක් පමණ දිග ට්වීසරයක් වැටී තිබුණු අතර, එය උදරයේ තබාම මැසීම සිදුකොට තිබුණා. වහාම ක්‍රියාත්මක වූ වෛද්‍යවරුන් සැත්කමක් මඟින් එම වෛද්‍ය උපාංගය ඔහුගේ සිරුරෙන් ඉවත් කළ අතර ඔහු ඉක්මනින්ම යථා තත්ත්වයට පත් වුණා.

පුරුෂයෙකු තුළ තිබූ මිනිස් කළලය

සංජු භගත් හා ශරීරයෙන් පිටතට ගත් කළලය -mysteriousfacts.com

ඉන්දියාවේ නාග්පූර්හි වෙසෙන සංජු භගත්ට උපතේ සිටම අසාමාන්‍ය ලෙස විශාල උදරයක් පිහිටා තිබුණා. මේ නිසා ඔහුට සිය යහළුවන්ගේ උසුළු විසුළු වලට පවා ලක් වන්නට සිදු වුණා. සමහරෙක් ඔහුට උපහාස කළේ ‘ගර්භණී’ මිනිසා යැයි පවසමින්. කෙසේ නමුත් සිය ජීවිතයේ පසු අවධියක දී ඔහු ඇත්තෙන්ම ‘ගර්භණී’ ව සිටින බැව් සොයා ගැනෙනවා.

සිය ජීවිතය පුරාම උදරයේ අපහසුකම් වලින් පෙළුණු සංජු සම්පූර්ණයෙන් වැඩුණු පසු එක් දිනයක උදරයේ වේදනාව දරාගත නොහැකිව මොර දෙන්නට ගත් නිසා හා හුස්ම ගැනීමේ අපහසුවක් ප්‍රකට කළ නිසා ඔහුගේ සමීපතමයින් ඔහු රෝහල වෙත රැගෙන ගිය අතර, ඔහුගේ උදරයේ විශාල ප්‍රමාණයේ ගෙඩියක් ඇතැයි අනුමාන කෙරුණා. වෛද්‍යවරුන් වහාම ඔහුගේ උදරය කපා බැලූ අතර ඔවුනට හමුවූයේ අපූර්ව දෙයක්. සංජුගේ උදරය තුළ සෑහෙන දුරකට වැඩුණු කළලයක් තැන්පත්ව තිබූ අතර එහි අතපය හා ලිංගික අවයව ද විකසනය වී තිබුණා. ඇත්තෙන්ම සිදු වී තිබුණේ සංජු ඉපදීමට පෙර තවත් නිවුන් කළලයක් සමඟ වර්ධනය වෙමින් තිබී, අවසානයේ එය සංජුගේ ශරීරයට අවශෝෂණය වීම යි. මෙය ඉතා කළාතුරකින් සිදුවන සංසිද්ධියක් ලෙස සැළකෙන අතර දැනට ලොව එවැනි දේ වාර්තා වී ඇත්තේ සියයකටත් අඩුවෙන්.

සිරගෙදරට නෑගම් යාම

නීල් ලැන්සින් -slate.com

අපි සාමාන්‍යයෙන් නව වසරේ නෑගම් යාම සිදුකරනවා. පැරැන්නන් නෑගම් යන්නේ කද මළු බැඳගෙන යි. ඇමෙරිකා එක්සත් ජනපදයේ එක්තරා පුද්ගලයෙකුත් මෙලෙස ‘කද මළු ‘ බැඳගෙන තිබුණා. ඒත් ඒ නෑගම් නොව, සිපිරිගෙදරට යන්නට යි. සිරගත වී සිටින වී සිටිනවිට සිය අවශ්‍යතා හා ඔහුගේ සඟයින්ගේ අවශ්‍යතා සපුරාගැනීම උදෙසා භාණ්ඩ රැසක් සිය ගුද මාර්ගයේ රුවාගෙන සිටිය දී ඔහු බන්ධනාගාර නිළධාරීන්ට හසු වන අතර, ඔහුගේ ගුද මාර්ගයේ තිබී උපත් පාලන කොපුවක් තුළ අසුරන ලද මත් පෙති 17ක්, සිගරැට්ටුවක්, ගිණිකූරු 6ක්, සිරින්ජරයක්, තොල් ආලේපනයක්, හා ගල් කැබැල්ලක් ඔවුනට හමු වෙනවා.

ෆ්ලොරීඩාහි පදිංචි නීල් ලැන්සින් නම් 34 වියැති මේ පුද්ගලයා බන්ධනාගාර ගතකොට තිබුණේ මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ හා බෙදාහැරීමේ චෝදනා මත යි. කෙසේ හෝ මොහු ඉහත සඳහන් ද්‍රව්‍යයන් සිය ගුද මාර්ගයේ රුවාගෙන තිබූ අතර ඒවා හසු වී තිබුණේ හදිසියේම සිදුකළ සිරකරු පරීක්ෂාවක් නිසාවෙනුයි. මේ නිසා ඔහුට නව චෝදනා ගොණුකෙරුණු අතර නැවත දඬුවම් පමුණවනු ලැබුවා.

කවරයේ පින්තූරය – marketing91.com

මූලාශ්‍රයයන්:

really.uktv.co.uk
cracked.com

Related Articles