අමුතු චර්යා රටා තිබූ ප්‍රසිද්ධ පුද්ගලයින්

සමාජයේ වෙසෙන බොහෝ පුද්ගලයින් සතු ව තමන්ට ම අනන්‍ය වූ චර්යා රටා තිබෙනවා. මින් බොහොමයක් ඔහු වටා වෙසෙන අනෙකුත් පුද්ගලයන්ට නුහුරු හෝ අපූර්වත්වයක් ගෙන්වන ඒවා නොවේ. වෙනත් වදන්වලින් පැවසුවහොත් ඒවා සමාජයේ අනෙකුත් පුද්ගලයින්ගේ චර්යාවලට සමීප ඒවා වෙනවා. කෙසේ නමුත් අමුතු ම ඇවතුම් පැවතුම් සහ පුරුදු සහිත පුද්ගලයිනුත් අපට ඉඳහිට හමුවෙනවා. මේ ඒ ආකාරයේ චර්යාවන් තිබූ ලොව පරසිඳු පුද්ගලයින් කිහිපදෙනෙකු ගැන යි.

එඩ්ගා ඇලන් පෝ

Swann Auction Galleries

19 වන සියවසේ යුරෝපයේ පහළ වූ ඉතා ව්‍යක්ත ලේඛකයෙකු ලෙස එඩ්ගා ඇලන් පෝ හැඳින්වෙනවා. එකල වර්තමානයේ මෙන් ලේඛනය සඳහා ඉක්මන් ක්‍රම නොතිබූ අතර මුද්‍රණය ද කරදරකාරී මෙන්ම සෙමින් සිදු කළ යුතු එකක් වුණා. එබැවින් වඩා කාර්යක්ෂම ක්‍රමය ලෙස සැලකුණේ අතින් ලිවීම යි.

අදත් බොහෝ විට අතින් ලිවීම සිදු වන විට පිටු සහිත පොතක පිටු පෙරළමින් ලිවීම සිදුවෙනවා. බිල් මුද්‍රණය කිරීම වැනි ක්ෂණික මුද්‍රණ කටයුතුවල දී අද වන විට යොදාගන්නේ එක දිගට මුද්‍රණය වන තනි, දිගු පත්‍රයකු යි (Scroll Sheet). මීට වසර 150කටත් වඩා ඈත අතීතයේ එඩ්ගා ඇලන් පෝ ද සිය ලේඛන කටයුතු ඒ ආකාරයට සිදු කළා. ඔහු සිය ග්‍රන්ථ ලේඛනය කරන විට කඩදාසි එකින් එක අමුණා, දිග තීරුවක් සකසා එහි එක දිගට ම ලිවීම් කටයුතු කළා, ඉන් අනතුරුව ඒවා රෝල් කර තැබුවා. මෙය ඔහුගේ ලිවීම්වල සෝදුපත් බලන්නන් අපහසුතාවයට ලක් කළ කාරණයක් වුණා.(1)

නිකොලා ටෙස්ලා

Wikimedia commons

නිකොලා ටෙස්ලා ලොව එදා මෙදා තුර දුටු විශිෂ්ටත ම නව නිර්මාපකයෙක් වෙනවා. ඔහු සතුව ද එක්තරා අසාමාන්‍ය පුරුද්දක් තිබුණා.

නිකොලා ටෙස්ලා නව නිර්මාණ තැනීමට සිය දිවිය ම කැපකර තිබූ අතර විවේක ගැනීමට වැය කළේ ඉතා අඩු කාලයක්. සාමන්‍යයෙන් එය දිනකට පැය 2-3ක් තරම් අඩු අගයක් වුණා. සෑම සවසක ම සිය කෙටි නින්දට යන්නට පෙර ඔහු අසාමාන්‍ය ‘ව්‍යායාමයක්’ කරන්නට පුරුදු වී සිටියා. එනම් සිය වතාවක් බැගින් සිය පා ඇඟිලි හකුළුවමින් දිගහැරීම යි. මෙමඟින් සිය මොළයේ ක්‍රියාකාරීත්වය වඩාත් කාර්යක්ෂම වෙතැ යි ඔහු විශ්වාස කළා. (2)

අගතා ක්‍රිස්ටි

Angus Mcbean/startribune.com

අගතා ක්‍රිස්ටි හැඳින්වෙන්නේ ඉතා විශිෂ්ට රහස් පරීක්ෂක කතා ලියූ ලේඛිකාවක් හැටියට යි. සිය ජීවිත කාලය තුළ ඇය නවකතා 66ක් හා කෙටිකතා සංග්‍රහ 14ක් ලියා තිබෙනවා.

සාමාන්‍යයෙන් නවකතාවක් හෝ කෙටිකතාවක් ලියන විට කරුණු ගොනු කොටගෙන එහි මුල සිට අගට ලිවීම සිදුවෙනවා, එහි දී කතාවේ ගලායාම පහසුවෙන් සිදුකිරීමට හැකිවෙනවා. කෙසේ නමුත් අගතා ක්‍රිස්ටි එම මතයට සම්පූර්ණයෙන් බැහැර ව ක්‍රියා කළ තැනැත්තියක්.

අගතා ක්‍රිස්ටි ලේඛන කටයුතු කරන විට දී තමන්ගේ එදිනෙදා හැඟීම්වලට සරිලන විවිධ ස්ථානවලට ගොස් ලියන්නට ප්‍රිය කළා. සමහර විටෙක මුළුතැන්ගෙයි මේසය මත ලේඛනය කළ ඇය තවත් සමහර විටෙක ඇඳ මත ලේඛනය කළා. සමහර අවස්ථාවල දී යතුරු ලියනයෙන් ලේඛන කටයුතු කළ ඇය එයත් කැටුව මෙවැනි ස්ථානවලට ගිය අවස්ථාත් තිබුණා. එමෙන්ම ඇය සමහර විටෙක කතාවේ මැද මුලින් ලියා අනතුරුව ආරම්භය ලිවූ අවස්ථා ද තිබුණා. බොහෝ විට ඇයගේ කතාංග තැනින් තැන ලියා පසු ව එකට එක්කිරීම සිදු වූ අතර කෙසේ නමුත් එය නොදැනෙන පරිදි කතාවේ ගලායාම ඉතා ව්‍යක්ත ලෙස සැකසීමට තරම් දක්ෂතාවයෙන් පරිපූර්ණ ව සිටියා. (1)

ඉගොර් ස්ට්‍රැවින්ස්කි

YouTube

රුසියානු-ඇමෙරිකානු සංගීතඥයෙකු වන ඉගෝර් ස්ට්‍රැවින්ස්කි ඉහළ දක්ෂතා තිබූ අයෙකු ලෙස ප්‍රසිද්ධ යි. ඔහුටත් ඉතා අසාමාන්‍ය පුරුද්දක් තිබුණා. සෑම දිනක ම උදයේ ඔහු සිය දින චර්යාවෙන් මිනිත්තු 15ක කාලයක් වෙන් කර තිබුණේ ‘ඔළුවෙන් සිටගෙන’ සිටින්නට යි. එමඟින් සිය මනසෙහි පැටළිලි සහගත තැන් නිරාකරණය වෙතැ යි ඔහු විශ්වාස කළා. (2)

බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්

medium.com

ලෝපතළ විද්‍යාඥ බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් හටත් ඉතා අසාමාන්‍ය චර්යාවක් තිබුණා. ඔහු ‘වාතය ස්නානය’ කිරීමට දැඩි කැමැත්තක් දැක්වූවා. සෑම දිනෙක ම සිය කාලයෙන් පැයක් ඔහු වෙන්කර තිබුණේ මෙම කර්තව්‍යය සඳහා යි. සිය කාමරයේ ජනේලය අසලට යන ඔහු, එය විවර කර සිය ඇඳුම් උණා දමා ජනේලය ඔස්සේ එන සිහිල් සුළං ධාරාවල පහස විඳින්නට ඔහු ප්‍රිය කළා. එමඟින් සිය ගතටත් සිතටත් නැවුම් බවක් ලැබෙන බැව් ඔහු නිතර ප්‍රකාශ කළ කාරණයක් වුණා. (2)

ඔනෙරො ඩි බල්සැක්

DeAgostini/Getty

ප්‍රංශ ජාතික ලේඛකයෙකු වන ඔනෙරො ඩි බල්සැක් කෝපි පානයට ඉතා ලැදියාවක් දැක්වූ පුද්ගලයෙක් වුණා. ඔහු එයට කෙතරම් ලැදියාවක් දැක්වූ අයෙක් වී ද යත් ලේඛන කටයුතු කළ බොහෝ දිනවල කෝපි කෝප්ප 50ක් පමණ පානය කළා. මෙතරම් කෝපි ප්‍රමාණයක් පානය කිරීමේ දී කැෆේන් ඉතා විශාල වශයෙන් ශරීරගත වනමුත් ඉන් සැලකිය යුතු බලපෑමක් බල්සැක්ට එල්ල වුණු බවක් පෙනෙන්නට නැහැ.

බොහෝ විට අඩු නින්දක් ලැබූ පුද්ගලයෙකු වූ බල්සැක් සෑම විටෙක ම කෝපි පානය පිළිබඳ ඉහළින් කතා කළා. ඔහු ඒ පිළිබඳ ව ලිපි පවා ලිව්වා. එක් වතාවක කෝපි ශරීරගත වූ සැණින් යුධ පිටියක සොල්දාදුවන් එහෙමෙහෙ දුව පනින්නාක් මෙන් හනික විවිධ අදහස් පැනනඟින බව’ ඔහු ලියා තිබුණා. (1)

ඇල්බට් අයින්ස්ටයින්

fromthegrapevine.com

ලොව පහළ වූ අතිශය බුද්ධිමතෙකු ලෙස ඇල්බට් අයින්ස්ටයින් සැලකෙනවා. කෙසේ නමුත් කුඩා කාලයේ ඔහු කථන දුර්වලතාවලින් පෙළුණු අතර මෙය ඔහුගේ අනාගතයට තර්ජනයක් වේයැ යි ඔහුගේ දෙමව්පියන් සිතුවා. ඔහුගේ වර්ධනය අන් අයට සාපේක්ෂ ව සෙමින් සිදු වූ නිසා ඔහුට අවකාශය හා වේලාව පිළිබඳ මූලික කරුණු ඉගෙනීමට වැඩි කාලයක් ලැබුණා. එමෙන්ම අන් අයට වඩා විවිධ දේ මනෝමයෙන් ගොඩනැගීමටත් ඔහුට හැකියාව ලැබුණා.

කෙසේ නමුත් වැඩිහිටියෙක් වූ පසුව ද ඔහු කෙරෙන් විටින් විට ළාමක ගති ලක්ෂණ විද්‍යමාන වුණු අවස්ථා තිබුණා. තණපිට්ටනිවල සිටින තණකොළපෙත්තෙකු අල්ලාගෙන කෑම, පක්ෂීන් දෙස බල බලා වයලීන් වාදනය කරමින් කඳුළු සැළීම වැනි අමුතු චර්යාවල ඔහු සමහර විට නිරත වුණා. (1)

කවරයේ පින්තූරය: Frankfurt.de

මූලාශ්‍රයයන්:

  1. Listverse.com
  2. mentalfloss.com

Related Articles