Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සමහර ‘අමුතු’ හස්ත සංඥා වල උපත

ලෝකයේ ජනතාව විවිධ අවස්ථා වල විවිධ හැඟීම් ප්‍රකාශ කරන්න හෝ පණිවිඩ හුවමාරු කරගන්න විවිධ උපක්‍රම භාවිතා කරනවා. විශේෂයෙන් වචන වලට හරවන්න බැරි හැඟීමක් ආව අවස්ථාවක හෝ පණිවිඩයක් තවකෙක්ට දනවන්න ඕනේ වුණාම ඒ සඳහා විවිධ සංඥා භාවිතා කරන්නට මිනිසුන් අනාදිමත් කාලයක ඉඳලා පුරුදු වෙලා තියෙනවා. මේ අතරින් හස්ත සංඥා විශේෂයි. ඈත අතීතයේ භාෂාව ඒ තරම් දියුණු වෙලා නොතිබුණු සමයේදී මේ හස්ත සංඥා පැරැන්නන් ඉතා කාර්යක්ෂමව ප්‍රයෝජනයට ගත්තා. ඉලක්කම් සම්බන්ධ පණිවිඩ අනෙකාට සංජානනය කරන්න අතේ ඇඟිලි යොදා ගත් තැනේ සිට තරහව, ක්‍රෝධය, වීරත්වය, ජයග්‍රහණය වැනි විවිධ හැඟීම් පෙන්වන්න ඔවුන් මේ හස්ත සංඥා යොදාගත්ත. කාලයෙන් කාලයට මේවා වෙනස් වුණා. වර්තමානයේ මේවා වැඩිපුර යොදාගන්නේ හිතට එන බලවත් හැඟීම් පෙන්වන්න. සමහර ඒවා අසභ්‍ය හැටියටත් අපි සලකනවා. මේ වගේ සමහර කතාබහට ලක් වෙන හස්ත සංඥා වල උපතට හේතුනම් සමහර විට හරිම රසවත් ඒවා. ඉතින් අපි තීරණය කළා එවැනි හස්ත සංඥා කීපයක් සමාජයට එකතු වුණු හේතු ඔබ වෙත ගෙන එන්නට.

අතට අත දීම

linkedin.com

අතට අත දීමේ චාරිත්‍රය සඳහා වන ඉතිහාසය පුරාණ ග්‍රීක ශිෂ්ටාචාරය දක්වාම දිවයන්නක් බවට සාක්ෂි තිබෙනවා. ජර්මනියේ කෞතුකාගාරයක ඇති ක්‍රි.පූ 5 වැනි සියවසට අයත් ග්‍රීක සොහොන් ගලක සොල්දාදුවන් දෙදෙනෙක් අතට අත දෙන ආකාරය සටහන් කර ඇති අතර ඇතැන්ස් හි කෞතුකාගාරයක ග්‍රීක දෙවඟන දෙදෙනෙක් වන හේරා හා ඇතීනා අතට අත දෙන ආකාරය දැක්වෙන ස්ථම්භ පාදමක් තිබෙනවා. ‍යුරෝපයේ 16 හා 17 වැනි සියවස් වල විවාහ චිත්‍ර වල සැමියා හා බිරිඳ අතට අත දී ගෙන ඇති අවස්ථා බොහොමයක් දැක ගත හැකියි.

සාමාන්‍යයෙන් පුද්ගලයෙක් හා අතට අත දීම (දකුණත් හෙවත් හුරු අත ) තුළින් නිරායුධ බව, සුහදත්වය හා සමානාත්මතාවය  සංකේතවත් වෙනවා. සාමාන්‍යයෙන් අතට අත දීම සඳහා දකුණත යොදා ගත්තාට බාලදක්ෂයන් ඒ සඳහා යොදාගන්නේ වම් අත. එහි නිධාන කතාවට අනුව බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩන් පවල් ට බටහිර අප්‍රිකාවේදී මුණ ගැසුණු ‘අශන්ටි’ නම් රණකාමී ගෝත්‍රික පිරිසක් වම් අතින් අතට අත දී ආචාර කර තිබෙනවා. එයට හේතුව වශයෙන් ඔවුන් දක්වා ඇත්තේ ඉතාම නිර්භීත වුන් එසේ කරන අතර එසේ ආචාර කිරීමට නම් සිය ආරක්ෂාව සඳහා ඇති පලිහ බිම දැමීමට සිදු වන බවයි.

‘වී’ ලකුණ

agincourt600.com

මෙහි උපත සඳහා එකිනෙකට වෙනස් වූ කතා දෙකක්ම තිබෙනවා. එකල එංගලන්තයේදී අතෙහි පිටුපසින් ‘වී’ ලකුණ පෙන්වීම සැලකුණේ යම් පුද්ගලයෙක් නොපිළිගන්නා බව පෙන්වීමට කෙරුණු ඒ තරම් ආචාරශීලී නොවන හස්ත සංඥාවක් ලෙසයි.  නමුත් දෙවන ලෝක යුද්ධ කාලයේදී සිදු වුණු සිදු වීමක් නිසා මේ ලකුණෙන් හුවා දක්වන අදහස නව මානයකට යැවුණා. දෙවන ලෝක යුද්ධයේදී සිය මාතෘ භූමිය නාසීන් විසින් යටත් කර ගැනීමෙන් පසු එංගලන්තයට පැන හා බෙල්ජියානු දේශපාලඥයෙකු වන වික්ටර් ඩි ලවෙල්යේ බී.බී.සී ලෝක සේවය මඟින් සිය ජනතාවට යෝජනා කළේ නාසි වාදයට ප්‍රතිරෝධය දැක්වීම සඳහා ‘වී’ ලකුණ යොදාගන්න ලෙසයි. යුරෝපීයයන් මෙය පිළිගෙන ක්‍රියාත්මක කළ අතර එවර හස්ත සංඥාව යොදාගත්තේ අල්ල පිටතට විහිදෙන පරිදියි. මෙය ඉක්මණින් ජනප්‍රිය වූ අතර එය එකල දිරිගැන්වීම සකේතවත් කරන සංඥාවක් සේ සැලකුනා. පසුව වැඩිමනක් මෙය යොදාගත්තේ සාමය සංකේතවත් කිරීමටයි.

මිටි මොලවාගත් අත් එකට තැබීම

fhemna.com

‘ද ෆිස්ට් බම්ප් ලෙස’ හැඳින්වෙන මෙය මුලින්ම කරළියට පැමිණියේ 1970 දශකයේදී ආචාර ක්‍රමයක් ලෙස බොක්සිං ක්‍රීඩකයන් විසින් භාවිතා කළ නිසයි. මෙය බොක්සිං තරගයක් ආරම්භ කිරීමට පෙර අත් ආවරණ පැළඳූ අතට අත තබා කෙරෙන සාම්ප්‍රදායික ආචාර ක්‍රමයට අනුව යමින් සාදාගත් එකක්. පසුව මෙය පැසිපන්දු ක්‍රීඩකයන් අතර ජනප්‍රිය ආචාර ක්‍රමයක් බවට පත් වුණා. සමහර ඇමෙරිකනු ජනාධිපති වරුනුත් මේ ක්‍රමය සිය හිතවතුන් හා ජනතාව සමඟ උත්සාහ කර බලන්නට පැකිලුනේ නෑ.

මැද ඇඟිල්ල පෙන්වීම

jarviscity.com

මෙය ඉතාම අනාචාරශීලී හැසිරීමක් ලෙස වර්තමාන සමාජයේ සැලකෙන අතර විරෝධය දැක්වීම සඳහා භාවිත කෙරෙනවා. මේ හස්ත සංඥාවේ  වර්තමාන තත්ත්වය එසේ වූවත් මෙහි උපත හා භාවිතය පිළිබඳවනම් එකිනෙකට වෙනස් වුණු රසවත් කතා දෙකක්ම තිබෙනවා.

මින් පළමුවැන්න යොදගෙන ඇත්තේ පුරාණ රෝම ජනතාව විසින්. මැද ඇඟිල්ල දිගු කිරීම මඟින් සිය පුරුෂ ලිංගික අවයවය සංකේතවත් වෙන බවත්, එමඟින් නපුරු බළවේග පළවා හැරෙන බවටත් ඔවුන් විශ්වාස කළා. එම නිසා යම් නුරුස්නා බැල්මක් තමා වෙත එල්ල වූ සැණින් මැද ඇඟිල්ල ඔසවා පෙන්වීමට ඔවුන් අමතක කළේ නැහැ. එමඟින් එම බැල්මෙන් හා එල්ල කෙරෙන ශාපයන්ගෙන් මිදිය හැකි බැව් ඔවුන්ගේ විශ්වාසයන් තුළ වූවා.

මෙහි දෙවනි කතාවනම් ඉතාම රසවත් වූත් වෙනස්ම වූත් එකක්. ක්‍රි.ව 1415 දී ප්‍රංශ ජාතිකයන් හා ඉංග්‍රීසීන් අතර සිදු වූ ඇගින්කෝට් සටනේදී ප්‍රංශ පාර්ශවයට මහත් හිසරදයක් වූයේ බ්‍රිතාන්‍යයන්ගෙන් එල්ල වුණු දුණු ප්‍රහාරයි. මෙයට පිළියමක් ලෙස අල්ලාගත් බ්‍රිතාන්‍ය දුණුවායන්ගෙ හුරු අතේ මැද ඇඟිල්ල කපා දැමීමට ප්‍රංශ පාර්ශවය තීරණය කරනවා. ඒ දුණු දිය ඇදීම සඳහා මැද ඇඟිල්ල අත්‍යවශ්‍ය එකක් නිසා. නමුත් කවුරුත් බලාපොරොත්තු නොවුණු ලෙස ඉංග්‍රීසීන් සටන ජයගන්නවා. ජයග්‍රහණයෙන් උද්දාමයට පත් ඉංග්‍රීසි සොල්දාදුවන් පැරදුණු ප්‍රංශ සොල්දාදුවන්ට කෙණෙහිළි කම් කරන්නේ සිය මැද ඇඟිල්ල උරුක් කොට ‘තවමත් අපට ඔබ වෙත දුණු දිය ඇදිය හැකි’ යැයි පෙන්වමින්.

පහ දැමීම

megapixl.com

මේ හස්ත සංඥාව වර්තමානයේදීද ජයග්‍රහණය හා උද්දාමය හැඟවීමට ලොව පුරාම භාවිතා කෙරෙනවා. මෙය සිදු කරන ක්‍රම දෙකක් තිබෙනවා. එනම් අත්ල පහළ මට්ටමක තබා කෙරෙන ‘පහ දැමීම’ හා අත්ල ඉහළට ඔසවා කෙරෙන ‘පහ දැමීම’යි.

අත්ල ඉණ මට්ටමේ තබගෙන කරන පහ දැමීම දෙවන ලෝක යුද්ධ කාලයේදීද අප්‍රිකානු සම්භවයක් සහිත ඇමෙරිකානු සොල්දාදුවන් අතර ජනප්‍රියව තිබුණා. ලොව පළමු කථානාද චිත්‍රපටය වන ‘ද ජෑස් සින්ගර්’ (1927 ) චිත්‍රපටයේද මෙවැනි ‘පහ දැමීමක්’ අන්තර්ගත වෙනවා. අත් ඉහළට කර පහ දැමීම මුලින්ම වාර්තා වෙන්නේ වර්ෂ 1977 පමණ. එම වර්ෂයේ තිබූ බේස් බෝල් තරගයකදී ‘හෝම් රන්’ එකක් සැමරීම සඳහා ලොස් ඇන්ජලීස් ඩොජර්ස් පිලේ ග්ලේන් බෲක් හා ඩස්ටි බේකර් විසින් ලොව ප්‍රසිද්ධ වූ පළමු අත් ඉහළට ඔසවා කරන ‘පහ දැමීම’ කර තිබෙනවා.

මාපට ඇඟිල්ල යොදා කෙරෙන Thumbs up හෝ Thumbs down

thesouthern.com

මාපට ඇඟිල්ල ඉහළට එසවීම යම් කිසි දෙයක් අගනා බව පෙන්වීමට වර්තමානයේ සුලභව යොදාගන්න හස්ත සංඥාවක් වන අතර එම ඇඟිල්ලම පහළට යොමු කර පෙන්වීම යම් දෙයකට ඇති අකමැත්ත හැඟවීමට යොදාගන්නවා. වර්තමානයේ තත්ත්වය එසේ වුණත් අතීතයේ මෙම සංඥාව යොදා ගෙන ඇත්තේ වෙනම කර්තව්‍යකටයි.

පැරණි රෝමයේ ද්වන්ධ සටනකින් රණකාමියෙකු පැරදුණු පසු ප්‍රේක්ෂකයන්ට ඔහුව මරා දමනු දැකීමට අවශ්‍ය නම් මාපට ඇඟිල්ල කුමන හෝ දිශාවකට යොමු කර සන් කිරීමට ඔවුන් පුරුදුව සිටියා. ඔහුව ජීවත් කරවීමට අවශ්‍ය නම් කිසිදු හස්ත සංඥාවක් නිකුත් කළේ නැහැ. සියවස් කීපයකට පසු ප්‍රංශ හා බ්‍රිතාන්‍යයන් සතුව මීට වඩා සුභවාදී මාපටැඟිලි සංඥා තිබුණා. බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයින් යම් ගනුදෙනුවක් ස්ථිර කිරීමට සිය මාපටැඟිලි තෙත් කර එකට තැබුවා. මේ ක්‍රමය අනුව යමින් යම් දෙයක් ‘නියමයි හෝ ඉස්තරම්’ යැයි හැඟවීමට මහපට ඇඟිල්ල ඉහළට එසවීමේ සම්ප්‍රදායයක් යුරෝපියයන් ගොඩනඟා ගත්තා.

දෙවනි ලෝක යුද්ධ කාලයේදී චීන ජාතිකයන් විසින් සිය මහපට ඇඟිල්ල ඔසවා ‘ඉස්තරම්’ බව ප්‍රකාශ කළේ ජපාන බෝම්බ කරුවන්ගෙන් තමන්ව ආරක්ෂා කරගත් ඇමෙරිකානු ගුවන් හමුදා නියමුවන්ටයි. වර්තමාන ලෝකයේ ඔවුන් විසින් භාවිතා කළ මෙම හස්ත සංඥාව ඉන් පසු ලෝකයේම ප්‍රසිද්ධ වුණා.

(කවරයේ පින්තූරය – www.foodnetwork.ca)

මූලාශ්‍ර

  1. mentalfloss.com
  2. historyextra.com
  3. wonderopolis.org

Related Articles