Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව පුරා ඇසෙන අද්භූත නාදය

සොබාදහම පුදුමාකාර තැනක්. කෙතරම් තාක්ෂණය අතින් දියුණු වුව ද අද වන විටත් මිනිසාට තෝරා බේරා ගත නොහැකි සිද්ධීන් අනන්තවත් එහි සිදුවෙනවා. දිනෙන් දින දියුණු වන විද්‍යාත්මක දැනුමට පින් සිදුවන්නට ඒවා එකින් එක හඳුනාගන්නට අප සමත් වූවත් එහි සිදුවන සමහර දේ කුමනාකාරදැ යි හඳුනාගැනීමේ ආරම්භය වත් ලබා ගන්නට නූතන මානවයා සමත් වී නැහැ.

මිනිසෙකුට හර්ට්ස් 20 – 20000 අතර සංඛ්‍යාතයන් සහිත ශබ්දයන් ග්‍රහණය කරගත හැකියි. මේ පරාසය තුළ හා ඉන් පිටතත් පිහිටන ශබ්දයන් නිරන්තරයෙන් සොබාදහමේ ඇතිවෙනවා. මින් ශ්‍රව්‍ය පරාසය තුළ ඇති බහුතර ශබ්දයන් ජනනය වන ප්‍රභවයන් හඳුනාගන්නට මිනිසුන් සමත් වී තිබෙනවා. මිනිසාගෙන් මිනිසාට ශ්‍රවණ හැකියාවේ සුළු වෙනස්කම් පවතින අතර ඒ හේතුවෙන් සමහර ශබ්ද ඇසෙන්නේ සමහරුන්ට පමණ යි. මේ කුලකයට අයත් නාද වාර්තා වන්නේ අඩුවෙන් වන අතර ඒවා ජනනය වන ප්‍රභවයන් හඳුනා ගැනීමත් පහසු නැහැ. විටින් විට මෙක්සිකෝව, එංගලන්තය වැනි රටවල සමහරක් දෙනාට පමණක් ඇසෙන අද්භූත ‘මුණු මුණු’වත් එවැන්නක්.

විවිධ සත්ත්වයින්ගේ ශ්‍රවණ පරාස- ccwscience.weebly.com

සිද්ධීන්වල ආරම්භය

මීට දශක කිහිපයකට පෙර, එනම් 1950 දශකයේ පටන් ලොව කිහිප තැනෙකින් ‘අද්භූත’ හඬ ඇසීම පිළිබඳ විස්තර වාර්තා වුණා. මේවා මෙක්සිකෝවේ ටාඔස්, එංගලන්තයේ බ්‍රිස්ටල් හා ස්කොට්ලන්තයේ ලාග්ස් වැනි ප්‍රදේශවලින් වාර්තා වී තිබූ අතර, එකිනෙකට වෙනස් සිද්ධි මුත් ඒ සෑම එකෙහිම යම් යම් සමාන ලක්ෂණ අන්තර්ගතව තිබුණා. මේ නිසා මේ කෙරෙහි ලෝකයාගේ අවධානය යොමු වුණා.

ලොව විශේෂිත ප්‍රදේශ කිහිපයක වෙසෙන සුළුතරයක් ජනතාවට මේ හඬ ඇසී තිබූ අතර එය අඩු සංඛ්‍යාතයකින් යුක්ත, සියුම් ගෙරවුම් හඬක් හෝ යමක් පෙරලීමේ හඬක් ලෙස එය ඇසුණු අය විස්තර කර තිබුණා. තව ද මේවා ඔවුනට ඇසී තිබුණේ නිවෙස් තුළ සිටිය දී පමණක් වන අතර රාත්‍රියේ දී දිවා කාලයට වඩා වැඩි වැඩි උස් හඬකින් මේ ශබ්ද ඇසී තිබුණා. මේ සිද්ධීන් සියල්ල අර්ධ නාගරික හෝ ග්‍රාමීය පෙදෙස්වලින් වාර්තා වී තිබූ අතර නාගරික පෙදෙස්වලින් එවැන්නක් වාර්තා වී තිබුණා නම් ඒ ඉතා කලාතුරකිනුයි. විශේෂත්වය වන්නේ මේ අත්දැකීමට මුහුණ දුන් සියළු දෙනා මීට පෙර එවැනි දේකට මුහුණ දී නැති, ශ්‍රවණය පිළිබඳ ගැටළු නොමැති අය වීම යි. මෙම ‘මුණු මුණුව’ අඛණ්ඩව ඇසීම පීඩාකාරී නිසා ඔවුන් මේ පිළිබඳව සිය පවුලේ සාමාජිකයන් හෝ සමීපතමයින් දැනුවත් කර තිබුණා.

වැඩිදුර තොරතුරු

විද්‍යාඥයින් මේ සංසිද්ධිය පිළිබඳ මුල දී එතරම් වැඩි අවධානයක් යොමු නොකළ ද එවැනි සිද්ධීන් ගණනාවක් ලොව නන් දෙසින් වාර්තා වීමත් සමග ඒ පිළිබඳ පර්යේෂණ කරන්නට යුහුසුළු වුණා. එහිදී අනාවරණය වූයේ ලොව සමහර කලාප කිහිපයක පමණක් මේ ශබ්ද ඇසෙන අතර එහි වෙසෙන ජනයාගෙන් 2% කට පමණක් මේ ශබ්ද ඇසෙන බව යි. මීට අමතරව ඔවුන්ගෙන් අති බහුතරය වයස අවුරුදු 55-70 අතර වූ වයෝවෘධ අය බවත් සොයාගැණුනා.

අද්භූත හඬ කණවැකුණු සියළු දෙනා පවසන්නේ එය තමා ආසන්නයේ ඩීසල් එන්ජිමක් පණගැන්වූ විට ඇසෙන හඬට සමාන හඬක් බව යි. එමෙන්ම මඳ වේලාවක් ඊට සවන් දීමෙන් පසු ඔවුනට එය හිසරදය වැළඳෙන තරමට කරදරයක් වී තිබුණා. එමෙන්ම මෙය ඇසෙන්නට පටන්ගත් පසු එය පැය ගණනක් නොනවත්වා ඇසීම නිසා ඔක්කාරය, වමනය, කෙඩෙත්තුව වැනි රෝග ලක්ෂණත් ඇති වී තිබුණා. සමහරුන්ට මෙය නින්ද නොයාම, නාසයෙන් ලේ ගැලීම වැනි දරුණු තත්ත්වයනුත් උදා කර දීමට සමත්ව තිබුණා. ඉතාමත් අවාසනාවන්ත තත්ත්වය වූයේ මේ ‘අද්භූත හඬ’ නොනවත්වා ඇසෙන්නට පටන්ගත් නිසා යමෙකු සියදීවි නසාගත් පුවතක් ද මහා බ්‍රිතාන්‍යයෙන් වාර්තා වීම යි.

එංගලන්තයේ බ්‍රිස්ටල් නුවර අද්භූත ශබ්දය මුලින්ම ඇසුණු එක් ස්ථානයක් වෙනවා- redbull.com

ශබ්දය ඇසෙන කලාප

මේ වන විට මෙම අද්භූත මුණු මුණුව ඇසුණු ‘උණුසුම් කලාප’ කිහිපයක් විද්‍යාඥයින් විසින් හඳුනාගෙන තිබෙනවා. එවැනි කලාපයක් ලෙස ලොව මුලින්ම ප්‍රචලිත වූයේ එංගලන්තයේ බ්‍රිස්ටල් නුවර තදාසන්න කලාපය යි. 1970 දශකයේ දී එහි විසූ පුද්ගලයින් 800කට පමණ මේ හඬ පීඩා ගෙන දුන් බැව් වාර්තා වන අතර වාහන තදබදය හා පැය 24ම ක්‍රියාත්මක කර්මාන්තශාලා නිසා මෙය සිදුවන්නේ යැයි මතයක් ගොඩනැගුණා.

තවත් මෙවැනිම සිද්ධි දාමයක් 1991 වසරේ වසන්තයේ දී මෙක්සිකෝවේ ටාඔස් නුවර ආසන්නයෙන් වාර්තා වුණා. එහිදී ආයතන කිහිපයක විද්‍යාඥයින් පිරිසක් මේ අඩු සංඛ්‍යාත ගෙරවුම් හඬ නැගුණු ප්‍රභවය සෙවීමට මහත් වෙහෙසක් දැරුව ද එම ව්‍යායාමය සාර්ථක වූයේ නැහැ.

කැනඩාවේ ඔන්ටාරියෝහි මෙන්ම ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට ආසන්න ප්‍රදේශයකින් ද පසු කාලීනව මෙවැනිම හඬ නිකුත් වූ අතර ඒ දෙවතාවේදීත් එය නැගුණේ කෙසේදැ යි සොයාගන්නට කිසිවෙකුත් සමත් වන්නේ නැහැ.

2003 වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉන්ඩියානා ප්‍රාන්තයේ කොකොමෝ ප්‍රදේශයෙන් ද මෙවැනි හඬක් වාර්තා වුණා. එහිදී ප්‍රදේශයේ වූ කර්මාන්තශාලා දෙකක් නිසා මෙම හඬ නැගෙන්නේයැ යි අනුමාන කර එහි හඬ අඩු කිරීමට පියවර ගැණුනා. කෙසේ නමුත් ඉන් පසුව ද එම පෙදෙසින් ඊට සමාන සිද්ධි වාර්තා වුණා.

මේ හඬෙහි සබෑ ප්‍රභවය කුමක් ද?

මුල් කාලීනව මේ අද්භූත හඬ යම් කිසි හේතුවක් නිසා කිහිප දෙනෙකුට එක්වරම වැළඳෙන හිස්ටීරියාවක් වැනි යමක්යැ යි මත පළ වුවත් වර්තමානය වන විට සැබවින්ම ඔවුනට ඒවා ඇසුණු බැව් විශ්වාස කෙරෙනවා. මේ පිළිබඳව වැඩිදුර පර්යේෂණ පවත්වන අයවළුන් පවසන්නේ සමහර විට මෙය පෘථිවියෙන් පිට ප්‍රභවයකින් නැගෙන තරංග පෘථිවියට ඇතුළු වීම නිසා සංවේදී ශ්‍රවණ ඉන්ද්‍රීයයන් ඇති අයවළුන්ට එය ඇසීම සිදුවිය හැකි බව යි.

මේ පිළිබඳව ඇති තවත් මතයක් වන්නේ මෙම ‘මුණු මුණුව’ සැබවින්ම කර්මාන්තශාලා වැනි දේවලින් ජනනය වන බව යි. ඒවාට සංවේදී අයවළුන්ට පමණක් ඒවා ඇසෙන බවත් රාත්‍රියේ දී වෙනත් ශබ්ද බාධක අවම නිසා එය වැඩිපුර ඇසෙන බවත් අනුමාන කෙරෙනවා. මීට අමතරව වැඩි පීඩන ගෑස් නළ පද්ධති, විදුලි රැහැන් මෙන්ම රැහැන් රහිත සන්නිවේදන උපකරණත් මේ සබැඳිව සැක කෙරෙනවා.

යුධමය කටයුතුවලින් ද විවිධ හඬ ජනනය වෙන්නට ඉඩ තිබෙනවා- Mahmoud Zayyat/AFP/Getty Images

මේ පිළිබඳව ඇති නවතම මත අතර අඩු සංඛ්‍යාත විද්‍යුත් චුම්භක විකිරණවලින් පැනනැගිය හැකි හඬ, සබ්මැරීන හා තවත් යුධමය අත්හදාබැලීම්, ස්වභාවික පරිසරයෙන් නැගෙන හඬ යන මතයන් ඉදිරියෙන්ම තිබෙනවා. වෛද්‍යවරුන් මෙය මිනිස් කණෙහි ඇති වන දෝෂයක් නිසා සිදුවන්නක්යැ යි මතයක් ගෙනාව ද මේ අත්දැකීමට මුහුණදුන් බොහෝ දෙනා පරීක්ෂා කර බැලීමේ දී ඔවුන්ගේ ශ්‍රවණය හොඳින් සිදුවන බැව් හෙළිවීමත් සමග ඒ මතය නිෂ්ප්‍රභ වුණා.

ලොව පුරා විටින් විට, තැනින් තැන නැගෙන මේ අද්භූත මුණු මුණුවේ රහස තවමත් හරිහැටි විසඳී නැහැ. එමෙන්ම එය නිසියාකාරව විසඳාගන්නට තව බොහෝ කලක් ගතවනු ඇතැයි යන්න බොහෝ දෙනා පවසන කරුණක්.

Related Articles