මිනිසුන්ගෙන් බේරෙන්නට වෙස්වලා ගත් බෙහෙත් පැළෑටිය

නිරිත දිග චීනයේ පිහිටා ඇති හෙන්ඩුවන් කඳුකරයේ උස් ම ස්ථාන එක්තරා සුවිශේෂී පැළෑටියකට වාසභවනය වී තිබෙනවා. Fritillaria delavayi යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම පැළෑටියට චීනය තුළ ඖෂධීය වටිනාකමකුත් තිබෙනවා. දීප්තිමත් හරිත පැහැ පත්‍ර තුනක් හෝ පහක් සහ කෙටි කඳකින් යුතු ව වර්ධනය වූ මෙම ශාකයට දීප්තිමත් කහ පැහැති පුෂ්පයක් ද උරුම ව තිබුණා. වසරකට වරක් පිපෙන එම පුෂ්පයට ඇත්තේ ටියුලිප් මලක හැඩයක්. නමුත්, මේ දීප්තිමත් හරිත සහ කහ වර්ණය දැන්, Fritillaria delavayi ශාකයට අනිවාර්යයෙන් උරුම නැහැ. වර්තමානයේ දී මෙම පැළෑටිය අළු හෝ දුඹුරු පැහැයෙන් යුතුවත් වර්ධනය වෙනවා.

 විද්‍යාඥයන්ට අනුව මෙය උද්භිද විද්‍යාවේ සුවිශේෂී සංසිද්ධියක්. ඔවුන් සැක කරන්නේ ප්‍රධාන විලෝපිකයා වූ මිනිසා ගෙන් බේරී සිටීමට අදාළ ශාකය වර්ණය වෙනස් කර ගෙන ඇති බව යි. සාමාන්‍යයෙන් සත්ත්ව ලෝකයේ සාමාජිකයන් බොහෝමයක් විලෝපිකයන් ගෙන් බේරී සිටීමට පරිසරයේ ස්වභාවික වර්ණ රටාවන්ට අනුගත වී සිටිනවා. එහිදී මිනිසුන්ගෙන් පවා ආරක්ෂා වීමට එම සතුන්ට හැකි වෙනවා. එහෙත්, මිනිසාගෙන් සැඟවීම උදෙසා විශේෂයෙන් ම පරිණාමය වූ ශාකයක් ගැන විද්‍යාඥයන් සැක පහළ කළේ පළමු වතාවට යි.

ශාක බල්බ සඳහා උදාහරණයක් (Fritillaria delavayi  නොවන බව සලකන්න) –  pixabay.com

වෙනස් ආරක්ෂණ ක්‍රමවේදයක්

 සීමා රහිත පරිභෝජනය නිසා ස්වභාවික පරිසරයේ වෙසෙන ඇතැම් ශාක පරිණාමික ව තම ශරීරය කුඩා කර ගනිමින් වර්ධනය වන අවස්ථා දකින්නට පුළුවන්. එවිට තරමක් විශාල ව වැඩුණු ඔවුන්ගේ පැරැන්නන් මෙන් ප්‍රජනනය කිරීමට පෙ‍ර පරිභෝජකයන්ගේ ගොදුරක් වීමේ හැකියාව අවම වෙනවා. තවත් සමහර ශාක විශේෂ තම විලෝපිකයන් පලවා හැරීම සඳහා භෞතික වෙනස්කම් හෝ රසායනික වෙනස්කම් පරිණාමික ව සිදු කරගෙන තිබෙනවා. එහෙත්, Fritillaria delavayi මේ සියලු සාම්ප්‍රදායික ආරක්ෂණ උපක්‍රම අතහැර වෙස් වලා ගැනීමට තීරණය කර තිබෙන බවක් පෙනී යනවා.

Fritillaria delavayi ශාකය අවම වශයෙන් වසර 2000 ක් තිස්සේ සාම්ප්‍රදායික චීන ඖෂධයක් ලෙස භාවිතයේ පවතින බව විශ්වාස කරනවා. බ්‍රොන්කයිටිස් වැනි ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග සඳහා විශේෂයෙන් ම ශාකය භාවිත වන බව සඳහන්. ක්‍රම ක්‍රමයෙන් වැඩි වූ ඉල්ලුම හමුවේ ප්‍රමාණවත් සැපයුමක් ලබා දීම සඳහා මෙම ශාකය අධික ලෙස නෙළා ගැනීමත් සිදු වුණා. ශාකයේ ශාක බල්බ කොටස ඖෂධය ලෙස භාවිත කරන අතර, මහපටඟිල්ලේ නියපොත්තක් තරම් එම බල්බ කොටස කුඩා යි. මේ හේතුව නිසා අදාළ ශාක කොටසෙන් එක් කිලෝග්‍රෑමයක් නිපදවීම සඳහා පැළෑටි 3500 කට වඩා අවශ්‍ය වන අතර, කිලෝ ග්‍රෑමයක මිල අමෙරිකානු ඩොලර් 480 ක් පමණ වෙනවා.

මිනිසුන්ගෙන් ආරක්ෂා හොඳ උත්සාහයක් ගෙන තිබුණත්, Fritillaria delavayi ශාකය තර්ජනයට ලක් වූ ජීවියෙක් – interestingengineering.com

ප්‍රමාණවත් ඖෂධ නිපදවීම සඳහා අධික ශාක සංඛ්‍යාවක් අවශ්‍ය බැවින් Fritillaria delavayi තර්ජනයට ලක් වීම වැලැක්විය නොහැකි යි. නිරීක්ෂණවලට අනුව මිනිස් බලපෑම වැඩි වශයෙන් පවත්නා ප්‍රදේශවල දී ශාකය අවට පරිසරයේ වර්ණයට වඩාත් සමීප ව මුහු වෙමින් ජීවත් වීමට උත්සහ කරනවා.

වගා කිරීම ඉතා අපහසු යි

Fritillaria ගණයේ ඇතැම් ශාක වගා කළ හැකි නමුත්, අපේ කතා නායකයා එලෙස වගා කළ නොහැකි යි. ඉහළ උන්නතාංශයේ සීතල සහ වියළි වාතය ඇති පරිසරයේ පමණක් වර්ධනය වීම, එම පරිසරය කෘත්‍රිම ව ඇති කිරීමේ දී පැන නඟින ප්‍රායෝගික ගැටලු සහ වනගත දර්ශකය ගුණාත්මක බවින් ඉහළ යැ යි පාරිභෝගිකයන් විශ්වාස කිරීම නිසා Fritillaria delavayi ස්වභාවික පරිසරයට ම සීමා වී තිබෙනවා.

2011 දී එක්තරා විද්‍යාඥයන් කණ්ඩායමක් ශාකය පරාගණය වන අන්දම අධ්‍ය‍යනය කළ අතර, එහිදී ඔවුන් විශේෂ දෙයක් නිරීක්ෂණය කිරීමට සමත් වුණා. සමහර පුෂ්ප එක් වසරක දී පූමාංගි ලක්ෂණ පෙන්වූවත්, අනෙක් වසරවල දී පූමාංගි සහ ජායාංග යන ආකාර දෙකම දක්නට ලැබෙන බව ඔවුන් නිරීක්ෂණය කළා. ඒ පිටුපස තිබූ හේතුව අවබෝධ කර ගැනීම සඳහා විද්‍යාඥයන් කණ්ඩායම එක් ශාකයක් තෝරා සලකුණු යෙදුවත්, පසුව එම ශාකය කිසිවකු හාරා ඉවත් කර තිබූ නිසා පර්යේෂණ අසාර්ථක වුණා. කෙසේ නමුත්, Fritillaria delavayi හි වෙස් වලා ගැනීම හුදෙක් ම “අධික ලෙස නෙළා ගැනීම” යන සාධකය මත පදනම් වී ඇතැයි යන උපකල්පනය වඩ වඩාත් ශක්තිමත් කරන සාධක ඔවුන්ට හමු වුණා.

හෙන්ඩුවන් කඳුකරයේ පිහිටීම – hengduan.huh.harvard.edu

අපූරු සහ සම්බන්ධයක්

“අධික ලෙස නෙළා ගැනීම” සහ “ශාකයේ වර්ණය අවට පරිසරය සමඟ මුහු වීම” යන සාධක අතර තිබෙන සහ සම්බන්ධතාව න්‍යායක් ලෙස පරීක්ෂා කිරීම විද්‍යාඥ කණ්ඩායමේ ඊළඟ අරමුණ වුණා. ඒ සඳහා ඔවුන් ප්‍රථමයෙන් දේශීය ශාකසාර වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ලබා ගත් අතර, ශාකය සම්බන්ධයෙන් එම වෛද්‍යවරුන් වසර හයක් මුළුල්ලේ තබා ගත් වාර්තා පරිශීලනය කිරීමටත් ඔවුන් උත්සුක වුණා. ශාකය වර්ධනය වී ඇති ස්ථාන සහ එම ස්ථානවලින් ඖෂධ නිෂ්පාදනය සඳහා ලබා ගත් ශාක සංඛ්‍යාව එම වාර්තාවලට ඇතුළත් ව තිබුණා.

වර්ණවත් ශාකයක සමීප රූපයක්- www.earth.com 

ඒ අනුව විද්‍යාඥයන් ශාකයේ භූ ගෝලීය පරිසරය කොටස් දෙකකට බෙදුවා. ළඟා වීමට අපහසු පාෂාණමය කඳුකර ප්‍රදේශය එක් පරිසරයක් ලෙසත්, ළඟා වීමට එතරම් අපහසු නැති, ශාකය වැඩි වශයෙන් නෙළා ඇති පරිසරය ලෙසත්, ඔවුන් ඒවා බෙදා වෙන් කළා. ඉන්පසු ශාකයේ වර්ණය නීර්ණය කිරීම සඳහා ආලෝකයේ තරංග ආයාමය මනින වර්ණාලීක්ෂය නම් උපකරණයක් භාවිත කරමින් විද්‍යාඥයන් තම මෙහෙයුම ඇරඹුවා.

 මිනිස් පහස එතරම් විඳ නැති කඳුකර ප්‍රදේශවල ශාක තවමත් දීප්තිමත් කොළ සහ කහ පැහැයෙන් යුක්ත වූ අතර, ශාකය වැඩි වශයෙන් නෙළා ගත් ස්ථානවල ශාකයේ වර්ණය ඉතා අඳුරු ස්වභාවයකට හැරී තිබුණා. වර්ණාලීක්ෂ දත්ත හරහා ඒවායේ වර්ණය ප්‍රමාණාත්මක ව මැනීමට හැකි වූ අතර, විද්‍යාඥ කණ්ඩායමේ ඊළඟ පියවර වුණේ වර්ණ වෙනස් වීම ගුණාත්මක ව විශ්ලේෂණය කිරීම යි. ඒ සඳහා ඔවුන් පාෂාණ අතර වර්ණය වෙනස් කර ගනිමින් සැඟ ව ගිය ශාක හඳුනා ගැනීම සඳහා ස්වෙච්ඡා සේවකයන් පිරිසක් පර්යේෂණයට සම්බන්ධ කර ගත්තා. සැඟවුණු ශාක කොතරම් පහසුවෙන් හඳුනාගත හැකි ද යන්න තක්සේරු කිරීම එහි අරමුණ වුණා.

ශාකය ජීවත් වන කඳුකරයේ දර්ශනයක් – www.worldatlas.com

 ක්‍රීඩාවක් ආකාරයෙන් සැලසුම් කළ මෙම නීරික්ෂණය ඔවුන් නම් කළේ “Spot the Plant” යනුවෙන්. එහි දී වර්ණය අඩු නිදර්ශක හඳුනා ගැනීම සඳහා සේවකයන්ට වැඩි කාලයක් ගත වුණා. ඒ අනුව අධික ලෙස නෙළා ගැනීම හමුවේ ශාකයේ වර්ණය අවට පරිසරය සමඟ මුහු වීමේ සාර්ථකත්වය ප්‍රමාණාත්මකව සහ ගුණාත්මක අන්දමින් විශ්ලේෂණය කිරීමට විද්‍යාඥයන්ට හැකි වුණා. 

දුර්ලභ මානව-ශාක සබඳතාවක්

 මිනිස් මැදිහත් වීමෙන් වෙනස් කළ හෝ ගෘහාශ්‍රිතකරණය නිසා වනගත දර්ශකවලට වඩා වෙනස් ලෙස අනුවර්තනය වූ ශාක පරිසරයේ ඇතත්, මිනිස් බලපෑම හමුවේ ස්වභාවික පරිසරය තුළ දී ස්වයං ව අනුවර්තනය වීමට තීරණය කළ ශාකයක් සොයා ගැනීම ඉතා දුර්ලභ සංසිද්ධියක් ලෙස හැඳින්විය හැකි යි. එය එක්තරා අන්දමක දුර්ලභ ශාක-මිනිස් සබඳතාවක් ලෙස විද්‍යාඥයන් පෙන්වා දෙනවා. නමුත්, Fritillaria delavayi හි සුවිශේෂි සංසිද්ධිය තහවුරු කර ගැනීම සඳහා තවත් සාක්ෂි සෙවිය යුතු බව පැවසෙනවා. ශාකයේ වෙස්වලා ගැනීම හෝ වර්ණ වෙනස් වීම පිටුපස ඇති හේතු ගැන වෙනස් මත දරණ විද්වතුන් සිටීම ඊට හේතුව යි. ඉහළ උන්නතාංශවල ඇති ප්‍රබල පාරජම්බුල කිරණ වැනි දේශගුණික වෙනස්වීම් සහ මෙතෙක් කිසිවකු නිරීක්ෂණය නොකළ ශාක භක්ෂකයකුගේ බලපෑම එම වෙනස් මතවාද අතර තිබෙනවා.

පසුබිම් වර්ණයට අනුගත වූ ශාකයක සමීප රූපයක් – www.nytimes.com

ස්වාභාවික වරණය පිළිතුරක් ද?

 “අධික ලෙස නෙළා ගැනීම” සහ “ශාකයේ වර්ණය අවට පරිසරය සමඟ මුහු වීම” යන සාධක දෙක අතර ඇති සහ සම්බන්ධය සම්පූර්ණයෙන් ම තහවුරු වූ අනාවරණයක්යැ යි සිතමු. නමුත්, ඉදිරි දවසක උක්ත උපකල්පනය සත්‍ය වුවහොත්, ශාකයේ වර්ණ වෙනස් වීම පිටුපස ඇති යාන්ත්‍රණය පැහැදිලි කර ගන්නේ කෙසේ ද?

විද්‍යාඥයන් විශ්වාස කරන අන්දමට මිනිසුන් තමාට පහසුවෙන් දෘෂ්‍යමාන වන Fritillaria delavayi ශාක නෙළා ගන්නා අතර, ඊළඟ පරම්පරාව බිහි කිරීම සඳහා ප්‍රමාණවත් ශාක ගහණයක් ඉතිරි වන්නේ නැහැ. මිනිසුන්ගේ දර්ශන පථයෙන් වසන් වීමට හැකියාවක් තිබේ නම්, සැඟවුණු ශාක ගහණයට ඉදිරි පරම්පරාව බිහි කිරීමේ අවස්ථාව උදා වෙනවා. එම ගහණය ස්වාභාවික වරණයේ ප්‍රතිඵලයක් ලෙස ඇති වූ බව සැලකිය හැකි යි.

“Spot the Plant” ක්‍රීඩාවේ නිරත වීමට ඔබත් කැමති ද? – interestingengineering.com

මෙම ශාකය ප්‍රජනනය කිරීම සඳහා වසර පහක පමණ කාලයක් ගන්නා බව අනාවරණය වී තිබෙනවා. එනම්, දීප්තිමත් කොළ පැහැ පත්‍ර ඇති ශාක සිය ජාන සංචිතය සම්ප්‍රේෂණය කිරීමට කලින් ඒවා මිනිස් පරිභෝජනයට ලක් වීමේ හැකියාව තිබෙනවා. එබැවින්, කෙටි කාල රාමුවක් ඇතුළත ශාකයට පරිණාමය වීමේ විභවයක් තිබිය යුතු යි.

ශාකය පිළිබඳ ව මෙතෙක් ජාන විශ්ලේෂණයක් සිදුකර නොමැති වුවත්, අධික පරිභෝජනයක් ඇති ප්‍රදේශවල වැවෙන ශාක තුළ අළු සහ දුඹුරු වර්ණවලට හේතු වන ජාන සංචිතයක් තිබිය හැකි බව විද්‍යාඥයන් පවසනවා. එම ජාන සංචිත පරම්පරාවක් හෝ දෙකක් ඇතුළත ප්‍රමුඛ වන බව ඔවුන් විශ්වාස කරනවා.

ශාකයේ ඖෂධීය වටිනාකම ඇත්තේ “ශාක බල්බය” නම් කොටසේ යි – www.sciencedirect.com

Fritillaria delavayi යනු තර්ජනයට ලක් වූ ශාකයක්. තම පැවැත්ම ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ගත හැකි උචිත ම පියවර ශාකය ගෙන ඇති බව පෙනෙන්න තිබුණත්, මිනිසුන් ඉදිරියේ ශාකය පරාජයට පත්වීමේ සම්භාවිතාව ඉතා ඉහළ යි. විශේෂයේ වර්තමාන ගහණය කොතරම් විශාල ද යන්න තවම පැහැදිලි නැහැ. මෑත සමීක්ෂණ වලට අනුව Fritillaria delavayi, සිය සුපුරුදු නිජබිම් වලින් වේගයෙන් ඈත් වෙමින් සිටිනවා. කෙසේ නමුත්, චීන රජය දැනටමත් මේ සුවිශේෂී පැළෑටියේ සංරක්ෂණ තත්ත්වය යාවත්කාලීන කරමින් සිටිනවා.  

කවරයේ ඡායාරූපය- ශාකයේ සැබෑ වර්ණය (වමේ) සහ පරිසරයත් සමඟ මුසු වූ වර්ණය (දකුණේ) - www.theguardian.com

මූලාශ්‍ර: 

 www.nationalgeographic.com

www.sciencedaily.com 

Related Articles