Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉස්තාන්බුල් නුවර නිදහසේ සැරිසරන මනස්කාන්ත ‘වීථි බළලුන්’

තුර්කියේ අගනගරය ඉස්තාන්බුල් වෙතට මුලින්ම ඇතුල්වෙන සංචාරකයන් මුලින්ම විශ්මයට පත්වන්නේ එහි ඇති උරුමයන් දැකීමෙන් නොවන බව ඔබ මීට පෙර අසා තිබුණා ද?  එම කාරණාව නිවැරදියි. ඔවුන් මවිතයට පත්වන්නේ නගරය පුරා නිදහසේ සැරිසරන සිය ගණනක් වූ වීථි  බළලුන් දැකීමෙන්.

පැරණි නටබුන් අතර විවේකයෙන් සිටින වීථි බළලෙක්/Flickr

මේ බළලුන්ට හිමිකරුවන් ඇත්තේ නැහැ. නමුත් මුළු නගරයකම මිනිසුන්ගේ ආදරය සහ රැකවරණය ඔවුන්ට ලැබෙනවා. නගරයේ අවන්හල් සේවකයන් අතින් රසවත් කෑම බීමවලින් සංග්‍රහ ලැබීමට ඉස්තාන්බුල් හි වීථි බළලුන්ට හැකියාව තිබෙනවා.  කුසගිනි දැණුනු විට බඩ දිග ඇදෙන්නට තරම් අනුභව කළ හැකි ආහාර පාන ලබන, සෙවණක්  අවැසි වූ විට නගරයේ විශාලතම පල්ලියේ සිට කුඩාම නිවස දක්වා වූ සියළුම තැන්වලට සාදරයෙන් පිළිගනු ලබන,  උණුහුමට ගුලිවී පුරු පුරු ගාන්නට මිනිස් උකුළක් හිමිවන මේ සතුන් වර්තමාන ලෝකයේ බොහෝ දෙනෙකුට වඩා ඉතාම වාසනාවන්ත බව කිව යුතුයි.

නගරවසියෙකු හා සුරතල්වන වීථි බළලෙක් /moonsaroundtheworld.com

ඉතින්, මේ බළලුන් අයිති ඉස්තාන්බුල් නගරයට කියනවාට වඩා නගරය අයිති මේ බළලුන්ට බව කිවහොත් එය වඩාත් නිවැරදියි.  කොහොමත් බළලුන් කියන්නේ අහංකාර,  අනෙකුන් ජීවත් වන්නේ තමන්ට අයිති ප්‍රදේශයක බව සිතා සිටින සතුන් වර්ගයක්නේ.

අවන්හල් මේසයක් මත නැග සිටින වීථි බළලෙක්/Pinterest

ලොව අනෙකුත්  නගරවලට වඩා ඉස්තාන්බුල්හි බළලුන් එහි වැසියන්ගෙන් විශේෂ සැලකිළි  ලබන්නේ ඇයි?

අවන්හල් මේස මත නැග සිටින වීථි බළලුන්/Flooding the World

ඉස්ලාම් දහම සහ බළලුන්

පල්ලියක් තුළ නින්දකට වැටි සිටින වීථි බළලෙක්/Flicker

තුර්කිය යනු  ඉස්ලාම් රාජ්‍යයක්. ඒ නිසා ඉස්තාන්බුල් නගරයේ වෙසෙන්නන් ද බහුතරයක් ඉස්ලාම් භක්තිකයනුයි.  වීථි බළලුන්  හා බැඳුණු  වෙනම සංස්කෘතියක් ඉස්තාන්බුල් නගරය  සතුවිමට එම හේතුව විශාල බලපෑමක් එල්ල කර තිබෙනවා.

පුරාවෘත්තවල කියවෙන අන්දමට මුහම්මද් නබිතුමා  බළලුන්ට දැඩි ආදරයක් දැක්වූ අයෙක්. ඔහු ‘මූසා’  නම්වූ බැළලියක සුරතලයට ඇති කළ බව සඳහන්.  වරක් මූසා ඔහුගේ ඇඳුම මත නිදා සිටින විට ඇය  නින්දෙන් ඇහැරවීමට  අකමැති වූ නබිතුමා සිය ඇඳුමෙන් රෙදි කඩක් කපා ඉවත් කර දමා නැගී සිටි බව හදිත්වල දැක්වෙනවා.

වීථි බළල් කණ්ඩායමක්/Online Antalya

එමෙන්ම ‘’ඔබ අතින් බළලෙකු  මිය ගියේ නම්,  එම පව සමාකරගැනීමට පල්ලියක් ඉදිකළ යුතුය.’  යන්නත් ඉස්ලාම් භක්තිකයන් අතර ප්‍රසිද්ධ කියමනක්.

මේ නිසා සමස්ථයක්  ලෙස ගත්කල ලෝකය පුරාම ඉස්ලාම් භක්තිකයන් බළලුන් කෙරෙහි දවන්නේ දැඩි සෙනෙහසක්.

ISIS  ත්‍රස්ත සංවිධානය තමන්වෙත තරුණ තරුණියන් ආකර්ෂණය කරගන්නත් බළලුන් අතේ තබාගත් සිය සාමාජිකයන්ගේ රූප අඩංගු පෝස්ටර භාවිතා කරන්නේ මේ හේතුව නිසායි.

බළලුන් රැක බලා ගන්නා ඉස්තාන්බුල් වැසියන්

පැරණි පොත් අලෙවිසැලක සුවපහසුවට නිදාසිටින වීථි බළලෙක්/Turkey Vision

වාර්තාවන්ට අනුව ඉස්තාන්බුල් නුවර වෙසෙන සමස්ථ වීථි  බළලුන්ගේ සංඛ්‍යාව 30,000ක් පමණ වෙනවා. මෙම බළලුන් ඉතා පිරිසිදුවට සහ ‘තරබාරුව’  සිටින බවයි නගරයට පැමිණෙන සංචාරකයන්ගේ නිරීක්ෂණය වන්නේ. මොවුන් සඳහා එන්නත් විදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ තුර්කි රජය විසින්.

බළලුන් රැක බලාගන්නා මධ්‍යස්ථාන කිහිපයක් තිබුණද බොහෝ නගර වැසියන් ද ශීත කාලය පැමිණෙන විට තම ගෙවතුවල වීථි  බළලුන් වෙනුවෙන් බළල් නිවාසයන් ඉදි කරනවා.  එමෙන්ම නගරයේ නිශ්චිත  ස්ථානයන් හි ඔවුන් වෙනුවෙන් ආහාර සහ ජලය තබන්නටත් නගර වැසියන් ක්‍රියා කරනවා.

වීථි බළලුන් සඳහා සැකසූ නිවාසයක්/Imgur

2012 වසරේදී තුර්කියේ මාර්ග බළලුන්ගෙන් තොර කලාප බවට පත්කළ යුතු යැයි නීතියක් සම්මත කරගන්නට සැරසුණත් වැසියන්ගේ දැඩි විරෝධතාව මත එම පනත හකුලා ගැනීමට තුර්කි රජය කටයුතු කළා.

වීථි සතුන් සඳහා ස්ථාපිත කර ඇති ආහාර පාන තබන ස්ථානයක්/Picturesofcat.org

මීට වසර කිහිපයකට පෙර ඉස්තාන්බුල්හි සංචාරයක යෙදුණ අයෙකු විසින් ගේන අන්තර්ජාලයට එක් කළ අලස බළලෙකුගේ රුවක් ලොව පුරා ප්‍රසිද්ධියට පත්වුණා.  මෙම බළලාට ඉස්තාන්බුල් වැසියන් විසින් දී  තිබූ නම වූවේ ‘’ටොම්බ්ලි’  යන්නයි.

ලොව පුරා ජනාදරයට පත්වූ ටොම්බ්ලි මිය ගිය පසු ඡායාරූපයේ ඔහු හිඳගෙන සිටි බංකුව  මත බළලෙකුගේ ප්‍රතිමාවක් තනන්නට නගර බලධාරීන් විසින් කටයුතු කළා.

ටොම්බ්ලි සහ ප්‍රතිමාව/The Independent

වර්තමානයේ පමණක් නොව ඉතා ඈත අතීතයේ පටන්ම  ඉස්තාන්බුල් නගරයට බළලුන් යනු අමුත්තන් නොවූ බවට තුර්කියේ සත්ව විද්‍යාඥයන් ද මත පළ කරනවා.  ඔවුන් ඒ සඳහා උපයෝගී කරගන්නා එක් සාක්ෂියක් වන්නේ නගරයේ උමං මාර්ගයක් තැනීමේදී හමුවූ වසර 3500ක් පමණ පැරණි යැයි සැලකෙන බළල් ඇටසැකිල්ලයි.  මෙම බළල් ඇටසැකිල්ලේ එක් අස්ථියක වූ බිඳීමක් සැත්කමක් මගින් සුව කර ඇති බවට සාධක හමුවන බව ඔවුන් පවසනවා.

බළලුන්ට සාපේක්ෂව වීථි  සුනඛයන්ට තුර්කිය තුළ හිමිවන්නේ අඩු සැලකිල්ලක් බවත් මෙහිදී කිව යුතුම වෙනවා.

‘’කේඩි’ (Kedi)

කේඩි චිත්‍රපටයේ රූප රාමුවක්/The Independent

ඉස්තාන්බුල් වීථි බළලුන් පිළිබඳ ලෝකය යළිත්  කතා බහ කරන්නට පටන් ගත්තේ මෙම වසරේ තිරගත වුණ ‘කේඩි’  නම් වූ වාර්තා චිත්‍රපටය නිසායි. තුර්කි බසින් බළලුන් හඳුන්වන්නේ ‘’කේඩි’  නමින්.

සෙයිඩා  ටෝරන්/The Guardian

සෙයිඩා  ටෝරන් නම්වූ තරුණ සිනමාවේදිනියක විසින් අධ්‍යක්ෂණය කළ මෙම වාර්තා චිත්‍රපටයට ලොව නන් දෙසින් බොහෝ ප්‍රශංසා ගලා ආ අතර, ඇමරිකන් ඩොලර් මිලියන 2.7 කට වඩා වැඩි ආදායමක් උපයන්නටත් ‘’කේඩි’  සමත් වුණා.

පාඩුවේ සිටින වීථි බළලෙක්/Tumblr

මෙම වාර්තා චිත්‍රපටය දිවෙන්නේ බළලුන් 7 දෙනෙකුගේ දෘෂ්ටි කෝණයෙන්. වීථි බළලුන් ලෙස ඉස්තාන්බුල් නුවර තුළ ඔවුන් ගත කරන ජීවිතය චිත්‍රපටයට පාදක වී තිබෙනවා.

මෙම ලිපිය කියවීමෙන් අනතුරුව ඉස්තාන්බුල් නුවර සැරිසරන වීථි බළලුන් පිළිබඳ වැඩි  දුර තොරතුරු සහ ඡායාරූප  දැක බලා ගැනීමේ ආශාවක් ඇතිවූවේ නම් ඔබට Cats of Istanbul ෆේස්බුක් පිටුව සහ ඉන්ස්ටග්‍රෑම් ගිණුම පරික්ෂා කළ හැකියි.

කවරයේ රූපය : වීථි බළලෙක් /The Independent

Related Articles