උක්වලින් සීනි නිෂ්පාදනය කිරීමේ ඉතිහාසය

වර්තමාන සූප ශාස්ත්‍රයේ දී සුලභවම භාවිතා කෙරෙන අමුද්‍රව්‍යයක්, සීනි. ආහාරවල රසය සඳහාත්, ආහාරයක නියමිත ස්වභාවය ලබාගැනීම සඳහාත්, ආහාර කල්තබා ගැනීමේ දීත් සීනි භාවිතා කෙරෙනවා. එනිසා අද වන විට සීනි අපට නැතුවම බැරි දෙයක් බවට පත්ව තිබෙනවා. මිනිසා දෛනිකව පරිභෝජනය කරන සීනිවල ඉතිහාසය ක්‍රි. පූ. 8000 තරම් ඈත යුගයක් දක්වා දිවයනවා. 

උක් දඬු පරිභෝජනය කළ පැපුවාහි ගෝත්‍රිකයෝ 

සීනි නිෂ්පාදනය කිරීම සඳහා ලංකාව ප්‍රධාන වශයෙන් උක් ශාකය භාවිතා කරනු ලබනවා. ඈත අතීතයේ සිටම විවිධ රටවල ගෝත්‍රික ජන කොටස් උක් ශාකය පරිභෝජනය කළ බවට සාක්ෂ්‍ය හමුව තිබෙනවා. ඒ අතුරින් පැරණිම සාක්ෂ්‍ය පැපුවා නිව් ගිනියාවෙන් හමුවී තිබෙනවා. 

ක්‍රි. පූ. 8000 දී පමණ පැපුවා නිව් ගිනියාවේ විසූ ගෝත්‍රිකයන් උක් ශාකයේ දඬු පරිභෝජනය කර ඇති බවට ඉතිහාසඥයන් අනුමාන කරනවා. එනිසා සීනිවල ඉතිහාසය ගැන කතා කරන විට පැපුවා නිව් ගිනියාවේ ගෝත්‍රිකයන් උක්දඬු පරිභෝජනය කළ බවට හමුව තිබෙන සාක්ෂ්‍යය ඉතා වැදගත්.

උක් දඬු (theconversation.com)

සීනිවල උපත 

ක්‍රි. පූ. 3000 පමණ වන විට ඉන්දියාව වැනි පෙරදිග රටවල්වල උක් වගාබිම් පැවති බවට සාධක හමුව තිබෙනවා. එම යුගවල උක් දණ්ඩ පරිභෝජනයට ගැනීමට හුරුව ඓටි ඉන්දියානු ජනයා එහි රසවත් පැණිය නිස්සාරණය කිරීම සඳහා ක්‍රම සොයා තිබුණා. එහි ප්‍රතිඵල වශයෙන් ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල උක් පැණි නිෂ්පාදනය කළ බවට, ක්‍රි. පූ. 327 දී පමණ තබන ලද පැරණි ග්‍රීක සහ රෝම වාර්තා සඳහන් කරනවා. 

පෙරදිග රටවල මිනිසුන් සියවස් ගණනාවක් පැණි ආහාරයට ගත්තත්, උක් ශාකයෙන් සීනි කැට ලබාගන්නා ආකාරය පිළිබඳව දැන සිටියේ නැහැ. නමුත් ක්‍රි. ව. 350 දී පමණ ඉන්දියානුවන් උක් දඬුවල යුෂය ගෙන ලොකු භාජනවලට දමා ශීත වෙන්නට ඉඩ හැර සීනි කැට සෑදූ බව පැරණි පොතපතෙහි සඳහන් වනවා. බොහෝ ඉතිහාසඥයන් සීනිවල උපත ලෙසින් හඳුන්වන්නේ එය යි. සීනි කැට සාදන ආකාරය චීනුන් ඉන්දියානුවන්ගෙන් උගත් බවත්, ඒ අයුරින් බිහිවුණු සීනි සැදීමේ තාක්ෂණය ලෝකය පුරා ඉක්මනින්ම පැතිර ගිය බවත් සැලකෙනවා.

පැරණි උක් වගාවක් (Facts and details)

සීනි තවත් රටවල් කරා ව්‍යාප්ත වුණු හැටි 

චීන ජාතිකයන් ඉන්දියාවෙන් සීනි සාදන ආකාරය ඉගෙනගත්තත්, ඔවුන්ගේ රටේ උක් වගාව මහා පරිමාණයෙන් සිදුකෙරුනේ නැහැ. නමුත් ඒ වන විට සීනි චීනය පුරාම ප්‍රසිද්ධ වෙමින් පැවතුණු නිසා විශාල ලෙස සීනි නිෂ්පාදනය කිරීමේ අරමුණෙන් මහා උක් වගාබිම් චීනයේ බිහිවුණා. එකල චීන දූතයන් නිතර ඉන්දියාවට ගොස් සීනි නිෂ්පාදනය කරන ආකාරය නිරීක්ෂණය කළ බව පැවසෙනවා. 

චීනය තුළ සීනි නිෂ්පාදන කටයුතු ඒ අයුරින් සිදුවන විට ඉන්දියාවට සහ චීනයට පැමිණි පර්සියන් වෙළෙන්දන්ට ද සීනි පරිභෝජනය කිරීමට අවස්ථාව ලැබුණා. එවැනි ආහාරයක් ඔවුන් ඊට පෙර අනුභව කර තිබුණේ නැහැ. එම නිසා පර්සියන් වෙළෙන්ඳන් සීනි නිෂ්පාදනය කරන ආකාරය සොයාගැනීම සඳහා උනන්දු වුණා. 

ඉන්දියානු සහ චීන වෙළෙන්දන්ගෙන් සීනි සාදන ආකාරය ඉගෙනගත් පර්සියන් වෙළඳුන් මැද පෙරදිග කලාපය තුළ සීනි ප්‍රචලිත කළා. මැද පෙරදිග කලාපයෙන් එපිටට සීනි ගැන තොරතුරු පැතිර ගියා. එහි ප්‍රතිඵලයක් වශයෙන් යුරෝපීය ජාතිකයන් ද සීනි ගැන දැනගත්තා. 

1099 වසරේ දී යුරෝපීයයන් ජෙරුසලම අල්ලාගත්තා. ඒ වන විට ජෙරුසලම් නගරයේ සීනි වෙළදාම ඉතාමත් ලාභදායී ව්‍යාපාරයක්ව තිබුණා. ඉන් පසුව ජෙරුසෙලමට ගිය සොල්දාදුවන් ආපසු සිය රටවලට ගියේ සීනි ද රැගෙන යි. සීනි යුරෝපය පුරා පැතිරීමට එයත් හේතුවක් වුණා. මේ සොල්දාදුවන් සීනි සාදන ආකාරය ද ඉගෙනගත් නිසා යුරෝපයේ රටවල් රැසක සීනි නිෂ්පාදනය ආරම්භ වුණා. ඒ අයුරින් ව්‍යාප්ත වුණු යුරෝපයේ සීනි නිෂ්පාදනය 15 වැනි සියවස වන විට දියුණු මට්ටමකට පත්වුණා. එකල යුරෝපය තුළ සීනි නිෂ්පාදනය කිරීමේ සහ බෙදාහැරීමේ මධ්‍යස්ථානය බවට පත්ව තිබුණේ වැනීසිය යි. 

යුරෝපයේ සීනි කර්මාන්තශාලාවක් (Gettyimages)

ලතින් ඇමරිකාව සීනි නිෂ්පාදනයේ කේන්ද්‍රස්ථානය වුණු හැටි  

1453 වසරේ දී තුර්කීන් කොන්ස්තන්තිනෝපල් නගරය අල්ලා ගත්තා. එම නිසා යුරෝපයේ සිටි ක්‍රිස්තියානි වෙළඳුන්ට සම්ප්‍රදායික වෙළඳ මාර්ග භාවිතා කිරීමට තිබුණු ඉඩකඩ ඇහිරී ගියා. එසේම තුර්කිවරුන් වෙළඳ භාණ්ඩවල මිල වැඩි කිරීම, තීරුබදු ගාස්තු වැඩි කිරීම, සහ නිසි වේලාවට භාණ්ඩ ලබා නොදීම වැනි හේතු නිසා යුරෝපයේ වෙළෙන්දන්ට නිසි අයුරින් සිය වෙළඳාම් කටයුතු කරගෙන යාමට හැකි වුණේ නැහැ. එම කාල වකවානුව වන විට පෙරදිග රටවලින් යුරෝපයට කුළුබඩු රැගෙන ගියා. නමුත් තුර්කි ජාතිකයන් කොස්තන්තිනෝපල් නගරය අල්ලා ගැනීමෙන් පසුව පෙරදිගින් යුරෝපයට කුළුබඩු සැපයීම ඇණ හිටියා. 

කොන්තන්තිනෝපලය තුර්කීන් අතට පත්වීම (Greece.org)

එහි ප්‍රතිඵලයක් වශයෙන් යුරෝපා ජාතීන් පෙරදිගට යාමට නව මාර්ග සොයන්නට වුණා. දේශ ගවේශක පෘතුගීසීන් සහ ස්පාඤ්ඤයින් ලතින් ඇමරිකානු කලාපයේ රටවල් රැසක් සොයාගෙන යටත්කර ගත්තා. එසමය වන විට සීනි යුරෝපය පුරා ජනප්‍රියව තිබුණු නිසා ස්පාඤ්ඤයින් සහ පෘතුගීසීන් සිය ලතින් ඇමරිකානු යටත්විජිතවල උක් වගාව ආරම්භ කළා. 

බ්‍රසීලයේ උක් වගාබිමක් (theconversation.com)

එකල සරුවටම උක් වගාව සිදුවුණේ බ්‍රසීලය සහ කියුබාව වැනි රටවල යි. ක්‍රමයෙන් ඔවුන් සීනි නිෂ්පාදනය කිරීම සඳහා නවීන පිරිපහදු ක්‍රම ද සොයාගත්තා. එසේම එම රටවල්වල දියුණු මට්ටමේ සීනි මෝල් ඉදිවුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් කියුබාව සහ බ්‍රසීලය ලෝකයේ ප්‍රමුඛතම සීනි නිෂ්පාදකයන් අතරට එකතු වුණා. එම නිසා පසු කලෙක “ලෝකයේ සීනි බඳුන” යන අනවර්ථ නාමය කියුබාවට පටබැඳුනා. නමුත් වර්තමානය වන විට ලතින් ඇමරිකානු කලාපයේ විශාලතම සීනි නිෂ්පාදකයා වන්නේ බ්‍රසීලය යි. බ්‍රසීලය ලෝකයේ ප්‍රමුඛ පෙළේ සීනි නිෂ්පාදකයෙක්.

බ්‍රසීලයේ පැරණි උක් කර්මාන්තශාලාවක් (Gettyimages)

වර්තමානයේ ජාත්‍යන්තර සීනි වෙළඳාම

වර්තමානය වන විට ආසන්න වශයෙන් රටවල් 110ක් පමණ උක් හෝ බීට්වලින් සීනි නිපදවනු ලබනවා. නමුහ් ගෝලීය සීනි නිෂ්පාදනයෙන් 80%ක් පමණ ප්‍රමාණයක් නිපදවෙන්නේ උක් මඟින්. මේ වන විට ලෝකයේ විශාලතම උක් සීනි නිෂ්පාදකයන් බවට සිටින්නේ බ්‍රසීලය, ඉන්දියාව, තායිලන්තය, චීනය, සහ මෙක්සිකෝව යන රටවල් පහ යි. එසේම වැඩිම ප්‍රමාණයක් සීනි ආනයනය කරන ලද රටවල් අතරට ඇමරිකාව, ජපානය, මහා බ්‍රිතාන්‍යය, දකුණු කොරියාව, සහ පෘතුගාලය යන රටවල් අයත්වුණා. 

පසුගිය දශක කිහිපය තුළ ලෝක ජනගහනය සීඝ්‍රයෙන් වර්ධනයවීමත් සමගම සීනි පරිභෝජනය විශාල ලෙස ඉහළ ගියා. එසේම බොහෝ ආහාර සහ පාන වර්ග සෑදීමට සීනි අත්‍යවශ්‍ය වන නිසා  අද වන විට සීනි අපට නැතිවම බැරි ආහාරයක් බවට පත්ව තිබෙනවා.  

කවරයේ ඡායාරූපය- 19 වන සියවසේ දී සීනි නිෂ්පාදනය කිරීම සඳහා භාවිතා කළ මෝලක් (pinterest)

මූලාශ්‍රයයන්- isosugar.org

                         Saveur.com 

Related Articles