සුපර් ස්කූපර්: ලැව් ගිනි නිවන යෝධ කුරුල්ලා

ලැව් ගිනි ඇතිවීම ලෝකය මුහුණ දෙන දැවැන්ත පාරිසරික ගැටලුවක් බවට අද වන විට පත් ව තිබෙනවා. බොහෝ අවස්ථාවලදී ඒවා ඇතිවන්නේ මිනිසුන්ගේ ම නොසැලකිලිමත් ක්‍රියා කලාපය හේතුවෙන්. වනාන්තරවල සංචාරයේ යෙදෙන්නන් ගිනිමැලයක් දැල්වීම හෝ සිගරට් කොටයක් නොනිවා විසිකිරීම අක්කර දහස් ගණනක වනාන්තරයක් දවා අළු කිරීමට ප්‍රමාණවත්. ඇතැමුන් විනෝදයට සිදු කරන ගිනි තැබීම් නිසාත් ලැව් ගිනි ඇතිවීම් වාර්තා වනවා. ලැව් ගිනි ඇතිවන වනාන්තර ප්‍රදේශ මිනිස් වාසයන්ට දුරින් පැවතීම නිසාත් රථ වාහන වලින් ළඟා වීමේ අපහසුව නිසාත් සාමාන්‍ය ගිනි නිවන උපකරණ හෝ වාහන යොදා ගෙන ඒවා නිවා දැමීම කළ නො හැකියි. මේ නිසා ගුවනින් ජලය හෝ වෙනත් රසායනික ද්‍රව්‍ය ඉසීමෙන් ලැව්ගිනි පාලනයට අද වන විට මිනිසා යොමු වී තිබෙනවා. ලැව් ගිනි නිවීම සඳහා භාවිත කරන ලොව විශාලත ම ගුවන් යානා වර්ගය වන සුපර් ස්කූපර් යානා ගැන මෙහිදී කතා නොකර ම බැහැ.

ගුවනින් ගිනි නිවීමේ ඉතිහාසය

ලැව් ගිනි නිවීම සඳහා ගුවන්යානා යොදාගැනීම අද වන විට සාමාන්‍ය තත්වයක් වුවත් මීට වසර 60කට පමණ පෙර එය පැවතියේ ප්‍රාථමික අවධියේ. ලොව පළමුවරට ගුවන් ටැංකි (Aerial tankers) යානාවක් නිර්මාණය කෙරුණේ දෙවන ලෝක යුද සමයේ දී භාවිත වූ ගුවන් යානා වෙනස් කිරීමෙන් වනවා. 1955දී අමෙරිකාවේ මෙන්ඩසිනෝ (Mendocino) ජාතික වනෝද්‍යානයේ ගිනි පාලන නිලධාරී ජෝ එලිගේ ඉල්ලීම පරිදි විලෝ ගුවන් තොටුපලේ දී එය නිර්මාණය කෙරුණා. 1934දී නිෂ්පාදනය වූ Boeing-Stearman-75 නම් හමුදා පුහුණුවීම්වලට භාවිත කරන ගුවන් යානයකට ලීටර 650ක ටැංකියක් සවි කර මෙය ඉදිකර තිබූ අතර එය පළමු ගුවන් ටැංකිය බවට පත්විය. මෙම යානය මුලින් ම භාවිත කළේ 1955 මෙන්ඩසිනෝ ජාතික වනෝද්‍යානයේ ඇතිවූ ගින්නක් නිවීම සඳහායි.

Boeing-Stearman-75
Boeing-Stearman-75 ගුවන්යානය – autobiographyofaformerzygote.com

ඉන් වසරකට පසු මෙවැනි ම ගුවන් ටැංකි 7කින් සමන්විත බලගණයක් නිර්මාණය වුණා. මේවයේ තිබූ ලීටර 650ක ජල ටැංකියෙන් ලැව්ගිනි නිවීම එතරම් කාර්යක්ෂම වුණේ නැහැ. එසේම Boeing-Stearman-75 යනු තනි එන්ජිමේ ගුවන් යානා වීම නිසා ලබාගත හැකිවුණේ කුඩා වේගයක් පමණයි. 1960 වන විට මේ දුර්වලතා හඳුනා ගත් ඉංජිනේරුවන් දෙවන ලෝක යුද සමයේ භාවිත කළ වඩා විශාල ගුවන් යානා ගිනි නිවීම සඳහා යොදා ගැනීමට කටයුතු කළා. ඒ අනුවයි එන්ජින් ද්විත්වයකින් සමන්විත Consolidated PBY Catalina ගුවන් යානා වැඩි දියුණු කර ලීටර 7500 ක ජල පරිමාවක් ගබඩා කළ හැකි ලෙස සකස් කෙරෙන්නේ.

Boeing B-17
Boeing B-17 යානය – truppendienst.com

පසුකාලීන ව Boeing B-17 නම් එන්ජින් 4 බර බෝම්බ ප්‍රහාරක යානය ද ගිනි නිවීමේ කාර්යය වෙනුවෙන් යොදා ගන්නවා. මේ සියලු ගුවන් යානා 1940 ට පෙර නිෂ්පාදනය කළ ඒවා වීම නිසා 1970 න් පසු ලැව්ගිනි නිවීමේ කාර්යය වෙනුවෙන් භාවිත කළ හැකි මට්ටමේ පැවතුණේ නැහැ. 1954 දී නිෂ්පාදිත ලොව පුරා යුදමය කටයුතු සඳහා භාවිත වුණු Grumman S-2 Tracker යානය ලීටර 4500ක පමණ ජල ධාරිතාවක් රැගෙන යා හැකි පරිදි සකස් කෙරෙන්නේ 1968 දී යි. අදටත් මෙම යානා ලැව්ගිනි ඇතිවන කලාප බොහොමයක ගිනි නිවීම සඳහා භාවිත කෙරෙනවා. ඊට අමතර ව 1969 දී නිෂ්පාදිත OV-10 Bronco යානාත් අද වනවිට ලැව් ගිනි නිව්මේ කාර්යය වෙනුවෙන් යොදා ගැනෙනවා.

Grumman S-2 Tracker and OV-10 Bronco
ගිනි නිවීම සඳහා වෙනස් කළ Grumman S-2 Tracker සහ OV-10 Bronco යානා – rwphotos.photoshelter.com

අමෙරිකා එක්සත් ජනපදය තුළ පමණක් වසරකට ලැව්ගිනි ඇතිවීම් 60,000-67,000ක් පමණ මෑත කාලයේ දී වාර්තා වනවා. ගිම්හාන සෘතුවේ දී දිනකට ලොවපුරා ලැව්ගිනි ඇතිවීම් 10,000ක් පමණ සිදුවන බවයි චන්ද්‍රිකා ඡායාරූප පෙන්වා දෙන්නේ. මේ හේතුවෙන් වසරකට වනාන්තර අක්කර මිලියන ගණනක් විනාශ වීම වැලැක්විය නොහැකි යි. එසේම කුඩා ප්‍රමාණයේ ගුවන් යානා වැඩිදියුණු කිරීමෙන් භාවිත කරන ගිනි නිවීමේ ගුවන් යානා අක්කර දහස් ගණනක විනාශයක් නැවත්වීමට තරම් කාර්යක්ෂම නැහැ.

සුපර් ස්කූපර් යානය ඉදිවීම

ලැව්ගිනි නිවීම සඳහා ම සැකසූ යානයක අවශ්‍යතාව අනුවයි Canadair නම් කැනේඩියානු සිවිල් සහ යුදමය ගුවන්යානා නිෂ්පාදන සමාගම  1968දී CL-215 ගුවන් යානය නිර්මාණය කරන්නේ. මෙම ගුවන් යානය ජලය මත ගොඩබෑමට හැකි ආකාරයට නිර්මාණය කර තිබුණත් සාමාන්‍ය Sea Planeවලට වඩා විශාලත්වයෙන් සහ බලයෙන් වැඩි ගුවන් යානයක් බව කිව යුතු යි. අශ්වබල 2100ක් සැපයිය හැකි එන්ජින් ද්විත්වයකින් සමන්විත මෙය ගිනි නිවීම සඳහා ම ඉදිකෙරුණු ලොව ප්‍රථම ගුවන් යානය වනවා.

යුද හෝ වෙනත් කටුතු සඳහා භාවිත කරන ගුවන් යානා ගිනි නිවීමේ කාර්යයට යොදා ගැනීමේදී ඇති වූ ප්‍රධාන ගැටලුවක් වූයේ මළ කෑමට ඔරොත්තු දෙන ආකාරයට සැකසීමට නොහැකි වීම යි. එසේ ම හදිසි ක්‍රියා විරහිත වීමක දී විකල්ප එන්ජිමක් භාවිත කිරීමක් පැරැණි ගුවන් යානාවල දක්නට ලැබුණේ නැහැ. නමුත් ගිනි නිවිමේදී වනාන්තර ප්‍රදේශ පහතින් ගමන් කිරීමට සිදු වීම නිසා දුම සමඟ පැමිණෙන අංශු අදියෙන් නිරන්තර හානි වීම්වලට එම ගුවන්යානා ලක්වුණා.

CL 215 firefighting
ගිනි නිවීමේ කාර්යයේ යෙදී සිටින CL-215 – wikimedia.org

ඉහත ගැටලු මඟහරවා ගනිමින් ඉදි කෙරුණු CL-215 යානය වඩා සාර්ථක වීම නිසා 1969දී යානා 30ක් සඳහා වූ ඉල්ලුම් සම්පුර්ණ කිරීමට Canadair සමාගමට හැකිවුණා. CL-215 යානයේ වැඩි දියුණු කිරීම් කිහිපයක් ම පසුකාලීන ව සිදු වුණා. ඒවා බොහොමයක් Bombardier සමාගම මගින් සිදු කළ අතර නිෂ්පාදනය වූ යානා CL-215A, CL-215C, CL-215T ආදී වශයෙන් නම් කෙරුණා. 1980 වසරේදී නිෂ්පාදනය වූ CL215T මාදිලියේ දක්නට තිබූ වැදගත්ම වෙනස්කම වූයේ එතෙක් භාවිත වූ Pratt & Whitney R-2800, Radial එන්ජිම වෙනුවට එම සමාගමේ ම වැඩි අශ්ව බල හැකියාවක් තිබූ PW 100 මාදිලියේ ටර්බයින් එන්ජින් යොදා ගැනීම යි.

CL-215T හි එන්ජිම සහ චැසිය එලෙසින් ම යොදා ගෙන 1991දී නිර්මාණය කෙරුණු CL-415 ගිනි නිවීමේ යානය “සුපර් ස්කූපර්” (Super Scooper) ලෙසින් හඳුන්වනවා. මෙහි ආකෘතිය තවදුරටත් ශක්තිමත් කර තිබූ අතර පාලන පුවරුව සඳහා නවීන තාක්ෂණය යොදා ගැනුණා. CL-215T හි ජලය නිදහස් කිරීම (Water bombing) සඳහා දොරටු දෙකක් පමණක් තිබූ අතර CL-415 හි මෙය දොරටු 4ක් දක්වා වැඩි කෙරුණා. ඒ නිසා ඉතා අඩු කාලයකින් සියලු ජල පරිමාව නිදහස් කිරීමට මෙම යානයට හැකියි. අද වන විට ලොව භාවිත වන, මිලෙන් අධික ම සහ හැකියාවන්ගෙන් උපරිම ගිනි නිවීමේ ගුවන්යානය මෙම සුපර් ස්කූපර් යානය වනවා.

CL-415 CL-215
CL-415 වම් පසින්ද දකුණු පසින් CL-215 ද දැක්වේ – wikimedia.org

වෙනත් ගුවන් යානාවලින් සුපර් ස්කූපර් වෙනස් වෙන හැටි

සුපර් ස්කූපර් යානය මෙට්‍රික් ටොන් 13.6 ක බරින් යුතු වන අතර මීටර 10ක් පමණ උසකින් යුක්ත යි. මෙම යානය අතීතයේ භාවිත කළ සැහැල්ලු ගුවන් යානා මෙන් නොව සුවිසල් ගුවන් යානයකට ගැළපෙන ලෙස සැකසු තටු දෙකකින් සමන්විත වනවා. තටු කෙළවරවල් අතර දුර (wingspan) මීටර 28ක්. බෝයිං 737 මගී ගුවන් යානයක මෙම අගය වන්නේ මීටර 36ක්. බෝයිං 737 යානයක් මීටර 40ක් එනම් සුපර් ස්කූපර් යානයක් මෙන් දෙගුණයක දිගින් යුක්ත වන අතර මීටර 2ක් පමණ උසින් ද වැඩි වනවා.

සුපර් ස්කුපර් යානයක් ගිනි නිවීමක – Getty images

 

කුඩා ගුවන් යානයකට විශාල තටු යොදා ගැනීමෙන් ලැබෙන වාසිය වන්නේ අඩු වේගයක දී පවා විශාල එසවුම් බලයක් ලබා ගැනීමට හැකි වීම යි. විශේෂයෙන් යානයට ජලය පිරවීමේදී හෝ ලැව්ගිනි පවතින ස්ථානයක දී ජලය නිදහස් කිරීම සඳහා යානය සෙමෙන් ගමන් කළ යුතු වනවා. එවැනි අවස්ථාවකදී මෙම දැවැන්ත යානයට අවශ්‍ය එසවුම් බලය ලබාගැනීම, තටුවල දිග සාමාන්‍ය ගුවන් යානාවල අනුපාතයට සකස් කිරීමෙන් කළ නොහැකියි. සුපර් ස්කූපර් යානයේ තටුවල සුළං මුහුණතේ වක්‍රතාව ද ඉතා වැඩි අගයක් ගන්නවා. මෙම වක්‍රතාව හඳුන්වන්නේ ගුවන්යානා තටුවක කැම්බර් (Camber) අගය ලෙස යි. මෙය වැඩි කිරීමෙන් ද බලාපොරොත්තු වන්නේ එසවුම් බලය වැඩි කර ගැනීමයි.

super scooper wing curvature
සුපර් ස්කූපර් යානයේ තටුවේ ඉදිරිපස වක්‍රතාවය – aerocorner.com

මෙම වැඩි එසවුම් බලය නිසා සුපර් ස්කූපර් යානයට ලැව් ගිනි පවතින ස්ථානයකට ඉහළින් අඩි 100ක් පමණ ආසන්නයෙන් ගමන් කර ජලය හෙළීම සිදුකර නැවත ඉතා ඉක්මනින් ඉහළට ගමන් කළ හැකි යි. බෝයිං 747 Supertanker සහ DC-10 යන ගිනි නිවීමේ යානාවලට ජලය හෙළීමට හැක්කේ අඩි 300ත් 800ත් අතර සීමාවේ පමණ යි. මේ නිසා නිවැරදි ඉලක්කයට ම ජලය හෙළීම අපහසු වනවා.

ගිනි නිවීම සඳහා භාවිතා කරන යානයක් සැහැල්ලු කුඩා යානයක් වීම අමතර වාසියක් වනවා. එයට හේතුව වන්නේ ලැව් ගිනි ඇතිවන කලාපය ආවරණය කිරීමට යානය හැසිරවීම පහසු විය යුතු නිස යි. ඉතා ළඟ හැරවීමේ හැකියාවක් තිබීම මෙහි දී බොහෝසෙයින් වැදගත් වනවා. සුපර් ස්කූපර් යානය දැවැන්ත එකක් වුවත් ඉතා පහසුවෙන් හැසිරවිය හැකි ලෙසයි නිර්මාණය කර ඇත්තේ. එය පැහැදිලි කිරීමට පෙර ගුවන් යානයක් හැසිරවීම සිදු වන අයුරු පැහැදිලි කරගනිමු.

aeroplane controlling
ගුවන් යානයක් පාලනයට භාවිතා කෙරෙන චලනය කළ හැකි කොටස් – springer.com

ගුවන් යානයක් හැසිරවීම කරන්නේ යානයේ තටු පිටුපසින් සරනේරු කළ පෙති ඉහළ පහළ යැවීම මගිනි. මේවා නියමු කුටියේ ඇති විශේෂ සුක්කානම (Yoke) චලනය කිරීමේදී චලනය වන ලෙසයි සකස් කර ඇත්තේ. උදාහරණ ලෙස යානයේ තිරස් තටු කෙළවරවල පිටුපසට සවි වූ එවැනි පෙති (ailerons) මගින් යානයේ වාමාවර්ත හෝ දක්ෂිණාවර්ත ඇල වීම (Roll) පාලනය කෙරෙන අතර පිටුපස වලිගය කොටසේ ඇති සිරස් පෙත්ත (Rudder) මගින් යානයේ ගමන් දිශාව (Yaw) පාලනය කෙරෙනවා. වලිගය කොටසේ ඇති තිරස් පෙත්ත (elevator) මගින් යානයේ එසවීම (Pitch) පාලනය වනවා.

සුපර් ස්කූපර් යානා සඳහා භාවිත කෙරෙන ඉහත පෙති කොටස් සාමාන්‍ය ගුවන් යානාවල භාවිතා වන ඒවාට වඩා වර්ගපලයෙන් ඉතා විශාල යි. උදාහරණයක් ලෙස බෝයිං 737 යානය Rudder තටුවේ වර්ගපලය වර්ග අඩි 55ක් වෙද්දී සුපර් ස්කූපර් යානයේ එම අගය වර්ග අඩි 80ක් වනවා. සුපර් ස්කූපර් යානාවල වේගය සාපේක්ෂ ව අවම වීමත් බරින් වැඩි වීමත් සහ ඉතා ඉක්මනින් හැරවීමේ අවශ්‍යතාවත් නිසා එලෙස වැඩි වර්ගපලයක් තිබීම අත්‍යවශ්‍ය යි.

rudder of cl 415 v Boeing 737
සුපර් ස්කූපර් සහ බෝයිං 737 යානාවල rudder තටුවේ විශාලත්වය සංසන්දනයක් – airlive.net

අශ්ව බල 2380ක් බැගින් වූ ටර්බයින් එන්ජින් යුගළයක් භාවිත කිරීමත් සුපර් ස්කූපර් යානයට ම සුවිශේෂී වූ අවශ්‍යතාවක් වනවා. එයට හේතු වන්නේ විශාල බරක් ඔසවාගෙන යාම සඳහා අවශ්‍ය බලය සැපයීම සහ ලැව්ගිනි සහිත කලාපයක් තුළින් ගමන් කිරීමේදී ඉහළට විසිවන අළු සහ වෙනත් දැවුණු කොටස් එන්ජිමේ ගැටුණ ද නොනවත්වා ක්‍රියා කිරීම යි.

සුපර් ස්කූපර් යානයෙන් ගිනි නිවීම

ලැව් ගින්නක් ඇතිවන ස්ථානයක් හඳුනා ගැනීමෙන් පසු සුපර් ස්කූපර් යානය නියමුවන් දෙදෙනකු සහ නිරීක්ෂකයකු සමඟ අදාළ ස්ථානයට ළඟා වනවා. ලැව්ගිනි පවතින ස්ථානයට ආසන්නයේ ම ඇති ජල මුලාශ්‍රයක් ද ඔවුන් හඳුනාගන්නා අතර ජල මුලාශ්‍රයේ සිට ගිනි නිවීමේ ස්ථානය දක්වා ඉක්මන් ම ගමන් මාර්ගය ඔවුන්ගේ පළපුරුද්දෙන් සකස් කර ගැනෙනවා.

පළමු ව සිදු කළ යුත්තේ යානයට ජලය පුරවා ගැනීම යි. මේ සඳහා තෝරා ගන්නා ජල මුලාශ්‍රය යානය ගොඩබැස්වීමට හැකි දිගින් යුත් එකක් විය යුතු යි. ජලය මතට ගොඩ බැස්වීමට පෙර ජලය එකතු කරගන්නා විවර ද්විත්වය (probes) විවෘත කළ යුතු වනවා. මෙහිදී යානය ජලය මත නැවැත්වීමක් කරන්නේ නැහැ. ඒ වෙනුවට එහි සාමාන්‍ය ගමන් වේගයෙන් අඩක පමණ වේගයකින් එනම් පැයට කිලෝමීටර 160 ක පමණ වේගයකින් ජල පෘෂ්ටය මත ගමන් කිරීමයි සිදුවන්නේ. ඉහත සඳහන් කළ Probe යුගලය හරහා ජලය ඇදගැනීමට පොම්පයක් හෝ වෙනත් යාන්ත්‍රික ක්‍රමවේදයක් භාවිත නොවන අතර යානය ඉදිරියට ගමන් කිරීමේ දී ටැංකිවලට ජලය පිරීම සිදුවනවා. හැන්දකින් යමක් එකතු කරගන්නා ආකාරයට සිදුවන මෙම ක්‍රියවලිය නිසයි යානයේ නමට ස්කූපර් (Scooper) යන වචනය එක් කර ඇත්තේ.

super scooper probe
සුපර් ස්කූපර් යානය පතුලේ ඇති Probe එකක් සහ ජලය පිරවීමට කටයුතු කරන අවස්ථාවක් – dreamstime.com

සුපර් ස්කූපර් යානයේ ජල ධාරිතාව ලීටර 5400 ඉක්මවනවා. මෙය සම්පුර්ණයෙන් පිරවීමට ගතවන්නේ තත්පර 12ක් වැනි සුළු කාලයක්. ජලය හේතුවෙන් එක්වන අමතර බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 5000කට අධිකයි. ජල ටැංකි පිරීමේ කාර්යය නිමවීමෙන් පසු යානය සුපුරුදු පියාසැරි වේගයට සහ උස වෙත ළඟා කිරීම නියමුවා සිදුකරනවා. මිනිත්තු 3ක දී එම උසට සහ වේගයට ළඟා වීමට යානයට හැකි යි.

ජලය නිදහස් කිරීමේ ස්ථානය බිමෙහි සිටින නිර්ක්ෂකයන් සහ හෙලිකොප්ටර නිරීක්ෂකයන් එක් ව සුපර් ස්කූපර් යානය දැනුම්වත් කරන අතර එම අවස්ථාවේ සුළඟේ වේගය, බිමෙහි ස්වභාවය සහ යානය පවතින උස යන සාධක සැලකිල්ලට ගෙන ජලය නිදහස් කිරීමේ කාර්යය සිදුකළ යුත්තේ කුමන අවස්ථාවේදී ද යන්න තීරණය කෙරෙනවා. මේ සඳහා ස්වයංක්‍රීය ක්‍රමවේද භාවිත කිරීමක් සිදු නොවන අතර නියමුවාගේ සුක්කානමේ සවිකර ඇති බොත්තම මගින් සියලු ම ජලය නිදහස් කිරීම සිදුවනවා. විශේෂයෙන් ජලය ලීටර 5400 ම නිදහස් වීමට ගත වන්නේ තත්පර 2ක් වැනි ඉතා අඩු කාලයක් නිසා නියමුවාගේ පලපුරුද්ද ඉතා වැදගත්.

water bombarding
ජලය නිදහස් කිරීම – okmugello.it

ජලය හෙළීමේ කාර්යය නිම වීමෙන් පසු  යානය ජල මුලාශ්‍රය වෙතට නැවත ගමන් කරවනවා. බෝයිං 747 Supertanker යානාවලට වැඩි ජල ප්‍රමාණයක් (ලීටර 75,000) ගබඩා කළ හැකි වුවත් ඒවා නැවත පිරවීමට ගුවන් තොටුපළක් වෙතම යා යුතු වනවා. එම නිසා බෝයිං 747 Supertanker යානයේ වතුර හෙළීම් දෙකක් අතර අවම කාලය පැයකට වැඩි බව සඳහන්. එහෙත් සුපර් ස්කූපර් යානයකින් අවම වශයෙන් සෑම මිනිත්තු 6කට වරක් ම ජලය හෙළීම සිදුකළ හැකි යි.

කැනඩාවේ සිට පැමිණි සුපර් ස්කුපර් ගිනි නිවීමේ ගුවන් යානා දෙකක් -Getty images

මේ සඳහා ජල මුලාශ්‍රයේ සිට ලැව් ගිනි පවතින ස්ථානයට ඇති දුර බලපානවා. සුපර් ස්කූපර් යානායක ඉන්ධන පැය 6ක පමණ ක්‍රියාන්විතයක් සඳහා ප්‍රමාණවත් වීමත් ප්‍රධාන වාසියක් වන අතර බොහොමයක් සැහැල්ලු ගුවන් යානා සඳහා සෑම පැය දෙකකට වරක් ම නැවත ඉන්ධන පිරවිය යුතු වනවා.

සුපර් ස්කූපර් යානා 2018 සිට නිර්මාණය කෙරෙන්නේ Viking Air නම් සමාගමක් විසින්.  CL-515 යානයක් ද ඉදිරියේදී ඉදිකිරීමට ඔවුන් සැලසුම් කරනවා. ඩොලර් මිලියන 30ක් පමණ වන CL-415 සුපර් ස්කූපර් යානවකින් වනාන්තර සඳහා වන සේවය නම් මිල කළ නොහැකි යි.

 කවරයේ පින්තූරය - සුපර් ස්කූපර් යානයකින් ගිනි නිවීම - getty images

මූලාශ්‍ර:

bbc.com

policyadvice.ne,

theunion.com

businessinsider.com

vikingair.com

aerospace-technology.com

redzone.com  

Related Articles