Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සුපිරි වීරයන්ට අපි හිතනවාට වඩා වයසයි! – 2 කොටස

අපි මීට පෙර පළ කළ සුපිරි වීරයන්ට අපි හිතනවාට වඩා වයසයි පළමු කොටසට ලැබුණු ඉහළ ප්‍රතිචාර නිසාත්, මෑතකදී තිර ගත වීම අාරම්භ කළ Wonder Woman චිත්‍රපටය සහ ළඟදීම තිරගත වෙන්න නියමිත තවත් සුපිරි වීරයන්ගේ චිත්‍රපටත් එක්ක සුපිරි වීරයන් ගැන අළුතින් අැති වී තිබෙන කතා බහ නිසාත් එහි දෙවන කොටස ඉක්මණින්ම පළ කරන්න අපි තීරණය කළා.

6. ස්පයිඩර් මෑන් (Spider Man)

(http://wallpapercave.com)

පළමු වරට මෙම චරිතය ඉදිරිපත් වන්නේ 1962 වසරේ දී ය. ඊට Marvel සමාගම විසින් දායකත්වය සපයන ලද අතර ස්ටෑන් ලී සහ ස්ටීව් ඩිට්කෝ දෙදෙනා මෙම චරිතයේ නිර්මාතෘන් වේ. 1962 දී ෆැන්ටෑස්ටික් ෆෝ හි සාර්ථකත්වයත් සමගම නව සුපිරි වීර චරිතයක් බිහි කිරීමේ බලාපොරොත්තුව තමන් තුළ දැඩි ලෙස පැවති බවත්, ඊට දශකයකට පමණ පෙර “ස්පයිඩර්“ නමින් පැවති රහස් පරීක්ෂක චිත්‍රකතාවක් තමන්ට මෙම ‘ස්පයිඩර් මෑන්‘ චරිතය නිර්මාණය කිරීමට ආභාෂයක් වූ බව ස්ටෑන් තම ස්වයං චරිතාපදානයේ දී දක්වා ඇත.

1962 දී පළ වූ පළමු චිත්‍රකතාව (http://www.nydailynews.com)

ඩිට්කෝ පවසන්නේ ස්පයිඩර් මෑන්ගේ ඇඳුම් නිර්මාණය කිරීම ඉතාමත් අපහසු කාර්යයක් වූ බව යි. මන්ද මකුළුවකු මෙන් බිත්ති මත නැගීමට කකුල් සහ අත් යොදා ගන්නා බැවින් ඝන සපත්තු හෝ අත්වැසුම් තිබිය නොහැකි බවත්, ස්ටෑන් හට වීරයාගේ මුහුණ ආවරණය කිරීමට අදහසක් නොතිබුණත්, කුතුහලය ඇති කිරීමට සහ පීටර් පාකර්ගේ ළාබාල බව සැගවීමට එය යොදා ගත යුතු බවට තමන් අදහස් කළ බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

මේ වන විට ස්පයිඩර් මෑන් චරිතයට අවුරුදු 55 ක් වන අතර පළමු කටුන් මාලාව 1967 දී ආරම්භ වී ඇත. පළමු සජීවී කතාමාලාවේ අාරම්භය සඳහන් වන්නේ 1978 වසර ලෙස ය.

7. තෝර් (Thor) 1962

(http://wallpapers-and-backgrounds.net)

ඇස්ගාර් දිව්‍ය රාජ්‍යයේ ඔටුනු හිමි කුමරා හෙවත් අකුණුවලට අධිපති දෙවියන් වශයෙන් සැලකෙන තෝර් වඩාත් ජනප්‍රිය වන්නේ මෙම සුපිරි වීර චරිතය නිසාවෙන් යැයි පැවසීම අතිශයෝක්තියක් නොවනු ඇත. 1962 වර්ෂයේ දී පළමු වරට රසිකයන් අතරට පැමිණෙන මෙම චරිතය Marvel සමාගමේ ස්ටෑන් ලී සහ ලැරී ලයිබර් විසින් නිර්මාණය කරන ලද්දකි.

පළමු චිත්‍රකතාව (http://www.moviesoldnew.com)

උතුරු ජර්මානු මිථ්‍යාවේදය තුළ එන තෝර් දෙවියාගෙන් ආභාසය ලබා ගනිමින් නිර්මාණය කර ඇති මෙම චරිතය පිළිබදව මයර් ජෝර්ජ් විසින් 2002 දී රචිත ස්ටෑන් ලීගේ  ජීවිත කතාවෙහි  (The Amazing life of Stan Lee) මෙලෙස දක්වා ඇත.

“මට අවශ්‍ය වුණා ශක්තිමත් ම සුපිරි වීරයාටත් වඩා ශක්තිමත් වීරයෙක්ව හදන්න. එතකොට මට තේරුණා දැනට ඉන්න හැමෝට ම වඩා ශක්තිමත් කෙනෙක් කරන්න නම් ඒකට හොඳම විදිහ වීරයාව දෙවි කෙනෙක් කරන එක බව. ග්‍රීක සහ රෝම දෙවිවරුන් ගැන ඕන තරම් වීර කතා තියෙන නිසා මට අවශ්‍ය වුණා අලුත් දෙවියෙක්ව හොයන්න. අන්තිමට ම උතුරු ජර්මානු මිථ්‍යාවේදය තුළින් මට තෝර්ව හොයා ගන්න පුළුවන් වුණා..”

1966 දී පළමු වරට The Mighty Thor නමින් කොටස් 13 කින් යුත් කාටුන් වැඩසටහනක් රූපවාහිනි මාධ්‍ය තුළ ප්‍රචාරය වුණු අතර 2011 ලොව පුරා තිරගත වීම ආරම්භ වුණු Thor චිත්‍රපටය තුළින් මෙම සුපිරි චරිතය තව තවත් ජනප්‍රිය වන්නට විය. එහි තෙවන චිත්‍රපටය මේ වර්ෂයේ නොවැම්බර් මාසයේ දී තිරගත වීමට නියමිතව ඇත.

කෙසේ වෙතත් තෝර් ලෙස බිහි කර ඇති මෙම සුපිරි වීර චරිතයට මේ වන විට අවුරුදු 55 කට ආසන්න කාලයක් ගෙවී ගොස් ඇත.

8. අයර්න් මෑන් (Iron Man) 1963

(http://movieweb.com)

ස්ටෑන් ලී සහ ලැරී ලයිබර් විසින් නිර්මාණය කරන ලද, ඩොන් හෙක් සහ ජැක් කර්බි විසින් සැලසුම් කරන ලද අයන් මෑන් චරිතය බිහි වන්නේ 1963 වර්ෂයේ දී ය. ඒ අනුව මෙම සුපිරි වීර චරිතයට මේ ගෙවී යන්නේ 52 වැනි අවුරුද්ද යි.

පළමු චිත්‍රකතාව (http://marvel.com)

අයන් මෑන් චරිතය ආරම්භයේ සිට ම රසිකයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත් වූ සුපිරි වීරයෙකු වන අතර මෙය රූප මාධ්‍යයට පැමිණීමෙන් අනතුරුව එම ජනප්‍රියත්වය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. 2008 වසරේ දී තිරගත වූ Iron Man පළමු චිත්‍රපටයේ සාර්ථක්වය නිසා ම ඉන් අනතුරුව 2008 සිට Marvel සමාගම විසින් නිපදවන ලද හා නිපදවීමට නියමිත බොහෝ සිනමාපටවල (Iron Man 2 – 2010, The Avengers -2012, Iron Man 3 – 2013, Avengers: Age of Utron – 2015, Captain America: Civil War -2016, Spider Man: Homecoming – 2017, Avengers Infinity War – 2018) මෙම චරිතය ඇතුළත් වීමෙන් ම ඊට ඇති ජනප්‍රියත්වය මනාව තහවුරු වේ.

IGN වෙබ් අඩවිය 2012 දී සිදු කළ සමීක්ෂණයකට අනුව වාර්තා කර තිබුණේ අැවෙන්ජර්ස් කණ්ඩායම් සාමාජිකයන් අතුරින් තෙවන ස්ථානය අයන් මෑන් හට හිමි වන බව ය.

9. එක්ස් මෙන් (X- Men) 1963

(www.youtube.com)

එක්ස් මෙන් පළමු වරට රසිකයන් වෙත පැමිණෙන්නේ 1963 වර්ෂයේ දී ය. මෙය සුපිරි චරිත රැසක් ම ඇතුළත් කතාංගයක් වන අතර මෙය ද නිර්මාණය කිරීමේ ගෞරවය හිමි වන්නේ ස්ටෑන් ලී සහ ජැක් කර්බි යන දෙපළට ම ය.

2004 දී ඇමෙරිකන් ටෙලිවිෂන් නාලිකාව ස්ටෑන් ලී සමග පවත්වන ලද රූපවාහිනි සාකච්ඡාවක දී ලී විසින් එක්ස් මෙන් නිර්මාණය කරන්නට තමන් වෙත ඇති වූ බලපෑම ගැන මෙසේ විස්තර කර ඇත.

“මට තවත් සුපිරි වීරයන් කණ්ඩායමක් ම නිර්මාණය කරන්න ඕන වුණා. නමුත් ඒ පිරිසත් මකුළුවෙකු දෂ්ට කිරීමෙන් හරි රසායනික ද්‍රව්‍යයක් හෝ විකිරණවලට නිරාවරණය වීමකින් හරි බලය ලැබුණු චරිත කරන්න මට හිතුණේ නැහැ. මොකද ඒ වෙනකොටත් මට ඒක හරිම ඒකාකාරී බවක් ඇති කරමින් තිබුණේ. ඒ නිසා මට හිතුණා අලුත් පිරිසක් ඇති කරන්න “මියුටන්ට්ස්” කියලා. ඔවුන් උපතින් ම විවිධ බලයන් සහිත පුද්ගලයන්. ඔවුන් එම බලයන් ලබා ගත්තේ කොහොම ද කියලා අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය නැති පිරිසක්…”

පළමු චිත්‍රකතාව (http://asleiturasdopedro.blogspot.com)

1960 දශකයේ දී ආරම්භක එක්ස් මෙන් කණ්ඩායම තුළ සිටියේ සුළු පිරිසක් වන අතර Cyclops, Marvel Girl, Beast, Angel සහ Iceman යන අය ඒ අතර විය. 70 දශකයේ දී ලෙන් වේන් සහ ඩේන කොක්‍රම් යන රචකයන් විසින් එක්ස් මෙන් කණ්ඩායම වඩාත් නව මානයකට ගෙන යෑමට අදහස් කළ අතර එහි දී ඔවුන් විසින් පැරණි කණ්ඩායමෙහි සිටි Cyclops චරිතය එලෙසින් ම තබා ගත් අතර විවිධ රටවල් නියෝජනය කරමින් නව චරිත බිහි කරන්නට උත්සාහ කරන ලදී. ඒ අනුව සෝවියට් රුසියාවෙන් Cocolos, කැනඩාවෙන් Woverine, කෙන්යාවෙන් Storm, ස්වදේශික ඇමෙරිකානු Thunderbird, අයර්ලන්තයෙන් Banshee, ජර්මානු  Nightcrawler යනාදී වශයෙන් විවිධ චරිත රැසක් එකතු කරමින් එක්ස් මෙන් කතාංග වඩාත් වර්ණවත් කරන්නට ඔවුන් සමත් විය. එලෙස ආරම්භ වුණු වෙනස් කිරීම් මේ 2017 වර්ෂය දක්වා ම අලුත් වෙමින් එලෙසින් ම පවතී.

කෙසේ වෙතත් මෙම එක්ස් මෙන් කතාවට මේ වන විට ගෙවී යන්නේ 54 වැනි අවුරුද්ද වීම සුවිශේෂී වන්නේ ය.

10. ඩෙයාර් ඩෙවිල් (Daredevil) 1964

(https://www.senscritique.com)

1964 දී පළමුවරට එළිදක්වන ලද මෙම සුපිරි චරිතය බිහි වී මේ වන විට අවුරුදු 53 ක් ගෙවී ගොස් අවසන් ය. ස්ටෑන් ලී, ජැක් කර්බි සහ බිල් එවරට් විසින් මෙම චරිතය නිර්මාණය කර ඇති අතර එය ද Marvel සමාගමට අයත් වන්නකි.

පළමු චිත්‍රකතාව (comicvine.gamespot.com)

මෙම සුපිරි චරිතය වඩාත් සුවිශේෂී වන කරුණු දෙකක් පවතී. ඉන් පළමු වැන්න නම් ඔහු අන්ධ පුද්ගලයකු වීම යි. දෑස් නොපෙනුණ ද ඔහුගේ අනෙකුත් ඉන්ද්‍රීය හැකියාවන් ඉතා ඉහළ මට්ටමක පවතින බැවින් වඩාත් සාර්ථක තත්ත්වයක් ගෙන දීමට හැකයාව ලැබී ඇත.

අනෙකුත් සුවිශේෂී කරුණ වන්නේ ඔහු නීතිඥවරයකු වීම යි. සාමාන්‍යයෙන් මෙම සුපිරි චරිත සැලකෙන්නේ “සම්මත නීතියට පිටින් යුක්තිය සෙවීමට උත්සුක වන්නන්“ හෙවත් Vigilente ලෙසට ය. නමුත් මෙහි දී මෙම සුපිරි චරිතය එම ආකාර දෙක ම නියෝජනය කරමින් යුක්තිය සොයා යන ආකාරය දක්වා ඇත.

පසුවදන

මෙම සෑම සුපිරි චරිතයක් ම ගොඩ නගා ඇති ආකාරය සැබවින් ම ආකර්ෂණීය ය, අපූරු ය. යුක්තිය වෙනුවෙන් සටන් වදින මෙම සෑම චරිතයක් ම සැබවින් ම සිදු කරන්නේ සමාජයේ ජීවත් වන සෑම මිනිසකුගේ ම ජීවිතයට බලාපොරොත්තුවක් එක් කිරීම යි. කිනම් හෝ දිනක සෑම අයකුට ම යුක්තිය උදා වනු ඇති බවට ඔවුන් තුළ බලාපොරොත්තු ගොඩ නගන්නට මෙම සුපිරි චරිත උදව් වේ. ඔවුන් කිසි දිනක පැරණි නොවන්නේ ද ඒ නිසා ය. ඒ නිසා ම දශක 5 ක් නොව සියවසක් වුව ද මෙම චරිත නොනැසී පවතිනු ඇත.

කවරයේ රූපය: The Odyssey Online

මූලාශ්‍ර:

  1. Marvel.com
  2. Dccomics.com
  3. Wikipedia.com
  4. Youtube.com

Related Articles