ශ්‍රේෂ්ඨාධිකරණය හා මූලික අයිතිවාසිකම්

ගිවිසුමක් මඟින් පිළිගත් පමණින් ඒවා ස්වයංක්‍රීයව නීති බවට පත් වන්නේ නැහැ. මූලික අයිතිවාසිකම් අධිකරණ විමර්ශනයකට භාජනය වීමට නම් ඒවා රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හෝ වෙනත් නීතියකට ඇතුළත් විය යුතුයි. මූලික අයිතිවාසිකම් පිළිබඳ අධිකරණ රැකවරණය මෙරට ප්‍රථම වතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කරනු ලබන්නේ 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින්. ශ්‍රී ලංකා අධිකරණ පද්ධතියේ ඉහළම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණය මෙරට මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ යාන්ත්‍රණයේ ව්‍යවස්ථාමය රැකවරණය හිමි ප්‍රධානම ආයතනය යි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ කාර්යභාරය

  • යම් කෙටුම්පතක් හෝ එහි කොටසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ ද යන්න සොයා බැලීම.
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ බලය.
  • අවසාන අභියාචනාධිකරණ බලය.
  • ජනාධිපතිවරයා හා ජනමත විචාරණ පිළිබඳ ඡන්දය විභාග කිරීමේ බලය.
  • පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ වීම ගැන පැමිණිලි විභාග කිරීම.
  • අධිකරණ කටයුතු විධිමත් කිරීම සඳහා නීති සැකසීම හා උපදේශාත්මක අධිකරණ බලය.
  • මූලික අයිතිවාසිකම් පිළිබඳ අධිකරණ බලය.

මූලික අයිතිවාසිකම්

indif.com

ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අධිකරණ බලය පවරන ලංකාවේ මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන (3) සහ හතරවන (4) පරිච්ඡේද වැදගත් වේ. 3 වන පරිච්ඡේදයේ 10-14 දක්වා වගන්තියි මේ සම්බන්ධයෙන් වැදගත් වන්නේ.

10 වගන්තිය- සිතීමේ නිදහස, හෘද සාක්ෂියේ නිදහස සහ ආගමික නිදහස

11 වගන්තිය- වද හිංසා වලින් නිදහස

12 වගන්තිය- සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම

13 වගන්තිය- අත්තනෝමතිකව සිරභාරයට ගැනීමෙන්, රඳවා තබා ගැනීමෙන්, සහ දඬුවම් කිරීමෙන් නිදහස සහ අතීතයට බලපාන දණ්ඩන නීති පැනවීම තහනම් කිරීම

14 වගන්තිය- භාෂණයේ, රැස්වීමේ, සමාගමයේ, රැකියාවේ සහ යාම් ඊම් ආදියේ නිදහස

4 වන පරිච්ඡේදයේ භාෂා අයිතිවාසිකම් ද මේ සම්බන්ධයෙන් වැදගත් වේ. ඒ අනුව සිංහල භාෂාව ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාව බවට පත්වන අතර, සිංහල හා දෙමළ භාෂාව ශ්‍රී ලංකාවේ ජාතික භාෂා වෙයි. පාර්ලිමේන්තුවේ සහ පළාත් පාලන ආයතන වල ජාතික භාෂා භාවිතා කළ යුතු වීමත්, ජාතික භාෂා වලින් ඉගෙන ගැනීමට ඇති අයිතිවාසිකමත්, නීති පැනවීමේ දී ජාතික භාෂා වලින් සිදු කළ යුතු වීමත් ආදිය භාෂා අයිතිවාසිකම් සම්බන්ධයෙන් වැදගත් වේ.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3  වන සහ 4 වන පරිච්ඡේද වල සඳහන් එම අයිතිවාසිකම් ශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම් වශයෙන් හඳුනා ගනී.

ශ්‍රේෂ්ඨාධිකරණය හා මූලික අයිතිවාසිකම්

quotesideas.com

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වන වගන්තිය මේ සම්බන්ධයෙන් වැදගත් වේ. ඒ මඟින් මූලික අයිතිවාසිකම් සම්බන්ධ අධිකරණ බලය සහ එය ක්‍රියාත්මක වන ආකාරය දැක්වෙන අතර ඒ සම්බන්ධ පූර්ණ අධිකරණ බලය හිමි වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට යි.

මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීම

මූලික අයිතිවාසිකම් නඩුවක් මූලික අයිතිවාසිකම කඩ වීමට ලක් වූ පුද්ගලයා හෝ ඔහු වෙනුවෙන් ඔහුගේ නීතිඥවරයා විසින්ම පමණක් ගොනු කළ යුතු වේ. එමෙන්ම මූලික අයිතිවාසිකම කඩ වූ දිනයේ සිට හෝ කඩ වීමට ආසන්නව පවතින බවට දෝෂාරෝපණයක් කර ඇති අවස්ථාවක සිට මසක කාලයක් ඇතුළත මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනු කළ යුතුයි. එහිදී උල්ලංඝනය වූ අයිතිවාසිකම 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන හෝ 4 වන පරිච්ඡේදයේ සඳහන් මූලික අයිතිවාසිකමක් වීම අනිවාර්ය වේ. එමෙන්ම අදාළ මූලික අයිතිවාසිකම උල්ලංඝනය වීම හෝ උල්ලංඝනය වීමට ආසන්න වීම විය යුත්තේ විධායක හෝ පරිපාලනමය ක්‍රියාවක් මඟින් පමණි.

විභාග කිරීම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 (2) වගන්තිය දක්වන ආකාරයට ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් දෙදෙනෙකුට (2) නොඅඩු සංඛ්‍යාවක් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කරනු ලබයි. 126 (5) වගන්තිය සඳහන් කරන ආකාරයට එසේ ඉදිරිපත් කරන ලද පෙත්සමක් එය ඉදිරිපත් කරනු ලැබූ දිනයේ සිට මාස දෙකක (2) කාලයක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාග කොට නිම කළ යුතු වේ.

මුලික අයිතිවාසිකම් නඩුව සමඟ ගොනු කළ යුතු දේ  

මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීමේ දී මූලික අයිතිවාසිකම් පෙත්සම සමඟ දිව්රුම් ප්‍රකාශනයක් ගොනු කිරීම අනිවාර්ය වේ. ඊට අමතරව වෙනත් ලිඛිත සාක්ෂි ඇත්නම් ඒවා ගොනු කළ යුතුය.

පෙත්සම ගොනු කරනු ලැබූ දිනයේ සිට නඩුව විභාග කොට අවසන් කරනු ලබන කාලය දක්වා අවශ්‍ය නම් පෙත්සම්කරුට තහනම් නියෝගයක් (Stay Order) ලබා ගැනීමේ හැකියාව ද පවතී. එනම් උදාහරණයක් වශයෙන් ගතහොත්, උසස්වීමක් සම්බන්ධව මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරන අයෙකුට නඩුව අවසන් වන තුරු එය අත්හිටුවීමේ නියෝගයක් ඉල්ලා සිටිය හැකි වේ.

පෙත්සම විභාග කිරීම

dailynews.lk

මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් තිදෙනෙකු විසින් සිදු කරනු ලබයි. එසේම නඩු විභාගය අතරතුර දී අවශ්‍ය නම් සමථයකට එළඹ පෙත්සම ඉල්ලා අස් කරගත හැකියි.

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවෙන් අතෘප්තියට පත් වන පාර්ශවයකට ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට ඒ පිළිබඳ පැමිණිලි කළ හැකි වේ.

සීමාවන්

  • ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පමණක් පෙත්සම ගොනු කළ හැකි වීම.
  • අදාළ පුද්ගලයා හෝ ඔහුගේ නීතිඥවරයා මාර්ගයෙන් පමණක් පෙත්සම ගොනු කළ යුතු වීම.
  • අදාළ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය හෝ උල්ලංඝනය වීමට ආසන්න වීම සිදු වී මාසයක කාලයක් ඇතුලත පෙත්සම ගොනු කළ යුතු වීම.
  • විධායක හෝ පරිපාලනමය ක්‍රියාවක් විය යුතු වීම.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වන වගන්තිය අනුව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ හැක්කේ විධායක හෝ පරිපාලනමය ක්‍රියාවකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පමණි.

  • රාජ්‍ය ආරක්ෂාව, මහජන සෞඛ්‍ය, සදාචාරය.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 (7) වගන්තිය දක්වන ආකාරයට 12, 13 (1), 13 (2), 14 වන ව්‍යවස්ථා මඟින් පිළිගෙන ඇති මූලික අයිතිවාසිකම් භුක්ති විඳිය හැකි වන්නේ ද, ක්‍රියාත්මක වන්නේ ද, රාජ්‍ය ආරක්ෂාව, රටේ යහපැවැත්ම තහවුරු කිරීම පිණිසත්, මහජන සෞඛ්‍ය හෝ සදාචාරය ආරක්ෂා කිරීම පිණිසත් ය.

කවරයේ කතාව- uakron.edu 

මූලාශ්‍ර

http://masterlaw.today

http://www.parliament.lk

https://www.slideshare.net

By Vimarsha Bandaranayake

Related Articles