Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දූෂිත සමාජ සංවිධානය පිළිබඳ මාරියෝ පූසෝගේ අග්‍රගණ්‍ය කෘතිය – The Godfather

ඉතාලියට අයත් සිසිලි දිවයිනේ ගොවි පවුලක උපන් දරුවෙකු ජීවිතයේ පත්වන දුෂ්කරතා අවසානයේ මාෆියා නායකයෙකු බවට පත්ව විවිධ බාධක ඔස්සේ ජීවිතයේ අවසාන කාලය දක්වා පැමිණීම නම් කැන්වසය මත මාරියෝ පූසෝගේ ආර්ථික, සමාජ, දේශපාලන විවේචනය The Godfather කෘතිය යි. පාතාලය සහ මාෆියා සමාජය පිළිබඳ ව ලියවුණු කෘති අතරින් අදට ද ඉහළම ස්ථානයක රැඳී සිටීමට සමත් ව තිබෙන ගෝඩ්ෆාදර් කෘතිය පිළිබඳ සටහනකි මේ.

7summitsproject

මාරියෝ පූසෝ යනු ඇමෙරිකන් ජාතික ලේඛකයෙකි. 1920 ඔක්තෝබර් මස 15 වන දා එක්සත් ජනපදයේ නිව්යෝක් හි මෑන්හැට්න් නගරයේ උපත ලද ඔහු, දෙවන ලෝක යුද සමයේ යුද සේවය සඳහා ද දායක වූ අතර නවකතා ගණනාවක් රචනා කර ඇත. එසේ ම බොහෝ දුෂ්කර ජීවිතයක් ගත කරන ලද්දේ වාණිජ වශයෙන් ඔහුගේ කෘති අසාර්ථක ව තිබූ නිසා ය. ඔහුගේ අග්‍රගණ්‍ය කෘතිය වූ ගෝඩ්ෆාදර් රචනා කර 1969 දී ජනගත කරන තෙක් ම එම දුෂ්කරතාව පැවතුණි. ඔහු සාර්ථකත්වයට පත්කළ කෘතිය වූයේ ගෝඩ්ෆාදර් ය. ඔහුගේ වචනවලින් එය මෙසේ ය. ‘මට වයස අවුරුදු 45ක් ව තිබුණා. මම ඥාතීන්ට, මූල්‍ය ආයතනවලට, බැංකුවලට, ණයකරුවන්ට ඩොලර් 20,000ක් ණයකරුවෙක්. ඒ නිසා මට වඩා සාර්ථක ලෙස විකිණිය හැකි කෘතියක් ලිවීමට අත්‍යවශ්‍ය ලෙස ම කාලය පැමිණ තිබුණා’. වසර 79ක ආයු වළඳා 1999 ජූලි මස 2 වන දා අවසන් සුසුම් හෙළූ මාරියෝ පූසෝගේ ගෝඩ්ෆාදර් කෘතියේ සමාජයේ යථාර්ථය පෙන්වූ පරිකල්පිත කෘතියකි.

මාරියෝ පූසෝ (imdb)

ගෝඩ්ෆාදර් කෘතිය ඇරඹෙන්නේ විවිධ අකරතැබ්බයන්ට මුහුණදෙමින් සිටි චරිත තුනකිනි. ඇමරිගෝ බොනසෙරා නම් මල්ශාලා හිමිකරු, හොලිවුඩ් නළුවෙකු වන ජොනී ෆොන්ටේන් සහ බේකරිකරුවෙකු වන නසොරින් තමන් මුහුණදෙමින් සිටින ගැටලුවලට විසඳුම් දිය හැකි එක ම පුද්ගලයා ගෝඩ්ෆාදර් බව දැන ඔහු හමුවීමට යාමට තීරණය කරයි. බොනසෙරා සිය දියණියට පහරදුන් තරුණයින් ව උසාවියෙන් නිදහස ලබාදීම නිසා උදහසින් පසු වේ. ජොනී ෆොන්ටේන් තම වෘත්තීය අහිමි යාමේ අවධානම සහිත ව මීළඟ ඔස්කාර් සම්මානය ලබාගැනීමට හැකි චිත්‍රපටයක ප්‍රධාන චරිතය අහිමි ව සිටියි. නසොරින් සිය දියණිය හා පෙමින් බැඳී සිටින සිසිලියානුවා රටින් පිටුවහල් කිරීමට රජය උත්සාහ කිරීම නිසා අර්බුදයක සිටියි. ගෝඩ්ෆාදර් නොහොත් ඩොන් කොර්ලියෝන් බලවතෙකු බව ඇරඹුමෙහි ම පෙන්වන්නේ ඔවුන් හරහා ය.

පියල් පනාපිටිය මහතාගේ සිංහල පරිවර්තනය

චරිත ගණනාවක් ඔස්සේ සමාජයේ බොහෝ අංශයන් ආවරණය කරමින් මාරියෝ පූසෝ තම අග්‍රගණ්‍යතම කෘතිය රචනා කරයි. කතාවේ ප්‍රධානියා ඩොන් කොර්ලියොන් නම් මාෆියා කල්ලි ප්‍රධානියා ය. ඔහු නිව්යෝක්හි බලය තහවුරු කර සිටියි. ගොඩ්ෆාදර් යන අන්වර්ත නාමයෙන් හඳුන්වන්නේ ඔහු ය. ඈත සිසිලියේ විටෝ කොර්ලියොන් ලෙස ගොවි පවුලක උපන් ඔහු, ජීවිත තර්ජන නිසා ඔහු ඇමෙරිකාව බලා පැමිණ ජීවත් වෙයි. අහඹු නමුත් අනිවාර්ය සිදුවීම් මාලාවකින් පසු ව ඔහු මාෆියා නායකයෙකු ලෙස නැගී සිටියි. රටේ නීතිය නොතකන නමුත් ඔහු අවංක පුද්ගලයෙක් වෙයි. ඔහුට ඔහුගේ ක්‍රමවේදයක් ඇත.

ඔහුට දරුවන් සිව් දෙනෙකි. දියණිය කොනී කොර්ලියෝන් සහ පුතුන් තිදෙනෙකි. වැඩිමල් සන්ටිනෝ, ෆෙඩ්රිකෝ, සහ බාල පුතු මයිකල් ය. මයිකල් පවුලේ සියලු දෙනාගේ විරෝධය මත දෙවන ලෝක යුද්ධය සඳහා ද දායක වූ අතර, පවුලේ සම්ප්‍රදායයන් ඉවත දමා ස්වාධීන ලෙස ජීවත් වූ චරිතයකි. වැඩිමල් සනී දාමරික චරිතයකි, ඉවසීම අල්ප ය. ෆෙඩ්රිකෝ වගකීමක් දැරිය නොහැකි අලස චරිතයකි. දරුවෙකු ලෙස කුඩා කල සිට ඩොන් විසින් හදාවඩා ගත් ටොම් නිතීඥයෙක් වේ. ඔහු දැන් සේවය කරන්නේ කොර්ලියොන් පවුලට ය. කොර්ලියොන් පවුලට සේවය සපයන හිතවතුන් රැසකි. අනෙකුත් මාෆියා පවුල් සඳහා ද එලෙස සේවය සපයන්නන් සිටියි.

දේශපාලකයන්, රාජ්‍ය සේවකයන්, පොලිසිය, ව්‍යාපාරිකයන් ඇතුළු බලවත් සියලු අංශයන් අන්ත දූෂිත සහ විනාශකාරී ලෙස සංවිධානය වී ඇති ආකාරය මෙහි ඉතා හොඳින් රසවත් ව පෙන්වා දෙයි. මාරියෝ පූසෝ 40 දශකයේ එක්සත් ජනපදය කේන්ද්‍ර කරගත් කතාවක් ලෙස ඉදිරිපත් කරන මෙහි සිදුවීම් සමග අද දවසේ ද නොවෙනස් ව පවතින දූෂිත සමාජ සංවිධානයන් පිළිබඳ ව අපට නැවත නැවතත් සිහිපත් කරදෙයි. මහාමාර්ග අබලන් කරමින් අධික බර ප්‍රවාහනය කරමින් ලාබ උපයන අතර ම නැවත මාර්ගය පිළිසකර කිරීමේ කොන්ත්‍රාත්තුව ද තමන්ම අධික මිලකට ලබාගැනීම වැනි පුවත් අපට ඇසිය හැකි සාමාන්‍ය දේ ය. මාරියෝ පූසෝ එවන් සිදුවීම් පිළිබඳ ව ලියා තබන්නේ ලංකාව එවන් මට්ටමින් දූෂිත වීමටත් කලකට පෙර ය.

පොලිස් නිලධාරීන් සේවයට පැමිණෙන විට නීතිය සාධාරණ ව ඉටුකිරීමටත්, අයුක්තිය පිටුදැකීමටත් ඇති සිහින දසත විසිරී ගොස් දූෂිතයන් බවට පත්වන අයුරු කැප්ටන් මාක් මැක්ලස්කිගේ පොලිස් ජීවිතය තුළ කදිමට පෙන්වයි. ආර්ථික ගැටලු හමුවේ නීති විරෝධී ලෙස මුදල් ඉපයීමටත් තමන්ගේ සමීපතයන්ගේ සැප පහසු ජීවිත වෙනුවෙන් දිගින් දිගටම පෙරටත් වඩා දූෂිත ලෙස කටයුතු කිරීමට පහළ මට්ටමේ සිට ඉහළ පොලිස් නිලධාරීන් දක්වා කටයුතු කරන අන්දම මාරියෝ පවසන්නේ අපට ද එදිනෙදා උදාහරණ අපමණක් සිහිගන්වමිනි.

cartoonstock

හොලිවුඩ් සිනමාව ගැන ගොඩ්ෆාදර් තුළ කරන විවේචනය ද ඕපපාතික දෙයක් නොව හොලිවුඩයේ සැබෑ ම නිරුවත හෙළිකිරීමකි. හොලිවුඩ් සිනමාව තුළ සිදුකරනු ලබන ලිංගික සූරාකෑම කිසිදාටත් වඩා අද කතාබහට ලක්වෙයි. තරුණියන්ට චිත්‍රපට සඳහා බඳවාගැනීමට පෙර යහන්ගත වීමට සිදුවීම සහ ක්‍රමයෙන් එය සාමාන්‍යකරණය වීම සැබෑ යථාර්ථය යි. මාරියෝ මේ ගැන සිය තියුණු විවේචනය මෙහි ඉදිරිපත් කර ඇත්තේ එහි නරුම ස්වභාවය මනා ලෙස ඉස්මතු කරමිනි. සමාජය ඉදිරියේ ‘තරු’ ලෙසින් පෙනී සිටින රංගන ශිල්පීන්ගේ ජීවිත තුළ ඇති අර්බුදය ඔවුන් ගෙවන සැප පහසු ජීවිතවලට වඩා විසල් ය. තරුණියන් සමග කෙතරම් යහන්ගත වුවත්, ඉහළ සමාජ පිරිස් ඇසුරු කළත්, කෙතරම් ඉහළ මට්ටමේ ජීවිතයක් ගත කළත් ජීවිතයේ තමන්ට අහිමි වූ දෙයක් නිසා ඔවුන් නිරතුරුව තැවෙමින් ජීවත් වෙයි. ජීවිතය ඇත්තේ මෙහි නොව අන් තැනක බව සිහිපත් වෙයි. එපමණක් නොව සම්මාන ප්‍රදානයන් පවා හැකියාව මත නොව බලය මත තීරණය වන බවත් කියයි.

ඔස්කාර් සම්මානය (3docean)

සමස්ථ සමාජය ම දූෂිත ය. අවංක මිනිසුන් ද අකමැත්තෙන් හෝ ක්‍රම ක්‍රමයෙන් දූෂිත දම්වැලේ පුරුකක් බවට පත් වේ. පවුලේ සම්ප්‍රදායන්ට පිටුපා ජීවත් වූ මයිකල් ක්‍රම ක්‍රමයෙන් මාෆියා ලෝකයේ පියගැට පෙළ තරණය කිරීම ඊට හොඳම උදාහරණය යි. මෙම මාෆියා ලෝකය මනාව අවබෝධ කරගැනීම පමණක් නොව, විධිමත් ලෙස සංවිධානය වීම ද ඉහළට ගමන් කිරීමට අත්‍යවශ්‍ය වෙයි. ඩොන් කොර්ලියෝන් එය අවබෝධ කළ අයෙකි, ඊට අනුව සංවිධානය වූවෙකි. තම සංවිධාන සගයන් සතුරෙකු විසින් දිනාගන්නේ නම් එය තමන්ගේ අවසානය ද විය හැකි ය. එම නිසා දේශපාලන, ව්‍යපාරික, රාජ්‍ය, සිවිල් ආදී සියලු අංශයන් තුළ තමන්ව ජාලගත කරගැනීම අත්‍යවශ්‍ය වේ. මෙය දූෂිත වළල්ලකි. සියලු දෙනා එකිනෙකා ආරක්ෂා කරයි. පිරිසක් සේවා සපයයි, තවත් පිරිසක් මුදල් ඇතුළු භෞතික දේ සපයයි. පොලිසිය මුදල් ලබාගෙන තමන්ට පැවරී ඇති නිල බලයෙන් අවශ්‍ය සේවය ඉටුකර දෙයි. අධිකරණය ද එසේ ය. මෙසේ එකිනෙකා තෘප්තිමත් කිරීම ජාලය ආරක්ෂා කිරීම හේතු වේ. නැතහොත් අතෘප්තිමත් පුද්ගලයන් වෙනත් ජාලයකට එක්වෙයි. නැතහොත් අනෙකෙක් අතින් විනාශයට පත්වෙයි. අවසානයේ සියලු දෙනා එක්ව මෙම දූෂිත වළල්ල තුළ තමන්ගේ පැවැත්ම තහවුරු කරගනියි.

මෙම මාෆියා කණ්ඩායම්වල ඉදිරි පැවැත්ම පවුල මත රඳා පවතියි. පියාගෙන් පුතුට දේපළ මෙන්ම සංවිධානය ද හිමි වේ. ඒ සඳහා සුදුසු වයස එළඹෙන තෙක් සිටිය යුතු ය. වරක් ඩොන් විසින් සන්ටිනෝ හට දැඩි ලෙස අවවාද කරමින් පවසන්නේ පවුලේ අයෙකුගේ මතයකට එරෙහිව කිසිවක් පිටස්තරයන් ඉදිරියේ නොපවසන ලෙස යි. පවුලට සෑමවිට ම පක්ෂපාතී වෙමින් පවුලේ ආරක්ෂාව තහවුරු කරමින් පවුලේ අනාගතය සාර්ථක කිරීම මෙම මාෆියා පවුල් සියල්ලකගේ ම ප්‍රමුඛ අභිලාශය යි. ඔවුන්ගේ දරුවන් මුණුබුරන් උසස් ම සරසවිවල අධ්‍යාපනය ද හදාරයි.

මාරියෝ පූසෝ විසින් සමාජය වෙලාගත් මෙම දූෂිත යාන්ත්‍රණය හෙළිකිරීම ඉතා රසවත්ව මෙන්ම මනා සංයමයකින් සිදුකරයි. සිදුවීම් පිළිවෙලින් ඉදිරිපත් කරන අතර ම එක් එක් පුද්ගලයාගේ අතීත කතාව ද වියවුලකින් තොරව ගෙන එයි. කුතුහලය, ත්‍රාසය මෙන්ම කෘතිය තුළ කලාත්මක ලෙසින් සාහිත්‍ය භාවිතා කර තිබීම හරහා ද ඔහු ගෝඩ්ෆාදර් කතා පුවත රසවත් ලෙසින් පාඨකයා වෙතට පරාවර්තනය කරයි.

මාරියෝ පූසෝ, ෆ්‍රැන්සිස් ෆෝඩ් කොපෝලා සමග එක්ව ලියූ තිර රචනය අනුව 1972 දී නිර්මාණය කරන ලද ගොඩ්ෆාදර් සිනමා නිර්මාණය ද ඉතාමත් ජනප්‍රිය විය. එය ෆ්‍රැන්සිස් ෆෝඩ් කොපෝලාගේ ම අධ්‍යක්ෂණයකි. හොඳම චිත්‍රපටය ලෙස ඔස්කාර් සම්මානය හිමිකර ගැනීමට එය සමත් වූ අතර, තිර රචනය වෙනුවෙන් මාරියෝ පූසෝ සහ ෆ්‍රැන්සිස් කොපෝලා ද ඔස්කාර් සම්මාන ලබාගැනීමට සමත් විය.

ගෝඩ්ෆාදර්හි ඩොන් කෝලියොන් චරිතයට පණ පොවන මාලන් බ්‍රැන්ඩෝ (imdb)
මාරියෝ සහ කපෝලා (getty image)
මයිකල්ගේ චරිතයට පණ පොවන අල් පසිනෝ (imdb)

එපමණක් නොව, හොඳම නළුවා ලෙස මාලන් බ්‍රැන්ඩෝට ද සම්මානය හිමි වූ නමුත් සිනමාව තුළ ස්වදේශික ජනතාවට කරනු ලබන පහත් සැලකීමට විරෝධය දක්වමින් සම්මාන උළෙලට සහභාගී නොවී සචීන් ලිට්ල්ෆෙදර් ස්වදේශීය රංගන ශිල්පිනිය මගින් පණිවිඩයක් එවමින් තමන්ට මෙම සම්මානය ලබාගත නොහැකි බව දන්වා සිටින ලදි.

සචීන් විසින් මාලන් බ්‍රැන්ඩෝගේ ප්‍රකාශය ඔස්කාර් සම්මාන සභාවට ඉදිරිපත් කරමින් (imdb)

කවරයේ පින්තූරය: sabotagetimes

මූලාශ්‍රයයන්:

theguardian.com

mariopuzo.com

 

Related Articles