Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ස්විස් ට්‍රැෆික් පොලිස් දඩ

ස්විට්සර්ලන්තය වගේ දියුනු රටක් එක්ක අපේ රට සරලව සංසන්දනය කරන්න නම් බැහැ. නමුත් අපිට ඒ තියෙන ඇතැම් ක්‍රමවේදයන් ලෙහෙසියන්ම පාවිච්චියට ගන්නට හැකියාවක් තිබෙනවා. රටක් දියුනුයි කියන එකේ අර්ථය ඒ රටේ මිනිස්සුන්ට ගොඩාක් සල්ලි තිබීමවත්, එයාලට ගොඩාක් වියදම් කරන්න පුලුවන් වීමවත්, එයාලට ගොඩක් හොදම දේවල් විතරක්ම තියනවා කියන එකත් නෙමෙයි. දියුනු රටවල් ඒ තත්වයට පත්වෙලා තිබෙන්නේත්, ඒ දියුනුව පවත්වාගෙන යන්නේත් යහපත් ක්‍රමවේදයන් මගින්.

අපි දන්න කියන කාලේ සිට සමාජයේ අය කතාවෙන්නේ ලංකාවේ රියදුරු බලපත් නිකුත් කරන තැන දූෂිතයි කියලා. අද ඊයෙ වගේම එදා පත්තර වලත් නිතරම ඒ ගැන වාර්ථා පලවෙනවා. නමුත් හැමදාම ඒක දූෂිතයි කියන එක දැන් ඉතාම සාමාන්‍ය දෙයක් වෙලා. රියදුරු බලපත් නිකුත් කරන තැන දූෂිත නම්. දඩ මුදල කීයක් කලත් අවසාන ප්‍රථිපලය ගැන අපිට විශ්වාසයක් තබන්නට පුලුවන් කමක් තියේවිද?

අපේ රටේ ට්‍රැෆික් පොලිස්. (onlinejaffna.com)

පාරවල් සහ වේග සීමාවන්

ස්විට්සර්ලන්තයේ මාර්ග වර්ග බැලුවහම කිහිපයක් තිබෙනවා- මෝටර් වේ, හයිවේ, රූරල් රෝඩ්ස්, රෙසිඩෙන්ශල් ස්ට්‍රීට්ස් ,රෙසිඩෙන්ශල් රෝඩ්ස් ඒවා කිහිපයක්.

එම සීමාවට ඇතුලත් වෙනකොට පාරෙ සදහන් කරල තියනවා එහි යාමට හැකි උපරිම වේගය. ඊට වඩා මදක් හෝ වැඩි වේගයකින් ගියොත් බොහෝවිට දඩ විදින්නට වෙනවා.

හැංගි හොරා පොලිසිය එහෙ නැද්ද?

ස්විස් මාර්ගයක්

හන්දි ගානේ, පදුරු වලට මුවා වෙලා, ලයිට් කනු වලට කවර් වෙලා ඉන්න රථවාහන පොලිස් මහත්වරු ස්විට්සර්ලන්තයේ දකින්නට නැහැ. බොහෝ වෙලාවට පාරෙ පේන තැනක පොලිසිය හිටං ඉන්නේ  නැති තරම්. මුර සංචාර යන යන පොලිස් කාර් නිතර එහෙ මෙහෙ යන ස්වභාවයක් නම් තියෙනවා.

එතකොට අල්ලන්නේ කොහොමද?

ස්විට්සර්ලන්තය වගේ රටක මෙහෙ වගේ අඩු එන්ජින් ධාරිතාවයන්ට වඩා ප්‍රමුඛතාවයක් දෙන බදු ක්‍රම, ත්‍රි රෝද රිය, කොටන බස්, දවල් වෙලාවේ හෙමින් ඇදෙන ටිපර් ලොරි ආදිය අඩුයි. ඒ නිසා එහේදි හොද මට්ටමේ රථවාහන පෝලිමට එක පස එක වශයෙන් යන්නේ කවුරුහරි එහෙම ප්‍රෝගැම් කරලා වගේ. වාහන හැම එකම එකම වේගයක් මත යන නිසා එකිනෙකාට ඉස්සර කරගෙන යන්න උවමනාවක් ලොකුවට එන්නේත් නෑ.

වේග සීමාවට වඩා වේගයෙන් ධාවනය, ඉරි කපා මාර්ගයෙන් ඉවත ධාවනය, වැරදි ලෙස ඉස්සර කරමින් අනාරක්ෂිත ලෙස ධාවනය ආදි බොහෝ දේ හදුනාගන්න පුලුවන් යන්ත්‍ර කැමරා පද්ධති සමගම මාර්ගය අසබඩ තිබෙනවා. ඒවායෙන් ඇතැම් යන්ත්‍ර  තැන තැන රැගෙන යන්නත් පුලුවනි. ඉන් පසු ඒවාගේ  දත්ත මාර්ගයෙන් තමයි දඩ නිකුත් වීම සිදු වන්නේ. මෙහෙ වගේ පොලිස් මාමලා ලගට ගිහින් කුටු කුටු ගාල දඩය ගොඩින් බේරගන්න නම් බැහැ.

මාර්ග සංඥා

ස්විට්සර්ලන්තයේ කරපු වැරද්ද සහ දඩේ පද්ධතියෙන්ම ගණනය කරලා දඩ කොලේ ගෙදරට යනවා. ඊට අමතරව දැන් හිතමු අපි 20ට යන්න තියෙන පාරක 50ට වගේ යන මෙහෙ ඇමති පුතෙක් වගේ බලගතු අයෙක් ඉන්නවා කියලා, එහෙම තැනකදි වහාම ඒ ගැන ලඟම පොලිස් ස්ථානයට දැනුම් දෙන්නත් මේ පාර අයිනේ තියෙන ට්‍රැෆික් යන්ත්‍ර සමත්.

එහෙම මේ වගේ ගොඩක්ම දරුනු  ක්‍රියා වලදි සාමාන්‍ය දඩයට වඩා දඩ මුදල් වැඩියි ඒ වගේම පොලිසිය ඒ වාහනය නවත්තගන්න යොදන අමතර මහන්සියටත් ලොකු බිලක් රියදුරා ගෙවන්න වෙනවා. කාර් එක ඇදගෙන යන්න උනොත් පොලිසියෙන් හරි ලස්සනට ඇදං හෝ පටවං යනවා. ඒත් බිල නම් වාහන හිමිකරු ගෙවන්න ඕනිමයි.

පාකින් සහ මාර්ග සංඥා

මංසන්දියක මාර්ග සංඥා

පාක් වල වෙනම ටිකට් කනු තිබෙනවා. ඒවායෙන් පාකින් ටිකට් එක පාක් කරන ස්ථානය සදහන් කරලා අපි මුදල් දීලා ගන්න ඕනි. ටිකට් නොගෙන ඉන්නත් පුලුවන් ඇති ඒත් හැමදාම බෑ. ටිකට් ගන්නවාද නැද්ද බලන්න ඉදලා හිටලා නගර සභා වල මහත්වරු ඇවිත් සෝදිසි  කරලා යනවා.

සෑම තැනකම පැහැදිලිව මාර්ග සංඥා සලකුනු කොට තිබෙනවා. ස්විට්සර්ලන්ත මාර්ග වලදී නලාව නාද කිරීම ඉතාම අඩුවෙන් සිදුවන දෙයක් වන අතර කලර් ලයිට් ඇති තැනෙක සංඥාව නිකුත් කර තිබියදීත් ගමන් නොකර මනෝ ලෝකයක සිටින අයෙක් වැනි අයෙක් අවධි කරගැනීමට පමණක් මදක් හෝන් එක නාද කරනවා. ඒ වුනත් තමුන්ට හෝන් එකක් වැදීම ස්විස් ජනයා සලකන්නේ තමුන්ට වුනු ලැජ්ජාවක් විදියට.

පාර මාරුවන ඉරි අසල යමෙක් පාර මාරුවන්න බලාගෙන සිටිනවා නම් රථවාහන නවතා ඉඩදෙනවා. ලංකාවෙදි වගේ කහ ඉර මත පාර මාරුවෙද්දි කණගාවින් ත්‍රීවිල්, බයික් එහෙම ගමන් කරන ත්‍රාසජනක අත්දැකීමක් ස්විට්සර්ලන්තයේ අයට ගන්න බොහෝම අමාරුයි.

හයි ස්පීඩ් දඩ

පාකින් වලදී ටිකට් නිකුත් කරන මැෂිම

පැ.කිමි  30, 50, 60, 80 සෝන් වල වේග සීමාවට වඩා වැඩියෙන් ධාවනය වන වේගය අනුව.

1 සිට 5 වෙනකන් CHF 40 (LKR 5,857.02)

6 සිට 10 වෙනකන් CHF 120 (LKR 17,571.05)

11 සිට 15 වෙනකන් CHF 250 (LKR 36,606.35)

16 සිට 17 වෙනකන් CHF  400  ( LKR 58,570.17)

18 සිට 19 වෙනකන් CHF 600 (LKR 87,855.25)

ආදී ලෙස දඩ නිකුත් වෙනවා.

අනුමත වේගයට වඩා 20 වැඩිය රථය ධාවනය කලොත් නඩු, දඩ සහ හිරේ.

උදාහරණ:

හිතන්න ඔබ යන මාර්ගයේ වේග සීමාව 30යි කියල ඔබ 37 ට පදිනවා. ඒ කියන්නෙ හයි ස්පීඩ්. දක්වා තියන වේග සීමාවට වඩා 7ක් වැඩියෙන්. එතකොට උඩ තියන වගුව අනුව දඩේ ස්විස් ෆ්‍රෑන්ක්  120 (LKR 17,571.05).

ඔබේ ආදායම තත්වය මත ඔබේ දඩමුදල වැඩිවෙන්නත් ස්විට්සර්ලන්තයේදී හැකියාවක් තියෙනවා. එම වරද විශාල නම්  ලයිසන් එක සතියකට, මාසෙකට, මාසතුනකට හෝ අවුරුද්දකට හෝ සදාකාලිකව කෑන්සල් විය හැකි  සහ හිරේ යන්නටදද සිදුවිය හැකි දෙයක්.

ඔබ නැවත නැවතත් එකම වරද කරොත් ඔබ විදේශිකයෙක් නම් ඔබව රටින් පිටුවහල් කරන අතර ස්විස් ජාතිකයෙක්  නම් හිරේ දාල මානසික ප්‍රතිකාර සදහා යොමු කරවනව.( ඒ කියන්නේ එහේ ඩ්‍රයිවර්ලට අංගොඩ මුල්ලේරියා යන්නත්  පුලුවන්.)

බීමතින් ගියොත්

රුධිරයේ ඇල්කොහොල් ප්‍රමාණය මිලිග්‍රෑම් 80ට අඩුනම් ෆ්‍රෑන්ක් 500-2500 දඩයක් නියම වන අතර මිලිග්‍රෑම් 80ට වැඩි අවස්ථාව දඩයක් සමග සිරදඩුවමක්ද හිමිවන අවස්ථාවක් සහ ඔහුගේ නම අපරාධකරුවන්ගේ ලැයිස්තුවටද ඇතුලත් වෙනවා. රියදුරු බලපත එවන් සෑමවිටම පාහේ අහෝසියි.

සුළු වැරදි

බයිසිකල් පථයක්

  • ජංගම දුරකථන භාවිත කරමින් රිය පැදවීම.
  • සෘතුවට ගැලපෙන ටයර නොමැතිව ධාවනය (ස්විස් රට සෘතු භේදය තිබෙන රටක් නිසා ශ්‍රීත කාලයට වෙනම ටයර් තිබෙනවා).
  • කුඩා ලමයි වාහනයේ ඉදිරි අසුනේ හෝ කුඩා ලමුන්ට නියමිත ආසනයක් රහිතව රැගෙනයෑම.
  • ආසන පටි නොපැලදීම.
  • හෙල්මට් නොපැලඳීම.

මෙවන් වැරදි ස්විට්සර්ලන්තයේ කලත් වැරදිම තමයි. ඒත් ඒවා වෙන්නේ ඉතාම කලාතුරකින්.මොකද එහෙ මිනිස්සු දැනුවත්ව වැරදි කරන්නේ අඩුවෙන්. ඔවුන් වැරැද්දක් කියල දැනගත්තාම ඒක නොකර ඉන්න තරම් ඉහල සංයමයකින් ඉන්න පෙළඹිලා ඉන්නවා.

ලංකාවෙ  නම් ආදරේ වැඩිකමට ඉස්සරහ සීට් එකේ, ඩෑස් බෝඩ් එකේ විතරක් නෙමෙයි රියදුරු ඔඩොක්කුවෙත් ලමයි දාගෙන යන එක, ඇතැම් අය දරුවගේ හුරතලේ. තාත්තගේ ආදරේ. කියලත් හදුන්වන්න පෙළඹිලා තිබෙනවා.

ලංකාවේදි මෝටර් සයිකල් අනතුරු වලින් ඔලු පොඩිපට්ටම් වෙලා ගියත් හෙල්මට් එක පළදින්නේ පොලිසියට පේන්න. ගම්බද පලාත්වල නම් හෙල්මට් එක අතින් අරන් ගිහින් දාගන්නේ මහ පාරේ පොලිස් අය ඉදියි කියල හිතන සීමාවන් වලදි.

දඩ නම් පොඩියිද මන්දා මේ රටේ  

ස්විට්සර්ලන්තයේ  වැඩියෙන් කරන වැරදි විදියට බොහෝවිට වාර්ථා වන්නේ වේග සීමාවට වඩා ධාවනය සහ වැරදි තැන් හී පාක් කිරීම වැනි දේවල්. අනෙක් බොහෝ රථවාහන වැරදි  වලට ස්විස් ෆ්‍රෑන්ක් 100 සිට 400 දක්වා දඩ නියම වෙනවා. ස්විස් රටේ ෆ්‍රෑන්ක් 100ක්(රු 14,600)  කියන්නේ සාමාන්‍ය අවම වැටුපක් ගන්න අයකුගේ වැටුපෙන් 3%ක්. මුදල් සංසන්දනය තරමක් සංකීර්ණයි. ඒත් ෆ්‍රෑන්ක් 100කින් සුරිච් ඉදන් ජර්මනියේ බර්ලින් වලට ගුවන් ටිකට්පතක් උනත් ගන්න පුලුවනි ස්විට්සර්ලන්තයේදී.

ලංකාවේ රථවාහන වැරදි වලට දඩ වැඩිකිරීමත් එක්ක එක් එක් පාර්ශව එකිනෙකාට ඇගිල්ල දික් කරන්නට පටන් ගත්තා. මාර්ග විනය අඩුවීම නිසා වසරකට විශාල මිනිස් ජිවිත ප්‍රමාණයක් නැති වෙනවා, ඒ වගේම මාර්ග තදබදය වැඩිවෙනවා. අනතුරු වලින් ජීවිත දේපල හානි වීම වලක්වාගන්න අපි නීතිය ක්‍රියාත්මක කරනවා. රජය දඩත් ඒ නිසා වැඩි කරනවා.

මහජනයා සහ රියදුරන් නම් කියන්නේ අපේ පාරවල් සීමිතයි, පාරවල් දියුනු නැහැ. නිසි ලෙස සංඥා නැහැ. පොලිසියට ආන්ඩුවට ඕනි තව ආදායම වැඩිකරගන්න. පොලිසිය හැංගිල ඉදලා සමාගමක ටාගට් කවර් කරන්න වගේ මිනිස්සුන්ට දඩ ගහන්නම බලනවා.ලොකු වාහන අල්ලන්නෑ. පොඩි  ඒව තමයි අල්ලන්නේ. දඩ හොදටම වැඩියි- වගේ කතා.

දිවා කාලයේදීද වාහන වල ලයිට් ස්විස් වලදි සාමාන්‍යයයි.

අප පද්ධතියක් විදියට කල්පනා කලොත් දැන් බැංකුවට සල්ලි දාන එකත් යන්ත්‍ර ආශ්‍රයෙන් කරන කාලේ අපේ දඩ කොලේ තාම අරන් යන්නේ කන්තෝරුවට. වේග සීමා යන්ත්‍ර වල අඩුම තරමේ රිසිට් එකක් වත් නිකුත් වෙනේනේ නෑ. අධිවේගී මාර්ග වලවත් වේගය මනින්න නිසි ක්‍රමවේදයක් නෑ. රියදුරන් ගැන ගතහොත්, ඇත්තටම ඔබට ලංකාවේ රියදුරන් ගැන සෑහිමකට පත් වන්නට පුළුවන්ද? ඔවුන් විනය ගරුකයිද? මාර්ග පටු නිසා නිතර තදබද ඇතිවෙනවා. තදබදය මදක් දුරුවෙනකල් ඉන්නේ නැතිව හැමෝම අස්සෙන් රිංගන්න ගියාම තද බද තවත් වැඩිවෙනවා.

බටහිර රටවල විදේශිය සංචාරකයින් නම් ලංකාවේදී රියදුරු කාර්යය දකින්නේ අති දුෂ්කර වගේම දරුණු දෙයක් විදියට. අපිට බැහැ සංවර්ධිත රටක පද්ධති එක්ක මෙහෙ දේවල් කෙලින්ම සසදන්න. එහෙත් ඔවුන්ගෙන් අපිට ඉගෙනගන්න දේවල් තිබෙනවා. ඒවා අරගෙන යම්තාක් මට්ටමකට හෝ අපේ මාර්ග විනය දියුනු කරගන්න පුලුවන් නම්.ඒක රටේ  මනුෂ්‍ය ජීවිත ආරක්ෂා වෙන්න වගේම, නිතර පාර තොට් යන එන අපි හැමෝගෙම මනසට සහනයක් ගෙන දෙන්නට සමත් වේවි.

ඡායාරූප සහ විස්තර සැපයීම පිළිබදව  අසංක ද සොයිසා ට ස්තූතිය.

Related Articles