Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

යුධබිමේ නිපදවී අපේ ජීවිතයට ලං වූ තාක්ෂණික යෙදීම්

යුද්ධය යනු ජීවිත වනසන රුදුරු ම්ලේච්ඡ සංසිද්ධියකි. එහෙත් යුධමය වාතාවරණය නව නිපැයුම් වලට  කෙම්බිමකි. විශාල යුද්ධවල දී පාර්ශවයක් අත තිබෙන අවි ආයුධ හෝ තාක්ෂණික ක්‍රමවේදයන් සෑම විටම එම යුද පසුබිම් වලට ගැලපෙන්නේ නැත. තම පාර්ශවයේ ඇති අවි ආයුධ සහ තාක්ෂණයන්ට එරෙහිව වඩාත් ඔරොත්තු දෙන තාක්ෂණික උපාංග නිතැතින්ම සතුරා විසින් නිපදවනු ලබයි. තමා ද අලුත් නිමැවුම් සහ තාක්ෂණික ක්‍රමවේදයන් කෙරෙහි ඉක්මනින්ම යොමු නොවුනහොත් සිදුවන්නේ සතුරාට යටත් වීමට ය. ලෝක මහා සංග්‍රාම දෙක මගින් ද, ඉන් පසුකාලීනව ද යුද්ධ කටයුතු මගින් ලොවට මහත් අගතියක් සිදු වුවත්, ඒ ඔස්සේ වැඩිදියුණු කරගත් තාක්ෂණික අංගයන් ලෝ වැසියන්ගේ එදිනෙදා ජීවිතයට මහත් රුකුලක් වී තිබේ. පහත සඳහන් වන්නේ අප එදිනෙදා කටයුතු සඳහා ද යොදාගන්නා එවැනි යුධ තාක්‍ෂණික යෙදීම් කීපයකි.

රේඩාර් තාක්ෂණය

රේඩාර් මගින් අවට ඇති අනතුරු හඳුනාගැනීමේ තාක්ෂණය 1935 දී පමණ බ්‍රිතාන්‍ය හමුදාව භාවිතා කළ තාක්ෂණයකි. එමඟින් දෙවන ලෝක යුද්ධයේ දී සතුරු අහස් යානා හඳුනාගන්නට මග පෑදුනි. ජපනුන් ලංකාවට පහරදෙන්නට යෙදුනු 1942 වර්ෂය වන විට ලංකාවේ ද රේඩාර් ස්ථාපනය කර තිබූ මුත්, එවකට රේඩාර් පද්ධති වල තාක්ෂණික හැකියාව අඩු වූ නිසාවෙන්දෝ හෝ ප්‍රහාරයට පෙර ජපනුන්ට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ලංකාවේ සිටි බ්‍රිතාන්‍ය හමුදාවන්ට නොහැකි විය. යුද්ධයෙන් පසු මෙම තාක්ෂණය නාවුක සහ ගුවන්යානා හඳුනාගන්නට බහුලව භාවිතා කෙරේ. ඊට අමතරව කාලගුණ විද්‍යාත්මක දත්ත ලබාගැනීමට ද රේඩාර් යොදා ගනී.

දෙවන ලෝක යුධ කාලයේ බඳවාගැනීමේ දැන්වීමක්. (deviantart.com)

අන්තර්ජාලය

ඔබ මේ ලිපිය කියවන අන්තර්ජාලය 1960 දී ඇමරිකාවේ හමුදාමය කාර්යයන් සදහා යොදාගත් ආපනෙට් (Arpanet)  නැමැති ජාලයෙන් වැඩිදියුණු වී මෙතැනට පැමිණි එකකි. එහි දී, ආයතනයක් තුළ වූ පරිගණක අතර සන්නිවේදනය කිරීම අරමුණ වූ අතර කාලයත් සමඟ හමුදාමය ජාලය තුල ද, පසුව ඉන් පිටත ද ලෙස වඩ වඩාත් දියුණු වී, අප අද භාවිතා කරන තත්ත්වයට අන්තර්ජාලය පැමිණ තිබේ.

අභ්‍යාවකාශ තරණය

සීතල යුද්ධයේ එක් අතුරුඵලයක් ලෙස 1969 දී මිනිසා පෘථිවියෙන් පිටව සඳ තරණයට යොමුවුණි. මුලින්ම අභ්‍යාවකාශයට ගිය ස්පුට්නික් අභ්‍යවකාශගත කළේ රුසියානුවන් ය. මුලින්ම හඳට ගියේ ඇමරිකානුවන් වන නමුදු මුලින්ම අභ්‍යාවකාශයට ගිය පුද්ගලයා ද රුසියානු ජාතික යූරි ගගාරින් ය. ඒ සෑම අවස්ථාවකම අභ්‍යාවකාශය වෙතට එළැඹීමට යොදාගත්තේ රොකට් යානා වේ. රොකට් යානා මූලිකවම යුධමය තාක්ෂණයකි.

අසල්වැසි ඉන්දියාවේ ද “රොකට් මිනිහා” ලෙස විරුදාවලි ලත් හිටපු ජනපති අබ්දුල් කලාම් මුල්කාලයේ එරට ආරක්ෂක පර්යේෂණ සහ වැඩිදියුණු කිරීමේ අංශවල සේවයේ නිරත වූ ඉංජිනේරුවරයෙක් විය.

අභ්‍යාවකාශයට ගිය ප්‍රථමයා යූරි ගගාරින්. (dribbble.com)

පරමාණුක තාක්ෂණය

යම් පිපිරීමක් හෝ කාන්දුවක් සිදුවීමෙන් විශාල හානියක් වීමේ අනතුර අමතක කළහොත් ලොව ඇති පරිසර හිතකාමීම බලකශක්ති ප්‍රභවයක් ලෙස පරමාණුක බලශක්තිය දැක්විය හැකි ය. අද වන විට ලෝකයේ දියුණු රටවලට බලශක්තිය සපයමින් න්‍යෂ්ටික බලාගාර සීරුවෙන් ක්‍රියාත්මක වේ. මුලින්ම යුද්ධයක දී පරමාණුක බලය අත්හදා බැලුනේ දෙවන ලෝක යුද්ධයේ අවසානය සනිටුහන් කළ හිරෝශිමා සහ නාගසාකි වලදී ය.

GPS තාක්ෂණය

ඕනෑම ස්මාට්ෆෝනයකින්ම යම් ස්ථානයක් සොයාගැනීමේ පහසුව රැගෙන GPS තාක්ෂණය අද අප අත උඩට පැමිණ තිබේ. එම තාක්ෂණය ඇමරිකානු හමුදා පරියේෂණායතන මගින් 1970 දශකයේ දී පර්යේෂණ සිදුකොට සොයාගන්නා ලද මූලික තාක්ෂණයේ දියුණු කිරීමක් වේ. ඉලක්කයකට මිසයිල යැවීමට, සබ්මැරීන වලට ස්ථාන සොයාගැනීමට මුල්කාලයේ දී GPS තාක්ෂණය යොදාගන්නා ලදී.

ස්ථාන සොයාගැනීමට හමුදාවට උපකාරීවන GPS තාක්ෂණය. (harris.com)

ටෙලිග්‍රාෆ් තාක්ෂණය

වයර් හරහා විදුලිමය සංඥාවක් තැනකින් තැනකට යැවීමෙන් පණිවුඩ හුවමාරු කළ ටෙලිග්‍රාෆ්, ටෙලිෆෝනයට පෙර සිට වැඩි දියුණු වූ මූලික තාක්ෂණයකි. ටෙලිග්‍රාෆ් ලංකාවට පැමිණියේ  1856 තරම් ඈත අතීතයේ දී ය.  එය බිහිකිරීමට සැමුවෙල් මෝස් විසින් විශාල දායකත්වයක් සපයන ලදී. පළමු වරට මහාපරිමාණයෙන් ටෙලිග්‍රාෆ් භාවිතා කළේ ඇමරිකානු සිවිල් යුද්ධයේ දී ය. එහි දී කිලෝමීටර 24,000කට වඩා දිගැති ටෙලිග්‍රාෆ් කේබල් ජාලයක් ඇමරිකානු නැගෙනහිර වෙරළ තීරය දිගේ එලා ඇත.

පෙනිසිලින්

ප්‍රතිජීවක ඔසු සොයාගැනීම වෛද්‍ය ක්ෂේත්‍රයේ සිදු වූ මහා පෙරළියකි. අද වෛරස ආසාදන වලින් රෝගී වූවාට වැඩි මිනිසුන් ප්‍රමාණයක්, පෙනිසිලින් වැනි ප්‍රතිජීවක සොයාගැනීමට ප්‍රථමයෙන් බැක්ටීරියා ආසාදන හේතුවෙන් දැඩි අපහසුතාවයන්ට පත්විය. පෙනිසිලින් වලින් බැක්ටීරියා මර්ධනය කළ හැකි බැව් ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් විසින් 1869 දී සොයාගන්නට යෙදුන නමුදු, එය ඖෂධයක් ලෙස භාවිතය පැමිණීයේ 1939 දී ය. එසමයේ පෙනිසිලින් දෙවන ලෝ යුධයෙන් තුවාල ලබන සෙබලුනගේ තුවාල අසාදනයනට ප්‍රතිකාර පිණිස ලබාදෙන ලදි.

ගුවන්යානා

බ්‍රිතාන්‍යයින් ලංකාව යටත් කරගන්නට පැමිණියේ නැව් මගිනි. එහෙත් ඔවුන් අප රටින් පිටව යන අවස්ථාව වන විට ගුවනින් තැනකින් තැනකට යා හැකි මට්ටමට ගුවන් යානා තාක්ෂණය දියුණු වී තිබුණි. ප්‍රමාණයෙන් හා බරින් වැඩි බෝම්බ අහසින් යුධබිම් වෙතට ගෙනගොස් හෙළීමට විශාල බරක් දැරිය හැකි ගුවන් යානා උවමනා විය. සැපයුම් රහිතව විශාල දුරක් පියාසර කරන යානා ද යුද්ධයේම අතුරුඵලයක් ලෙස නිපදවුනි. දෙවන ලෝ යුද්ධ කාලසීමාවේ දී ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය ගුවන්සේවා වල දියුණුව පසුකාලීනව මගී ගුවන් සේවාවන් කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇතිකරනු ලැබීය.

දෙවන ලෝක යුද්ධයේදී ලංකාවේ පුහුනු සැසියක් (wikimedia.org)

පරිගණක තාක්ෂණය

පරිගණක යනු කේත දස දහස් ගණනක එකතුවකි. කේත ආශ්‍රයෙන් පණිවුඩ යැවීම දෙවන ලෝ යුද සමයේ දී දියුණු වූ ක්‍රමවේදයකි. යුධ බිම් වල දී යැවෙන පණිවුඩ සතුරාට හදුනාගත නොහැකි ලෙස කේතනය කර යැවිය යුතුය. ඒ සදහා කේතනය කිරීම සහ විකේතනය කිරීමට වැදගත් වන එනිග්මා නැමැති යන්ත්‍රය එසමයේ ජර්මානු පාර්ශවය විසින් භාවිතා කරන ලදී. මහා බ්‍රිතාන්‍යයේ ඇලන් ටියුරින් විසින් සොයාගන්නට යෙදුන මූලික පරිගණක යන්ත්‍රයෙන් එනිග්මා හි කේත කියවීමට හැකි විය. ඒ හරහා දෙවන ලෝක යුද්ධයේ කාලය වසර දෙකකින් අඩුවීයැ යි විද්‍යාඥයෝ මත පල කොට තිබේ. කේතනය සහ විකේතනය ආශ්‍රිත ක්‍රිප්ටොග්‍රැෆි සහ පරිගණක විද්‍යාවට අදාල බොහෝ දේ සොයාගන්නට යුද්ධමය පසුබිම හේතු විය.

ටින් කළ ආහාර

ටින් වල බහා ආහාර කල්තබාගැනීම ප්‍රංශ අධිරාජ නැපෝලියන්ගේ කාලය තෙක් දිවයන ඉතිහාසයක් ඇති සංකල්පයකි. ඇමරිකානු සිවිල් යුද්ධයේ දී ද, පළමු සහ දෙවන ලෝක යුද්ධයේදී ද සෙබලුන්ට දිවි රැකගැනීමට ටින් කෑම බොහෝ උපකාරී විය. දෙවන ලෝක යුද්ධයේ දී සාමාන්‍ය වැසියන්ගේ ආහාර සැපයුම් ද යුද තත්ත්වය හේතුවෙන් අඩාල විය. එවිට කෑන්වල, ටින් වල බහා එවන ආහාර සලාක ක්‍රමයට සාමාන්‍ය ජනතාවට ලබාදීම සිදුවිය. අද කාලයේ ටින් කෑම ඒ යුධ බිම් වලින් පිටව විත් අපගේ සුපිරි වෙළදසැල් රාක්කයට ද පැමිණ තිබේ.

නයිලෝන් සහ කෘතිම රබර්

පට පනුවාගේ නූල් ඇසුරින් රෙදි විවීම හෝ මහත්මා ගාන්ධි කපු රෙදි නිපදවූ අත්යන්ත්‍ර ක්‍රමයට රෙදි විවීම යුද්ධයක් වැනි දැවැන්ත උවමනාවකට ප්‍රමාණවත් නොවේ. සෙබලුන්ට සහ සාමාන්‍ය ජනයාට එතෙක් ලොව වටා තිබුණු සැපයුම් ජාල යුද්ධය හේතුවෙන් අඩාල වීමෙන් පැරණි ක්‍රමයට ඒවා සපයාගැනීමටද අපහසු විය. නයිලෝන් සහ කෘතිම රෙදි දියුණුවීමත් සමගම සෙබලුන්ගේ බඩුබාහිර ආදිය නිපදවීමට කෘතිම ක්‍රම කරලියට පැමිනුනි. දෙවන ලෝක යුද කාලයේ කෘතිම රබර්, නයිලෝන්, ප්ලාස්ටික් ආදී නිශ්පාදන වේගයෙන් යුධ බිමේ මෙන්ම සාමාන්‍ය ජනයාගේ ද අවශ්‍යතාවයන් සැපිරීමට භාවිතා වන්නට විය. ඒ හේතුවෙන් එම ක්ෂේත්‍රවල සැලකිය යුතු දියුණුවක් ඇති විය.

යුද්ධය පිණිස රබර් වල වැදගත්කම පෙන්වන පැරනි දැන්වීමක් (wikimedia commons)

වාහන තාක්ෂණය

ඉබ්බා හැඩයේ පැරණි ෆොක්සගන් රථය ජර්මානුවන් විසින් නිර්මාණය කරන ලද්දක් බව නොරහසකි. ලෝක යුද්ධය හේතුවෙන් කටුක පරිසරයනට ඔරොත්තු දෙන, ඉන්ධන පිරිමසින, ප්‍රහාර ආදියට ඔරොත්තු දෙන වාහන නිපදවීමට අවශ්‍ය විය. ලෑන්ඩ් රෝවර් රථ මෙන්ම ජීප් රථ ද මුල් කාලයේ දී යුද්ධ පිණිස සැලසුම් කරන ලද ඒවා ය. අද ද කටුක පරිසරයට අදාලව යුධ කටයුතු පිණිස භාවිතයට ගත් හමර් ආදි වාහන සාමාන්‍ය භාවිතයට ද කෙමෙන් කෙමෙන් එකතු වෙමින් පවතී.

කෙටි කලක් තුළ යාන-වාහන, විදුලි බඩු භාණ්ඩ ආදී සෑම ක්ෂේත්‍රයකම සීඝ්‍ර දියුණුවක් දෙවන ලෝක යුද්ධය හේතුවෙන් ඇති විය. දෙවන ලෝක යුද්ධයට මැදිහත් වූ ප්‍රමුඛ රටවල් වූ ජපානය සහ ජර්මනිය පසුකාලීනව ද කාර්මිකවව දියුණු වී, ලොවට නව නිෂ්පාදන සැපයීමට පුරෝගාමීන් බවට පත්වීමට ලෝක යුධ සමයේ ඔවුන්ගේ තාක්ෂණික දියුණුව ප්‍රබල හේතුවක් වන්නට ඇත.

කවර පොටෝව:

ටෙලිකොම් ක්ෂේත්‍රෙය් මූලික අවධියේ වූ ටෙලිග්‍රාෆ් ක්‍රියාකරවන්නියක්. thenextweb.com

Related Articles