Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වයිල්ඩ් බෝර් කණ්ඩායම මරණයෙන් ගැලවුණු ලෙනේ වර්තමාන තතු

මීට මාස කිහිපයකට පෙර තායිලන්තයේ උතුරු ප්‍රදේශයේ පිහිටි තාම් ලුවාන්ග් ලෙන් සංකීරණය තුළ සිරවී සිටි කුඩා පාපන්දු ක්‍රීඩකයන් 12 දෙනෙකු හා ඔවුන්ගේ පුහුණුකරු දින 17කින් පසුව බේරා ගැනීමට එරට හමුදා, විදේශීය ආරක්ෂක අංශ හා විවිධ ක්ෂේත්‍ර වල ප්‍රවීණයන්ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් සමත් වෙනවා.

එම සිදුවීම ඉතා වේගයෙන් ලෝකය පුරා පැතිරී ගිය අතර 2018 වසරේ ලෝකයේ ක්ෂණිකව ප්‍රසිද්ධියට පත් වූ සිදුවීමක් ලෙස මෙය හැදින්විය හැකියි. ජාත්‍යන්තර මාධ්‍යවලින් මෙම මෙහෙයුමේ අලුත් වන තත්ත්වයන් නිරන්තරයෙන් ලොව පුරා විකාශනය කරනවා.

මේ සඳහා ඇමෙරිකාව බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් බොහොමයක ආරක්ෂා අංශ වෛද්‍ය අංශ හා තාක්ෂණික කණ්ඩායම් සහභාගී වූ අතර දින 17ක මෙහෙයුමකින් පසුව ඔවුන් නිරුපද්‍රිතව ඉන් ඉවතට ගැනීමට මෙම ගලවාගැනීමේ කණ්ඩායම් සමත් වෙනවා. ඒ පිළිබඳව විස්තර අපි එම දිනවලම ඔබවෙත ගෙන ආවා.

මේ ගලවාගැනීමේ මෙහෙයුමේ දී තායිලන්ත නාවික සීල් භටයෙක් වන සමන් ගුනන්ගේ මරණයට පත්වෙන අතර මේ විශිෂ්ට මානුෂික ක්‍රියාවලියේ දී දිවි පිදූ විරුවෙක් ලෙස ඔහුව හඳුන්වා දිය හැකි යි.

එම සිදුවීම අවසන් වී මාස ගණනාවක් මේ වනවිට ගත වී ඇති අතර වර්තමානයේ තාම් ලුවාන් ලෙන් සමූහය තායිලන්තයට පැමිණෙන සංචාරකයන් ආකර්ෂණය කරන ස්ථානයක් බවට පත් වී තිබෙනවා. “වයිල්ඩ් බෝර්” නම් ඒ පාපන්දු කණ්ඩායමට ද ලෝක ප්‍රසිද්ධ වීමට තවත් අවස්ථා හිමි වී තිබෙනවා. ඒ වත්මන් තත්ත්වය ගැන යි මේ ලිපිය.

ජනප්‍රිය වූ තාම් ලුවාන්ග් ලෙන් සමූහය

ගුහා ප්‍රදේශයට යන මාර්ගය (guim.co.uk)

මෙය සිදුවීමට මත්තෙන් තාම් ලුවාන්ග් ලෙන් සමූහය සංචාරක ආකර්ශනීය ස්ථානයක් බවට පත්කිරීමට විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබුවත් ඒවා සාර්ථක වූයේ නැහැ. නමුත් ගලවාගැනීමේ මෙහෙයුමෙන් අනතුරුව වැල නොකැඩී දෙස් විදෙස් සංචාරකයන් මෙය නැරඹුමට පැමිණෙන බව එම ස්ථානය අසල වෙළඳාමේ නියුත්තන් පවසනවා.

මේ වන විට මෙම ලෙන්වලට ඇතුළ් වීම රජය තහනම් කර ඇති නමුත් ඒවායේ ආරම්භ ස්ථානය දැක බලා ගැනීමට පැමිණෙන සංචාරකයන්ගෙන් භූමිය පිරී යනවා. එහි වෙළඳාම් කිරීම මුදල් ඉපයීමට පමණක් සීමා නොවන බවත්, මෙවැනි භූමියක වාසය කිරීම ගෞරවයක් බවත් වෙළෙන්දන් වැඩි දුරටත් ප්‍රකාශ කරනවා.

තාම් ලුවාන්ග්හි ලෙන් එකිනෙකට ඉතා ආසන්නව පිහිටා ඇති අතර ඒවා Buddha, Naga, හා Chamois නමින් හඳුන්වනවා.

මෙම මුදවා ගැනීමේ මෙහෙයුමේ දී ලෙන් අභ්‍යන්තරයෙන් විශාල ජල ධාරිතාවක් ඉවතට පොම්ප කිරීමට සිදු වූ අතර ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ වගාවන් රැසක් විනාශයට පත්වෙනවා. නමුත් ඒ පිළිබඳව ගොවීන් කනගාටු නොවූ බවත්, දරුවන්ගේ ජීවිත වෙනුවෙන් එවැනි අලාභ දරා ගත හැකි බවත් ඔවුන් එදා පවසනවා.

සංචාරක ස්ථානයක් ලෙස (WORLD OF BUZZ)

එදා තමන්ගේ අස්වැන්න එසේ විනාශ වූවත්, මේ වන විට පැමිණෙන සංචාරකයන්ට තම අස්වැන්න විකුණා පෙරට වඩා හොඳ ජීවන තත්ත්වයක් ගොඩනඟා ගතහැකි බව එම ගොවීන් පවසනවා.

පැමිණෙන සෑම සංචාරකයෙක්ම මෙම සිදුවීම ගෞරවයෙන් සිහිපත් කිරීම සඳහා මලක් මිලදී ගන්නා බවත්, එම මල ගුහා ඉදිරියේ තබා ජීවිත පරිත්‍යාගයෙන් කළ මෙම මෙහෙයුමට ගෞරව කරන බවත් ඔවුන් පවසනවා. තව ද වෙළඳ කුටි තුළ මෙහෙයුම පිළිබඳව මුද්‍රණය වූ ටී ෂර්ට් හා විවිධ සිහිවටන විකිණීමට තිබෙනවා.

වයිල්ඩ් බෝ කණ්ඩායම

පුහුණුකරු ඇතුළු ළමුන් පුරවැසිභාවය ලබා ගැනීම (Thai PBS World)

මෙහෙයුමෙන් පුහුණුකරුවා ද ඇතුළු කණ්ඩායමේ සියලුම සාමාජිකයන් නිරුපද්‍රිතව බේරා ගැනෙන්නේ ලෝක පාපන්දු කුසලානයේ අවසන් තරගයට දින කිහිපයකට ප්‍රථමව යි. බේරා ගත් කණ්ඩායමට සිහිනයක් වූ පාපන්දු අවසන් තරගය නැරඹීම සඳහා අසුන් වෙන් කිරීමට කටයුතු කළ නමුත්, ඔවුන්ව අනිවාර්ය වෛද්‍ය පරීක්ෂණවලට බඳුන් කළ යුතු බැවින් ඒ අවස්ථාව කුඩා දරුවන්ට මඟ හැරෙනවා.

ඉන් පසුව මෙම කණ්ඩායම තායිලන්ත පන්සලක තාවකාලික පැවිදි දිවියකට ඇතුළු වෙනවා. එම කණ්ඩායමේ පුහුණුකරු මීට පෙර බෞද්ධ භික්ෂුවක්ව සිටි අයෙක්.

තාවකාලික පැවිදි දිවියට ඇතුළත් වෙමින් (WVXU)

කුඩා දරුවන්ගේ පාපන්දු කණ්ඩායමට ජාත්‍යන්තර මාධ්‍යවලින් ඉහළ ප්‍රසිද්ධියක් හිමි වූ අතර ඔවුන්ට විදෙස් රටවල විවිධ මාධ්‍ය වැඩසටහන්වලට සහභාගී වීමට ද අවස්ථාව ලැබෙනවා.

ඈත අතීතයේ සිට තායිලන්තයේ වාසයට කරන විවිධ ජන කොටස් බොහොමයකට එරට නිත්‍යානුකූල පුරවැසිභාවය ලබාගෙන නැහැ. මෙම කණ්ඩායමේ සාමාජිකයන් ද එයට ඇතුළත්.

මෙම සිදුවීමෙන් දින කිහිපයකට පසුව ඔවුන්ගෙන් කිහිපදෙනෙකුට තායිලන්ත පුරවැසිභාවය ලබා දීමට එරට රජය කටයුතු කරනවා.

2018 වසරේ ඔක්තෝම්බර් මාසයේ දී ආජන්ටිනාවේ පැවති තරුණ ඔලිම්පික් තරගාවලිය නැරඹීම සඳහා මෙම කණ්ඩායමට ආරාධනා කිරීමට ඔලිම්පික් කමිටුව තීරණය කරනවා.

තරුණ ඔලිම්පික් තරගාවලිය නැරඹීම (The Nation)

ඔවුන් බේරා ගැනීමේ ක්‍රියාදාමය ඇතුළත් චිත්‍රපට නිර්මාණය කිරීමට ද මේ වන විට ප්‍රවීණ චිත්‍රපට නිර්මාණකරුවන් බොහෝදෙනෙක් සූදානම්ව සිටිනවා.

තායිලන්තයේ උතුරු ප්‍රදේශයේ දිළිඳු ගම්මානවල මෙවැනි බොහෝ දරුවන් වෙසෙන බවත්, එම ගම්මානවල දිළිඳු දරුවන්ගේ අධ්‍යාපන හා සෞඛ්‍ය තත්ත්වය නගා සිටුවිය යුතු බවත් ජාත්‍යන්තරයට පෙන්වා දෙන ලද්දේ මේ කුඩා දරුවන්ගේ පාපන්දු කන්ඩායම යි. එහි ප්‍රයෝජන මේ වන විට ඔවුන් ද ඔවුන්ගේ ගම්වල මිතුරන් ද භුක්ති විදිමින් සිටිනවා.

කවරයේ පින්තූරය: මියගිය තායි නාවික භටයාගේ සිතුමක් දරාගෙන පින්තූරයකට පෙනී සිටින වයිල්ඩ් බෝර් කණ්ඩායම (Scoopnest.com)

මූලාශ්‍රයයන්:

theguardian.com

bbc.com

qz.com

තායිලන්තයේ තාම් ලුවාන්ග් ලෙන් හා වයිල්ඩ් බෝර් පාපන්දු කණ්ඩායම මීට මාස කිහිපයකට පෙර ඉතා ප්‍රසිද්ධ වුනා. මේ ඔවුන්ගේ හා ලෙනේ වත්මන් තත්ත්වය ගැන යි.

Related Articles