ලංකා ඉතිහාසයේ බල පෙරළිය: විජයබා කොල්ලයේ පසුවදන

ලාංකීය ඉතිහාසයේ කේන්ද්‍රීය ම බල පෙරළිය ලෙස සැලකෙන්නේ වසර 1521 දී සිදු වු “විජයබා කොල්ලය” නම් වූ  දේශපාලනික කුමන්ත්‍රණය යි. මෙරට ඉතිහාසගත වංශකතාවේ බොහෝමයක් වූ අනාගත සිදුවීම් හි මූලාංකුරය ලෙස සැලකෙන්නේ විජයබා කොල්ලය යි.

විජයබා කොල්ලයක් සිදුනොවිණි නම් පෘතුගීසින්ට එරෙහිව වන්නට කිසිවකු බිහිනොවිමට ද, මායාදුන්නේ වැන්නකු  බිහිනොවිමට ද, සීතාවක රාජසිංහ රජ නොවිමට ද ඒ ආකාරයෙන් ම  පළමුවන විමලධර්මසූරිය රජ වීම හෝ ඒ අනුසාරයෙන් උපත ලැබූ උඩරට රාජධානිය බිහි නොවිමට ද බොහෝ ඉඩකඩ තිබිණි.

මේ සටහන තැබෙන්නේ  එලෙසින් මෙරට ඉතිහාසයේ වැදගත් ම දේශපාලනික  බලපෙරළිය බවට පත් වූ “විජයබා කොල්ලය” හා අනුබද්ධිත සංසිද්ධි කිහිපයක් ඇසුරෙනි. 

සිංහල සේනාව සහ පෘතුගීසි හමුදාව අතර ගැටුමක් සිත්තරකුගේ ඇසින්
සිංහල සේනාව සහ පෘතුගීසින් අතර ගැටුමක සිතුවමක් – www.naifmvlog.com

 

පුතුන්ගේ කුමන්ත්‍රණය

වර්ෂ 1505 දි පෘතුගීසින් මෙරටට පැමිණෙන විට කෝට්ටේ  පාලකයා වූ අටවන වීර පරාක්‍රමබාහු රජුගෙන් සහ නවවන ධර්ම පරාක්‍රමබාහු රජුගේ  ඇවෑමෙන් වර්ෂ 1510 දි රාජ්‍යයත්වයට පත් වූ  සත්වන විජයබාහු රජුට පුතුන් තිදෙනෙකි. බුවනෙකබාහු , රයිගම බණ්ඩාර සහ මායාදුන්නේ ඔවුන් තිදෙනා පිළිවෙළිනි. එයින් බුවෙනකබාහු මිළඟ රජ පදවියට රාජ සම්ප්‍රදාය අනුව උරුමකම් කී අතර බාලයා නොහොත් මායාදුන්න, කුමාරවරුන් තිදෙනා ම අතරින් වඩා කැපීපෙනෙන ම සහ දක්ෂම කුමරු විය.

සත්වන විජයබාහු රජුගෙන් පසු ව සිහසුනේ නිත්‍යනුකූල උරුමක්කරු වූ බුවනෙකබාහු කුමරු  සිටියදි  රජුගේ පරිවාර බිසවගේ පුත්කුමරකු වූ දේවරාජ කුමරුට සිහසුන ලබා දීම ” විජයබා කොල්ලය ”  සඳහා මඟ විවර වූ සිදුවිම යි. දේවරාජ කුමරුට රාජ්‍යත්වය ලබා දීමට තීන්දු වීමත් සමඟ මාලිගයෙන් පිටවූ අනිත් කුමාරවරුන් තිදෙනා නැවත කෝට්ටේ රාජධානියට පැමිණෙන්නේ විජයබා කොල්ලයේ සාර්ථකත්වයෙන් පසුව ය.

විජයබා කොල්ලය

මෙලෙසින් වර්ෂ 1521 දී විජයබා කොල්ලය සිදු වී කෝට්ටේ රාජධානිය රයිගම සහ සීතාවක ලෙසට උප රාජධානි දෙකකට වෙන්වී යන මොහොතේ වැඩිමහල් කුමරු වූ බුවනෙකබාහු කුමරු සත්වන බුවනෙකබාහු නම්න් කෝට්ටේ රාජධානිය මුල් කොට රාජ්‍යයත්වයට පත් විය. රයිගම් බණ්ඩාර රයිගම කෝරළය ද, බාලයා වූ මායාදුන්නේ සීතාවක ද, පාලන තන්ත්‍රයට තෝරා ගැනිණි. රයිගම බණ්ඩාරගේ හදිසි  අභාවය සමඟ මායාදුන්නේ, රයිගම් කෝරළය ද සිය සීතාවක රාජධානියට ඈඳා ගන්නේ ය. බුවෙනකබාහු තම අනාගත අභිවෘද්ධිය තකා පෘතුගීසින් සහ හාද වන්නට විය.

එයට හේතුව මායාදුන්නේ ඉතා ශූර පාලකයකු වීම යි.  විජයබා කොල්ලයෙන් පසු ව කෝට්ටේ පාලනය කළ සත්වන බුවනෙකබාහුට මායාදුන්නේගෙන් සහ ටිකිරි බණ්ඩාර කුමරුගෙන් (පසුව සීතාවක රාජසිංහ නමින් රාජ්‍යත්වයට පත් වූවේ මෙම කුමරුයි ) දැඩි සේ බලපෑම් එල්ල වන්නට විය.

ඒ නිසා ම සිය සහෝදරයාගේ බලපෑමෙන් මිදිමට වෙළඳාමේ අභිප්‍රායෙන් පැමිණි පෘතුගීසින්ට කෝට්ටේ නගරය තුළට පැමිණිමටත් රාජ්‍ය ආරක්ෂාව තහවුරු කිරිමටත් බුවනෙකබාහු රජු මඟ විවර කර දුන්නේ ය. එහි සැබෑ අභිප්‍රාය වූයේ සීතාවකින් සහ රයිගමෙන් කෝට්ටේ පාලනයට ඇති වූ අතවරවලින් ආරක්ෂා විම යි. පාර්ශව දෙකක් අතර බල අරගලයක් හේතුකොට  තුන්වන පාර්ශවයක් ඒ සඳහා ඒකාබද්ධ වීමත් සමඟ එතෙන් නොතිබූ සැබෑ ආරවුල ඇරඹිණි.

සීතාවක රාජධානියේ වර්තමානයේ ස්භාවය
සීතාවක රාජධානියේ වර්තමානයේ ස්භාවය -mytourinsrilanka.com 

රටේ අභ්‍යන්තර අරගල සහ මායාදුන්නේගේ අවිචාරශිලී ක්‍රියා පිළිවෙත නිසා අන්‍ය ජාතියකගේ සහාය පැතිමට බුවනෙකබාහු රජුට සිදු වුවද  ඔහු සැබෑ  බෞද්ධ රජකු විය. වරක් පෘතුගීසින් මෙරටට එවූ ෆ්‍රැන්සිස්කානු පුජකයන් පිරිසකට මෙරට තුළ ආගම් ප්‍රචාරයට ඔහු ඉඩ හසර ලබානොදුන්නේ ඒ නිසා ය.

ධර්මපාල කුමරුගේ අනුරුවක් රනින් කරවා

සිය දියණියට,  වීදීය බණ්ඩාරට දාව උපත ලද ධර්මපාල කුමරුගේ අනුරුවක් රනින් කරවා එම රන් රුව පෘතුගාලයේ දි දොන් ජුවන් ධර්මපාල නමින් බෞතිස්ම කිරිමට පෘතුගීසින් කටයුතු සම්පාදනය කළේ  බුවෙනකබාහු රජු හරහා සිදු කර ගැනිමට නොහැකි වූ ආගම ප්‍රචාරය නම් කරුණ සාක්ෂාත් කරගැනිමේ අරමුණෙනි.  පසුව, 1580 වසරේ දී කෝට්ටේ රාජධානිය තෑගි ඔප්පුවකින් පෘතුගීසින්ට ලියා දෙන්නේ ද මෙම කුමරුන් ය. 

පෘතුගීසින් සහ බුවනෙකබාහු රජු අතර මුල් යුගයේ ඉතා හොඳ මිත්‍රත්වයක් පැවතිණි. මිත්‍රත්වය අහෝසි වී යන්නේ බුවනෙකබාහු රජු ක්‍රිස්තියානි ආගම වැලඳගැනීම ප්‍රතික්ෂේප කිරිමත් සමඟ ය. සිංහලයේ රජු වශයෙන් තමන්  බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දිය යුතු බව රජු ප්‍රකාශ කිරිමත් සමඟ එතෙක් කෝට්ටේ පාලනයට සහ බුවනෙකබාහු රජුගේ මුණුබුරා වූ දොන් ජුවන් ධර්මපාල නොහොත් ධර්මපාල කුමරුට පෘතුගීසින් සැපයූ ආරක්ෂාව ද කෙමෙන් කෙමෙන් ලිහිල් කෙරිණි.

අසූ දෙවන වියේ දී එල්ල වූ වෙඩි පහර 

1551 වර්ෂයේ දී, එනම් සිය අසූ දෙවන වියේ දී එල්ල වූ වෙඩි පහරකින් හත්වන බුවනෙකබාහු රජු මිය ගියේ ය. පෘතුගීසින්ට ඍජු ව ම  බාධාවක් වූ එක් බලවේගයක් එලෙසින් අවසන් කෙරිණි. මෙය පෘතුගීසීන් සිදු කළ ඝාතනයක් වූව ද ඉතිහාසයේ සඳහන් වන්නේ මෙම ඝාතනය ද මායාදුන්නේ සිදු කළ එකක් බව ය. එහි සඳහන් වන තවත් කරුණක් වන්නේ මෙය අත්වැරදීමකින් එල්ල වූ වෙඩි පහරක් බව යි.  කෙසේ හෝ සත්වන බුවනෙකබාහු මිය යාමත් සමඟ කෝට්ටේ පාලනය ළා බාල ධර්මපාල කුමරු අතට පත්විය. සැබැවින් ම රජු ඔහු වුව ද සැබෑ පාලකයන් පෘතුගීසින් විය.

කෝට්ටේ රාජධානියේ 1557වන විට භූමියේ පිහිටිම
1557 වසර වන විට කෝට්ටේ රාජධානියේ භූ සැකැස්ම – sinhala.archaeology.lk 

කූට මායාදුන්නේ

විජයබා කොල්ලයේ වැඩි ම කාර්යයක් සිදු කළේ මායාදුන්නේ ය. පසුව ප්‍රධාන රාජධානිය වූ කෝට්ටේ පාලනය සිය වැඩිමහල් සහෝදරයා වූ සත්වන බුවනෙකබාහු ලබා ගැනීමත් සමඟ මායාදුන්නේගේ ක්‍රියා පිළිවෙත වඩාත් දරුණු වූයේ ය. ඔහුගේ ප්‍රධාන අභිප්‍රාය වූයේ කෝට්ටේ රාජ්‍යත්වය දිනාගැනිම බැවින් ඒ සඳහා ඔහු වරින් වර විවිධ පාර්ශවයන් හි සහාය  අපේක්ෂා කළේ ය. වරෙක ඔහු පෘතුගීසින් සමඟ හිතැති පිළිවෙතක් අනුගමනය කළ ද, වරෙක ඔහු ඔවුන් සමඟ මුල්ලේරියා සටන වැනි දරුණු සටන් සඳහා ද පෙලඹිණි.

සත්වන බුවනෙකබාහු රජු  සමඟ ද ඔහුගේ ගනුදෙනුව මේ ආකාරයෙන් ම විය. එකල උඩරට රාජධානියේ රාජ්‍යත්වය දැරූ සේනා සම්මත වික්‍රමබාහු රජු  සහ පෘතුගීසින් එක් ව කෝට්ටේ ආක්‍රමණය කිරිමේ දී මායාදුන්නේ ගේ සහය ලබා දුන්නේ කෝට්ටේ පාලකයා වු සත්වන බුවනෙකබාහුට ය.

කූට උපාය සහ සැලසුම්  රැසක්

එම සටනේ දී ගෝවේ ප්‍රතිරාජ වූ දොන් ජෝආ ද කැස්ත්‍රෝ එවූ සේනාංකය පරාජය කළේ ද මායාදුන්නේ ප්‍රමුඛ සීතාවක සේනාව ය.
සීතාවක ඉතිහාසය පිරික්සා බැලිමේදි  මායාදුන්නේ ගේ මෙවැනි කූට උපායන් සහ සැලසුම්  රැසක් හමුවේ. ඔහු එවැනි පිළිවෙත් අනුගමනය කළේ සිය පාලනය තහවුරු කර ගැනීමට ද නැතිනම් පෘතුගීසින්  පලවා හැරිමේ නිර්මල චේතනාවෙන් ද යන්න නිවැරදිව ම සනාථ නොවූ කරුණකි.

ඔහූ සත්වන බුවනෙකබාහු නොහොත් සිය වැඩිමහල් සහෝදරයා  හා අමනාප විමේ ආසන්නත ම සිදුවීම වූයේ වීදිය බණ්ඩාර සහ සත්වන බුවනෙකබාහුගේ දියණිය අතර සිදු වූ විවාහා මංගල්‍යය යි. මායාදුන්නේගේ අදහස වූයේ සිය පුත්‍රයා වූ ටිකිරි බණ්ඩාර, කුමරු බුවනෙකබාහු රජුගේ දියණියට විවාහ කොට දී නිත්‍යනුකූල ව රාජ්‍ය පාලනයට ඇතුළත් වීම ය. නමුත් උක්ත විවාහ මංගල්‍යය සමඟ එම සැලසුම ව්‍යාර්ථ විය.

මායාදුන්නේගේ වැරදුණු උපාය 

මෙම සිදුවීම පාදක කොට පහර කෑ නාගයකු මෙන් කෝපාවිෂ්ට ව, කෝට්ටේ නැවත ආක්‍රමණය කිරීමට සැරසුණු මයාදුන්නේ ඒ සඳහා කැලිකට් හි සැමොරින්ගේ උපකාරය බලාපොරොත්තු විය. මායාදුන්නේ මේ ආකාරයෙන් ඕනෑ ම අසීරු අවස්ථාවක සතුරු හෝ මිතුරු ලෙස  ඕනෑම පාර්ශවයක සහය උපායශීලී ව ලබා ගත්තේ ය.

මේ අවස්ථාවේ දී මායාදුන්නේගේ උපාය වැරදිණි. කොළඹ සීමාවේ කැලණිය  ආසන්නයේ දී  සත්වන බුවෙනකබාහු රජුගේ සේනාවෙන් සහ ගෝවේ ප්‍රතිරාජයාගේ අණින් පැමිණි  පෘතුගීසි සෙන්පතියකු වු මිගෙල් පෙරේරාගේ පෘතුගීසි හමුදව හමුවේ මායාදුන්නේ දරුණු ප්‍රහාරයකට ලක්විය. පරාජය වූ එම  යුද්ධයේ  සියලු ම යුද වියදම් මායාදුන්නේ සහ සීතාවක රාජධානිය තනි ව  දැරිමට සිදු වූ අතර, කෝට්ටේ රාජධානිය සමඟ සාම ගිවිසුමකට ද ඔහූ ඒ සමඟ ම එළැඹිණි.

කිසිදිනක කෝට්ටේ රාජ්‍යත්වයට පත්විමට වරම් නො ලද සත්වන බුවනෙකබාහු  රජුගේ බාල මලනුවන්  වූ මායාදුන්නේ රජු සීතාවක සිය රාජ්‍යය කොට  සලකා වසර හැටක් රාජ්‍ය පාලනය කළ අතර ඔහුගේ මරණය ද මහාවංශයට සහ සුළු රාජරත්නාකරයට අනුව විවාද සම්පන්න සිදුවීමකි.

ටිකිරි බණ්ඩාර නොහොත් පළමුවන රාජසිංහ 

ටිකිරි බණ්ඩාර කුමරු, මායාදුන්නේ මෙහෙය වූ දරුණු සටන් සියල්ලක ම පාහේ  ඉදිරිපෙළ සටන්කරු විය. වර්ෂ 1544 උපත ලැබු බව සැලකෙන ටිකිරි බණ්ඩාර කුමරු 1559 වසරේ ඇවිළුණු මුල්ලේරියා සටන මෙහෙයවන විට යාන්තමින් පහළොස්වන විය ඉක්මවමින් සිටියේ ය. පැරණි පතපොතේ සඳහන් වන අන්දමට සිය ජවාධික අසු  පෘතුගීසි සේනාව මැදට පැන්න වූ ටිකිරි බණ්ඩාර කුමරු  සිය අසිපත විදුලි වේගයෙන් හසුරවමින් මුල්ලේරියා සටන ජයග්‍රහණය කළේ ය.

ඔහූ අංගම් සටන් කලාවේ කෙළපැමිණි සටන්කරුවෙකි. මායාදුන්නේ පෘතුගීසින්ට යම් තරමින් දරුණු වුවා ද ටිකිරි බණ්ඩාර කුමරු ඒසා  දස දහස් ගුණයකින් කෲර පාලකයකු විය. පෘතුගීසි පාලන සමය තුළ ඔවුන්ට දැඩි ලෙස අලාභානියක් සිදුකළ සිංහලයේ රජු ලෙස සැලකෙන්නේ සීතාවක රාජසිංහ රජු ය. මායාදුන්නේගේ මරණය සිදුවූ බව සැලකෙන 1581 වසරේ දී ටිකිරි කුමරු  සීතාවක රාජසිංහ නමින් රාජ්‍යත්වයට පත්විය.

පළමුවන විමලධර්මසූරිය රජු
පළමුවන විමලධර්මසූරිය රජු – stringfixer.com 

පිතෘ ඝාතක චෝදනාව

සීතාවක රාජසිංහ රජුට පිතෘ ඝාතක චෝදනාව එල්ල වුව ද එය විවාදාත්මක කතිකාවතකි. අලකේෂ්වර මුලාශ්‍රයට අනුව මායාදුන්නේට පුතුන් තිදෙනෙකි. ඔවුන් පිළිවෙළින් මහරද දරු බණ්ඩාර , තිඹිරිපොළේ මහරද දරු බණ්ඩාර සහ සන්තාන බණ්ඩාර ය. මෙහි ටිකිරි බණ්ඩාර පිළිබඳ සඳහනක් නොමැත. තිඹිරිපොළේ මහරද දරු බණ්ඩාර සත්කෝරළෙ පාලනය සිදු කරන විට සීතාවක පාලනය කෙරූ රාජ්‍යත්වයට උරුමකමක් නොතිබූ ටිකිරි බණ්ඩාර නැමැත්තකු පිළිබඳ තොරතුරු සඳහන් වේ.

එමෙන් ම පෘතුගීසි ජාතික ලේඛකයකු වූ Fernão de Queyroz ගේ The Temporal Spiritual Conquest of Ceylon  කෘතියේ 468-469 පිටට අදාළ ව ටිකිරි බණ්ඩාර යනු මායාදුන්නේ ගේ අවජාතක පුත්‍රයා ය. නමුත් මෙම ලේඛනය පෘතුගීසි ලේඛකයකු අතින් ලියවූවක් නිසාවෙන් එහි සත්‍යතාව පිළිබඳව ද පැහැදිලි තීරණයකට එළඹිමට නොහැක. සීතාවක රාජසිංහ රජු යනු ඇසක වපරයක් තිබූ රාජ්‍යත්වය පත්වීමට සඳහා ශාරීරික ව නුසූදුසු පුද්ගලයකු බව ද පැවසේ. මේ සියලු ම කරුණු අනුව  ඔහුගේ පිතෘ ඝාතන චෝදනාව පිළිබඳ එකිනෙකෙහි වෙනස් මත කිහිපයක් පවති.

මහාවංශයට අනුව පැහැදිලිව ම ටිකිරි බණ්ඩාර කුමරු පිතෘ ඝාතකයකු වන අතර මායාදුන්නේ ඝාතනයෙන් පසු ව එම පිතෲඝාතන කර්මය බෞද්ධාගමික පිළිවෙත් අනුව ඉවත් කළ නොහැකි බව බෞද්ධ භික්ෂුන් වහන්සේලා දැනුම්වත් කළ බැවින්  බෞද්ධ සංඝයා සහ බෞද්ධ  විහාර  සමඟ හට ගත් දැඩි කෝපයෙන් යුක්ත ව ටිකිරි බණ්ඩාර කුමරු කටයුතු කළ බවත්, වෙහෙර විහාර රාශියක් විනාශ කර වූ බවත් එහි සඳහන් වේ.

මෙකල  දළදා වහන්සෙ දෙල්ගමුවේ කුරහන් ගලක් තුළ සඟවන ලද්දේ ද සීතාවක රාජසිංහ රජුගේ උවදුරෙන් ආරක්ෂා වීමට ය. පසු කලක එය කන්ද උඩරටට රැගෙනවිත් ඇත. එකල රාජසිංහ රජුගෙන් එල්ල වූ තාඩන පීඩන හමුවේ  බොහෝ භික්ෂුන් වහන්සෙලා සිවුර හැර යමින් දිවි රැක ගත් බව ද මහාවංශයේ 93 වන පරිච්ඡේදයේ  සඳහන් වේ.

 වසර තිස් නවයක අවිචාරවත් පාලනය

බෞද්ධාගම ප්‍රතික්ෂේප කළ සීතාවක රාජසිංහ ශිව ලබ්ධිය වැලඳගත් බවත්, අරිට්ඨ කීවෙණ්ඩු නම් මනම්පෙරුම මොහොට්ටයා සමඟ යාග හෝම පැවැත්වූ බව ද එහි සඳහන් වේ. ශ්‍රි පාද අඩවිය භික්ෂූ පාලනයෙන් ඉවත්කොට ආඬින්ට පවරා දීම ද ටිකිරි බණ්ඩාර නොහොත් පළමුවන රාජසිංහ මෙකල  සිදුකළේ ය. මෙය නැවත බෞද්ධ භික්ෂුන්වහන්සේලා සඳහා ලබාදිමට කටයුතු සිදුකළේ පළමුවන  විමලධර්මසූරිය රජු ය.

වසර තිස් නවයක අවිචාරවත් පාලනයෙන් පසූ විජයබා කොල්ලයෙන් උපත ලබා දුන් සීතාවක රාජසිංහ රජු පෙතන්ගොඩ උයනේ දී විෂ උණ කටුවක් ඇනීමෙන් මරණයට පත්විය. රාජසිංහයන්ගේ මරණයෙන් දශක හතරක් ගෙවුණු තැන රචනා වූ සුළු රාජරත්නාකරයට අනුව ඒ පිළිබඳව මෙසේ සටහන් කොට ඇත.

“පිය රජහු මරා සීතාවක රාජසිංහ නම් රජව ලක්දිව එක්සත් කොට ශිව භක්ති ගෙන ලෝක ශාසන නසා අධර්මයෙන් රාජ්‍යය කොට අපාගත විය. ” -සුළු රාජරත්නාකරය :  වර්ෂ 1639

රාජසිංහ රජුගේ පාදයේ විෂ උණ කටුවක් ඇනුනු පෙත්තන්ගොඩ උයන
රාජසිංහ රජුගේ පාදයේ විෂ උණ කටුවක් ඇනුනු පෙත්තන්ගොඩ උයන – avissawella.com 

මෙරට රාජාවලි ඉතිහාසයේ බොහෝ සිදුවීම් මේ ආකාරයෙන් ලේ වැගිරීම් සහ ඝාතනයන්ගෙන් කෙළවර වූ අතර එහි උච්චත ම අවස්ථාව වූ විජයබා කොල්ලයෙන් පෝෂණය ලැබූ සත්වන බුවනෙකබාහු, දොන් ජුවන් ධර්මපාල, මායාදුන්නේ සහ සීතාවක රාජසිංහ පාලනයෙන් පසු ව සිංහලයේ කිරුළ කන්ද උඩරටට ස්ථානගත විය. 

කවරයේ ඡායාරූපය : කෝට්ටේ රාජධානියේ නිල ධජය - www.reddit.com 

මූලාශ්‍ර:

www.britannica.com 

 military.wikia.org

මහාවංශය - 93-94 පරිච්ඡේදය

ලංකාව අස්ථාවර කළේ සීතාවක රජවරු - දිවයින බදාදා අතිරේකය - නිමේෂ් තිවංකර සෙනෙවිපාල 

The Temporal Spiritual Conquest of Ceylon

සිංහලයේ රාජවංශය - ජයසෙනවි හුරුලුවැව

Related Articles