Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉන්දියානු අග්නි මිසයිල ව්‍යාපෘතිය

1989 වසරේ සිට ඉන්දියාවේ ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන ආයතනය, භාරත් ඩයනමික් ලිමිටඩ් සමාගම සමග එකතුව බැලස්ටික් මිසයිල අත්හදා බැලීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරනවා.

එම ව්‍යාපෘතිය නම් කරන්නේ අග්නි නමින්. අග්නි යනු ගින්න යන අර්ථය යි. ඒ අනුව මෙම ව්‍යාපෘතිය යටතේ මේ වන විට මිසයිල 5ක් අත්හදා බලා ඇති අතර, තවත් එක් මිසයිලයක් සංවර්ධන මට්ටමේ පවතිනවා. එම මිසයිල පහ පිළිවෙළින් අග්නි 1, අග්නි 2, අග්නි 3, අග්නි 4, හා අග්නි 5 ලෙස හඳුන්වන අතර, සංවර්ධන මට්ටමේ ඇති මිසයිලය අග්නි 6 ලෙස නම් කර තිබෙනවා.

එම මිසයිලවල පරාසය අනුව ඒවා කෙටි දුර, මධ්‍යම දුර, හා අන්තර් මහද්වීපික ලෙස වර්ග කර දක්වන්න පුළුවන්.

අග්නි 5 මිසයිලය හඳුන්වාදීමත් සමග න්‍යෂ්ටික බලය සහිත බැලස්ටික් මිසයිල හිමි රටවල් අතරට ඉන්දියාව පත් වී අවසන්.

මොකක්ද මේ බැලස්ටික් මිසයිලයක් කියන්නේ?

ලොව පළමු බැලස්ටික් මිසයිලය නට්සි ජර්මනියේ V-2 (V2 Rocket History)

බැලස්ටික් මිසයිල වශයෙන් හැඳින්වෙන්නේ, බැලස්ටික් ගමන් පථය අනුගමනය කරන මිසයිල යි. බෝලයක් ඉහළට විසි කළහොත්, එය ඉහළට ගමන් කර පහළ වැටෙන ආකාරයට ම මිසයිලත් ඉහළට ගමන් කර පොළොව මත ඉලක්කයකට පතිත වීම නිදසුනක් ලෙස දැක්විය හැකියි.

එවැනි මිසයිල බහුල වශයෙන් යොදා ගැනෙන්නේ ගොඩබිම ප්‍රහාර සඳහා වන නමුත් කිසියම් ස්ථානයක් ඉතාමත් ම නිවැරදි ව හඳුනාගැනීමට මේ මිසයිලවලට හැකියාවක් නැත.

කෙසේ වුවත්, වායු ගෝලයේ ඉතාමත් ඉහළ ම ස්ථරවල ගමන් කරන බැලස්ටික් මිසයිලය ඉතා නිරවද්‍ය ඉලක්කයක් කරා යොමු කිරීමට අවශ්‍ය තාක්ෂණය දෙවන ලෝක යුද්ධයෙන් පසු ව වර්ධනය වෙනවා. එම තාක්ෂණය ප්‍රධාන වශයෙන් ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය ,චීනය, රුසියාව, හා ඊශ්‍රායලය වැනි රටවලට හිමිවූවත්, 90 දශකයේ අග සිට ඉන්දියාවත් ඒ සඳහා සාර්ථක උත්සාහයන් ගනු ලබනවා.

අග්නි ව්‍යාපෘතිය ආරම්භ වීම

අග්නි – 1 (rediff.com)

මෙම ව්‍යාපෘතිය යටතේ පළමු මිසයිලය වන්නේ අග්නි-1. ඒ සඳහා පර්යේෂණ ආරම්භ වන්නේ 1999 වසරේ ඉන්දියාව හා පාකිස්තානය අතර ඇති වූ ගැටුමෙන් පසු ව යි. කෙටිදුර බැලස්ටික් මිසයිලයක් ලෙස පළමු අග්නි මිසයිලය නිපදවෙන අතර, එහි මෙහෙයුම් පරාසය කි. මී. 700 – 900ත් අතර අගයක් ගන්නවා.

මිසයිලයේ බර කි. ග්‍රෑ. 12,000 වන අතර, එහි උස මීටර් 15ක්. විෂ්කම්භය මීටර් 1ක් ලෙස දැක්වෙනවා. වේගය තත්පරයට කි. මී. 2.5ක්.

මේ වන විට විශාල අත්හදා බැලීම් ප්‍රමාණයකට ලක් කිරීමෙන් අනතුරුව ඉන්දියානු හමුදාව සතු ව අග්නි-1 මිසයිල බොහෝ ප්‍රමාණයක් පවතින බව සඳහන් වෙනවා.

අග්නි-2 මිසයිලය

අග්නි – 2 (Missile Defense Advocacy Alliance)

මෙම න්‍යෂ්ටික බැලස්ටික් මිසයිලය මධ්‍ය දුර පරාසයක් සහිත මිසයිලයක් ලෙස හැඳින්විය හැකි අතර, පළමුවරට එය අත්හදා බලන්නේ 1999 වසරේ දී යි.

මිසයිලයේ බර කි. ග්‍රෑ. 16,000ක් වන අතර, ක්‍රියාකාරී මිසයිල හිසේ බර කි. ග්‍රෑ. 10,000ක් වෙනවා. උස මීටර් 21 වන අතර, විෂ්කම්භය මීටර් 1.3ක්.

අග්නි 2 හි ක්‍රියාකාරී පරාසය කි. මි. 2000 – 3500ත් අතර අගයක් ගන්නා අතර, වේගය තත්පරයට කි. මී. 3.9ක් වෙනවා.

අග්නි- 3

අග්නි – 3 (Missile Threat)

2006 වසරේ මුල්වරට අබ්දුල් කලාම් දුපතේ දී මෙම මිසයිලය අත්හදා බලන අතර, එහි ක්‍රියාකාරී පරාසය කි. මී. 3500 – 5000ත් අතර අගයක් ගන්නවා. නමුත් පළමු අත්හදා බැලීම එතරම් සාර්ථක වෙන්නේ නෑ. ඒ හේතුවෙන් නැවතත්, 2007 වසරේ දී අත්හදා බැලීම සිදුකරනවා.

මිසයිලයේ බර කි. ග්‍රෑ. 5000ක් වෙනවා. මීටර් 17ක් උස අතර, විෂ්කම්භය මීටර් 2ක්. තත්පරයට කි. මී. 5 – 6ක වේගයෙන් මෙම මිසයිලයට ගමන් කිරීමට හැකි යි.

අග්නි – 4

අග්නි – 4 (Missile Defense Advocacy Alliance)

අග්නි මිසයිල ව්‍යාපෘතියේ හතරවන මිසයිලය ලෙස මෙය ප්‍රථම වතාවට අත්හදා බලන්නේ 2011 වසරේ නොවැම්බර් මාසයේ දී යි. ඉන්පසු ව, විවිධ වෙනස්කම් යටතේ තවත් පස්වතාවක් එම මිසයිලය සාර්ථක ව අත්හදා බලා තිබෙනවා. එය අවසන් වතාවට අත්හදා බලා ඇත්තේ 2017 වසරේ දී යි.

මිසයිලයේ බර කි. ග්‍රෑ. 17,000ක්. උස මීටර් 20ක් වෙනවා. ක්‍රියාකාරී මෙහෙයුම් පරාසය කි. මී. 4000ක් ලෙස සටහන් වෙනවා.

අග්නි – 5

අග්නි – 5 (Rediff.com)

ඉන්දියාව පළමු වතාවට අත්හදා බැලූ අන්තර්මහද්වීපික බැලස්ටික් මිසයිලය වන්නේ අග්නි – 5 මිසයිලය යි. එය 2012 වසරේ අප්‍රේල් මාසයේ දී ප්‍රථමවරට අත්හදා බලනවා. ඒ ඉන්දියාවේ අබ්දුල් කලාම් දුපතේ දී යි. ඉන්පසු, විවිධ වෙනස්කම් යටතේ අත්හදා බැලීම් සිදුකරන අතර, එහි හයවන සාර්ථක අත්හදා බැලීම සිදුකරන්නේ 2018 වසරේ ජුනි මාසයේ දී යි.

මිසයිලයේ බර කි. ග්‍රෑ. 50,000ක්. උස මීටර් 17.5ක් වන අතර, එහි විෂ්කම්භය මීටර් 2ක්. ක්‍රියාකාරී මෙහෙයුම් පරාසය කි. මී. 5000 – 8000ත් අතර අගයක්.

එයින් නොනවතින ඉන්දියානු ආරක්ෂක අමාත්‍යංශය සම්බන්ධ පර්යේෂකයන් හා විද්‍යාඥයන් අග්නි – 6 මිසයිලය සඳහා 2012 වසරේ සිට පර්යේෂණ කරමින් සිටිනවා. එහි මෙහෙයුම් පරාසය කි. මි. 8000 – 12000ත් අතර අගයක් ගනු ඇති බව පවසනවා. එම මිසයිලය ඉතා නුදුරේ දී ම අත්හදා බලන බව ඉන්දියානු ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරනවා.

ඉන්දියාවේ අග්නි මිසයිල ව්‍යාපෘතිය පිළිබඳ ව බටහිර බලවතුන් සිටින්නේ එතරම් කැමැත්තකින් නොවේ. ඊට අමතර ව චීනය ද ඔවුන්ගේ මෙම අත්හදා බැලීම් විවේචනය කරමින් පවසා සිටින්නේ කුසගින්නේ සිටින ඉන්දියානුවන්ගේ සුබසාධනය වෙනුවෙන් වැය කළ යුතු මුදල්, මෙලෙස න්‍යෂ්ටික අත්හදා බැලීම්වලින් විනාශ කර දමන බව යි.

ඉන්දියාව හා චීනය අතර පවතින අර්බුදකාරි තත්ත්වය හේතුවෙන් තමන් යුධමය අතින් ශක්තිමත් වනු දැකීම, බිජිං පාලනය නොරුස්සන බව යි දිල්ලි පාලනය සඳහන් කරන්නේ.

කවරයේ පින්තූරය: DefenceTalk.com

මූලාශ්‍රයයන්:

indiatimes.com

thehindubusinessline.com

idsa.in

Related Articles