Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පඩි දාට ණයක්

එදිනෙදා ජීවිතයේ දී අපේ හැම අවශ්‍යතාවකටම ප්‍රමාණවත් තරම් මුදල් අතේ නොගැවසෙන අවස්ථා බොහොමයි. තමන්ගේ ආදායමට සාපේක්ෂව වියදම බොහොම ඉහළ අය තමයි මේ ගැටලුවට බොහෝ විට මුහුණ දෙන්නේ. විශේෂයෙන්ම ජීවත් වෙන්න අවශ්‍ය මූලික කියලා සැලකෙන අවශ්‍යතා සම්පූර්ණ කරගන්නවත් ප්‍රමාණවත් තරම් ආදායමක් නැති අයටත්, තමන්ගේ ආදායම් තත්ත්වයට නොගැළපෙන ජීවන රටාවන් ගත කරන්න උත්සාහ කරන අයටත් මේ වගේ අවස්ථාවල වියදම් පියවා ගන්න මොකක් හරි ක්‍රමයක් අවශ්‍ය වෙනවා. බොහෝ විට ඒ වගේ අවස්ථාවල සිදු වන්නේ යාළුවෙකුගෙන් අත මාරුවක් කර ගන්න එක.

ඉතින් මේ වගේ අවස්ථාවක තමන්ගේ පඩියෙන් කොටස් වශයෙන් ගෙවන්න පහසු ණය මුදලක් ගන්න ලැබෙනවා නම් එය බොහෝ දෙනෙක් සලකන්නේ විශාල අස්වැසිල්ලක් කියලා යි. මේ නිසාම ඒ විදිහට ණය දෙන්න විවිධ ක්‍රම බිහි වී තිබෙනවා. හැබැයි ඒවායේ තිබෙන වංචනික ක්‍රියා නම් බොහොම යි. මේ කියන්න යන්නේ සදාචාරයට ඉතාම පටහැනි විදිහට අහිංසක පුද්ගලයන් රවටා මුදල් ගරපු කූට ව්‍යාපාරයක් ගැන යි. ඒ තමයි AMG services.

(valuewalk.com)

මාසේ අතිරේක වියදම් පියවා ගන්න පුංචි loan එකක්

ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය, විශ්වවිද්‍යාල අධ්‍යාපනය වගේම නිදහස් සෞඛ්‍ය සේවාවකුත් පැවතුණත් ඇමරිකාව වැනි රටවල මේ තත්ත්වය හාත්පසින්ම වෙනස්. බොහෝ දේවල් දිගු කාලීනව කුලී කිණීමේ ක්‍රමයකට ලබා ගන්න යි ඒවායේ පුරුදු වෙලා තිබෙන්නේ. ඉතිරිකර ගැනීමේ පුරුද්ද අතිනුත් ඇමරිකාව ඉන්නේ බොහෝ පහළින්. මේ නිසා අඩු ආදායම් ලබන බොහෝ දෙනෙකුට මාසේ වියදමට යම් මුදලක් අඩු වන අවස්ථා බොහොම යි.

එවන් අවස්ථාවල පහසුවෙන් පුංචි ණයක් ලබා දෙන ප්‍රධාන ක්‍රමයක් බවට පත්වෙලා තියෙන්නේ ඉතාම කෙටි කාලීන ණයක් ලබා ගැනීම යි. “පඩි දා ණයක්” හෙවත් Payday loan එකක් කියලා හඳුන්වන මේවායේ අය කෙරෙන්නේ ඉතාම ඉහළ පොලී මුදලක්. කොහොම නමුත් පොඩි මුදලකට තවත් පොඩි මුදලක් අමතරව ගෙවලා තමන්ගේ හදිසි අවශ්‍යතා සම්පූර්ණ කරගන්න කියලා මෙය හොඳින් අලෙවිකරණය කරන්න අදාළ සේවා හොඳ හැකියාවක් දක්වනවා. මේ නිසාම ඒවාට හසුවන අයත් බොහොම යි. මේ නිසා ඒවා බොහෝ දුරට තහනම් කරන්නත්, දැඩි රෙගුලාසි පනවන්නත් ඇමරිකාවේ බොහෝ ප්‍රාන්තයන් කටයුතු කර තිබෙනවා.

පඩි දා ණය ලබා දීම කලක සිට කෙරෙන ව්‍යාපාරයක් (sacurrent.com)

නමුත් අන්තර්ජාලය පැමිණීමත් එක්ක මේ ජාවාරම ජයටම කෙරෙන්න පටන් ගත්තා.

අන්තර්ජාලයෙන් ප්‍රයෝජන ගත් ස්කොට් ටකර්

සාමාන්‍ය ණය දීමේ ක්‍රමයක් අදාළ රටේ හෝ ප්‍රදේශයේ තිබෙන නීති රීතිවලින් නියාමනය කරන්න හැකියාව තිබුණත් අන්තර්ජාලය හරහා ලෝකයේ ඕනෑම තැන් දෙකක් අතර ගණුදෙනුව සිදු වෙන්න පුළුවන් නිසා ඒ සීමාවන් බොහොමයක් ඉවත් වී තිබෙනවා. ඒ වගේම කාර්යාල ගොඩනැගිල්ලක් තබා ගැනීමේ අවශ්‍යතාවත් අඩු නිසා විවිධ රෙගුලාසිවලින් රිංගා යාමේ ඉඩකඩත් ඉහළ යි.

මේ තත්ත්වයෙන් උපරිම ප්‍රයෝජන ගන්න ක්‍රමයක් හිතපු කෙනෙක් තමයි ස්කොට් ටකර් කියන්නේ. සාමාන්‍ය පවුලක උපත ලබා ව්‍යාපාරික කටයුතු ගැන උපාධියක් ලද ඔහු කාලයෙන් කාලයට තිබෙන අලුත් ව්‍යාපාරික ප්‍රවණතා අනුව විවිධ කූට ව්‍යාපාර කරන්න සමත්කම් දක්වපු කෙනෙක්. 1980-90 ගණන්වල බොහොම ජනප්‍රිය වෙලා තිබුණු තැපැල් පත්‍රිකා හරහා බඩු ගෙන්වා ගැනීම ඇතුළු ව්‍යාපාර ගණනාවක් ඔහු පවත්වාගෙන ගියා. 1991 දී ඔහුට ඒවායේ වංචාවක් නිසා වසරකට සිරගත වෙන්නත් සිදු වුණා.

ස්කොට් ටකර් (autoweek.com)

කූට බුද්ධියෙන් ඉහළ ස්කොට් ටකර් ඊළඟ විශාලතම පෙරළිය වූ අන්තර්ජාලයෙනුත් උපරිම ප්‍රයෝජන ගන්න පසුබට වුණේ නැහැ. විවිධ නීතිරීතිවලට යටත් වී තිබුණු payday loan අන්තර්ජාලය හරහා ලබා දෙන AMG services නම් සමාගමක් ඔහු ආරම්භ කරන්නේ ඒ අනුව යි. අන්තර්ජාලය හරහා ව්‍යාපාර කිරීමට පවතින රෙගුලාසිවල අඩු ලුහුඬුකම්වලින් ප්‍රයෝජන අරගෙන මෙය ඉතාම ආකර්ෂණීය, පහසු ණය මුදලක් අරගෙන කොටස් විදිහට ගෙවන්න පුළුවන් විදිහටයි අලෙවිකරණය කෙරුණේ. Ameriloan, Cash Advance, One Click Cash, United Cash Loans, 500 Fast Cash ආදී නම් ගණනාවකින් විවිධ ව්‍යාපාර ගණනාවක් AMG services මඟින් ආරම්භ කෙරුණා.

ව්‍යාපාරයේ වර්ධනය සහ රේසින් කාර් ධාවකයෙක් බවට පත් වීම

AMG services ව්‍යාපාරය බොහොම ඉක්මණින් විශාල මුදලක් රැස් කරන්න සමත් වුණා. නමුත් බොහොමයක් online ව්‍යාපාර වගේම එහි අයිතිකරුවන් ගැන, සේවකයන් ගැන තොරතුරු ප්‍රසිද්ධ කර තිබුණේ නැහැ. මුල් කාලයේ ස්කොට් ටකර් ගැන වැඩි දෙනෙක් නොදැන සිටි නිසා මෙය ගැටළුවක් වුණේ කලාතුරකින්. කොහොම වුණත් මෙයින් ලැබෙන අතිශය විශාල ධනස්කන්ධය පාවිච්චි කරලා රේසින් කාර් ධාවකයෙක් වීමේ සිහිනයත් සැබෑ කරගන්න ටකර් කටයුතු කිරීමත් එක්ක තත්ත්වය ටිකක් වෙනස් වුණා.

ස්කොට් ටකර් තම රේසින් කණ්ඩායම සමග (publicintegrity.org)

2006 දී රේසින් ධාවනයට ඇතුළත් වූ ඔහු විශාල මුදලක් ගෙවා ප්‍රවීණයන්ගෙන් ගුරුහරුකම් ලබාගෙන හොඳ ධාවකයෙක් වෙන්න කටයුතු කළා. බොහෝ දෙනෙක් කියා තිබුණේ ටකර්ගේ සහජ දක්ෂතාව අඩු වුණත් කැප වීම ඉතාම ඉහළ නිසා ඔහුට හොඳ අනාගතයක් ඇති බව යි. මෙය තහවුරු කරමින් වැඩි කලක් යන්නටත් කලින් රේසින් තරග ගණනාවක ජයග්‍රහණ ලබා ගන්න ඔහු සමත් වුණා. රේසින් ධාවනයට අධික මුදලක් අවශ්‍ය නිසා බොහෝ විට එයට මුදල් ලබා ගත හැක්කේ අලෙවිකරණ කොන්ත්‍රාත්වලින් පමණයි. නමුත් ස්කොට් ටකර් තමන් උපයපු මුදල්වලින්ම රේසින් කාර්, අමතර කොටස්, තාක්ෂණික ශිල්පීන් ඇතුළු සියලු දේවල්වලට ගෙවන්න සමත් වුණා. ඒත් ඔහු තමන්ගේ මුදල් ලැබෙන ක්‍රමය හෙළි නොකරන්න ප්‍රවේශම් වුණා.

ඇමරිකාවේ ප්‍රසිද්ධ රේසින් තරග ගණනාවකම විශාල ජයග්‍රහණයන් ලබා ගන්න සමත් වීමත් එක්ක ස්කොට් ටකර් රට පුරාම ජනප්‍රිය ධාවකයෙක් බවට පත් වෙන්න පටන් ගත්තා. මේ නිසා ඔහුගේ මුදල් ලැබෙන හැටි ගැන හොයන පිරිසත් ටික ටික ඉහළ ගියා. මේ තත්ත්වයේ අවදානම තේරුම් ගෙන හිටියත් තමන්ගේ රේසින් ධාවකයෙක් වීමේ සිහිනය අත්හැර දාන්න ටකර් කැමති වුණේ නැහැ. ඒ වෙනුවට ඔහු කළේ විවිධ ක්‍රමවලින් AMG services සහ තමන් අතර සම්බන්ධතාව සඟවන්න කටයුතු කළ එක යි.

රතු ඉන්දියානු ගෝත්‍රවල ස්වෛරීත්වය ප්‍රයෝජනයට ගැනීම

ඔක්ලහෝමා ප්‍රාන්තයේ රතු ඉන්දියානු නීතිය බලපවත්වන ස්වෛරී ප්‍රදේශ (squarespace.com)

ඇමරිකාව තුළ ඕනෑම ව්‍යාපාරයක කටයුතු ගැන එහි මූලස්ථානය පිහිටා තිබෙන ප්‍රාන්තයේ ප්‍රාන්ත රජයට විමසා බලන්න නීතිමය අවසරය තිබෙනවා. කොහොම වුණත් ඔක්ලහෝමා ප්‍රාන්තයේ වෙසෙන රතු ඉන්දියානු ගෝත්‍රවලට අයත් ප්‍රදේශවල තත්ත්වය මීට තරමක් වෙනස්. ඔවුන්ගේ සංස්කෘතික අනන්‍යතාව පවත්වා ගැනීමට නිදහස තිබෙන නිසා අදාළ ප්‍රදේශය සැලකෙන්නේ ස්වෛරී ප්‍රදේශයක් විදිහටයි. ඔවුන්ටම ආවේණික නීති රෙගුලාසි සමග තමන්ගේ පාරම්පරික ව්‍යාපාරික ක්‍රමවල නිරත වෙන්න ඔවුන්ට නිදහස පවතිනවා.

මේ නිසා රතු ඉන්දියානු ප්‍රදේශය තුළ ප්‍රාන්ත පොලිස් හෝ උසාවි බලය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔවුන්ගේ සියලු නීති හා උසාවි කටයුතු ඔවුන්ගේම සම්ප්‍රදායන්ට අනුවයි සිදු වෙන්නේ. ඔවුන්ගේ කටයුතු විමර්ශනය කරන්න නම් පිළිගත හැකි හේතුවක් මත ඇමරිකානු ෆෙඩරල් උසාවි නියෝගයක් ලබා ගන්න අවශ්‍ය යි. ටික ටික තමන්ගේ ජනප්‍රියත්වය ඉහළ යාමත් එක්ක AMG services වල කටයුතු සඟවන්න අවශ්‍ය වුණු ස්කොට් ටකර් ප්‍රයෝජනයට ගත්තේ මේ තත්ත්වය යි.

මේ ප්‍රදේශයේ රතු ඉන්දියානු නායකයන්ට කතා කර ඔවුන්ව AMG services ව්‍යාපාරයේ හිමිකරුවන් ලෙස පෙනී සිටින්න කැමති කරගන්න ටකර් සමත් වුණා. ඒ වෙනුවෙන් මුළු ලාභයෙන් 1%ක් ගෙවන්නටත් ටකර් පොරොන්දු වුණා. ඒ අනුව නීතිමය වශයෙන් ටකර්ගේ ව්‍යාපාරය රතු ඉන්දියානු ප්‍රදේශය තුළ පවත්වාගෙන යන ඔවුන්ගේම පාරම්පරික ව්‍යාපාරයක් බවට පත් වුණා. එහි ගිණුම් කටයුතු ගැන සොයා බලන්න ප්‍රාන්ත රජයට කිසිදු අවසරයක් තිබුණේ නැහැ.

රවටන්න උත්සාහ කළ තරම

රතු ඉන්දියානු ගොඩනැගිලි පරීක්ෂා කරන්න ප්‍රාන්ත පොලීසියට අවසර නැහැ (aljazeera.com)

ව්‍යාපාරයේ නාමික හිමිකාරීත්වය රතු ඉන්දියානුවන් සතු වුණත් එහි සියලු කටයුතු සිදු වුණේ කැන්සාස් ප්‍රාන්තයේ තිබුණු ගොඩනැගිල්ලක සිට යි. නමුත් ඒ බව ගණුදෙනුකරුවන්ගෙන් සම්පූර්ණයෙන්ම සඟවන්න කටයුතු සකස් කෙරුණා. මේ ස්ථානයේ සේවය කරන දුරකථන ක්‍රියාකරුවන්ට උපදෙස් දී තිබුණේ නිතරම තමන් ඔක්ලහෝමාහි රතු ඉන්දියානු ව්‍යාපාරයක් බව පවසන ලෙස යි. වෙනකක් තබා අදාළ රතු ඉන්දියානු ප්‍රදේශයේ කාලගුණික දත්ත දිනපතා ලබාගෙන දුරකථන ඇමතුම් අතර දී ඒ කාලගුණයට ගැළපෙන ලෙස කතාබහේ යෙදෙන ලෙසත් උපදෙස් දෙනු ලැබුවා. ඒ අනුව payday loan එකක් ගන්න අවශ්‍ය කෙනෙක් දුරකථන ඇමතුමක් ගත් සෑම විටම පාහේ ඒත්තු ගියේ මේ රතු ඉන්දියානු ප්‍රදේශයක ව්‍යාපාරයකට ගන්නා ඇමතුමක් බව යි.

සාමාන්‍ය payday loan බොහොමයකට වඩා AMG servicesවලට ණයකරුවන් එකතු වෙන්න ප්‍රධාන හේතුවක් වුණේ එහි රැවටිලි සහගත ලිපි ලේඛන යි. ණය ගෙවිය යුතු ආකාරය ගැන කොන්දේසි දීර්ඝ පරිච්ඡේද අස්සේ අපූරුවට සඟවන්න කටයුතු කර තිබුණා. මේ නිසා එය කියවන බොහෝ දෙනෙකුට ඒත්තු ගිය දේ සහ සැබෑවටම අදාළ ණය මුදල අය කරගත් ආකාරය අතර තිබුණේ ලොකු වෙනසක්. මේ නිසා කැමැත්තෙන්, කොන්දේසි දැනගෙන ණය ගන්නා අය වෙනුවට රැවටී විශාල මුදලක් ගෙවන අය තමයි වැඩි පිරිසක් බිහි වුණේ.

අමුතුම සූත්‍රයක්

මේ රැවටිල්ල ගැන තේරුම් ගන්න උදාහරණයක් විදිහට ඔවුන්ගේ ජනප්‍රියම ණය ප්‍රමාණය වූ ඩොලර් 300 ණය මුදල ගනිමු. බැලූ බැල්මට පෙනෙන්න තිබුණේ මෙයට ආපසු ගෙවිය යුතු ණය මුදල ඩොලර් 390ක් බව යි. මේ නිසා එය ලබා ගන්න බොහෝ දෙනෙක් කටයුතු කළා. එසේ ලබා ගත් අයගේ පඩියෙන් සති දෙකකට පසු ණය මුදලෙන් 30%ක් හෙවත් ඩොලර් 90ක් කපා ගැනුණා. බොහෝ දෙනෙක් එවිට හිතුවේ ඩොලර් 390ක මුදල ඩොලර් 90ක කොටස් 4ක් සහ ඩොලර් 30ක් ලෙස සති 10කින් ගෙවී යනු ඇති බව යි.

ඩොලර් 390ක් පමණක් ගෙවිය යුතු බවට රවටා ඩොලර් 975ක් අය කළ සූත්‍රය (ftc.gov)

නමුත් ඇත්තෙන්ම මේ ඩොලර් 90 අදාළ ණය මුදල අලුත් කිරීමේ සේවා ගාස්තුවක් පමණ යි. ඩොලර් 300ක මුල් ණය මුදලෙන් කිසිදු අඩු වීමක් නැහැ. සති 8ක් තුළ මේ විදිහට අලුත් කිරීම සඳහා පමණක් ඩොලර් 360ක් කපා ගැනෙනවා. ඉන් පසුව තමයි සැබෑවටම ණය මුදල වෙනුවෙන් ගෙවීම සිදු වෙන්නේ. 10 වන සතියේ එකවරම ඩොලර් 140 (90 + 50)ක් කපා ගැනීමත් එක්ක තමයි බොහෝ දෙනෙක් කලබල වෙන්නේ. ඒ ඇයි කියා බලන්න අමතා බැලුවාම ඔවුන්ට දැන ගන්න ලැබෙන්නේ මෙච්චර කල් තමන් ගෙවා ඇත්තේ ණය අලුත් කිරීමේ ගාස්තුව පමණක් බව යි. ඒ වන විටත් ඔවුන් ඩොලර් 500ක් ගෙවා තිබුණත් ඇත්තටම ඩොලර් 300ක ණයෙන් 250ක්ම ඉතිරි වී තිබෙනවා. එය සති දෙකකට වරක් ඩොලර් 50 බැගිනුත්, ඒ වන විට පවතින ඉතිරියෙන් 30%ක අලුත් කිරීමේ සේවා ගාස්තුවකුත් අය වෙනවා. මේ විදිහට දිගටම ගෙවී යන්න ඉඩ දුන්නොත් සති 20කට පසුව පොලී විදිහට පමණක් ඩොලර් 675ක් එක්ක මුළු මුදල ඩොලර් 975ක් ගෙවන්න සිදු වෙනවා! ඩොලර් 390ක මුළු මුදලක් පමණක් අය වෙන්නේ ණය ලබාගෙන සති දෙකක් තුළ ගෙව්වොත් පමණ යි.

මෙය බොහෝ දෙනෙක් දැන ගන්නා විටත් රැවටී විශාල මුදලක් ගෙවා අවසාන යි. නමුත් ඔවුන් කොන්දේසිවලට එකඟ වී ඇති නිසා කරන්න දෙයක් නැහැ. හැමෝම වගේ කේන්තියෙන් යුතුව නඩු පවරන්න උත්සාහ කළත් රතු ඉන්දියානු ව්‍යාපාරයක් නිසා කිසිම පියවරක් ගන්න බැහැ. මේ ණය ගන්නා බොහෝ දෙනා දුප්පත් අය නිසා ඔවුන්ට ෆෙඩරල් උසාවි ගොස් ඊට වඩා මුදලක් වැය කරන්නත් හැකියාවක් නැහැ. AMG services වංචාවෙන් විශාල මුදලක් උපයා ගන්නවා. 2008-2013 කාලය අතරතුර ඔවුන් ණයකරුවන් මිලියන 4කට පමණ සේවය සලසා ඩොලර් බිලියන 3.5ක පමණ මුදලක් වංචනිකව උපයන්න සමත් වුණා.

අවසානයේ නීතියට හසු වීම

(bizj.us)

කොහොම වුණත් මේ ගැන තොරතුරු පැතිරී යාමත් එක්ක 2012 දී ඇමරිකානු ෆෙඩරල් වෙළඳ කොමිසම මඟින් AMG services වෙත නඩු පවරනු ලැබුවා. විවිධ මූල්‍ය වංචා ගණනාවක් යටතේ ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කෙරුණා. තොරතුරු සඟවා වංචා කිරීම යටතේ වැරදිකරුවන් වූ ඔවුන්ට තමන්ගෙන් ණය ලබා ගත් අයට එකතුව ඩොලර් බිලියන 1.3 ක් වූ දඩ ප්‍රමාණයක් ගෙවන්නත් නියම වුණා. මෙය දඩ මුදල් අතින් ගත් කළ ලෝක වාර්තාවක් ලෙස සැලකෙනවා. ටකර්වත් පසුව බදු වංචා කිරීමේ චෝදනා යටතේ සිරගත කෙරුණා.

කොහොම වුණත් බොහෝ දෙනෙකුගේ අදහස ටකර් සිදු කළ මේ සදාචාර විරෝධී ක්‍රියාවට එය ප්‍රමාණවත් නැති බව යි. අදටත් ඔහු මෙයින් හිමි කරගත් සුඛෝපභෝගී නිවෙස්, වාහන, ගුවන් යානා ඇතුළු බොහෝ දේවල හිමිකරුවෙක්. දැනට සිරගතව සිටියත් මිලියන ගණනක් අහිංසක, අසරණ මිනිසුන්ට ඔහු සිදු කළ වංචාවේ, පීඩාවේ තරමට එය අලගු තියන්නටවත් බැහැ. කරන්නට දෙයක් නැති කමට කුඩා ණයක් ලබාගෙන ඒ මෙන් කිහිප ගුණයක් නිකරුණේ ගෙවා දමන්නට සිදු වූ ඔවුන් මොන තරම් අසරණ වෙන්නට ඇත් ද? ඒ ණය බේරන්න තවත් මොන තරම් ණය ගන්නට සිදු වෙන්න ඇත් ද?

ප්‍රවේශමෙන් (ytimg.com)

කොහොම නමුත් තවමත් payday loan සේවා ලෝකය පුරාම ක්‍රියාත්මක යි. මෑත කාලයේ ශ්‍රී ලාංකිකයන් වෙතත් මීට සමාන ණය දීමේ ක්‍රම බිහි වී තිබෙන බව දැක ගන්න ලැබෙනවා. මේ නිසා විවිධ වංචාවන්ට හසු වෙන්නට තිබෙන ඉඩකඩ ගැන නිතරම හොඳ අවබෝධයක් ඇතිව ඉන්නට කල්පනාකාරී වන්න.

කවරයේ රූපය : snappypaydayloans.com

Related Articles