Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝක සිනමාවට නව මානයන් පෙන්වූ සෝවියට් සිනමාවේ ඇරඹුම

දැනට වසර 123කට පෙර ප්‍රංශයේ පැරිස් නුවර ග්‍රෑන්ඩ් කැෆේ අවන්හලේ දී අපූරු කර්තව්‍යයක් සිදුවිය. කලා ලොවට නව ශානරයක් එකතු කරමින් සිනමාව ලොවට දායාද වුයේ 1895 දෙසැම්බර් මස 28 වන දා ග්‍රෑන්ඩ් කැෆේ අවන්හලේ දී ය. ලොව ප්‍රථම චිත්‍රපටය ප්‍රදර්ශනය වූයේ එහි දී යි. ලුමියර් සහෝදරයන්ගේ නිෂ්පාදනයක් වූ මෙය ‘Arrival of a Train to Ciatot’ ලෙස නම් විය. ප්‍රංශයේ සියටෝට් දුම්රියපොළට දුම්රියක් පැමිණෙන දර්ශනයක් මෙහි අන්තර්ගත ය. ඉතිහාසය පවසන ආකාරයට මෙම පළමු දර්ශනයේ දී මින් පෙර එවැනි අත්දැකීමක් නොලබා සිටි නිසා දුම්රියක් තමන් වෙත පැමිණෙන බව සිතූ ප්‍රේක්ෂකයන් හුන් තැනින් නැගිට දිවයන ලදී. ඒ නූතන සිනමාවේ තිඹිරි ගෙය යි.

ලුමියර් සහෝදරවරු (lumiereawards)

සෝවියට් සිනමාව පිළිබඳ අධ්‍යයනය කිරීමේ දී පරිච්ඡේදයන් තුනක් හමුවේ. පුර්ව විප්ලවීය වැඩවසම් යුගයේ රුසියානු සිනමාව, විප්ලවයෙන් පසු එළඹි සෝවියට් සිනමාව සහ සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු ස්ථාපිත වූ ධනේශ්වර රුසියාව තුළ සිනමාව, එම යුග තුන යි. සෝවියට් සිනමාවට එළඹීමට පෙර පුර්ව විප්ලවීය රුසියාවේ සිනමාව බිහි වූ අයුරු සලකා බැලීම වටියි. රුසියාව තුළ සිනමාව ඇරඹෙන්නේ ලුමියර් සහෝදරයන්ගේ සිනමාගමනය සමග ම යි. මුලින් ම 1896 දී ලුමියර් සහෝදරයන් විසින් මොස්කව් සහ ශාන්ත පීටස්බර්ග් නගරවල සිනමා ප්‍රදර්ශන පවත්වන ලද අතර රුසියාවේ පළමු නිර්මාණය වාර්තා චිත්‍රපටයක් ලෙස එම වසරේ ම බිහිවිය. Coronation of Nicholas ii නම් වූ මෙම නිර්මාණය රුසියාවේ දෙවන නිකොලස් සාර්ගේ රාජාභිෂේක උත්සවයේ රූපකරණයක් විය. ලුමියර් සහෝදරයන්ගේ කැමරා ශිල්පියෙකු වූ කැමිලි කර්ෆ් ශිල්පියා විසින් මෙය නිර්මාණය කරන ලදී.

රුසියාවේ බිහි වූ ප්‍රථම ප්‍රබන්ධ චිත්‍රපටය (Fictional) වුයේ 1908 නිර්මාණය වූ ඇලෙක්සැන්ඩර් ඩ්‍රැන්කොව්ගේ Stenka Razin චිත්‍රපටය යි. 1910 දී Lucanus Cervus නම් කාටූන් චිත්‍රපටයක් ද බිහි වූ අතර 1912 දී Defence of Sevastopol චිත්‍රපටය මොෂුකින් විසින් නිර්මාණය කරන ලදී. යාකොව් ප්‍රොටාෂැනොව් විසින් Departure of a Grand Old Man සහ 1917 දී Father Sergius ද නිර්මාණය කරන ලදී. 1917 දක්වා රුසියානු සිනමාවේ යුගය පුර්ව විප්ලවීය යුගයට අයත් වන අතර රුසියානු සමාජයේ දැවැන්තම පෙරළිය සමඟින් 1917 ඔක්තෝබර් විප්ලවයෙන් පසු ව සිනමාව ද විප්ලවීය පරිවර්තනයකට ලක් විය.

Stenka Razin (artesecontextos)

පශ්චාත් විප්ලවීය සිනමාව

සාර් පාලනය යටතේ පැවති රුසියාව ඔක්තෝබර් විප්ලවයෙන් පසු ව සමාජ, ආර්ථික, දේශපාලනික මෙන් ම සංස්කෘතික අංශයන්ගේ විප්ලවීය වෙනසක් ඇති කිරීම ආරම්භ වූ අතර සාක්ෂරතාව ඉතා දුර්වල වූ රුසියාව තුළ අධ්‍යාපනික වර්ධනයන් ඇති කිරීම අත්‍යවශ්‍ය බව පසක් විය. නව රජයේ අධ්‍යාපනය හා සංස්කෘතිය භාර කොමිසාර්වරයා ලෙස අධ්‍යාපන පර්යේෂකයෙකු වූ ඇනටෝලි ලුනාචාර්ස්කි පත් කරන ලදී. අධ්‍යාපනික මෙන් ම සංස්කෘතික ප්‍රගමනය සඳහා සිනමාවට විශේෂ කාර්යයක් කළ හැකි බව ලෙනින් වටහා ගෙන තිබුණි. ලෙනින්ට අනුව ‘සියලු කලාවන් අතර ශ්‍රේෂ්ඨතම කලාව සිනමාව යි’. කෙටි කලක් තුළ දී විශාල දැනුමක් මෙන් ම අත්දැකීම් ද ලබාදීමේ හැකියාව සිනමාව සතු ව තිබීම ඊට හේතුව යි. එසේම ඒ වන විට සාක්ෂරතාව ඉතා දුර්වල වූ රුසියාව තුළ ජනතාවගේ අධ්‍යාපනය සහ සංස්කෘතිය ඉහළ නැංවීමට පහසුම ක්‍රමයක් ලෙස ද සිනමාව වැදගත් විය.

ලෙනින්ගේ මැදිහත්වීම මත අධ්‍යාපන, සංස්කෘතික පුනර්ජීවන වැඩසටහනේ සිනමාවට ප්‍රමුඛ ස්ථානයක් හිමි විය. සිනමා කර්මාන්තය ජනසතු කරන ලද අතර 1919 දී මොස්කව්හි ලොව ප්‍රථම චිත්‍රපට විද්‍යාතනය (VGIK) බිහිවිය. එහි ප්‍රධාන පර්යේෂකයා වූ ලෙව් කුලෙෂේව්ගේ සිනමා පර්යේෂණ යන සමෝධාන සිනමාවේ මුලාරම්භය විය. නැවත 1922 දී පෞද්ගලික සිනමා කර්මාන්තයට ඉඩ ලබාදීමට ලෙනින් කටයුතු කළ අතර පෞද්ගලික සිනමාව පවත්වාගෙන යමින් ඉන් නිසි බදු මුදල් ලබාගැනීම අවශ්‍ය බව පෙන්වා දෙන ලදී. සිනමා කර්මාන්තය නගරය තුළ පමණක් නොව ඈත දුෂ්කර ගම්මාන වෙත ද රැගෙන යාමේ වැදගත්කම ලෙනින් පෙන්වා දෙන ලදී.

VGIK සිනමා විද්‍යායතනය (artesecontextos)

නමුත් ලෙනින්ගේ මරණයෙන් පසු ව කලාවට බොහෝ වාරණ පැනවුණු අතර නිර්මාණ තහනම් කිරීම මෙන්ම නිර්මාණකරුවන් රටහැර යාම ද සිදුවිය. නමුත් ඒ සියල්ල මැද නිර්මාණකරණය මෙන් ම නව ශෛලීන් සොයා ගිය ධෛර්යය සම්පන්න කලාකරුවන් ද විය. විටෙක විදේශගත ව පවා නිර්මාණකරණයේ යෙදීමට සෝවියට් කලාකරුවන් කටයුතු කළහ.

සමෝධාන සිනමාව

මොස්කව් චිත්‍රපට පර්යේෂණ ආයතනය බිහිවීමෙන් පසු ව ලෙව් කුලෙෂේව් (1899 – 1970) විසින් කළ පර්යේෂණවල ප්‍රතිපලයක් ලෙස සමෝධාන රීතියට අවශ්‍ය මූලික දැනුම වර්ධනය විය. කුලෙෂේව් විසින් සිනමාපට අධ්‍යයනය කරමින් සංස්කරණය කරන අයුරු, ඉන් නව අරුත් බිහිකරන ආකාරය පිළිබඳ ව නව සොයාගැනීමක් කරන ලදී. රූප සන්ධි කිරීමේ නව න්‍යාය බිහිවන්නේ ඔහු විසින් කළ මෙම අධ්‍යයනවල ප්‍රතිපලයක් ලෙස යි. කුලෙෂේව් විසින් එකිනෙකට අසම්බන්ධිත රූපරාමු තුනක් සන්ධි කිරීමේ දී සිදුවන දේ සොයා බැලීය. එතෙක් අනවරත දීර්ඝ දර්ශන ලෙස පැවති සිනමාවට ඛණ්ඩනය කළ දර්ශන යොදාගැනීම පිළිබඳ ව අවධානයට පාත්‍ර වූයේ මේ සමග යි.

ලෙව් කුලේශෙව් (russia-ic)

ඔහුගේ පර්යේෂණය සරල ව මෙසේ ය. ඔබට මුලින් ම මිනිස් මුහුණක් දර්ශනය කරන අතර ඉන්පසු ව ආහාර බඳුනක දර්ශනයක් පෙන්වා, නැවත පෙර මුහුණ ම පෙන්වයි. මුල දී හැඟීමක් ප්‍රකාශ නොවන මුහුණ තුළ දැන් ඔබට කුසගින්න දක්නට ලැබේ. ඉන්පසු ව රූමත් තරුණියකගේ දර්ශනයක් වෙත යොමු වී නැවත පෙර මිනිස් මුහුණ ම පෙන්වයි. දැන් ඔබට ඒ තුළ ආශාව දක්නට ලැබේ. ඉන්පසු ව නැවත දරුවෙකුගේ මිනී පෙට්ටියක දර්ශනයක් පෙන්වා නැවත පෙර මිනිස් මුහුණ ම පෙන්වයි. දැන් ඔබට එම මුහුණින් පෙනෙන්නේ බඩගින්න හෝ ආශාව හෝ වෙනුවට දුක යි.

කුලේශෙව් සංසිද්ධිය සරලව

මෙය ‘කුලෙෂේව්  සංසිද්ධිය (Kuleshev Effect)’ ලෙස ද හඳුන්වයි. මෙම අපූරු සොයාගැනීම සමෝධාන රීතිය හෙවත් Montage Theory ලෙස පසු ව දියුණු කරනු ලබන්නේ කුලෙෂේව් යටතේ සිනමාව හදාරනු ලැබූ ශිෂ්‍යයෙකු වූ සර්ජි අයිසෙන්ස්ටයින් විසිනි. එසේ ම සමෝධානය රීතියක් ලෙස භාවිතා කරමින් නිර්මාණකරණය ආරම්භ කරනු ලබන්නේ ද අයිසෙන්ස්ටයින් විසිනි.

සර්ජි අයිසෙන්ස්ටයින් උපත ලැබුවේ 1898 වසරේ ලැත්වියාවේ දී ය. ඔහුගේ පියා වාස්තු විද්‍යා ශිල්පියෙකු වූ අතර මව ධනවත් ව්‍යාපාරිකයෙකුගේ දියණියක් විය. රුසියාවේ 1905 විප්ලව සමයේ දී සර්ජි මව සමග ශාන්ත පිටස්බර්ග් වෙත පැමිණි අතර 1910 දී දෙමව්පියන් වෙන්වෙයි. මව ප්‍රංශය බලා පිටත් වේ. අයිසෙන්ස්ටයින් මුලින් ම පෙට්‍රොග්‍රෑඩ්හි වාස්තු විද්‍යාව සහ ඉංජිනේරු ශිල්පය හදාරන අතර ඔක්තෝබර් විප්ලවය ආරක්ෂා කිරීමට 1918 දී සෝවියට් රතු හමුදාව සමග එක්ව කටයුතු කරයි. ඔහුට අනුව තමන් කලාකරුවෙකු බවට පත් වූයේ රතු හමුදාවේ සේවය කිරීමෙන් ලද අත්දැකීම් අනුව ය. එසේ නැත්නම් ඔහු වාස්තු විද්‍යා ශිල්පියෙකු හෝ ඉංජිනේරුවෙකු ලෙස කටයුතු කිරීමට ඉඩ තිබූ බව ඔහු පවසයි.

අයිසෙන්ස්ටයින් සිනමාපටයක් සංස්කරණය කරමින් (rbth)

1923 දී ඔහු විසින් තම අධ්‍යයනවලින් පසු ව ‘Montage of Attractions’ නිබන්ධනය ප්‍රකාශයට පත් කරන ලදි. තම ප්‍රථම සිනමා නිර්මාණය ලෙස අයිසෙන්ස්ටයින් විසින් නිර්මාණය කරන ලද The Strike සෝවියට් දේශයේ තිරගත වූයේ 1925 දී ය. එය සමෝධාන රීතිය ව්‍යවහාරයේ යෙදූ ඔහුගේ පළමු වෑයම යි. ඉන්පසු ව ඔහු නිර්මාණය කළ Battleship Potemkin යනු එදා මෙදාතුර බිහි වූ සමෝධානයේ අග්‍ර ඵලයක් ලෙස ජාත්‍යන්තර මට්ටමින් ගරු බුහුමනට පාත්‍ර වන අනගි නිමැවුමකි. මෙහි කියවෙන්නේ සාර් රුසියාව තුළ එක් නැවක නාවිකයන් ගෙවන දුෂ්කර දිවිය සහ ඔවුන්ට සිදුවන මර්දනයට එරෙහිව නැගී සිටින ආකාරය යි. ඔඩෙස්සා පඩිපෙළ මෙහි වඩාත් අවධානයට ලක් වූ දර්ශන යි. එහි සිදුවන්නේ සාර් හමුදාව විසින් නිරායුද ජනයාට එරෙහිව දියත් කරන මර්දනය යි. විචාරක පැසසුම් ඉහළින් ම හිමිවන්නේ මෙම ඔඩෙස්සා පඩිපෙළ දර්ශනය යි.

Battleship Potemkinහි ඔඩෙස්සා පඩිපෙළෙහි දර්ශන කිහිපයක් (unaffiliatedcritic)

අයිසෙන්ස්ටයින් ඉදිරිපත් කළ සෝවියට් සමෝධාන රීතියේ මුලික ප්‍රභේද පහකි. ඒ සමග ඊට අදාළ උදාහරණය බැගින්ද  පහතින් දක්වා ඇත.

Metric Montage

මෙහි දී සිදුකරන්නෙ දීර්ඝ දර්ශනාවලිය, කොටස් විශාල ප්‍රමාණයකට විභේදනය කර ප්‍රේක්ෂකයාගේ භාවයන් ඉස්මතු වන සේ ගැළපෙන පසුබිම් සංගීතයන් සමග ඉදිරිපත් කිරීම යි. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ සම්පුර්ණ සිදුවීම අනවරතව ඉදිරිපත් නොකළත් ඉන් දර්ශනය තුළ අඩංගු ප්‍රස්තුතයට හානියක් නොවීම යි.

Intellectual Montage

මේ අප මුලින් සඳහන් කරන ලද කුලේෂේව් සංසිද්ධිය හා සම්බන්ධ රීතිය යි. එනම්, එකිනෙක වෙනස් දර්ශන දෙකක් මඟින් ඊට වෙනස් තුන්වන හැඟීමක් ජනිත කිරීම යි.

Rhythmic Montage

මෙහි දී පසුබිම් සංගීතයක් සමග දර්ශන තල කිහිපයක් ප්‍රේක්ෂකයා වෙත ගෙන එම මඟින් සමස්ත සිදුවීම පිළිබඳ පුළුල් අදහසක් ප්‍රේක්ෂකයා තුළ ජනිත කරවයි.

Tonal Montage

මෙය උදාහරණයකින් පැහැදිලි කරමු. හිරු පෑයිම, දරුවෙකු උපත ලැබීම වැනි දර්ශනයන් මඟින් ප්‍රේක්ෂක මනසේ නව ආරම්භයක් සනිටුහන් කරන හැඟීම ජනිත කරවීම අයත් වන්නේ මෙම කාණ්ඩයට යි. එනම්, එකිනෙක සමාන්තර හැඟීම් දනවන දර්ශන පෙළක් මඟින් නව හැඟීමක් ජනිත කිරීම යි.

Overtonal Montage  

මෙහි එක ම සිදුවීම තුළ Metric, Rhythmic සහ Tonal යන රීතින් තුන ම භාවිතා කර, එම සිදුවීම තුළ ඇති ප්‍රතිරෝධයන් මනාව පෙන්වීමට සමත් වෙයි.

1927 දී ඔක්තෝබර් විප්ලවයට දස වසරක් පිරිම හේතු කරගෙන අයිසෙන්ස්ටයින් විසින් October (1927) නමින් චිත්‍රපටයක් නිර්මාණය කරන ලදී.

October (1927) (pinterest)

අයිසෙන්ස්ටයින් විසින් රචනා කළ කෘතීන් ලෙස  1949 දී Film Form ද, 1959 දී Notes of a Film Director නමින් ද පළවිය.

ලෝක සිනමාව තුළ අඛණ්ඩ දර්ශන සහිත නිර්මාණ බිහිවන විට ඒ පිළිබඳ පර්යේෂණ කරමින් රසයන් උත්පාදනය කිරීම සඳහා නව විධි ක්‍රමයක් ලෙස සමෝධාන හෙවත් මොන්ටාජ් ක්‍රමය හඳුන්වාදීමේ ගෞරවය සර්ජි අයිසෙන්ස්ටයින් හට මෙන්ම එහි මූලික අවස්ථාව අනාවරණය කරගත් ලෙව් කුලේශෙව් නිර්මාණකරු හට ද හිමි වේ.    

මූලාශ්‍රයයන්:

festival-cannes.com/en

ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය නැවත කියවීමක් (නියමුවා ප්‍රකාශන)

Related Articles