Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සුපිරි පාපන්දු ක්‍රීඩකයකු වූ වීදි දරුවාගේ කතාව

මයිකල් ජෙරෝම් විලියම්ස් හෙවත් මයිකල් ඕහර් ඇමරිකා එක්සත් ජනපදයේ ටෙනිසි හි මෙම්ෆිස් නගරයේ උපන්නේ 1986 මැයි 28 වන දිනදී ය. මයිකල් ජෙරෝම් සහ ඩෙනිස් ඕහර් යන යුවලට දාව උපන් ළමුන් දොලොස් දෙනාගෙන් එක් දරුවකු වුණු මයිකල් අධික දරිද්‍රතාවයෙන් පෙළුනු මේ පවුලේ අනෙකුත් දරුවන් මෙන්ම, කිසිදු සැළකිල්ලක් හෝ ආදරයක් නොලබමින් හැදී වැඩුණේ ය.

මයිකල්ගේ දුක්බර කුඩා කාලය

තම පියා නිතරම සිරගත වීම සහ මව මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වීම නිසා නිසි නිවහනක් පවා නොමැතිව මයිකල් සිය සොයුරු සොයුරියන් සමග ගත කළේ ඉතා දුක්බර දිවියක්. මේ නිසාම පාසල් ගමනත් අඩාල ව සිටි මයිකල් සිය ඉගෙනුම් වැඩ කටයුතු වලට උනන්දුවක් දැක්වූයේම නැහැ. ඉගෙනීමට ඉතාම දුර්වල ළමයකු වුණු මයිකල් හට පළමුවන සහ දෙවන වසර පන්ති ද්විත්වයේම දෙවතාවකට වඩා ඉගෙනුම ලබන්න සිදු වුණා. වසර නවයක් තිස්සේ සිය පාසල එකොලොස් වතාවක් මාරු කරන්නට මයිකල්ට සිදුවුණේ නිරන්තරයෙන්ම තම කැපකරු මාපිය නිවෙස් පවා මාරු කරන්නට ඔහුට සිදු වූ නිසාවෙන්. මයිකල් උසස් පාසලේ ඉගෙනුම ලබමින් සිටියදී ඔහුගේ පියා වෙඩි වැදී මිය යන්නේ මේ අතරතුරදී යි. මයිකල් තම මවගේ වාසගම වන ඕහර් යන නාමය පාවිච්චි කිරීමට පෙළඹෙන්නේ ඉන් අනතුරුවයි.

මයිකල් ඕහර් (www.apple.com)

ජිවිතයේ හැරවුම් ලක්‍ෂය

වයස අවුරුදු දහසයක් ලැබුවද ඉගෙනුම් වැඩ අතින් ඉතාමත් දුර්වල මේ දරුවාව ලෙ’ඈන් සහ ශෝන් ටූවී යුවලගේ අවධානයට යොමු වන්නේ මේ කාලයේදීයි. හිසට නිවහනක් හෝ ආදරය හා කරුණාව සපයන්නෙක් නොමැතිව අසරණව සිටි මයිකල් තම නිවසට ගෙන්වාගෙන ඔහු හට කැපකරු මවු පිය යුවලක් වන්නට මේ යුවල කටයුතු කරනවා. මයිකල්ගේ අඩාල වුණු අධ්‍යාපන කටයුතු නැවත ගොඩනංවන්නට උත්සාහ කරන අතරතුරදීම මේ යුවල වටහා ගන්නේ මයිකල් සතුව පවත්නා ක්‍රීඩා හැකියාවයි. ටූවී යුවලගේ මග පෙන්වීම යටතේ ඇමරිකානු පාපන්දු හෙවත් American Football ක්‍රීඩාවට යොමු වන මයිකල් එහි දස්කම් දක්වන්නේ පිටියේ පුරුදු කාරයෙක් ලෙසයි. ක්‍රීඩා කරද්දී පවා රළු පරළු ගති පෙන්නුම් කළත්, මයිකල් සතු හැකියාව ඔප මට්ටම් කොට නොමැති දියමන්තියක් බව මයිකල්ගේ පාසලේ ගුරුවරුන්ට වටහා දෙන්නේත් ටුවී යුවලයි.

මේ අතුරින් ලෙ’ඈන් ගේ කැපවීම නිසාවෙනුයි මයිකල් මේ සියළු අවස්ථාවන් උදා කරගන්නට මග පාදාගන්නේ. වයස අවුරුදු 17ක් වන විට මයිකල් පිටියේ ඉතා ඉහලින් දස්කම් දක්වන ක්‍රීඩකයකු බවට පත් ව හමාරයි. මේ දස්කම් නිසා ඉතා ඉක්මණින් ප්‍රමුඛ පෙළේ පාසල් වලින් වගේම ක්‍රීඩා කණ්ඩායම් වලිනුත් මයිකල්ට ආරාධනා වගේම ශිෂ්‍යත්ව ලැබෙනවා. ටෙනිසි ප්‍රාන්ත පාපන්දු කණ්ඩායමේ ප්‍රමුඛතම ක්‍රීඩකයා බවට මයිකල් පත්වන්නේ ඉතාම තරුණ අවධියෙදී යි. මයිකල් ඕහර් අද වන විට සුපිරි ගණයේ ක්‍රීඩකයකු බවට පත් වී හමාරයි. නමුත් මයිකල්ගේ සාර්ථකත්වය පිටුපස සිටි ඒ සෙවනැල්ල ඔහු අදටත් අමතක කොට නැහැ.

මයිකල් තම නව දෙමව්පියන් සමගින් (www.biography.com)

තමා කාත් කවුරුත් නොමැති අසරණ දරුවකුව අතරමං වුණු දිවියක් ගත කරමින් සිටියදී තමාට දෙමව්පියන් බවට පත් වෙමින් තමාට පවුලක් යනු කවුරුන්දැයි යන්න වටහා දුන් ටුවී යුවල මයිකල් ඕහර් අදටත් ඉතා ආදරයෙන් සහ භක්තියෙන් යුතුව සිහිපත් කරනවා. ටුවී පවුලේ දරුවන් වන ශෝන් ජූනියර් සහ කොලින්ස් දෙදෙනා පවා කිසිදු පැකිලීමකින් තොරව මයිකල් තම සහෝදරයෙක් ලෙස පිළිගත් නිසා මයිකල්ගේ ආත්ම විශ්වාසය වඩාත් දියුණු වුණා. “ඔවුන් නොවන්නට අද මා මෙතන නැහැ. ඔවුන් මට බොහෝ දේ කියා දුන්නා වගේම වටහා දුන්නා. තමන් කෙනෙක්ට උපකාරයක් කරන්නට කැමති නම්, තවෙකෙකුට අලුත් අවස්ථාවක් දෙන්නට කැමති නම්, ඒ සඳහා නොපැකිල පියවර ගත යුතු බව ඔවුන් මට කියා දුන්නා..” තම ආදරණීය පවුලේ සාමාජිකයින් ගැන මයිකල් කථා කරන්නේ එලෙසයි.

මයිකල්ගේ ජීවිතය සිනමා ඇසින්

මයිකල්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වන මේ හමුවීම ලොව පුරා ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන පුවතක් බවට පත් වීමත් සමගම හොලිවුඩයේ අවධානය මේ කථාව දෙසට යොමු වනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 2009 වසරේදී “The Blind Side” නමින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය වන්නේ ජෝන් ලී හැන්කොක් අතින්. (හොලිවුඩයට එන්නට මත්තෙන් මේ කථාව මේ නමින්ම පොතක් ලෙසත් පළ කෙරෙනවා.) සුපිරි හොලිවුඩ් නිළි සැන්ඩ්‍රා බුලොක් මෙම චිත්‍රපටයේ ලෙ’ඈන් ටූවීගේ චරිතය සඳහා තෝරා ගැනෙනවා.

චිත්‍රපටයේ දසුනකින්.. (www.uhsecho.com)

සැන්ඩ්‍රා බුලොක් එම චරිතයට උපරිම සාධාරණයක් ඉටු කරනා බව සියළුම විචාරකයන්ට පසක් වන්නේ ඇය එම චරිතය වෙනුවෙන් ඔස්කාර් සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන ඇතුළු සම්මාන රැසක් දිනා ගැනීම හේතුවෙනුයි. IMDB චිත්‍රපට දර්ශකයේ 7.7ක අගයක් ගන්නත් මේ චිත්‍රපටය සමත් වී තිබෙනවා. ලොව පුරා ඉමහත් ප්‍රසාදයට බඳුන් වන මේ චිත්‍රපටය ඉතා සංවේදී ලෙස පෙන්වා දෙන්නේ ඕනෑම සමාජයක වරප්‍රසාද ලත් සහ නොලත් යන වශයෙන් දෙකොට්ටාසයක් ජීවත් වන බවයි. නමුත් අප සැබවින්ම අපට නොපෙනෙන, එසේත් නැත්නම් අප නොබලන්නට තීරණය කර විටින පස දෙස මදක් බැලුවහොත් අපගේ උපකාරය අවශ්‍ය අය බොහෝ දෙනා අපට එකී කම් කටොළු වලින් මුදවාගන්නට හැකි වන බවයි.

www.zimbio.com

ඉතා ධනවත් යුවලක් වන ටුවී යුවල මයිකල්ව තම පවුලට පිළිගන්නේ තවත් එක් සමාජ සත්කාරක ව්‍යාපෘතියක් ලෙසින් නෙවෙයි. සැබවින්ම මේ දරුවාගේ අනාගතය යහපත් කිරීමේ අරමුණෙනුයි ඔවුන් එම පියවර තබන්නේ. එවැනි පියවර තවත් තබන්නට ඔවුන් අදටත් කටයුතු කරමින් සිටිනවා. මයිකල් ඕහර් වැන්නවුන්ගෙන් අඩුවක් අදටත් මේ සමාජයට නැහැ. අවශ්‍යව ඇත්තේ තවත් ලෙ’ඈන් ලා පමණයි. චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය මෙතැනින්: https://www.youtube.com/watch?v=gvqj_Tk_kuM

කවරයේ ඡායාරූපය – www.today.com

තොරතුරු උපුටා ගැනීම – www.biography.com, www.leighannetuohy.com හා www.imdb.com වෙබ් අඩවි ඇසුරිණි.

Related Articles