ක්‍රිකට් පන්දුවක වතගොත

ක්‍රිකට් කියන්නේ ලංකාවේ ජාතික ක්‍රීඩාව නොවුණාට ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාවයි කියන එක අසත්‍යක් නොවෙයි. 1982 වසරේදි ටෙස්ට් වරම් ලබාගත් අපි 1996 වසරේදී ලෝකයම දණගස්වමින් එක්දින ලෝක කුසලානයත් 2014 වසරේදී T20 ලෝක කුසලානයත් දිනාගන්නවා.

ක්‍රිකට් ක්‍රීඩා කරන්න පන්දුවක් හා පිත්තක් නැතුවම බැහැ. ගමේ වෙල් එළියේ ක්‍රිකට් ක්‍රීඩා කරන ගැටව් මීට ටික කාලයකට පෙර පිත්තක් පොල් පිති වලින් කපාගෙන ටෙනිස් හෝ රබර් බෝලයකින් ක්‍රීඩා කළා.නමුත් ජාතික හෝ ජාත්‍යන්තර මට්ටමේදී හා බොහෝ පාසල් තරග වලත් නිළ වශයෙන් ක්‍රීඩා කරන්නේ ඒ සඳහාම නිමැවුණු පන්දුවකින්. එක්දින හා බහු දින වලට වෙනස් වර්ණයකිනුත් වයස හා ස්ත්‍රී පුරුෂ කාණ්ඩ අනුව වෙනස් බරකින් හා ප්‍රමාණයකිනුත් මේ පන්දුව නිමැවෙනවා. අපි අද ඔබ වෙත ගෙන එන්නේ මේ ක්‍රිකට් පන්දුවක වත ගොතයි. ක්‍රිකට් පන්දුවක අන්තර්ගතය, නිමැවුම් ක්‍රියාවලිය හා තරග ස්වභාවය අනුව යොදාගන්න පන්දු වල වෙනස්කම් ගැන දැන ගන්නට ක්‍රිකට් ක්‍රීඩා කිරීමට, නරඹන්නට කැමති ඔබ අකමැති වන එකක් නැහැ.

ක්‍රිකට් පන්දුවක නිෂ්පාදන ක්‍රියාවලිය

නිල ක්‍රිකට් තරගයක යොදා ගන්නා පන්දුව අපි සාමාන්‍ය ව්‍යවහාරයේ දෘඪ පන්දු හෙවත් ලෙදර් පන්දුව ලෙස හඳුන්වනවා. සාමාන්‍යයෙන් ඉතාම දැඩි බවක් උසුළන මෙයට ලෙදර් හෙවත් හම් පන්දුව යනුවෙන් ප්‍රකාශ කරන්නේ එහි පිටත හම් ආවරණයකින් සාදා ඇති නිසායි. ඇත්තෙන්ම මෙයට යොදාගන්නා ප්‍රධාන අමුද්‍රව්‍ය හම් නොවෙයි. ඕක් ලී හා නූල්.

gettyimages.com

ක්‍රිකට් පන්දුවක් නිපදවීමේදී මුලින්ම හොඳින් පදම් වුණු ඕක් අරටුවකින් කුට්ටියක් ගෙන එය ඉතාම තදින් ශක්තිමත් නූලකින් හාත්පස වෙලන්නේ ගෝලාකාර හැඩයක් එන තුරුයි. වර්තමානයේදී කුට්ටියක් වෙනුවට කුඩා රබර් ගෝලයක් වටා අරටු කැබලි තබා වූල් නූලෙන් වෙලීමත් සිදු වෙනවා. මෙසේ වෙලන  විට හැකිතාක් හිඩැස් ඇහිරෙන ලෙසට නූල වෙලන්නට පන්දු නිෂ්පාදකයින් පියවර ගන්නවා. ඉන් අනතුරුව පන්දුව අන්තර්ජාතික නිර්ණායක වලට අනුකූල නිසි බරින් යුතුදැයි බලන්නට කිරා බලනවා.සාමාන්‍යයෙන් වැඩිහිටි පුරුෂ ක්‍රිකට් තරගයකට භාවිතා වෙන පන්දුවක තිබිය යුතු නිල බර ග්‍රෑම් 155.9 – 163.0 අතරයි. ඉන් අනතුරුව හොඳින් පදම් කළ හම් කැබලි 4 ක් ගෙන මුලින් සාදාගත් ගෝලය වටා හොඳින් ඇදෙන සේ සවි කර ගෝලයේ ‘සමක’ පෙදෙස ඔස්සේ සීමය එසවෙන පරිදි ශක්තිමත් නූලකින් හොඳින් මහනවා. ක්‍රිකට් පන්දුවක සීමයට සාමාන්‍යයෙන් මැහුම් 6ක් දමනවා.

Video 1- (1950 දශකයේ ක්‍රිකට් පන්දු නිෂ්පාදනය වූ හැටි)

සියල්ල අවසානයේ පිටත ඇති හම් ආවරණය වර්ණ ගන්වනවා.එය රතු, සුදු හෝ රෝස විය හැකියි. ඉන් අනතුරුව නිෂ්පාදකයාගේ නම පන්දුව මත සන් කොට ඔප දැමීම සිදු කරනවා. අනතුරුව පන්දුවේ නියම ගෝලාකාර හැඩය අච්චුවකට දමා පරීක්ෂා කරනවා. පරීක්ෂණය සමත් වෙන පන්දු ඉවතට නිකුත් කරනවා. දැන් ක්‍රිකට් තරගයක් සඳහා පන්දුව සූදානම්.

ක්‍රිකට් පන්දුවක හරස්කඩක් -cricketstoreonline.com

ක්‍රිකට් පන්දු නිෂ්පාදනය කරන්නේ කොහේද?

මුලින්ම ක්‍රිකට් පන්දු නිෂ්පාදනය කළේ එංගලන්තයේ කෙන්ට් හි සමාගම් කිහිපයක් විසින්. පසුව ඕස්ට්‍රේලියාවේත් පන්දු නිෂ්පාදනය ආරම්භ කළ අතර වර්තමානය වන විට මොවුන් විසින් ඉන්දියාව, පාකිස්ථානය වැනි දකුණු ආසියානු රට වල කර්මාන්ත ශාලා ආරම්භ කර තිබෙන්නේ නිෂ්පාදන වියදම අවම කර ගැනීමටයි. එංගලන්ත හා ඕස්ට්‍රේලියානු සමාගම් විසින් ඉන්දියාවේ ජලන්ධර් හා පාකිස්ථානයේ සායිකොට් වැනි දකුණු ආසියානු නගර වල ස්ථාපිත කර තිබෙන කර්මාන්ත ශාලා වල නිපදවෙන පන්දු 98%ක්ම අවස්ථා වලදී ක්‍රීඩා සමාජ තරග වලට යොදා ගන්නවා. අද වන විට ඉන්දියාවත් තනිවම ක්‍රිකට් පන්දු නිෂ්පාදනය කරනවා.

එංගලන්තයේ පැරණිම ක්‍රිකට් පන්දු කර්මාන්තශාලාවක් -commons.wikimedia.org

ක්‍රිකට් පන්දුවක නිල ප්‍රමාණය හා බර

වැඩිහිටි තරග සඳහා නිපදවන ක්‍රිකට් පන්දුවක ප්‍රමාණය හා බර කාන්තා හා පිරිමි තරග වෙනුවෙන් වෙනස් වෙනවා. පිරිමි තරගයක් සඳහා යොදාගන්නා පන්දුව බරින් අවුන්ස 5.5 සිට 5.75 දක්වාත් විෂ්කම්භය අඟල් 8 13/16 සිට 9 දක්වාත් අතර අගයක් ගත යුතුයි. කාන්තා තරගයකට යොදාගන්න පන්දුව සාපේක්ෂව මඳක් කුඩා එකක්, එහි බර  අවුන්ස 4 15/16 සිට 5 1/16 දක්වාත් විෂ්කම්භය සෙන්ටිමීටර 8.3 සිට 8.9  දක්වාත් විය යුතුයි. වයස අවුරුදු 13 න් පහළ වැනි ළමා ක්‍රිකට් තරගයකට යොදා ගන්න පන්දුව මීටත් කුඩායි. එහි බර අවුන්ස 4 11/16 සිට 5 1/16 දක්වාත් විෂ්කම්භය සෙන්ටිමීටර 20.5 -22.5 අතර විය යුතුයි. සාමාන්‍යයෙන් වැඩිහිටි පිරිමි ක්‍රිකට් පන්දුවක් ග්‍රෑම් 156ක් ද, කාන්තා පන්දුවක් ග්‍රෑම් 142ක්ද, යෞවන පන්දුවක් ග්‍රෑම් 135ක්ද බරින් යුක්ත වෙනවා.

විවිධ ක්‍රිකට් පන්දු වර්ග

පෙර සඳහන් කළ පරිදි වර්තමානය වන විට ක්‍රිකට් පන්දු වර්ණ තුනකින් නිපදවෙනවා. රතු පැහැති පන්දුව අනාදිමත් කාලයක සිට ටෙස්ට් තරග සඳහාත් දිවා එක්දින තරග සඳහාත් යොදාගත් අතර දිවා රාත්‍රී එක් දින තරග ආරම්භ වූ පසු රතු පන්දුව ඒ සඳහා යොදාගැනීමේදී ප්‍රායෝගික ගැළුවක් මතු වුණා. ඔපය මැකී ගිය පසු රතු පන්දුව අඳුරු දුඹුරු පැහැයකට හැරෙන නිසා රාත්‍රියේදී දර්ශනය කර ගැනීම ඉතාම අසීරු කාර්යයක් වුණා. සුදු පන්දුව ලෝකයට හඳුන්වා දෙන්නේ මේ නිසා. පසුව සියළුම එක්දින තරග වලට සුදු පන්දුව භාවිතා කරන්නට තීරණය වුණා. ඉතාම මෑතකදී ආරම්භ වුණු දිවා රාත්‍රී ටෙස්ට් තරග සඳහා රෝස පැහැ පන්දුවක් භාවිතා වෙනවා.

theconversation.com

ලොව ප්‍රධානතම ක්‍රිකට් පන්දු වර්ග 3ක් තිබෙනවා. ඒ කොකබුරා, ඩියුක් හා එස්.ජී යන වර්ග 3යි. මින් එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙවු හි ඩියුක් පන්දුව භාවිතා වන අතර ඉන්දියාවේ එස්.ජී පන්දුව භාවිතා වෙනවා. මේ හැරුණු විට අනෙකුත් ටෙස්ට් තත්ත්වයේ රටවල් වන (ඇෆ්ඝනිස්ථානය හා අයර්ලන්තය නොසලකා) ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, පාකිස්ථානය, ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ, බංග්ලාදේශය යන රට වල කොකබුරා පන්දු භාවිතා කරනවා.

ඩියුක්, කොකබුරා හා එස්.ජී පන්දු- slideshare.net

රතු හා සුදු කොකබුරා පන්දුවල නිෂ්පාදන ක්‍රියාවලිය එක හා සමාන අතර පදම් කළ පිටත සම වර්ණ කරන විට රතු හෝ සුදු ආලේප කර ඒ ඒ පන්දුව ලබා ගන්නවා. නමුත් කුමක් හෝ හේතුවක් නිසා රතු පන්දුව මඳක් වැඩිපුර දෝලනය වෙනවා. අනෙක් අතින් සුදු ඩියුක් පන්දුවේ හා රතු ඩියුක් පන්දුවේ අන්තර්ගතයේ පැහදිලි වෙනසක් තිබෙනවා. සුදු ඩියුක් පන්දුවේ නිෂ්පාදන ක්‍රියාවලිය අවසානයේ ඔප දැමීමට පෙර තින්ත ස්ථරයට පිටතින් තුනී පොලියුරිතේන් ස්ථරයක් ආලේපනය කරනවා. මේ නිසා රතු ඩියුක් පන්දුව සුදු පන්දුවට වඩා පැහැදිලිවම දෝලනය වෙනවා.

ඉහත සඳහන් පන්දු වර්ග අතරින් කොකබුරා පමණක් යන්ත්‍රානුසාරයෙන් නිපදවන අතර අනික් වර්ග දෙකේම නිෂ්පාදන ක්‍රියාවලියේ වැඩි බරක් අදින්නේ මිනිසුන් විසින්. මේ නිසා ඩියුක් හා එස් ජී පන්දුවල කොකබුරාවලට වඩා ප්‍රමුඛ වුණු සීමයක් තිබෙන අතර පන්දු යවන්නන්ට වාසිදායක ලෙස එය යොදාගන්නට පුළුවන්.

(කවරයේ පින්තූරය- bikevcar.wordpress.com)

මූලාශ්‍ර

  1. bleacherreport.com
  2. alchetron.com
  3. sportsballshop.co.uk

Related Articles