උත්සව ශ්‍රීයෙන් ඇළලී ගිය වික්ටෝරියා රැජනගේ දියමන්ති ජුබිලිය

රටක රාජ්‍ය නායකයෙකa වීමට ලැබීම යම්කිසි පුද්ගලයකු සිය ජීවිතයේ ලබන විශාල ජයග්‍රහණයක් බව කියතොත් එය අතිශයෝක්තියක් නොවේ. එපමණක් නොව රාජ්‍ය නායකයකු ලෙස පත් වී, දීර්ඝ කාලයක් තිස්සේ එම තනතුර දැරීම ද විශාල අභියෝගයකි. එසේ නම් එක් රටක පමණක් නොව රටවල් ගණනාවක රාජ්‍ය නායකයෙක් වීමට ලැබීම කෙතරම් විශාල ජයග්‍රහණයක් ද?

වික්ටෝරියා රැජන – www.wikipedia.org

19 වැනි සියවසේ ලොව බලවත් ම රාජ්‍යය වූ මහා බ්‍රිතාන්‍යයේ කිරුළ දැරූ වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රිනා අධිරාජිනියගේ කතාන්දරය ද එවැන්නකි. වයස අවුරුදු 19 දී සිහසුනට පත් වූ ඇය පුරා වසර 63කුත් මාස හතක කාලයක් මහා බ්‍රිතාන්‍යයේත්, ඊට යටත් ව පැවති ශ්‍රී ලංකාව ඇතුළු තවත් රාජ්‍ය ගණනාවකත් කිරුළ දරුවා ය.  බ්‍රිතාන්‍ය ඉතිහාසයේ පළමු වරට සිහසුනට පත් වී වසර 60ක් සපිරීම, එනම් දියමන්ති ජුබිලියක් සමරන්නට ද ඇයට හැකි වූවා ය.

මෙම ලිපිය මහා බ්‍රිතාන්‍යය සහ ඊට යටත් ව පැවති සියලු රටවල් උත්සව ශ්‍රීයෙන් ඇළලී ගිය වික්ටෝරියා රැජනගේ දියමන්ති ජුබිලි සැමරුම පිළිබඳව යි.

වික්ටෝරියා රැජන

වික්ටෝරියා කුමරිය උපන්නේ 1819 මැයි 24 වැනිදා ය. හතරවැනි විලියම් රජුගේ අභාවයෙන් පසු, 1837 ජුනි 20 වැනි දා ඇය බ්‍රිතාන්‍යය සහ ඊට යටත් ව පැවති අනිකුත් සියලු ම රාජ්‍යයන්හි රැජන බවට පත්වූවා ය. එදා සිට  1901 ජනවාරි 22 දින මිය යනතුරු ම වසර 63කුත් මාස හතක කාලයක් ඇය සිහසුන දරුවා ය. වික්ටෝරියා රැජනගේ පාලන සමය සුවිශේෂී වූවක් ලෙස සැලැකේ.

ඊට හේතුව ඇගේ පාලන කාලය තුළ මහා බ්‍රිතාන්‍යයේ මෙන් ම ඊට යටත් ව පැවැති අනිකුත් රටවල ආගමික, සමාජයීය සහ දේශපාලනික වශයෙන් වෙනස්කම් රැසක් ඇති වීම ය. ඊට අමතර ව ඇගේ පාලන සමයේ දී නීතිය, කලාව, සාහිත්‍යය සහ නව නිපැයුම් වැනි ක්ෂේත්‍ර ගණනාවක ද ධනාත්මක මෙන් ම සෘණාත්මක වශයෙන් වෙනස්කම් ගණනාවක් ද ඇති විය.

වික්ටෝරියා රැජනගේ දියමන්ති ජුබිලි සැමරුම – www.royal.uk

රැජනගේ ඉල්ලීම

1896 සැප්තැමබර් 23 දින වික්ටෝරියා රැජන, ඒ වන විට බ්‍රිතාන්‍ය ඉතිහාසයේ වැඩි ම කාලයක් සිහසුන දරා තිබූ තුන්වැනි ජෝර්ජ් රජුගේ රාජ්‍ය කාලය අභිබවා ගියා ය. එය සැමරීම සඳහා වැඩසටහනක් සංවිධානය කළ යුතු බව බ්‍රිතාන්‍ය රජ පවුල සහ පාර්ලිමේන්තුව යෝජනා කළත් වික්ටෝරියා රැජන එම යෝජනාව ප්‍රතික්ෂේප කළා ය. ඇය පැවසුවේ රාජ්‍යත්වයට පත් වී වසර 60ක් සපිරෙන 1897 ජූනි මස දක්වා එම සැමරුම් කල් දැමීම වඩාත් සුදුසු බව යි.

විදෙස් නියෝජිතයන්ටත් ඇරියුම්

 එවකට යටත් විජිත ලේකම් ධුරය දැරූ ජෝසප් චේම්බර්ලයින් යෝජනා කළේ රැජන, තුන්වැනි ජෝර්ජ් රජුගේ රාජ්‍ය කාලය අභිබවා යාම සහ ඇගේ දියමන්ති ජුබිලිය යන සන්ධිස්ථාන දෙක ම සැමරීම සඳහා දැවැන්ත සැමරුමක් සූදානම් කළ යුතු බව යි. එම සැමරුම සඳහා ආරාධනා කළ යුතු විදේශ අමුත්තන්ගේ ලැයිස්තුව සකස් කිරීම ද ඔහුට භාර විය.

එවකට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතේ පැවති රටවල්වල රාජ්‍ය නායකයන්ට සහ නියෝජිතයන්ට පමණක් ඊට ආරාධනා කළ යුතු බවට ඔහු රැජනට යෝජනා කළේ ය. එම යෝජනාවට ඇගේ අනුමැතිය ලැබිණි. එවකට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතේ පැවති ලංකාවේ මහමුදලි තනතුර දැරූ හොරගොල්ල වලව්වේ සර් සොලමන් ඩයස් බණ්ඩාරනායකට ද (එස්. ඩබ්ලිව්. ආර්. ඩි. බණ්ඩාරනායකගේ පියා) දියමන්ති ජුබිලි සැමරුම සඳහා ඇරියුම් ලැබිණි.

අශ්ව කරත්තයක් මත සිටින රැජන – www.victorian.era.org

සැමරුම ඇරඹේ

දියමන්ති ජුබිලි සැමරුම ආරම්භ වූයේ 1897 ජූනි 20 වැනි දින, වින්ඩ්සර් මාලිගයේ දී ය. පළමුවෙන් ම ඇය තමන්ට සිහසුන උරුම කර දුන් රාජකීය මුතුන් මිත්තන්ට ස්තුති කිරීමේ දේව මෙහෙයකට සහභාගී වූවා ය.

ඊට පසු දින වර්ණවත් සැරසිලිවලින් පිරුණු මංමාවත් දැක බලා ගැනීමේ අටියෙන් ඇය ලන්ඩන් නගරය බලා පිටත් ව ගියා ය. ඇය ගමන් ගන්නා මඟ දෙපස නිවෙස්වල සිටි ජනතාව රැජන ගමන් ගත් අශ්ව කරත්තය දෙසට විවිධ මල් වර්ග විසි කළ බව ද කියැවේ.

වින්ඩ්සර් මාලිගය – www.wikipedia.org

රැජන එදින සිය අත්දැකීම පිළිබඳ ව දිනපොතක සටහන් කර ඇත්තේ මෙලෙසිනි:

“මංමාවත් සහ නිවෙස්වල වහලවල් මිනිසුන්ගෙන් පිරී තිබිණි. ඔවුන්ගේ ආචාර දැක්වීම මොහොතකට හෝ නැවතුණේ නැත.”

එදින රාත්‍රියේ ඇය බකිංහැම් මාලිගයේ පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයකට ද සහභාගී වූ අතර ඊට ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් ආදිපාදවරයා ද සහභාගී විය. (1914 දී සිදු වූ ඔහුගේ ඝාතනය පළමු ලෝක යුද්ධය ඇති වීමට බලපෑ ප්‍රධාන හේතුවලින් එකක් බව පැවැසේ). රැජන ඊට පසු දින ශාන්ත පාවුළු දෙව්මැදුරේ පැවති දේව මෙහෙයකට සහභාගී වීමට නියමිතව තිබූ බැවින් ඇය ගමන් ගන්නා පෙරහර නැරඹීමේ බලාපොරොත්තුවෙන් බොහෝ දෙනෙක් වීදිවල ම නින්දට වැටුණහ.

දියමන්ති ජුබිලි සැමරුමේ තෙවැනි දිනය වූ ජූනි 22 දින රජයේ නිවාඩුවක් ලෙස ප්‍රකාශයට පත් කර තිබිණි. එදින ජනතාව දස දහස් ගණනින් ලන්ඩන් නගරයට රැස් වූයේ රාජකීය පෙරහර දැක බලාගැනීමේ අරමුණිනි. දියමන්ති ජුබිලි සැමරුම වෙනුවෙන් ම සකස් කළ ජාතික ධජ, පිඟන් භාණ්ඩ සහ වෙනත් සැමරුම් භාණ්ඩවලින් වෙළෙඳසල් පිරී ගොස් තිබිණි. ආරක්ෂකයන් දහස් ගණනක් වැටක් මෙන් මාර්ගය දෙපස ආරක්ෂාව සඳහා යොදවා තිබිණි.

දියමන්ති ජුබිලි සැමරුම දැක්වෙන සිතුවමක් – www.royal.uk

රාජකීය පවුලේ සාමාජිකයන් සහ බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයට අයත් රටවල නායකයන් රැගත් රථ 17 කින් යුත් රථ පෙළ බකිංහැම් මාලිගයෙන් පිටත් ව යාමට පෙර, වික්ටෝරියා රැජන තමන් යටතේ පැවති සියලු රටවලට විදුලි පණිවිඩයක් යොමු කළ බව කියැවේ. ‘මගේ හදවතින්ම මම මගේ අධිරාජ්‍යයේ මිනිසුන්ට ස්තුතිවන්ත වෙමි, දෙවියන් වහන්සේ ඔවුන් ආරක්ෂා කරනවා ඇත.” යනුවෙන් එහි සඳහන් විය. රැජන බකිංහැම් මාලිගයෙන් පිටවන බව දැනුම් දීම සඳහා හයිඩ් පාක්හි ස්ථාපිත කර තිබූ කාලතුවක්කුවකින් වෙඩි මුර ද තැබිණි.

හැඟුම්බර වූ රැජන

ක්‍රීම් පැහැති අශ්වයන් අට දෙනකු රැගෙන ගිය කරත්තයක නැඟි රැජන, ශාන්ත පාවුළු දෙව්මැදුර වෙත පිටත්ව ගියා ය. උත්සව ශ්‍රීයෙන් පිරි අවස්ථාවක් වුවත් ඒ වන විට මිය ගොස් සිටි සිය සැමියා වන ඇල්බට් කුමරු සහ දරු දෙදෙනා සිහි කිරීමේ අරමුණින් ඇය කළු පැහැති ඇඳුමින් සැරසී සිටියා ය.

ඊට සියලු ම යටත් විජිතවල නියෝජිතයන් ද එක් වූ අතර මෙම උත්කර්ෂවත් පෙරහර, ට්‍රැෆල්ගාර් චතුරශ්‍රය, ලන්ඩන් පාලම සහ බිග්බෙන් ඔරලෝසුව වැනි ලන්ඩනයේ පිහිටි ඉතා වැදගත් ස්ථාන සියල්ලක් ම පාහේ පසු කර ගෙන යන පරිදි සංවිධානය කර තිබිණි. මඟ දෙපස රැස් ව සිටි ජනතාව එරට ජාතික ගීය වන ‘“God Save the Queen” ගායනා කිරීමත් සමඟ හැඟුම්බර වූ රැජන අවස්ථා කිහිපයකදී ම කඳුළු සලමින් හඬා වැටුණා ය.

වික්ටෝරියා රැජන සිය පුතුන් දෙදෙනා සහ මුණුබුරකු සමඟ – www.express.co.uk

ශාන්ත පාවුළු දෙව්මැදුරේ පැවති දේව මෙහෙය

ඒ වන විට ආතරයිටිස් රෝගයෙන් පීඩා විඳිමින් සිටි වික්ටෝරියා රැජනට දේවස්ථානයේ පිය ගැට පෙළ නැගීම අපහසු වූ බැවින් දේව මෙහෙය සංවිධානය කර තිබුණේ දේවස්ථානයෙන් පිටත ය. ඒ අවට පිහිටි ගොඩනැඟිලිවල වහලවල් මත නැගී විශාල ජනකායක් එය නරඹමින් සිටි අතර එම ජනකාය කෙතරම් ද කියතොත් දේවස්ථානයේ ගීතිකා කණ්ඩායමට පවා රැඳී සිටීමට ස්ථානයක් නොතිබූ බව කියැවේ. රැජන තාවකාලික කුඩාරමක් යට රැඳී සිටිමින් විනාඩි 20ක කාලයක් පැවති දේව මෙහෙයට සහභාගී වූවා ය.

නැවතත් බකිංහැම් මාලිගයට

දේව මෙහෙයෙන් අනතුරු ව රැජන ලන්ඩන් නගරය පුරා වීදි සංචාරයක නිරත වූවා ය. එදින සවස් කාලයේ ඇය දිවා ආහාරය සඳහා බකිංහැම් මාලිගයට නැවතත්  පැමිණියා ය. රාත්‍රී කාලයේ ලන්ඩන් නගරයේ පිහිටි සියලු ම කඳු මුදුන්වල ගිනිමැලයක් බැගින් අවුළා තිබූ බැවින් ඉන් ලන්ඩන් නගරය ද ආලෝකවත් වී තිබිණි. මග දෙපස රැස් වූ ජනතාව අලුයම 2.30 පමණ වන තෙක් ප්‍රීති ඝෝෂා කරමින් සහ ගීත ගායනා කරමින් රැජනට සුබ පැතූහ.

බකිංහැම් මාලිගය – www.wikipedia.org

වික්ටෝරියා රැජන ඇගේ දිනපොතේ ඒ පිළිබඳ ව සටහන් කර ඇත්තේ මේ අයුරිනි:

“එය කිසිදා අමතක නොවන දවසක්. මා දන්නා තරමින් කිසිවකුට එවැනි පිළිගැනීමක් ලැබී නැත. විශ්වාස කළ නොහැකි තරම් ජනකායක් රැස්ව සිටි අතර ඔවුන් තුළ පැවති උද්යෝගය අදහාගත නොහැකි තරම් එකක් විය.”

 කවරයේ පින්තූරය- www.history.com 

මූලාශ්‍ර- 

www.history.com 

Christopher Klein 

www.royal.uk 

www.victorian.era.org

Related Articles