Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ප්‍රශ්නාර්ථයක් ඉතිරි කළ එලිසා ලෑම් ගේ මරණය

ලොව සිදුවන සමහර සිදුවීම් බොහෝ දෙනාට ගැටළුවක් ඉතිරි කරනවා. මේ අතරේ ලොව පුරා ප්‍රසිද්ධ වූ මරණ කිහිපයක් ද තිබෙනවා. 2013 වසරේ ලොස් ඇන්ජලීස්හි සිසිල් හෝටලයේ සිදු වූ එලිසා ලෑම් ගේ මරණයත් ඒ ගොන්නට ඇතුළත්. 21 වියැති යෞවනියක වූ ඇය මියගොස් සිටි ආකාරයත්, ඊට පෙර ඇය ප්‍රකට කර තිබූ අසාමාන්‍ය හැසිරීමත් විග්‍රහ කරන්නට අදටත් කිසිවෙකුත් සමත් වී නැහැ.

අතුරුදන් වීමේ සිද්ධිය

එලිසා ලෑම් කැනඩාවේ වැන්කුවර් නුවර විසූ හොංකොං සම්භවයක් සහිත තරුණියක්. 2013 වසරේ ජනවාරි මස වන විට ඇය 21 වියැති වුණා. ඇමෙරිකා එක්සත් ජනපදයේ බටහිර වෙරළබඩ පෙදෙසට ඇය පැමිණෙන්නේ කෙටි නිවාඩුවක් ගත කිරීම සඳහා යි. 2013 වසරේ ජනවාරි මස 31 වැනි දා වන තුරු ඇය සිය නිවාඩුව නිස්කලංකව ගත කළත්, දිනපතා තමන් සිටින ස්ථානය පිළිබඳ සිය දෙමව්පියන් දැනුවත් කරන්නට අමතක කළේ නැහැ. ජනවාරි මස 31 වැනි දා ඇයගෙන් ඇමතුමක් දෙමව්පියන්ට නොලැබෙන්නේ මේ අතර යි.

එලිසා ලෑම්- talesofcrime.com

සිය දියණියගේ චර්යා රටාවන් පිළිබඳගැන හොඳින්ම දන්නා එලිසා ගේ දෙමාපියන් ඇයට ඇමතුමක් ගැනීමට උත්සුක වුණා. එනමුත් ඇය එයට ප්‍රතිචාර දැක්වූයේ නැහැ. පැය කිහිපයක් මෙලෙස උත්සාහ කළ ද ඇය එම ඇමතුම්වලට ප්‍රතිචාර නොදැක්වූ හෙයින් එය අසාමාන්‍ය තත්ත්වයක් ලෙස සැලකූ ඔවුන් වහාම ලොස් ඇන්ජලීස් පොලීසිය සම්බන්ධ කරගෙන මඳක් සොයා බලන ලෙස පැවසුවා.

මේ වන විට ඇය නැවතී සිටියේ ලොස් ඇංජලීස්හි සිසිල් හෝටලයේ යි. එය ප්‍රදේශයේ කුප්‍රකට ස්ථානයක් ලෙස ප්‍රචලිතව තිබුණේ ඒ හා සබැඳි මිනිමැරුම්, සියදිවි නසාගැනීම් හා තවත් අසාමාන්‍ය සිදුවීම් කිහිපයක් මින් පෙර වාර්තා වූ නිසා යි. මේ හේතුවෙන් කඩිනමින් හෝටලය වෙත ගිය පොලිසියට එහිදී අනාවරණය වූයේ එලිසා හදිසියේ අතුරුදන්ව ඇති බවයි.

සිසිල් හෝටලය- Wikimedia Commons

සෝපානයේ අමුතු හැසිරීම

එලිසා ලෑම් පිළිබඳ හෝඩුවාවන් සෙවීම ලොස් ඇන්ජලීස් පොලිසිය මඟින් ඉක්මණින්ම ආරම්භ කරන ලද අතර, ඇයව අවසන් වරට දුටු අය අතරින් එක් අයෙකු වන පොත් සාප්පු කළමණාකාරිණියක වූ කේටි ඕෆ්න් පවසා සිටියේ ඇය ඉතා සතුටින් හා ක්‍රියාශීලීව එදින උදයේ පසු වූ බව යි.

පරීක්ෂණ සිදුකරන අතරතුර හෝටලයේ වූ ආරක්ෂිත කැමරාවල මොනවා හෝ සටහන් වී තිබෙනවා ද යන්න සොයාබලන්නටත් බලධාරීන් උනන්දු වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස අසාමාන්‍ය යමක් සොයාගන්නට ඔවුනට හැකි වුණා.

හෝටලයේ විදුලි සෝපානයක වූ ආරක්ෂිත කැමරාවක දර්ශන පථයට එල්සා ලෑම් හොඳින්ම හසු වී තිබුණා. එහිදී ඇය ප්‍රකට කර තිබුණේ ඉතා අසාමාන්‍ය හැසිරීම් රටාවක්. මුලින්ම එය තුළට පැමිණෙන ඇය සෝපානයේ දොර වසා එය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළත් එය ක්‍රියාත්මක වන්නේ නැහැ. අනතුරුව ඇය ඉවත බලන්නේ කිසිවෙක් ඇය ලුහුබඳිමින් එන ආකාරයක් හුවා දක්වමින්. අනතුරුව ඉන් ඉවතට යන ඇය අසාමාන්‍ය ලෙස අතපය එහෙ මෙහෙ හසුරනවා. ඊටත් පසු ඇය ඉවතට යන අතර එක් වරම සෝපානය නිවැරදිව ක්‍රියාකාරී වන්නට පටන්ගන්නවා.

එලිසා ලෑම් විදුලි සෝපානයේ අමුතු හැසිරීමක් ප්‍රකට කළා- Youtube/Samet Can Yilmaz

වහාම සෝපානය හා අවට පරීක්ෂා කිරීමට පොලිස් නිලධාරීන් ක්‍රියා කළත් එලිසා පිළිබඳව ඒ ආසන්නයෙන් කිසිදු හෝඩුවාවක් හිමු වුණේ නැහැ. එලිසාගේ අසාමාන්‍ය හැසිරීමට හේතුව කුමක් ද යන්න පිළිබඳවත් කිසිවෙකුට අදහසක් ඉදිරිපත් කිරීමට නොහැකි වුණා. මේ වීඩියෝව පසුකාලීනව අන්තර්ජාලය ඔස්සේ ලොව පුරා ප්‍රසිද්ධ වූ අතර ඒ පිළිබඳව අදටත් බොහෝ දෙනා විවිධ මත දරනවා.

මළසිරුර ජල ටැංකියක

එලිසා ලෑම් අතුරුදන් වීම සැලවීමත් සමග ඇගේ දෙමව්පියන් පර්යේෂණවලට සහාය වීම සඳහා වහාම ලොස් ඇන්ජලීස් වෙත පැමිණියා. පෙබරවාරි 6 වන දා වන විටත් ඇය පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා නොවූ අතර මේ හේතුවෙන් ඇගේ රුව ඇමෙරිකාව පුරා ප්‍රචලිත කිරීමට බලධරයින් කටයුතු කළා. කෙසේ නමුත් ඒ කිසිවක් සාර්ථක ප්‍රතිඵල ලබාදීමට සමත් වූයේ නැහැ.

එලිසා අතුරුදන් වීමෙන් සති 3ක පමණ කාලයක් ගත වුණා. මේ වන විට සියළු දෙනා සිටියේ හෙම්බත්ව යි. පෙබරවාරි මස 19 වන දා සිසිල් හෝටලයේ නැවතී සිටි අමුත්තන් කිහිප දෙනෙකු හා එහි සේවකයින් කණ්ඩායමක් තමන්ට ලැබෙන ජල සැපයුමෙහි අසාමාන්‍යතාවක් පිළිබඳව එහි කළමණාකාරීත්වයට පැමිණිලි කරන්නට යෙදුණේ මේ අතර යි. ඔවුන්ට ලැබෙන ජල සැපයුමෙහි ජල පීඩනය සෑහෙන තරමකින් අඩු වී තිබූ අතර එය කළු පැහැ වී කුණු ගඳ ගසමින් තිබුණා. මේ හේතුවෙන් එහි ජල ටැංකි පරීක්ෂා කරන්නට කළමණාකාරීත්වය පෙළඹුණා.

එලිසා වැටී සිටි ජල ටැංකිය – getty images

ජල ටැංකි තුළින් මතු වූයේ කිසිවෙකුත් නොසිතූ දෙයක්. ඉහළ ස්ථානයක පිහිටා තිබූ අඩි 8ක උසින් යුතු විශාල ජල ටැංකියක තිබී ජල සැපයුමෙහි අසාමාන්‍යතාවයට හේතු වූ දේ ඔවුනට හමු වුණා. ඒ, අඩක් කුණු වී ගිය කාන්තා මළසිරුරක්. වහාම පොලිසිය කැඳවුණු අතර එය එලිසා ලෑම්ගේ බැව් හඳුනාගන්නට ඔවුනට වැඩි වේලාවක් ගියේ නැහැ. ඇයගේ සිරුර නිරුවත්ව තිබූ අතර හැඳ සිටි ඇඳුම් පසෙක පාවෙමින් තිබුණා.

පරීක්ෂණ

එලිසාගේ මළසිරුර හමුවීමත් සමග බොහෝ දෙනා කම්පාවට ලක් වුණා. ඇය මියගොස් සති 2-3ක් වන්නට ඇති බැව් පර්යේෂණ මඟින් තීරණය කෙරුණා. මේ අතර සමහරු ඇය අතුරුදන් වන්නට  සුළු මොහොතකට පෙර සෝපානයේ ප්‍රකට කළ අසාමාන්‍ය හැසිරීම මෙනෙහි කළා. මින් සමහරෙක් සිසිල් හෝටලය හා කියවෙන අසාමාන්‍ය සිද්ධි ගෙනහැර පෑ අතර තවත් සමහරෙක් මිනිමැරුමක් ලෙස ද, සිය දිවි නසාගැනීමක් ලෙස ද එය අර්ථ දැක්වූවා.

මළ සිරුර පිළිබඳව වැඩිදුර පර්යේෂණ සිදු කෙරුණු අතර එහිදී අනාවරණය වූයේ ඇය අඩන්තේට්ටමකට ලක් නොවී ඇති බව යි. එමෙන්ම ඇගේ සිරුරු කොටස්වලින් කිසිදු මත්ද්‍රව්‍යයක් ගෙන ඇති බවක් පෙනී ගියේත් නැහැ. මේ නිසා එය ‘හදිසි අනතුරකින්’ සිදු වූ බවට තීරණය කෙරුණා.

මෙම මරණයේ අසාමාන්‍ය තැන් කිහිපයක්ම ඇති බැව් ගෙනහැරපාමින් එලිසාගේ සමීපතමයන් එම තීරණයට විරුද්ධත්වයක් දැක්වූයේ ඉන් පසුව යි. මේ අනුව නැවත පරීක්ෂණ කළ බලධාරීන් එලිසා කලෙක සිට මානසික පීඩනයට හා ‘Bipolar disorder’ නම් තත්ත්වයට ප්‍රතිකාර ගෙන ඇති බැව් හෙළි කරගත්තා. මේ තත්ත්වයේ වැඩි වීමක් නිසා ඇය සිතා මතා හෝ අත් වැරදීමකින් ටැංකිය තුළට පැන ඇති බැව් එවර තීරණය කෙරුණා.

අපැහැදිළි තැන්

Youtube

එලිසා ලෑම් ගේ මරණය පිළිබඳව අදටත් සමහරක් දෙනා වාද කරනවා. ඔවුන් පවන්නේ මානසික ආබාධයක් සහිත වූවෙකු වුව ද සිය දිවි නසාගැනීමට අඩි 8ක් උස ජල ටැංකියක බරැති පියනක් විවර කර පැනීම තරම් අසීරු දෙයක් තෝරාගනීවි ද යන්න යි. හෝටලයේ සුපරික්ෂාකාරීත්වය යටතේ පවතින මෙවැනි ටැංකියකට කිසි ලෙසකින් ඇයට තනිව ඇතුළු විය නොහැකි බව පවසන ඔවුන් මෙහි සත්‍යම හේතුව ලෙස සැලසුම් සහගත ඝාතනයක සිට අත්භූත සිද්ධියක් දක්වා ඒවා ගෙනහැර පානවා. තවත් සමහරෙක් පවසන්නේ ආරක්ෂිත කැමරා වීඩියෝව නිකුත් කිරීමේ දී එහි කොටසක් හිතාම ඉවත් කර ඇති බව යි. හෝටලයේ බලධාරීන් මෙහි වගකීම ගත යුතු බැව් ඔවුන් පවසනවා.

එලිසා ලෑම් සිද්ධිය 21 සියවසෙහි සිදුවූ මතභේදාත්මකම මරණ කිහිපය අතුරින් එකක් ලෙස අද වන තුරුත් හැඳින්වෙනවා. එහි පැටළිලි සහගත තැන් නිරාකරණය කරගන්නට අදටත් නිසි බලධාරීන් වෙහෙසෙනවා.

කවරයේ පින්තූරය- Youtube/Magdiel Aguilar

Related Articles