Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලංකාවේ ඩ්‍රැගන් ෆෘට් වගාව සිදුවන්නේ මෙහෙමයි

“21 වන සියවසේ පළතුර” ලෙසින් හඳුන්වනු ලබන ඩ්‍රැගන් ෆෘට් බෝගය ඊශ්‍රායලය, ඉන්දියාව, වියට්නාමය, මැලේසියාව, තායිලන්තය වැනි රටවල ආර්ථික බෝගයක් ලෙසින් වගා කරන්නක්. 2004 වසරේ දී ශ්‍රී ලංකා පළතුරු පර්යේෂණ සහ සංවර්ධන ආයතනය ද ඩ්‍රැගන් ෆෘට් රෝපණය කිරීම ආරම්භ කළා. මුල් යුගයේ දී මෙම පළතුර අප රට තුළ එතරම් ප්‍රචලිත වුණේ නැහැ. නමුත් අද වන විට ඩ්‍රැගන් ෆෘට් නම් පළතුරට දේශීය වෙළඳපොල තුළ හොඳ ඉල්ලුමක් පවතිනවා. 

ඩ්‍රැගන් ෆෘට් වගාවට හිතකර දේශගුණික සාධක 

පතොක් කුලයට අයත් වන ඩ්‍රැගන් ෆෘට් ශාකයට නියඟය, දුර්වල පාංශු තත්ත්වයන්, සහ අඩු උෂ්ණත්වය දැරීමේ හැකියාවක් පවතිනවා. නමුත් ඩ්‍රැගන් ෆෘට් බෝගය හොඳින් වර්ධනය වන්නේ ඒ සඳහා වඩාත් හිතකර දේශගුණික තත්ත්වයක් පවතින අවස්ථාවන්වල දී යි. පහත දක්වා තිබෙන්නේ ඩ්‍රැගන් ෆෘට් වගාවට වඩාත් හිතකර දේශගුණික තත්ත්වයන්. 

1) සෙල්සියස් අංශක 20-30 අතර උෂ්ණත්ව පරාසයක් පවතින වියළි ඝර්ම කලාපීය දේශගුණික තත්ත්වයක් පැවතීම වඩාත් සුදුසු යි.

2) වාර්ෂික වර්ෂාපතනය මි.මී 500-1500 අතර පැවතිය යුතු යි. 

3) පැහැදිලි තෙත් සහ වියළි දේශගුණික තත්ත්වයන් මාරුවෙන් මාරුවට තිබීම වඩාත් සුදුසු යි.

4) ශාකයට හොඳින් හිරු එළිය අවශ්‍ය වුණත් අධික උෂ්ණත්වය දිගු කලක් පැවතීම යෝග්‍ය වන්නේ නැහැ. එවැනි අවස්ථාවල ප්‍රමාණවත් තරම් සෙවණ සැපයීම කළ යුතු යි.

ඩ්‍රැගන් ෆෘට් වගා බිමක් (Plant Slive)

ඩ්‍රැගන් ෆෘට් වගාවට හිතකර පාංශු තත්ත්වය

ඩ්‍රැගන් ෆෘට් වගාව සඳහා හොඳින් ජලවහනය වන පසක් තිබීම වඩාත් සුදුසු යි. සාමාන්‍යයෙන් ඩ්‍රැගන් ෆෘට් ශාකය කාබනික ද්‍රව්‍යය සඳහා හොඳින් ප්‍රතිචාර දක්වනවා. වගාව සිදුකරන භූමියෙහි පවතින පසේ (10-30)% අතර වැලි ප්‍රතිශතයක් තිබීම වඩාත් යෝග්‍ය යි. එම නිසා වැලි සහිත පසේ ද ඩ්‍රැගන් ෆෘට් වගාව සාර්ථකව සිදුකළ හැකියි.

රෝපණ ද්‍රව්‍යය සකසා ගැනීම 

සිටුවීමට අවශ්‍ය පැළ ලබාගැනීම සඳහා දඬු සහ බීජ භාවිතා කරනු ලබනවා. නමුත් බීජ මඟින් පැළ ලබාගැනීම සඳහා දිගු කාලයක් ගතවනවා. එසේම එම පැළවල ලක්ෂණ මව් ශාකයේ ලක්ෂණවලට වඩා වෙනස් විය හැකියි. එම නිසා වාණිජමය වගාවන් සඳහා රෝපණ ද්‍රව්‍යය සකසාගැනීමට දඬු කැබලි යොදාගන්නවා. දඬු කැබලිවලින් පැළ ලබාගැනීම සඳහා පහත සඳහන් පියවර අනුගමනය කළ යුතු යි.

1) තෝරාගත් ඵල දරණ මව් ශාකවලින් ලබාගන්නා දඬු සෙ.මී 15-20 පමණ දිග කැබලිවලට කපාගත යුතු යි. එලෙස කපාගන්නා දඬු බඳුන්ගත කිරීමට පෙර දින 1-2ක පමණ කාලයක් වියළි ස්ථානයක ගබඩා කර තැබිය යුතු යි. 

2) ඉන් පසුව එම දඬු කැබලි හොඳින් ජලවහනය වන බඳුන් මිශ්‍රණයකින් පිරවූ බඳුන්වල සිටුවිය යුතු යි. බඳුන් පිරවීම සදහා වියළි ගොම : මතුපිට පස් : වැලි : 1 : 1 : 2 මිශ්‍රණයක් භාවිතා කිරීම සුදුසු යි. එම බඳුන් සාමාන්‍ය තෙතමන තත්ත්වයක් යටතේ සෙවණේ තැබීමෙන් දඬු කැබලිවල මුල් අද්දවා ගනු ලබයි.

3) දඬු කැබලිවල අතු රිකිලි ද වැඩීමෙන් පසුව ඒවා පරිසරයට හුරුකිරීමෙන් අනතුරුව සිටුවීම සඳහා යොදාගත හැකියි.

කපාගත් ඩ්‍රැගන් ෆෘට් අතු කැබලි (yaya)

ඩ්‍රැගන් ෆෘට් ප්‍රභේද 

පසුගිය කාලයේ ලංකාවේ ප්‍රචලිත වුණු, වගාව සඳහා නිර්දේශිත ඩ්‍රැගන් ෆෘට් ප්‍රභේදයන් තුනක් දක්නට ලැබෙනවා. නමුත් ලංකාව තුළ තවමත් බහුලවම වගා කරන්නේ මඳය සුදු ඩ්‍රැගන් ෆෘට් ප්‍රභේදය යි. පළතුරු බෝග පර්යේෂණ සහ සංවර්ධන ආයතන නිර්දේශ කර ඇති ඩ්‍රැගන් ෆෘට් ප්‍රභේදයන් පිළිබඳව තොරතුරු ස්වල්පයක් පහත ආකාරයට දැක්විය හැකියි.

හයිලොසෙරස් අන්ඩේටස් 

ලංකාව තුළ වඩාත් ජනප්‍රිය වී තිබෙන්නේ මෙම ඩ්‍රැගන් ෆෘට් ප්‍රභේදය යි. මෙය විසිතුරු ශාකයක් ලෙස ද අප රට තුළ ජනප්‍රිය යි. සාමාන්‍යයෙන් මෙම ගෙඩියක් ඉදුණු පසුව කිලෝ ග්‍රෑම් 1ක් හෝ ඊට වැඩි බරකින් යුක්ත යි. ගෙඩියේ පොත්ත ඉදුණු විට තද රතු පැහැයක් ගනු ලබනවා. එසේම මදය සුදු පැහැතියි. අනිකුත් ඩ්‍රැගන් ෆෘට් වර්ගවලට සාපේක්ෂව මෙම වර්ගයේ කටු ප්‍රමාණය අඩු යි.

හයිලොසෙරස් අන්ඩේටස් ප්‍රභේදය (wijesingheagro.blogspot)

හයිලොසෙරස් පොලිරයිසස් 

මෙම වර්ගයේ ඵලයක් ඉදුණු විට කි.ග්‍රෑ 1ක පමණ බරකින් යුක්ත යි. ඉදුණු විට ගෙඩියේ පොත්ත රතු පාට යි. එසේම ඉදුණු විට මදය තද රතු පැහැතියි. සාමාන්‍යයෙන් මෙම ඩ්‍රැගන් ෆෘට් වර්ගයේ වැඩි කටු ප්‍රමාණයක් දක්නට ලැබෙනවා. 

හයිලොසෙරස් පොලිරයිසස් ප්‍රභේදය (Specialty Produce)

සෙලිනිසෙරස් මෙගලින්තස් 

මෙම වර්ගය කහ පිතායා යන නමින් ද හඳුන්වනු ලබයි. මෙම වර්ගයේ ගෙඩියක් ඉදුණු විට පොත්ත කහ පැහැති ස්වභාවයක් දක්නට ලැබෙයි. මදය සුදු පැහැයකින් යුක්ත යි. අනිකුත් ප්‍රභේදවල මෙන්ම මෙම ප්‍රභේදයේ ගෙඩියේ මදයෙහි විසිරුණු කළු පාට ඇට දක්නට ලැබෙයි. 

සෙලිනිසෙරස් මෙගලින්තස් ප්‍රභේදය (Pinterest)

ඩ්‍රැගන් ෆෘට් ශාකයෙන් ලබාගන්නා ප්‍රයෝජන 

ඩ්‍රැගන් ෆෘට් පළතුරක් සහ විසිතුරු ශාකයක් ලෙසින් සලකනු ලබනවා. මෙහි ඵලය ඉදුණු විට ආහාරයට ගත හැකියි. එසේම ඩ්‍රැගන් ෆෘට් ඵලය යොදාගෙන ජෙලි, අයිස් ක්‍රීම්, ජෑම්, පළතුරු යුෂ, සහ වයින් වැනි ආහාර වර්ග නිෂ්පාදනය කෙරෙනවා. තවමත් ලංකාව තුළ ඩ්‍රැගන් ෆෘට් පළතුරක් ලෙසින් පමණක් ජනප්‍රිය වී තිබුණත්, ඇතැම් රටවල මෙය ආහාර සෑදීමේ දී සැරසිලි සඳහා භාවිතා කරනවා. 

ඩ්‍රැගන් ෆෘට් පළතුර ඖෂධීය වශයෙන් ද ගුණදායක බවට විශ්වාසයක් පවතිනවා. ආහාර දිරවීමේ හැකියාව වැඩිවීම, පිළිකා වර්ග මර්දනය කිරීම, රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය පාලනය කිරීම, රුධිර පීඩනය පාලනය කිරීම, දියවැඩියාව පාලනය කිරීම සඳහා ඩ්‍රැගන් ෆෘට් පළතුර උපකාරී වන බවට යම් පිළිගැනීමක් තිබෙනවා. නමුත් මේ පිළිබඳව සැලකිය යුතු තරමේ විද්‍යාත්මක සාධකයන් නැති නිසා, එවැනි අවස්ථාවල වෛද්‍ය නිර්දේශය පැතිය යුතු බව යි Roar අදහස. 

වැළඳෙන රෝග සහ හානි කරන පළිබෝධකයන් 

ඩ්‍රැගන් ෆෘට් වගාවට ප්‍රධාන වශයෙන් හානි කරන්නේ පළතුරු මැස්සා යන  පළිබෝධකයා යි. එසේම කඳ පුල්ලි රෝගය සහ ඇන්ත්‍රැක්නෝස් රෝගය ඩ්‍රැගන් ෆෘට් වගාවට බහුලවම වැළඳෙනවා.

පළතුරු මැස්සා 

සාමාන්‍යයෙන් පළතුරු වර්ගවලට ප්‍රධාන වශයෙන්ම හානි කරන පළිබෝධකයන් අතරට පලතුරු මැස්සා ද අයත්. අනිකුත් ශාකවලට සාපේක්ෂව ඩ්‍රැගන් ෆෘට් බෝගයට පළිබෝධකයන් මඟින් සිදුකරන හානිය අවම වුණත්, පළතුරු මැස්සා ඩ්‍රැගන් ෆෘට් බෝගයට හානිදායක යි. එම නිසා පළතුරු මර්ධනය කිරීම සඳහා පහත දැක්වෙන නිර්දේශිත ක්‍රම අනුගමනය කළ යුතු යි. 

1) ගෙඩිය ආවරණය කිරීම 

2) හානියට ලක් වුණු ගෙඩි අඩි 2ක් පමණ ගැඹුරු වලක් කපා වැළලීම 

3) ෆෙරමෝන උගුල් භාවිතා කිරීම 

4) ප්‍රෝටීන ඇම භාවිතා කිරීම 

පලතුරු මැස්සා (Wikiwand)

කඳ පුල්ලි රෝගය 

මෙම රෝගය වැළඳුණු විට  කඳෙහි මී.මී. 1ක පමණ කුඩා කහ පැහැති තරමක් ගිලුණු ලප ඇතිවනවා. ඉන් පසුව එම ලප ක්‍රමයෙන් මි.මී. 4 පමණ විශාල වී රතු පැහැ වී ක්‍රමයෙන් දුඹුරු පැහැයට හැරෙනවා. එවිට කඳ කුණුවීමකට ලක් වී අවසානයේ දී හානි වුණු ප්‍රදේශ කබොලු බවට පත්වනවා. මෙම රෝගී තත්ත්වය හේතුවෙන් ගෙඩිවලට ද හානි සිදුවිය හැකියි. 

මදය රතු පැහැති හයිලොසෙරස් පොලිරයිසස් නම් ඩ්‍රැගන් ෆෘට් ප්‍රභේදය  මෙම රෝගයට ගොදුරුවීමේ ප්‍රවණතාවය වැඩියි. මෙම රෝගයෙන් සිදුවන හානිය අවම කිරීම සඳහා රෝගය වැළඳුණු ශාක කොටස් ඉවත් කර විනාශ කිරීම කළ යුතුයි. එසේම අසාදිත ශාකවලින් පැළ නිපදවීම සිදු නොකළ යුතු යි.

ඇන්ත්‍රැක්නෝස් රෝගය

ඇන්ත්‍රැක්නෝස් රෝගය වැළඳුණු විට  කඳෙහි දාරයේ නටු සහිත ස්ථානවල දුඹුරු ඕවලාකාර තරමක් ගිලුණු පැල්ලම් ඇතිවී ක්‍රමයෙන් එම පැල්ලම් යාවී කහ පැහැවී දාර ඔස්සේ එම කුණුවීම පැතිර යනවා. රෝගකාරක දිලීරයේ බීජානු වැහි බිංදු සහ සුළඟ මඟින් නිරෝගී ශාක කරා ව්‍යාප්ත විය හැකියි. මෙම රෝගය මර්ධනය කිරීම සඳහා මැනෙබ්, මැන්කොසෙබ්, සහ කාර්බෙන්ඩසීම් වැනි දිලීරනාශක භාවිතා කළ හැකියි. 

කවරයේ ඡායාරූපය- ඩ්‍රැගන් ෆෘට් (Medium) 

මූලාශ්‍රයයන්- dea.gov.lk

Related Articles