ඒකාධිපතියෙකුගේ අනුග්‍රහයෙන් බිහිවුණු වෝක්ස්වැගන්

ඒකාධිපති පාලකයෙකුගේ සිතෙහි බිහිවුණු මිහිරිතම සංකල්පය කුමක්දැයි විමසුවොත් ලෝකයේ බොහෝ දෙනෙකුට එකම එක සුන්දර පිළිතුරක් සිහියට නැඟේවි. ඒ ලෝකයේ වැඩිම කාලයක් ලොකු වෙනස්කම් නැතිව යළි යළිත් නිර්මාණය වූ මෝටර් රියෙහි නාමය. වෝක්ස්වැගන් බීට්ල්. මෝටර් රථයක් කියන්නේ ගමන් බිමන් යන්නට පාවිච්චි කරන වාහනයක් පමණක් නෙවෙයි, ජීවිතය බෙදා හදාගන්න මිත්‍රයෙක් බව පසක් කළ ලොවේම ආදරය ලද මෝටර් රිය එයයි. එහෙම

හිට්ලර්

බීට්ල් ගැන බොහෝ දෙනෙක් දන්නා කතාව යළිත් කෙටියෙන් කිව හැකියි. බීට්ල් රිය ඇඩොල්ෆ් හිට්ලර්ගේ හිසෙහි පහළ වූ සංකල්පයක්. මේ ඒකාධිපති පාලකයාට 1937 දී සාමාන්‍ය ජනතාවට ගැලපෙන මෝටර් රියක් නිර්මාණය කිරීමට අවශ්‍ය වුණා. ඒ වෙද්දී ජර්මානු මෝටර් රථ නිෂ්පාදන සමාගම් උත්සාහ කළේ හැකිතරම් සැප පහසු මෝටර් රථ නිෂ්පාදනය කිරීම ගැනයි. ඒ නිසා සාමාන්‍ය ජර්මානුවන්ට මෝටර් බයිසිකලයකින් සැනසෙන්නට සිදු වුණා. ජර්මානුවන් 50කින් 1කට පමණක් මෝටර් රියක් හිමි වූ බව කියනවා. ඒ නිසා ඇඩොල්ෆ් හිට්ලර්ට වුවමනා වුණා සාමාන්‍ය ජනතාවට මිලදී ගත හැකි මෝටර රථයක් නිර්මාණය කරන්නට. ඇත්තෙන්ම මේ අදහස හිට්ලර්ගේ හිස මත අහසින් කඩා පාත්වුණ එකක්ම නෙවෙයි. ඒ වෙද්දීත් සාමාන්‍ය ජනතාවට ගැලපෙන මෝටර් රථයක් නිර්මාණය කිරීමේ උත්සාහයෙහි නිරත වුණ මෝටර් රථ නිෂ්පාදන සමාගම් කිහිපයක්ම තිබුණු බව කියනවා.

 

හිට්ලර් සහ පෝෂේ ඇතුළු පිරිස ෆෝක්ස්වැගන් රියෙහි ආකෘතියක් නරඹන අන්දම දැක්වෙන ඡායාරූපයක් (i.pinimg.com)

 

කොහොම වුණත්, බොහෝ දෙනෙක් හිතන ආකාරයට වෝක්ස්වැගන් රිය නිර්මාණය කළේ යුද්ධයට පමණක් නෙවෙයි. එසේනම් මේ මෝටර් රියට සෙබළුන්ගේ රිය වැනි අර්ථයක් එන නමක් ලබා දෙන්නට ඉඩ තිබුණා. එහෙත් මේ රියට ලැබුණු නාමය ජර්මානු භාෂාවෙන් ජනතාවගේ මෝටර් රිය කියන තේරුම එන නමක්.

2/10 පීඑස්

වෝක්ස්වැගන් බීට්ල්ට පෙර එහි බිහිවීමට ආදර්ශයක් වුණ මෝටර් රථ කිහිපයක්ම ගැන කතාකළ හැකියි. ස්ටෑන්ඩර්ඩ් සුපීරියර් සහ ටාර්ටා වී 570 වැනි මෝටර් රථ ඉන් ප්‍රමුඛයි. ඒ අතර තියෙන විශේෂ මෝටර් රථයක් ගැනත් මොහොතක් කතා කළ යුතුයි.

ස්ටෑන්ඩර්ඩ් සුපීරියර්  ( http://josefganz.org )

2/10 පී.එස්. ඉන් ඉදිරියෙන්ම ඉන්නවා. මේ මෝටර් රථය 2/10 පීඑස් නමින් හඳුන්වමින් තමයි Hanomag නම් මෝටර් රථ නිෂ්පාදක සමාගම වෙළඳපොළට නිකුත් කරලා තිබුණේ. එහෙත් මේ මෝටර් රිය කොමිස්බ්‍රොට් යන ආදර නමින් ප්‍රකට වූ බව කියනවා. මේ මෝටර් රිය දෙදෙනෙක්ට පහසුවෙන් ගමන් කළ හැකි පුංචි රියක්. ඒ වගේම මේ රථයේත් එන්ජිම තිබුණේ පසුපස. මේ මෝටර් රථය ඔස්ටින් 7 නම් මෝටර් රිය වෙළඳපොළට පැමිණි පසුව අලෙවිය අඩු වී ඉතිහාසයෙන් මැකී ගියත්, වෝක්ස්වැගන් රියට මේ මෝටර් රියෙන් විශාල ආභාසයක් ලැබුණු බව පැහැදිලියි.

කොමිස්බ්‍රොට් ( Wikipedia )

මුල් යුගය

කෙසේ වෙතත් අනෙක් සියලු අඩු පිරිවැය මෝටර් රථ පසු කරගෙන වෝක්ස්වැගන් බීට්ල් ඉදිරියට ආවා. ඒකට රටේ ඒකාධිපති පාලකයාගේ ඍජු අනුග්‍රහය ලැබීමත් හේතුවක් වෙන්න ඇති. එහෙත් ෆෝක්ස්වැගන් බීට්ල් රියට හිට්ලර්ගේ අනුග්‍රහයට සීමා නොවුණු ආකර්ෂණීය බවක් හිමි වුණා.

බේලා බරේනි නම් ඔස්ට්‍රියන් හංගේරියන් ජාතික ඉංජිනේරුවරයා විසින් සකස් කළ මූලික සැලැස්මක් සහ එවකට පැවති මෝටර් රථ කිහිපයක සැලසුම් මත පදනම් වෙලා වෝක්ස්වැගන් බීට්ල් රිය සැලසුම් කළේ ෆර්ඩිනන්ඩ් පෝෂ විසින්. පෝෂ ගැන කතා කිරීම අපි මේ සටහනේ අවසානය දක්වා කල් තැබුවා. ඒ ඔහු ගැන තවත් වැදගත් යමක් කියන්නට ඇති නිසා.

මෝටර් රිය නිෂ්පාදනය කිරීමේ මුල් කටයුතු සඳහා මූල්‍යාධාර සැපයුවේ කේ.ඩී.එෆ්. හෙවත් හිට්ලර්ගේ නාසි පක්ෂයේ අංශයකින්. කේ.ඩී.එෆ්. අංශයේ කාර්යභාරය වුණේ ජර්මානු ජාතිකයන්ව සතුටින්, විනෝදයෙන් සහ සැහැල්ලුවෙන් තැබීමයි. එසේ සතුටින් තැබීමේ අරමුණ වුණේ හිට්ලර්ගේ මහා යුද්ධ වලට වඩා කාර්යක්ෂම, ශක්තිමත් සහ පක්ෂපාතී ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමයි.

වෝක්ස්වැගන් රිය එසේ නිර්මාණය වූ පසුව එය ඉතාම අඩු මුදලකට ලබා දුන්නා. පුංචි මෝටර් සයිකලයක් ගන්නා මිලට ෆෝක්ස්වැගන් මිලදී ගත හැකි වුණා. එය මිලදී ගැනීම සඳහා විශේෂ පහසුකම් සැලසුවා. විශේෂ ඉතිරි කිරීමේ ක්‍රමයක්ද හඳුන්වා දුන්නා. ඒ හරහා මෝටර් රිය මිලදී ගැනීම සඳහා පෝලිමක්ද නිර්මාණය වුණා.

කෙසේ වෙතත් දෙවැනි ලෝක යුද්ධය නිසා වෝක්ස්වැගන් නිෂ්පාදනය අඩාල වුණා. වෝක්ස්වැගන් කම්හල ආයුධ නිෂ්පාදනයට යොදා ගැනුණා. කේ.ඩී.එෆ්. අරමුදල් යුද්ධයට අවැසි වුණා. මේ නිසා ලක්ෂ ගණනක කාර් සිහිනය බොඳ වුණා. ඒ වෙනුවට ඔවුන් ජීවිතය ගැන සිහින දකින්නට වුණා.

දෙවැනි ලෝක යුද්ධය අවසාන වෙද්දී වෝක්ස්වැගන් කම්හලේ භාගයක් විනාශ වී තිබුණු බව කියනවා. ෆැක්ටරිය බ්‍රිතාන්‍ය පාලනයට යටත් වුණා. එය විනාශ කර දැමීමට බ්‍රිතාන්‍ය හමුදාව උත්සාහ ගත්තත් බ්‍රිතාන්‍ය හමුදාවේ මේජර් අයිවන් හර්ස්ට් විසින් එය වැළැක්වුවා. ඒ වෙනුවට මෝටර් රථ කම්හල යළි පිළිසකර කිරීමේ වැදගත්කම ඔහු පෙන්වුවා. ඔහුගේ දුර දැක්ම අදත් වෝක්ස්වැගන් රිය පැවතීමට හේතුවක්. කෙසේ වෙතත් මේ මෝටර් රථ නිෂ්පාදනය කෙරුණේ බ්‍රිතාන්‍ය හමුදාව වෙනුවෙන්.

1948 දී හෙයින්ස් නෝර්ඩෝෆ්ව වෝක්ස්වැගන් කර්මාන්ත ශාලාවේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කෙරුණා. ඔහු විසින් තමයි නැවතත් සාමාන්‍ය ජනතාව වෙනුවෙන් වෝක්ස්වැගන් බීට්ල් අලෙවි කිරීම ආරම්භ කළේ. එය 1950 වෙද්දී ලොව හතර වැනියට විශාලම මෝටර් රථ නිෂ්පාදකයා බවට පත් කරන්නට ඔහු සමත් වුණා.

මෙක්සිකෝව

මේ ආදරණීය මෝටර් රිය යුරෝපයේ ජර්මනියෙන් ඇරඹුණත්, එය පසුව ලතින් ඇමෙරිකාවේ මෙක්සිකෝවට ගියා. කුමන හෝ හේතුවක් නිසා මෙක්සිකානුවන් බීට්ල් රියට ආදරය කළා. දැඩි ඉල්ලුම නිසාම 1954 සිට මෙක්සිකෝවේ බීට්ල් රථ නිෂ්පාදනය කරන්නට පටන් ගත්තා. මෙක්සිකෝවේ බීට්ල් නිෂ්පාදනය 2003 දක්වා කෙරුණා.

මේ අතරමැද කාලයේදී ලෝක වෙළඳපොලෙන් බීට්ල් රිය ප්‍රතික්ෂේප වෙන්නට පටන් ගත්තා. ජපන් මෝටර් රථ සාමාන්‍ය ජනතාව අතර ප්‍රචලිත වෙන්නට පටන් ගත්තා. අඩු වියදම් මෝටර් රථ බොහොමයක් තිබුණා. අඩු වියදමට බීට්ල් රියට එහා ගිය පහසුකම්ද ලැබුණා. ඒ නිසා ලෝකයෙන් බීට්ල් නිෂ්පාදනය ඉවත් වුණා. 2003 ජූනි වෙද්දී මෙක්සිකෝවටද බීට්ල් නිෂ්පාදනය තවදුරටත් කරගෙන යා හැකි වුණේ නැහැ. බීට්ල් රියට තිබුණු ඉල්ලුම අඩු වුණා. කෙසේ වෙතත් ලෝකයේ වැඩිම කාලයක් සහ වැඩිම ප්‍රමාණයක් පුංචි වෙනස්කම් පමණක් සමඟ නිෂ්පාදනය වූ එකම මෝටර් රථ මොඩලය තමයි වෝක්ස්වැගන් බීට්ල්.

වෝක්ස්වැගන්

බීට්ල් රියෙන් ඇරඹුණු ෆෝක්ස්වැගන් සමාගම් ජාලය තවත් මෝටර් රථ මොඩලයන් රැසක් නිෂ්පාදනය කළා. 2016 දි ටොයෝටා සමාගම පසු කරමින් ලොව දැවැන්තම මෝටර් රථ නිෂ්පාදකයා බවට පත් වෙන්නටද සමත් වුණා. ටොයෝටා සහ වෝක්ස්වැගන් සටන දිගටම පැවතුණා. ලෝකයේ දැවැන්ත මෝටර් රථ වෙළඳ නාමයන් රැසක් මේ සමාගමෙන් මිලට ගන්නට සමත් වුණා. ඒ කතාන්දරය වෙනම කිව යුතු එකක්.

අවුඩි, බෙන්ට්ලි, බගාති, ලැම්බෝගිනි, පෝෂ සහ වෝක්ස්වැගන් ඇතුළු මෝටර් රථ වෙළඳනාමයක් රැසක් සහ ඩුකාටි මෝටර් සයිකල් වෙළඳනාමය මේ සමාගම් ජාලය සතුව තියෙනවා.

පෝෂේ

ෆර්ඩිනන්ඩ් පෝෂේ  (bing.net )

ෆර්ඩිනන්ඩ් පෝෂ තමයි වෝක්ස්වැගන් බීට්ල්හි නිර්මාතෘවරයා. ඔහු විසින්ම තමයි පෝෂ මෝටර් රථ නිෂ්පාදනය ආරම්භ කළෙත්. මර්සීඩීස් බෙන්ස් සමාගමට බෙන්ස් එස්.එස්.කේ. නිර්මාණය කළෙත් ෆර්ඩිනන්ඩ් පෝසේ විසින්. මෝටර් රථ ඉංජිනේරු ඉතිහාසයේ සාඩම්බර නාමයක් ඔහු සතුයි.

ඔහු නිර්මාණය කළේ මෝටර් රථ පමණක් නෙවෙයි. ඔහු දෙවැනි ලෝක යුද්ධය වෙනුවෙන් වැදගත් වූ යුද්ධ ටැංකි මොඩලයන්ද නිෂ්පාදනය කළා. ඔහු එස්.එස්. නම් හිට්ලර්ගේ නාසි හමුදාවේ සිටි බව විශ්වාස කරනවා. ඔහු නිර්මාණය කළ බෝම්බ මොඩලයන්ද තියෙනවා. කෙසේ වෙතත් ඔහු ජර්මානු ජාතිකයෙකු ලෙස යුද්ධයේදී කටයුතු කළා පමණයි.  ඔහු තමන්ගේ දැනුම තමන්ගේ රට වෙනුවෙන් යෙදවූවා පමණයි. ඔහු තමන්ගේම ක්‍රියාවන් ගැන විවේචනාත්මකව කතා කර තියෙනවා.

ඔහු දේශපාලනය කරන්නෙක් නෙවෙයි, ඉංජිනේරුවරයෙක්. ඔහු ඒ අතින් අති විශිෂ්ටයෙක්. 1999 දී ඔහුව සියවසේ මෝටර් රථ ඉංජිනේරුවරයා ලෙස නම් කෙරුණා. ඔහු ගැනත්, ඔහු විසින් නිර්මාණය කළ පෝෂ මෝටර් රථ ගැනත් තවත් ලිපියකින් කතා කරන්නට අපි බලාපොරොත්තු වෙනවා.

Cover – forza.wikia.com

Related Articles