කාන්තාවන්ට දිවා රෑ ලිංගික අතවර කෙරෙන, ඔවුනට වහලියන් සේ සලකන සමාජයක, කාන්තාවන්ම තමා වෙනුවෙන් පොලු මුගුරු අතට ගෙන අපචාරකයින්ට එලව එලවා පහර දෙන්නට ගතහොත්?

ඇත්තෙන්ම අපචාර අඩුවේවි.

මේ කියන්නේ නම් අප නොවෙයි, ඉන්දියාවේ ‘ගුලාබි ගැන්ග්’, එහෙමත් නැත්නම්, ‘රෝස කල්ලියේ’ සාමාජිකාවන්.

“ඔව් අපි අපචාරකයින්ට ගහනවා. අපි උන්ව හොයාගෙන, උන්ට පොලු වලින් ගහනවා නිල් වෙනකල්ම! උන් එතකොට ආයෙ කෙල්ලෙක්ට කරදර කරන්න හිතන්නෙවත් නෑ”

මේ ගුලාබි ගැන්ග් හි නායිකාව කියනා දෙයයි.

ගුලාබි ගෑන්ග් (Reddit)

කුඩා ගමක විප්ලවය

‘ගුලාබි ගැන්ග්’ ඇරඹුණේ 2006 වසරේ දී උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් නම් ප්‍රාන්තයේ බුන්දල්ඛාන්ද් නම් ප්‍රදේශයේ බදවුසා නම් ගම්මානයෙන්. ඒ වන විට ජීවිතයේ සිව්වන දශකය පසු කරමින් සිටි සම්පත් පාල් දේවී ගම්වැසි කාන්තාවන් කීප දෙනෙකු සමඟ කුඩා සංවිධානයක් ආරම්භ කළා. ඇගේ අරමුණ වුණේ හිංසන, ළමා විවාහ, කාන්තා කළල ගබ්සාව, දෑවැදි ඉල්ලා හිංසා කිරීම, හා ලිංගික අපචාර ආදී කාන්තාවන්ට එරෙහිව දිනපතා වන හිංසා වලට එරෙහිව සටන් වැදීමයි. දරිද්‍රතාවයෙන් පීඩිත වූ නූගත් ගම්වැසියන් වාසය කළ එවන් ප්‍රදේශ වල කාන්තා හිංසන බහුල වුණා.

ආරම්භක නායිකාව සම්පත් පාල් (වමේ) (Reuters)

තම ප්‍රදේශයේ කොහේ හෝ කාන්තාවන්ට එරෙහි අපචාරයක් සිදුවේ යැයි ආරංචි වුවහොත්, එහි ගොස් එයට විරුද්ධව මැදිහත් වී නීතිය හරහා හෝ සාකච්ඡා කර සාමකාමී ලෙස ගැටළුව විසඳීමට උත්සාහ කිරීමත්, එයට අසාර්ථක වුවහොත් අදාල අපචාරකයාට පොලු වලින් පහරදීමත් මොවුන් සිරිතක් කරගත්තා.

රෝස සාරි සහ පොලු

මොවුන්ට ‘ගුලාබි’, එසේත් නැත්නම් ‘රෝස’ කල්ලිය යන නම භාවිත වීමට හේතු වන්නේ සංවිධානයේ නිල ඇඳුම ලෙස රෝස පැහැ සාරි ඇඳීම මොවුන් විසින් සිදු කරන නිසායි. ඊට අමතරව තම ආරක්ෂාව සඳහාත්, අපචාරකයින්ට පහර දීම සඳහාත් දිගු උණ බට තමා යන තැනට ‍රැගෙන යාම මොවුන්ගේ සිරිතක් වනවා.

සම්පත් පාල් දේවී සාමාජිකාවන්ට උපදෙස් දෙමින් (Arindam Mukherjee)

මුලදී කාන්තාවන් කිහිප දෙනෙකුගෙන් ඇරඹුන මෙම සංවිධානයට අද වන විට 400,000ට අධික සාමාජිකාවන් පිරිසක් සම්බන්ධව සිටින බව ඔවුන් පවසනවා. මෙම සාමාජිකාවන් ප්‍රාන්ත කීපයක් පුරාවට පැතිර සිටිනවා. වසරකට ඉන්දියානු රුපියල් 500ක මුදලකට මෙම සංවිධානයේ සාමාජිකත්වය ගත හැකි බවට පැවසෙන අතර, සාමාජිකත්වය සමඟ ම හැඳුනුම්පතක් සහ උණ බටයක් ද නව සාමාජිකාව වෙත ලබා දෙනවා.

මෙහි සාමාජිකත්වය ලබා ගන්නා කාන්තාවන් බොහොමයක් අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන පසුබිම් වලින් පැමිණෙනවා පමණක් නොවෙයි, ඉන්දියාවේ හීන යැයි සම්මත කුල වලට ද අයත් වනවා.

අසාධාරණයට එරෙහිව

2006 දී උත්තර් ප්‍රදේශ් හි දුශ්කර ගම්මානයක විසූ ජානකී දේවි නම් ලාබාල තරුණිය තම පෙම්වතා වූ ආනන්ද් කුමාර් සමඟ විවාහ වුණේ දෙපාර්ශවයේම විරෝධතා මැදයි. ඔවුන්ගේ පෙම් සබඳතාවය අරඹන විට ඈ 15වන වියෙහි පසු වූ අතර ආනන්ද් කුමාර් තම දිවියේ දෙවන දශකය පසු කරමින් සිටියා. ආනන්ද් කුමාර් ඉහළ කුලයකට අයත් වූ නිසාත්, ජානකී දේවීට වඩා පොහොසත් නිසාත් මෙම සම්බන්ධයට එල්ල වූයේ දැඩි විරෝධයක්.

විවාහයෙන් අනතුරුව ආනන්ද් කුමාර්ගේ නිවසේ පදිංචියට ගිය ජානකී දේවීට ඔහුගේ නෑදෑයින්ගෙන් එල්ල වුණු වද හිංසා දරාගැනීමට ද සිදු වුණා. මෙම තත්ත්වය වඩාත් නරක අතට හැරුණේ ඈ ගැබ් ගැනීමට අසමත් වූ නිසායි.

සටන් පුහුණු වෙමින් (South China Morning Post)

මෙම හේතුව නිසාම ආනන්ද් කුමාර්ගේ දෙමව්පියන් විසින් ඈ මත පෙට්‍රල් වත්කර ඈව පණපිටින් ගිනිතබනු ලැබුවා. අසල්වාසීන් විසින් ගින්න නිවා ඈ රෝහල වෙත ‍රැගෙන ගියත්, ඈගේ දිවි ගැලවුණේ නැහැ.

මහත් වේදනාවට පත් ජානකී දේවීගේ පියා පොලිස් ස්ථානයට ගොස් මේ සම්බන්ධව පැමිණිල්ලක් සිදු කළත්, ඔවුන් විසින් එම පැමිණිල්ල සටහන් කරගැනීම ප්‍රතික්ශේප කළා. ඒ, ආනන්ද් කුමාර්ගේ පවුල ප්‍රදේශයේ යම් පිළිගැනීමක් හිමි උසස් කුල පවුලක් නිසායි. එනිසා ජානකී දේවීගේ පියා වන දිනේශ් ප්‍රසාද් පාණ්ඩේ මීළඟට පැමිණියේ ‘ගුලාබි ගැන්ග්’ වෙතයි.

සිදුවීම සැකහැර දැන ගැනීමෙන් අනතුරුව අදාල පොලිස් ස්ථානය ඇමතූ ගුලාබි ගැන්ග් නායිකාව, ස්ථානාධිපතිවරයාට තර්ජනය කළේ දිනේශ් පාණ්ඩේ ගේ පැමිණිල්ල බාර නොගතහොත් කාන්තාවන් සමඟ පැමිණ පොලිසිය වටලන බවයි.

බාන්ඩා පොලිස් මූලස්ථානයේ දී දූෂිත නීතීඥයින්ට එරෙහිව විරෝධතාවයක නියැලෙන ගුලාබ් ගෑන්ග් (New York Times)

“අපි ප්‍රචණ්ඩත්වයට අනුබල දෙන්නේ නම් නැහැ, නමුත් වචනයෙන් කියා යමක් තේරුම් කර දිය නොහැකි පුද්ගලයින් ඉන්නවා.” ගුලාබි ගැන්ග් සාමාජිකාවන් පවසනවා.

ගුලාබි ගැන්ග් අවශ්‍ය ඇයි?

2013දී නිකුත් කෙරුණු, ඉන්දියානු ජාතික අපරාධ වාර්තා කාර්යාංශයේ වාර්තා වලට අනුව 2013 වසරේ දී පමණක් වාර්තා වූ ලිංගික අපචාර සංඛ්‍යාව 24, 923ක්. වාර්තා නොවූ අපරධ සංඛ්‍යාව මීටත් වඩා ඉහළ විය හැකි බව ඔවුන් පවසනවා. ඊටත් අමතරව දිනපතා සිදුවන පැහැර ගැනීම, ඇසිඩ් ගැසීම්, පහරදීම්, සහ ඝාතනයන් සංඛ්‍යාව ද ඉතා ඉහළයි. ඉන්දියානු ආගම් සහ සංස්කෘතිය විසින් කාන්තාව පිරිමියාට වඩා ඉතා පහළ තැනකට ඇද දමා තිබෙන නිසාමත්, ඉන්දියාවේ ඈත ගම්මාන වල නූගත්කම සහ දුප්පත්කම ඉතාමත්ම ඉහළ නිසාත්, කාන්තාවන්ට පහරදිම සහ හිරිහැර කිරීම සැලකිල්ලට ගත යුතු කරුණක් නොවන බවයි බොහොමයක් දෙනා විශ්වාස කරන්නේ.

විරෝධතාවයක්! (Kudos Family)

මේ හේතුව නිසා ගිණිය නොහැකි තරම් කාන්තාවන් පිරිසක් දිනපතා දුකට පැමිණෙනවා. ඔවුන්ගේ පිහිටට නිර්මාණය වුණු තවත් එක් කාන්තා සංවිධානයක් ලෙසයි ගුලාබි ගැන්ග් පෙනී සිටින්නේ.

මිනිසුන්ට පහර දී, ප්‍රචණ්ඩත්වයෙන් ගැටළු විසඳීමට නොහැකි බවත්, නීතිය ඇත්තේ ඒ සඳහා බවත් ගුලාබි ගැන්ග් වලට එරෙහි වන බොහොමයක් දෙනා ඉදිරිපත් කරන තර්කයක්. කෙසේ නමුත් නීතියත් හරිහැටි ක්‍රියාත්මක නොවන, කාන්තාවන්ට එරෙහි හිංසනය නීතිය ක්‍රියාත්මක කරවන්නන් විසින්ම සාධාරණීකරණය කෙරෙන තත්ත්වයක දී කාන්තාවන් විසින් සිය ආරක්ෂාව උදෙසා පොලු, මුගුරු අතට ගැනීමට දොස් පවරන්නට නම් කිසිවෙකුටත් සදාචාරාත්මක අයිතියක් නැහැ.

‘Gulabi Gang’ වාර්තා චිත්‍රපටය වෙනුවෙන් එළිදැක්වුණු පෝස්ටරය (Crow Collection)

2012 දී නිශ්තා ජෛන් විසින් නෝවීජියානු සහ ඩෑනිශ් ජාතික නිර්මාණකරුවන් පිරිසක් ද හවුල් කරගෙන ‘ගුලාබි ගැන්ග්’ නමින් වාර්තාමය චිත්‍රපටයක් නිර්මාණය කළා. 2014 දී ඉන්දියාව පුරා ප්‍රදර්ශනය කළ මෙම චිත්‍රපටය සම්මාන කීපයක් ද දිනාගැනීමට සමත් වුණා. පහතින් එම වාර්තාමය චිත්‍රපටයේ හඳුන්වාදීමේ පටය නැරඹිය හැකියි.

කවරයේ ඡායාරූපය: Kudos Family

මූලාශ්‍ර:

  1. Al Jazeera
  2. New York Times
  3. South China Morning Post
  4. Reuters